එදා මෙදා තුර ලෝක දේශපාලනයේ කාන්තා අගමැති භූමිකා



පිරිමින් පමණක් අගමැතිකම් දරමින් සිටි ලෝකයක එය වෙනස් කරමින්,  ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ලෝක දේශපාලන කරළියට අවතීර්ණ වූ පළමු කාන්තාව වන්නේ අප ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි.  එතුමියගෙන් පසුව ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් අගමැති තනතුරට පත් වුණි. සිරිමාවෝ මැතිනියගෙන් පටන් ගෙන පසුව එදා මෙදා තුර ලෝකයේ කාන්තා අගමැති භූමිකාවල නිරත වූ සහ නිරතව සිටින චරිත ගැන අපි විපරම් කර බලමු.

 සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක - ශ්‍රී ලංකාව 

පළමු වතාවට ඇය අගමැති තනතුරට පත් වූයේ 1960 ජූලි මාසයේදීය. එතැන් සිට 1965 දක්වා එනම් වසර හතරකුත් මාස 8 ක් සහ දින 4 ක් ඇය එම භූමිකාව දැරුවාය. 1970 මැයි මාසයේදී යළිත් එම තනතුරට පත් වූ ඇය වසර 7 ක් සහ එක් මාසයකුත් දින 24 ක් අගමැති භූමිකාවේ නිරත වූවාය. තෙවැනි වතාවට ඇය අගමැති තනතුරට පත් වූයේ 1994 වසරේදීය. වසර හයකුත් මාස අටක් සහ දින 26 ක් එවර ඇය එහි නිරත වූවාය. තෙවැනි වර ඇය අගමැති තනතුර දරද්දී ඇයගේ දෙවැනි දියණිය වන චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක මැතිනිය මෙරට ජනපති තනතුර හෙබවීම තවත් ලෝක වාර්තාවකි. 

 ඉන්දිරා ගාන්ධි - ඉන්දියාව 

අප රටේ කාන්තාවක් ලොව පළමු අගමැතිනිය වී වාර්තා අතරට එක් වෙද්දී, අපේ අසල් වැසි මහා භාරතයේ ගාන්ධි පවුලේ තැනැත්තියක ලෙස ඉන්දිරා ගාන්ධි මැතිනිය ලොව අගමැති තනතුරට පත් වූ දෙවැන්නිය වීම එකතකට ආසියාවට තවත් ආඩම්බරයක් ගෙනා අවස්ථාවක් යැයි සඳහන් කළ හැකිය. ඇය මහා භාරත රාජ්‍යයේ අගමැතිනිය බවට පත් වූයේ 1966 වසරේදී වීම ද තවත් සුවිශේෂත්වයක් වන්නේ අප රටේ අගමැතිනියට ඒ තනතුර අහිමි වෙද්දී ඉන්දිරා ගාන්ධි එරට අගමැතිනිය වීමය. 1966 ජනවාරියේදී අගමැතිනිය ලෙස පත් වී වසර 11 ක් වැනි දීර්ඝ කාලයක් කටයුතු කිරීම ද විශේෂත්වයකි.  දෙවැනි වරට ඇය අගමැතිනිය ලෙස කටයුතු කළේ, 1980 ජනවාරියේ සිට 1984 ඔක්තෝබර් දක්වාය. සාහසික ඝාතකයකුගේ වෙඩි පහරින් ඇය ජීවිතක්ෂයට පත්වුණි. 

 ගෝල්ඩා මීර් - ඊශ්‍රායලය 

ලොව තෙවැනියට අගමැති තනතුරට පත් වූ කාන්තාව වූයේ ඊශ්‍රායලයේ ගෝල්ඩා මීර් ය. 1969 මාර්තු මාසයේ සිට 1974 ජූනි මස දක්වා ඇය එරට අගමැතිනිය ලෙස කටයුතු කර තිබේ. ඇය මිය ගියේ 80 වැනි වියේදීය.

ඉසබෙල් පෙරෝන් - ආර්ජන්ටිනාව 

ලොව ප්‍රථම ජනපතිවරිය ලෙස සඳහන් වන්නේ, ආර්ජන්ටිනාවේ ඉසබෙල් පෙරෝන්ගේ නාමයයි. ලොව ප්‍රථම ජනරජ රාජ්‍ය නායිකාව වූයේද ඇයයි. 1974 ජූලි මස සිට 1976 මාර්තු දක්වා ඇය එරට ජනපතිවරිය ලෙස කටයුතු කර ඇත. ඇය ජීවිතක්ෂයට පත්වූයේ 93 හැවිරිදි වියේ දීය.

 එලිසබෙත් ඩොමීෂියන් - මධ්‍යම අප්‍රිකානු  ජනරජය 

එවකට මෙම රාජ්‍යය හැඳින්වූයේ උබන්ගි ෂාරි නමිනි.

