“ඒ වෙනකොට මම චිත්‍රපටි දෙකතුනක රඟ පාලා තිබුණත් ටෙලි නාට්‍යයක රඟ පාලා තිබුණෙ නෑ.. ඒ හින්දා එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍යයට ලැබුණ ආරාධනාව හරිම කැමැත්තෙන්
පිළි ගත්තා...”
තමා ටෙලි නාට්‍ය නිළියක ලෙස දොරට වැඩිය එක මවකගේ දරුවෝ හි සුරම්‍යාගේ චරිතය ගැන සිහිපත් කරමින් අවන්ති අපොන්සු පැවසුවාය. ලූෂන් බුලත්සිංහල ගේ නිර්මාණයක් වූ එක මවකගෙ දරුවෝ ජාතික රූපවාහිනියේ විකාශය වූයේ 1982 දීය. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ශ්‍රියානි අමරසේන, බුද්ධි වික්‍රම, ගෝතමී පතිරාජ, චිත්‍රා වාකිෂ්ට, ගාමිණි සමරකෝන් ඇතුළු නළුනිළියෝ එහි චරිත මැවූහ.
එහි අවන්ති රඟ පෑවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ බිරිඳගේ චරිතයයි.
“සුරම්‍යා කියන්නෙ නපුරු චරිතයක්.. ඊටත් වඩා ඒ කාලයේ ඔබ අවුරුදු විසි ගණන්වල මුල් භාගයේනෙ හිටියෙ.. මේ චරිතය අභියෝගයක් කියලා හිතුණේ නැද්ද..?” මම විමසීමි.
“ඇත්තටම අභියෝගයක් තමයි.. ඒත් ඒ අභියෝගයට සාර්ථකව මූණ දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තිබුණා.. එතන හිටිය වැඩි දෙනෙක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ.. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා..” අවන්ති පැවසුවාය.
“හැබැයි ඉතින් නපුරු චරිතවලට කොටු වෙන්න වුණෙත් ඒකෙන් පස්සෙ නේද..?”
මා ඇසුවේ ඇය රඟ පෑ චිත්‍රපටි, ටෙලි නාට්‍ය සිහිපත් කර ගන්නට උත්සාහ කරමිනි. ඒවා වැඩි සංඛ්‍යාවක ඇය නිරූපණය කළේ නපුරු චරිතය.
“ඒකනම් එහෙම තමයි.. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ සැබෑ ජීවිතේදීත් මම ඒ විදියෙ නපුරු චරිතයක් කියලා..”
අවන්ති පැවසුවේ කාරුණික මුදු සිනාවක් පාමිනි. සැබෑ ජීවිතයේදී ඇගේ ස්වභාවය හැඳින ගන්නට ඒ සිනාව ඉවහල් වූයේය.
එක මවකගේ දරුවෝ රූගත කෙරුණේ හොරණ ප්‍රදේශයේ උඩුව වලව්ව ආශ්‍රීතවය. ඔවුන්ට නවාතැන් සඳහා වෙන් කර තිබුණේ හොරණ නගරයේ ගොඩනැගිල්ලකි.
“චිත්‍රපටි ෂූටින්වලට ගියාම මම උදේ ගිහින් හවස ගෙදර එනවනෙ.. ටෙලි නාට්‍යවලත් එහෙම කියලා හිතුවේ.. මම ඉතින් නවතින්න කිසිම සූදානමකින් ගියෙ නෑ.. අද නවතිනවා කිව්වම මම උඩබිම බැලුවා.. සාමාන්‍යයෙන් ඒ කාලේ ටෙලි නාට්‍යයක් රූගත කරලා ඉවර වෙනකම්ම කට්ටිය නැවතිලා ඉන්නවා.. ලූෂන් අයියා මට කිව්වා ටවුමට ගිහින් ගෙදරට කෝල් එකක් දීලා ඇඳුම් එහෙම ගෙන්නා ගන්න කියලා.. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියෙ කලපළුවාවේ.. ජගතුයි මමයි බැඳලා හිටියෙත් නෑ.. ඒත් මම එයාට කෝල් එකක් දීලා කිව්වා ගෙදර ගිහින් අම්මාගෙන් ඇඳුම් ඉල්ලාගෙන එන්න කියලා.. එයා ගෙනත් දුන්නා..”
එවකට ඇගේ කෝඩුකාරකම මොන තරම්දැයි විදහා දක්වමින් අවන්ති පැවසුවාය.
කාන්තාවන් නවාතැන් ගෙන සිටියේ උඩු මහලේය. එය පහසුකම් සහිත ලොකු ශාලාවක් වුවත් එහි දොරක් සවි කර තිබුණේ නැත. එම නිසා ඔවුන්ට අනාරක්ෂිත බවක් දැනිණි. එය සනාථ කරමින් දිනක් රාත්‍රි ගෝතමී පතිරාජ කෑ ගැසුවේ ඇගේ ඇඳ ළඟට කිසිවෙකු පැමිණි බව කියමිනි.
“හොරෙක්.. හොරෙක්..”
