එදා මෙදා තුර ලෝකයේ අගමැති තනතුර දැරූ කාන්තාවෝ - දෙවෙනි කොටස



 ඛලීදා සියා  - බංග්ලාදේශය  

ඇයගේ සම්පූර්ණ නාමය වන්නේ බෙගම් ඛලීදා සියා ය. දකුණු ආසියාවේ රටක අගමැති භූමිකාවට පත් තෙවැනි කාන්තා චරිතය වූයේ ඇයයි. ලොව මුස්ලිම් රාජ්‍යයක දෙවැනියට අගමැති තනතුරට පත් කාන්තාව ලෙස ඇය නම් කළ හැකිය. ඊට පෙර ඒ තනතුර දැරූ කාන්තාව වූයේ පාකිස්ථානයේ බෙනාසීර් බූතෝය. 

ඛලීදා සියා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ඇයගේ සැමියාව සිටි එවකට එරට ජනපති පදවිය දැරූ සියාවූර් රහ්මාන් ගේ ඝාතනයවීමෙන් පසුව ඇති වූ  ජනතා ඉල්ලීම් හමුවේය. කෙසේ වූවද. ඇය හට රට පාලනය කිරීමට සිදු වූයේ ස්වභාවික විපත්, ආර්ථික කඩා වැටීම් මෙන්ම රටේ විවිධ නොසන්සුන් වාතාවරණයන් යටතේය. බංග්ලාදේශයේ තෙවරක් අගමැතිනිය ලෙස ඇය කටයුතු කර තිබේ. 

1991 මාර්තු සිට 1996 දක්වා පළමු වතාවේ අගමැති තනතුරට පත් වූ ඇය යටතේ යම්කිසි ලෙසකින් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති වූ බව එරට සමහර ආර්ථික විශේෂඥයින්ගේ මතය වෙයි. එහෙත් දකුණු ආසියානු කලාපයේ දූෂිත දේශපාලන ස්වභාවය යටතේ ඇය හටද, එල්ල වූ චෝදනා බොහෝය. එනිසා පසුගියදා ඇති වූ අරගලයෙන් පසුව එරට බිහිවූ නව පාලනය තෙක් විටින් විට සිරගතව සිටීමටද ඇයට සිදුවිණ. 1996 න් පසුව යළි සතියක පමණ කාලයකට සීමා වූ ඇයගේ පාලනය තෙවැනි වතාවේ 2001 සිට 2006 දක්වා වසර පහකට සීමා විය.

 ඊඩිත් ක්‍රේසන් - ප්‍රංශය  

1991 මැයි 15 සිට 1992 අප්‍රේල් 2 වැනිදා දක්වා ප්‍රංශයේ අගමැතිවරිය ලෙස කටයුතු කළේ ඊඩිත් ක්‍රේසන්ය. දකුණු ආසියානු කලාපයේදී මෙන් නොව, යුරෝපයේදී දූෂණ චෝදනා එල්ල වූ විට ධුරයෙහි රැඳී සිටීමේ වාතාවරණයක් නැත. 

වසරක ධුර කාලයකට  පෙර ඇය හට අගමැති තනතුර අහිමි වූවේ දූෂණ චෝදනා එල්ලවීමත් සමගය. වාර්තාවලට අනුව අගමැති තනතුරක් දැරූ කාන්තාවක ලෙස ඉතා කෙටි කාලයක දී අපකීර්තියට පත් වූ අගමැතිවරිය ලෙස ඇයගේ නම සඳහන් වේ. 

 හෑනා සුචෝකා - පෝලන්තය 

1943 අප්‍රේල් 3 වැනිදා උපත ලැබූ  ඇය පෝලන්තයෙන් බිහි වූ බුද්ධිමත් කාන්තාවක ලෙස සැලකේ. දේශපාලන චරිතයක්, නීතිඥවරියක් සහ පෝලන්තයේ ඇඩම් මිකිවික්ස් සරසවියේ මහාචාර්යවරියක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙපාර්තමේන්තුවේ නීති අංශයේ  සභාපතිනිය මෙන්ම වැනිස් කොමිසමේ ගෞරවනීය උපසභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටි අතරේ එරට අගමැතිවරිය ලෙස පත් වූයේ 1992 ජූලි 8 වැනිදාය. 