1975 ජනවාරි 2 වැනිදා සිට 1976 අප්‍රේල් 7 දක්වා මධ්‍යම අප්‍රිකානු රජයේ අගමැතිනිය ලෙස කටයුතු කර ඇත්තේ ඇයයි. 2005 වසරේදී ඇය මියයන විට 80 වැනි වියෙහි පසු වූවාය.

 මාගරට් තැචර් - එංගලන්තය 

ලෝක දේශපාලනයේ යකඩ ගැහැණිය ලෙස නම් දරා සිටි මාගරට් තැචර් වසර එකොළහක් මහා බ්‍රීතාන්‍යයේ අගමැතිවරිය ලෙස කටයුතු කිරීම මගින් ඇය කෙතරම් බලසම්පන්න කාන්තා චරිතයක් ද යන්න වටහා ගත හැකිය. 

ගැහැනියක වුවද ඇයගේ දේශපාලන භූමිකාව බල සම්පන්න නොවන්නට මහා බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යයක දීර්ඝ කාලයක් පාලනය කිරීම කළ නොහැකිය. 1979 මැයි 4 දා සිට 1990 මළවුන්ගේ මාසය හෙවත් නොවැම්බරය දක්වා ඇය අගමැතිනිය ලෙස කටයුතු කර තිබේ. 2013 අප්‍රේල් 8 වැනිදා ලන්ඩනයේදී මිය යන විට ඇය 87 වැනි වියේ පසුවූවාය.

 මරියා ඩි ලෝර්ඩ්ස් පින්ටර්සිල්ගෝ - පෘතුගාලය 

දින 155 ක් අගමැතිනිය ලෙස ඇය කටයුතු කර තිබේ. 1979 අගෝස්තු 1 වැනිදා සිට 1980 ජනවාරි 3 දක්වා ඇය එලෙසින් කටයුතු කර ඇති වග සඳහන් වේ.   උපාධිධාරිනියක වූ ඇය මුලින් කටයුතු කර ඇත්තේ රසායනික ඉංජිනේරුවරියක ලෙසය. 

විවාහ නොවූවද ඇය බෙහෙවින් ප්‍රායෝගික වූ අදහස් තිබූ කාන්තාවක ලෙස ප්‍රකටය. විනෝදයෙන් මෙන්ම අරුත්බරව ජීවිතය ගත කළ ඇය වයස අවුරුදු 74 දී ජීවිතක්ෂයට පත් වූයේ හෘදයාබාධයකිනි.

 ඉයුජිනියා චාල්ස් - ඩොමිනිකානු ජනරජය 

දීර්ඝ කාලයක් එක දිගට රටක් පාලනය කළ අගමැතිවරිය ලෙස ඇයගේ නාමය සඳහන් කළ හැකිය. වසර 14 ක් එනම් 1980 ජූලි 1 වැනිදා සිට 1995 ජූනි 14 දක්වා ඇය එලෙසින් කටයුතු කර ඇත. නීතිඥවරියකව සිටි ඇය ඩොමිනිකාවේ නීතිඥ සංගමයේ සභාපතිනිය ලෙස 1970 වකවානුවේදී කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඇය ද විවාහ නොවූ කාන්තාවක වූවාය.

 ග්‍රෝ හාර්ලම් බ්‍රන්ට්ලන්ඩ් - නෝර්වේ 

තෙවතාවකදී නෝර්වේ රාජ්‍යයේ අගමැතිවරිය ලෙස ඇය කටයුතු කර ඇත.

1981 - 1986 - 1990 යන වර්ෂවලදී  අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය සම්පූර්ණ වශයෙන් වසර දෙකහාමාරකට ආසන්න කාලයක් වරින්-වර එම තනතුරේ කටයුතු කර ඇත. දේශපාලනයට ඒමට පෙර ඇය කටයුතු කර ඇත්තේ වෛද්‍යවරියක ලෙසය. යුරෝපා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන රැසක තනතුරු දරා ඇති ඇය හට කාන්තා චරිතයක් ලෙස කළ සේවය උදෙසා ජාත්‍යන්තරව පිරිනමා ඇති සම්මාන බොහෝය. 