ගෝතමී අනුව සියල්ලෝම කෑ ගැසූහ. ගොඩනැගිල්ලේ සිටි අනෙක් අයත් පැමිණ ඔවුන් අස්වසන්නට වෑයම් කළත් ඔවුන්ගේ බිය තුරන් වූයේ නැත. එම නිසාම ඔවුන්ට වෙනත්තැන්වල නවාතැන් පහසුකම් සැපයිණි. ශ්‍රියානි සහ අවන්ති නැවතුණේ උඩුව වලව්වේම එකම කාමරයකය.
“උඩුව වලව්ව හරිම ලස්සනයි.. පරිසරයත් එහෙමයි.. ඒකේ පදිංචි වෙලා හිටිය අයත් හරිම ගුණයහපත්.. අපි තිහක් විතර වලව්වෙ ්නැවතිලා හිටියා.. හැමෝටම කෑම දුන්නෙ වලව්වෙන්.. ඒ අක්කගෙ ලොකු සාරි එකතුවක් තිබුණා.. මට ෂූටින්වලට අඳින්න ඒ සාරි ඕන එකක් ගන්න කියලා දුන්නා.. දැන්නම් ඒ වලව්ව විතරක් නෙමෙයි පරිසරයත් එහෙම පිටින්ම වෙනස් වෙලා..”
අවන්ති පැවසුවේ එවන් සුන්දර වටපිටාවක් විනාශ වීම පිළිබඳ කණගාටුවකින් විය යුතුයයි මට සිතිණි.
එක මවකගේ දරුවෝ කතාවේ ශ්‍රියානි අමරසේන රඟ පෑවේ අවන්තිලාගේ නිවසේ මෙහෙකාරිය ලෙසිනි. ඇය හැම විටම ශ්‍රියානිට නපුරුකම් කළාය.
“ශ්‍රීයානි අක්කට මම කම්මුලට ගහන දර්ශනයක් තිබුණා.. ලූෂන් අයියා කිව්වා පෙර පුහුණු වීම්වලට ඒක ඕන නෑ.. ෂුට් කරද්දී ගහන්න කියලා.. මට දැන් පුදුම විදියට බයයි.. ඒ වගේම දුකයි.. එයා වගේ ප්‍රවීණ ජනප්‍රිය නිළියෙකුට මම කොහොමද ගහන්නෙ..? මම එකෙළමෙකෙළ වෙවී ඉන්නකොට ශ්‍රියානි අක්කා කිව්වා වෙන මොකුත් හිතන්නෙ නැතුව චරිතය ගැන විතරක් හිතන්න කියලා.. කොහොම හරි ඒ දර්ශනය තාත්විකව කළා.. ඒත් සෑහෙන වෙලාවක් යනකම් මම හිටියෙ ලොකු පසුතැවිල්ලකින්..”
කිසිම දවසක අමතක නොවන ඒ සිදු වීම යළිත් සිහිපත් කරමින් අවන්ති කීවාය.
“අපි හැමෝම හිටියෙ සහෝදර සහෝදරියෝ වගේ හරි එකමුතුවකින්.. දවසක් සතිසුයි, බුද්ධි වික්‍රමයි කොළඹ යනවා කියලා ඒ වාහනේම මටත් කොළඹ යන්න පුළුවන් කිව්වා.. මමත් ගියා.. ඒ පාරේ අඳුරු රබර් වත්තක් තියෙනවා.. එතන කාරෙක නවත්තලා ඒ දෙන්නා මාව හොඳටම බය කළා.. ඒකත් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..” ඇය කීවේ සිනාසෙමිනි.
අවන්ති ක්ෂේත්‍රයට ආවේ සිය සොයුරා ජයසේකර අපොන්සුගේ වේදිකා නාට්‍යයක රඟ පාමිනි. ඉනික්බිතිව ඇය චිත්‍රපටිවලට සම්බන්ධ වූවාය. තුන්හිරි මල්, දඩයම, පොඩි රාළහාමි, බට්ටි, අයෝමා, පත්තිනි, ධර්ම යුද්ධය ඇතුළු චිත්‍රපටි රාශියක ඇය රඟ පා තිබේ. ඉතින් ඊට පස්සේ, ගජමුතු, ඉඳුවරී ඇය රඟ පෑ ටෙලි නාට්‍ය අතර තිබෙන්නේය.
“මේ දවස්වල මම කිසිම වැඩක් බාර ගත්තෙ නෑ.. මගෙ එකම දුව දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස් ට්‍රේලියාවේ.. ඇය අම්මා කෙනෙක් වෙන්න සූදානමින් ඉන්නෙ.. ඒ හින්දා ඇගේ උදව්වට මම ඉක්මනින්ම එහෙ යනවා.. ඉතින් වැඩ බාර අරගෙන ඒවා අතරමඟ නතර කරලා දාලා යන එක සදාචාර සම්පන්න නෑනෙ..”
ඇය පැවසුවේ තමන් විසින් බාර ගන්නා ලද කාර්යය එලෙසින්ම ඉටු කළ යුතු බවට පාඩම නවකයන්ටත් කියා දෙමින් නොවන්නේදැයි මට සිතිණි.
චන්දි කොඩිකාර