උගතුන් සහ දේශපාලනයට සම්බන්ධව කටයුතු කළ පවුලකට අයත් චරිතයක් ලෙස හෑනා සුචෝකා හැඳින්වීමට පුළුවනි. විවිධ සමාජ ක්‍රියාකාරී සහ ජාත්‍යන්තර සංවිධාන රැසක සාමාජිකත්වය සහ තනතුරු දරමින් ඇය කළ සේවාවන් බොහෝය. ගෙවී ගිය  ජීවිතය සමාජයීය හා දේශපාලනික කටයුතුවලට කැපකළ ඇය අවිවාහක තැනැත්තියකැයි සඳහන් වේ. මේ වන විට 78 වැනි වියේ පසුවන්නීය.

 ටන්සු සිලර් - තුර්කිය

1993 ජූනි 13 සිට 1996 මාර්තු 2 වැනිදා දක්වා තෙවසරකට ආසන්න කාලයක් තුර්කියේ අගමැතිවරිය ලෙස කටයුතු කළ ඇය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකි. තුර්කි බසට අමතරව ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා හැසිරවීමට දක්ෂ  වූවද, සීලර් හට තුර්කිය පාලනය කිරීමේදී මුහුණ දීමට සිදුවූ අභියෝග එමටය.  

ඇයගේ පාලනයට එරෙහිව  මානූෂිය ඝාතන සිදුවීම සම්බන්ධයෙන්  චෝදනා  එල්ල වූ අතර,  මහාපරිමාණ දූෂණ චෝදනා ද එල්ල වීය. පසුව මේ සම්බන්ධව පැවැති පරීක්ෂණවලින් ඇය නිදහස් වී සක්‍රිය දේශපාලන භූමිකාවේ නිරතවී යළි මහ මැතිවරණයට 1999දී ඉදිරිපත් වුවද, ඇයගේ  පක්ෂයට ලබාගත හැකි වූයේ සුළු ඡන්ද ප්‍රතිශතයකි. දේශපාලනයට ආ දින සිට දෙස් විදෙස් වශයෙන් විවිධ සංවිධානයන්හි නිලතල දරමින් කටයුතු කිරීම කැපී පෙනෙන දෙයකි. ඇයගේ වයස මෙම වසරට අවුරුදු 78 කි.

 කිම් කැම්බල් - කැනඩාව  

1993 ජූනි 25 සිට නොවැම්බර් 4 දක්වා දින 132 ක කාලයක් සඳහා කැනඩාවේ අගමැතිවරිය ලෙස කටයුතු කර ඇත්තේ කිම් කැම්බල්ය. කැනඩාවේ රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවක්, නීතිඥවරියක්, ලේඛිකාවක් වන ඇය එරට ප්‍රථම කාන්තා අගමැතිවරිය වූවාය. 

කැනේඩියානු  අධිකරණ අමාත්‍යාංශයේ  ඇමතිවරියක වූ ප්‍රථම කාන්තාව ලෙස සඳහන් වන්නේ ඇයගේ නාමයයි. එමෙන්ම නේටෝ සාමාජික රාජ්‍යයක ආරක්ෂක අමාත්‍යවරිය වූ ප්‍රථම කාන්තාව වූයේද ඇයයි. කැනේඩියානු මහාධිකරණයේ සභාපතිනිය මෙන්ම දෙස් විදෙස් වශයෙන් ඉහළ තනතුරු දැරූ කාන්තාවක ලෙස ඇය ප්‍රකටය. 