 මිල්කා ප්ලැනින්ක් - යුගෝස්ලාවියාව 

1982 වසරේ මැයි 16 සිට 1986 මැයි 15 දක්වා එරට අගමැතිනිය ලෙස කටයුතු කර ඇත්තේ මිල්කා ප්ලැනින්ක් ය.  මිල්කා යනු අධ්‍යාපනයට වඩා බිම් මට්ටමේ සිට ජනතාව සමග ගැටෙමින් - දේශපාලන පන්නරයක් ලැබූ කාන්තාවක වූවාය. සර්බියාන් සහ ක්‍රොඒෂියානු මිශ්‍ර සම්භවයක් ඇති ඇය යොවුන් වියේ සිට යොමුව සිටියේ  කොමියුනිස්ට් දේශපාලන කඳවුරේය. යුගෝස්ලාවියාවේ අගමැති තනතුරක් දැරූ ප්‍රථම හා එකම කාන්තාව මෙන්ම සමාජවාදී රජයක ප්‍රථම කාන්තා රාජ්‍යය නායිකාවක වූයේද ඇයයි. මාෂල් ටිටෝ ගෙන් පසුව එරට අගමැතිනිය හෙවත් රාජ්‍යයේ ප්‍රධානි ලෙස කටයුතු කළ ඇය වරෙක ඉල්ලා අස්වීමට ගියද, ඊට ඉඩ නොලැබිණ. කෙසේ වෙතත්  විශ්‍රාම ගිය පසු  ඇයගේ සැඳෑ ජීවිතය දේශපාලන ජීවිතය තරම් හරවත් නොවූයේ සැමියා මිය යාම සහ පුතු සිය දිවි නසා ගැනීම මෙන්ම ඇය හට රෝද පුටුවේ කාලය ගෙවීමට සිදුවීම වැනි කාරණා නිසාය. ගතට වඩා හිත හයිය චරිතයක් වූ ඇය ඊට මුහුණ දුන්නාය. වයස අවුරුදු 85 දී එනම් 2005 වසරේදී ඇය ජීවිතක්ෂයට පත්වූවාය.

 බෙනාසීර් බූතෝ - පාකිස්ථානය 

පාකිස්ථානයේ හිටපු ජනපතිවරයකු වූ, සුල්ෆිකාර් අලි බූතෝ ගේ දියණියක වූ බෙනාසීර් බූතෝ ලෝක දේශපාලනයට දකුණු ආසියානු කලාපයෙන් බිහි වූ සුන්දර අගමැතිවරියක ලෙස ඇය ප්‍රකටය. වෙසෙසින්ම බෙනාසීර් යනු අප ශ්‍රී ලංකාවට හිතැතිව සිටි පාකිස්ථානු කාන්තාවකි. පළමු වර වසරකට අඩු කාලයක් අගමැති තනතුර හෙබවූ ඇයගේ දෙවන වතාවේ ධුර කාලය වසර තුනකට පමණ දිගුවිය. සින්ඳි- පර්සියානු සහ කුර්දිෂ් සම්භවයක් ඇති ඇය පැවත ආයේ පාකිස්ථානයේ වංශවත් පවුලකට අයත්වය. රූපයෙන් බෙහෙවින් සුන්ඳර වූ ඇය ඉහළ අධ්‍යාපනයක් ලැබූ කාන්තා චරිතයක් විය. ලෝ ප්‍රකට හාවඩ් සහ ඔක්ස්ෆර්ඩ් සරසවි වෙතින් ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා සිටි බෙනාසීර්ගේ දේශපාලන ජීවිතය නම් ඇය තරමට සුන්දර නොවූයේ දේශපාලනයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීමට ඇය හට සිදු වූ නිසාය.

පාකිස්ථානු දේශපාලන කරළියේදී - බීබී සහ යකඩ ගැහැනිය ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින් වූ බෙනාසීර් ඇය ගැන ලියූ චරිතාපදානයෙහි ඇය ගැන සඳහන් කර තිබුණේ, නැගෙනහිර දියණිය  නමිනි. 

මතුපිටින් පෙනුණු සුන්දරත්වයට වඩා ඇතුළාන්තයෙන් අර්ථාන්විත කාන්තා චරිතයක් වූ ඇය හට තුරුණු වියේදීම ජීවිතය පූජා කිරීමට සිදු වූයේ දකුණු ආසියාවේ අළු යට ගිනි ඇති දේශපාලන ස්වභාවය නිසාය. සාහසික වෙඩි පහරකට නතුව සුන්දර බෙනාසීර් ජීවිතක්ෂයට පත් වූයේ 2007 දෙසැම්බර් 27 දාය.

 කසිමිරා පුරුන්ස්කිනේ - ලිතුවේනියා 

ලිතුවේනියාවෙන් ලෝක දේශපාලන කරළියට පැමිණ සිටි ඇය ද එරට ශක්තිමත් පවුලකින් පැවත ආ කාන්තාවක වූවාය. ඇයගේ පියා ඝාතනය කෙරුණේ ඇය ළමා වියේ සිටියදීය. ඒ අවාසනාවන්ත සිදුවීම් හමුවේ අධ්‍යාපනය කඩා කප්පල් කර නොගත් ඇය උපාධිධාරිනියක ලෙස සමාජ කරළියට පැමිණ කාන්තා භූමිකාවට අරුතක් ලබා දීමට සමත් විණි.

ඇයගේ අගමැති භූමිකාව සීමා වූයේ දින 299 ක කාලයකට පමණකි. මේ වන විට ඇයගේ වයස අවුරුදු 81 කි.


අන්තර්ජාල හා වෙනත් තොරතුරු ඇසුරෙන්

  • සඳුන් ගමගේ