 සිල්වි කිනිජි- බුරුන්ඩි 

1993 ජූලි 10 වැනිදා සිට 1997 පෙබරවාරි 7 දක්වා බුරුන්ඩි රාජ්‍යයේ අගමැතිවරිය වූයේ ඇයයි. බුරුන්ඩු හි ග්‍රාමීය පළාතක උපත ලැබූ ඇය එරට සාමාන්‍ය පවුලකට අයත් තැනැත්තියක වූවාය. ටුට්සි ගෝත්‍රික පවුලක සාමාජිකාවක වූ ඇයගේ පියා සාමාන්‍ය වෙළෙන්දකු වූ අතර මව ගොවිතැන් කටයුතුවල නියැළී සිටි අතර, පවුලට ශක්තියක් වීම වෙනුවෙන් සිල්වි මවට බෙහෙවින් උදවු කළ දියණියක වූවාය. 

ඒ අතරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කළ ඇයට  බුරුන්ඩි සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගැනීමට හැකිවිණි. ටුට්සි ගෝත්‍රයට අයත් ඇය විවාහ වූයේ හුටූ ගෝත්‍රයට අයත් උගතකු වූ ෆර්මින් කිනිජි සමගය.  ඇය  අභියෝග ජයගත්  ශක්තිමත් කාන්තාවක ලෙස කටයුතු කරමින් ජීවිතය ජයගත් ඇය මේ වන විට 70 වියෙහි පසුවන්නීය

 ඇගාතා උවිලිංගියිමානා  - රුවන්ඩාව  

දකුණුදිග රුවන්ඩාවට අයත් ගම් පළාතක් වන නියෝරුහේන්ගරි හිදී ඇය උපත ලැබුවේ සාමාන්‍ය ගොවි පවුලකට අයත් තැනැත්තියක ලෙසය.   රුවන්ඩාවේ බහුතර වාර්ගික ජන කොට්ඨාසය වන හුටු ගෝත්‍ර කුලයට අයත් ඇය තම ගෝත්‍රය වෙනුවෙන් පෙනී සිටි අතර, ප්‍රශ්න ගැටලු හමුවේ වූවද, හොඳින් අධ්‍යාපනය කටයුතු කිරීමට වග බලා ගත්තාය. 

ගණිතය සහ රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය පසුව සමුපකාර ණය දෙන සමිතියක් ඇරඹුවේ කාන්තාවන් හට ණය ගැනීමේ පහසුව වෙනුවෙනි. එතැනින් පටන් ගත් ඇයට වාණිජ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරීමට අවකාශය ලැබිණ.

ඇයගේම සරසවියේ දී හමු වූ සමකාලීන උපාධිධරයකු වූ ඉග්නේෂ් බාරහිරා සමග විවාහ වී සිටි ඇය දරුවන් පස් දෙනෙකුගේ මවක් වූවාය. 

රුවන්ඩාවේ හටගත් සිවිල් යුද්ධය ඇතුළු බොහෝ දුෂ්කර අවස්ථාවන්හීදී යකඩ ගැහැනියක ලෙස කටයුතු කළ ඇය  1993 දී එරට අගමැතිවරිය ලෙස පත් වූ අතර, එවකට සිටි ජනපතිවරයා මිසයිල ප්‍රහාරයකින් මියයාමත් සමග රටේ යළි ප්‍රශ්න උද්ගතවිය. එහි ප්‍රතිඑලය වූයේ තාරුණ්‍යයේදීම ඇගාතා හට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමය. ඇයගේ සැමියාද ඒ මොහොතේදීම ඝාතනය කෙරුණු අතර, දරුවන්ගෙන් දෙදෙනෙකු ස්විට්සර්ලන්තයේ රැකවරණය ලබාගත් වග සඳහන් වේ. රුවන්ඩාවේ අධ්‍යාපනය නගා සිටුවීමට පුරෝගාමී වූ චරිතයක් ලෙස සැලකෙන ඇය මියගියද, ඇගතා මැඩම් ලෙස අදට ද රුවන්ඩාවේ ජනතාව අතර ගරුත්වයෙන් සිහිපත් කෙරෙන කාන්තාවකි.

මීළඟ කලාපයට...
අන්තර්ජාල තොරතුරු ඇසුරින්.


  • සඳුන් ගමගේ