ආචාර්ය සුජානියා
|
එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි. එම වික්‍රමය, එවකට මිහිමත සිටි හැම කඳු නගින්නකුගේ ම සිහිනයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ලෝකයේ උස ම කඳු ශිඛරය ලෙස සැලකෙන උසින් මීටර 8,800 ක් වන එවරස්ට් ශිඛරය ද කුරුමිට්ටෙකු කරන අලුත් සොයාගැනීමක් විද්‍යාඥයන් පසුගිය දා ලොවට අනාවරණය කරනු ලැබුණි.
ඒ, කිලෝමීටර 1000 ක් (සැතැපුම් 620ක්) තරම් උස කඳු දෙකක් සොයා ගනිමිනි. ඔබ කඳු නඟින්නකු නම් - මේ පුවත අසා කලබල විය යුතු නැත. හේතුව, ඔබට කිසි දිනෙක මේ කඳු තරණය කිරීමට අවස්ථාවක් උදා වන්නේ නැත.
මේ විස්මිත යෝධ කඳු දෙක සොයා ගැනීමට සමත් වූයේ - නෙදර්ලන්තයේ යූට්රෙක් විශ්ව විද්‍යාලයේ භූ කම්පන විද්‍යාඥයන් පිරිසක් විසින් කරනු ලැබ පර්යේෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙසය.
එම පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ කාන්තාවක වීම විශේෂත්වයකි. ඇය යූට්රෙක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආවෙන් ෆෙඩෝරා ඩුවෙස් ය. ඇය භූ කම්පන විද්‍යාව හා පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ විශේෂඥවරියකි.
පර්යේෂකයන් පැහැදිලි කරන ආකාරයට - මේ දැවැන්ත කඳු දෙක පිහිටා ඇත්තේ අප්‍රිකාවට එපිටින් පැසිපික් සාගරය යට, පෘථිවියේ මැන්ටලයත් (ප්රවාරණයත්) හරයත් අතරය. එනම්, පෘථිවියේ බාහිර කටුවට (කබොලට) යටින් ඇති අර්ධ ඝන කොටසේය. ඒ අවට යට කරගෙන ඇත්තේ කැඩුණු බිඳුණු භූ කාරක තැටිවල සුන්බුන් වගයකි. ඒ භූ කාරක තැටි බිඳී ගොස් ඇත්තේ වසර බිලියන ගණනකට පෙර පෘථිවියේ හැපුණු විශාල ග්‍රහ වස්තුවක් නිසා යැයි පැවැසෙයි.
පෘථිවි මැන්ටලයට (ප්රවාරණයට) යටින් දැවැන්ත ව්‍යුහයන් කීපයක් මිහිදන් වී ඇති බව දශක ගණනක පුරා විද්‍යාඥයන් දැන සිටි කරුණකි. ඒවා හඳුනා ගැනීමට නොහැකි වූයේ, එකල ඒ සඳහා විද්‍යාත්මක ක්‍රම හා උපකරණ නොමැතිවීම නිසාය. කෙසේ නමුත් අද විද්‍යාඥයන්ට භූ කම්පන නිසා ඇති වන ප්‍රකම්පන තරංග පෘථිවි අභ්‍යන්තරය හරහා විහිදෙන විට ඒවා සියුම් ලෙස මැනීමට හැකියාව පවතී.
පෘථිවිය තුළ අති ප්‍රබල භූ කම්පනයක් ඇති වූ විට - එයින් පෘථිවිය සීනුවක් මෙන් නින්නා ද වෙයි. ඒ කම්පන තරංග පෘථිවියේ එක් කොටසක සිට අනෙක් කොටසට පැතිරෙයි. මේ කම්පන තරංග මෙසේ යද්දී වැඩි ඝනත්වයක් ඇති හෝ වැඩි උෂ්ණත්වයක් ඇති කොටසක් හරහා යෑමට සිදුවුවහොත්, ඒවායේ දුර්වල වීමක් හෝ පරාවර්තනය වීමක් දකින්න ලැබේ.
ඒ අනුව, පෘථිවියේ කම්පනයක් ඇති වූ පැත්තේ සිට විහිදෙන තරංග ශක්තිය, ගැන විමසිල්ලෙන් පසුවන විද්‍යාඥයන්ට ඒ අතර ඇති බාධකයේ ස්වභාවය තේරුම් ගැනීමටත්, ඒ වගේ ම එහි ඇති දේ කුමක් දැයි නිගමනය කර ගැනීමටත් පුළුවනි.
මැන්ටලයට යටින් ඇති විශාල ප්‍රදේශ කීපයක් හරහා එන කම්පන තරංග ලොකු වෙනස් වීමක් ඇතිව නිකුත් වන බව විද්‍යාඥයන්ට පසුගිය වසර ගණනාව තිස්සේ මේ භූ කම්පන තරංග සියුම් ලෙස පරීක්ෂා කිරීමෙන් පසු සොයා ගැනීමට හැකිවිය. ඒ ප්‍රදේශ ඔවුන් හඳුන්වන්නේ, කම්පන ප්‍රවේග විශාල ලෙස වෙනස් වන කලාප (Large Low Seismic Velocity Provines) එනම් කෙටියෙන් (LLSVP) යනුවෙනි.
මේ පිළිබඳව ඔවුන් කළ පර්යේෂණයෙහි අධ්‍යයන වාර්තාව එළිදක්වමින්, මහාචාර්ය ඩුවෙස් පවසන්නේ, මෙසේ කම්පන තරංග ශක්තිය වෙනස් වීමට හේතුව මේ (LLSVP) බාධකය බවයි.ඒක හරියට ඔබට දේශගුණය සිසිල්ව පවතින තරම් වේගයෙන් උණුසුම වැඩි වූ විට දුවන්න බැරි වෙනවා වගෙයි යනුවෙනි. වැඩි උෂ්ණත්වයක් ඇති විට මේ තරංගවලට ඒ හරහා යෑමට වැඩි ශක්තියක් වැය කිරීමට සිදු වෙයි.
මෙම අධ්‍යයනයේ සම සංස්කාරකවරිය වන සුජානියා තලවේරා සෝසා පෙන්වා දෙන්නේත්, එවැනිම අදහසකි. අධික උෂ්ණත්වයක දී ඔබේ දිවීමේ ශක්තිය අඩුවෙනවා මෙන් මේ කම්පන ශක්තිය විහිදීමේ එහි ශක්තියත් වෙනස් වෙයි. මෙහිදී ලැබුණු දත්ත පිරික්සූ විද්‍යාඥයන් ඔවුනට දක්නට ලැබුණු දෙයින් පුදුමයට පත් විය.
’අප අපේක්ෂා නොකළ දෙයක් අපට හමුවී තිබෙනවා. (LLSVP) කොටසෙහි තද ගතියට වඩා ටිකක් තෙත් ගතියක් තිබෙන බවක් අපට පෙනී ගියා. ඒ කලාප හරහා එන කම්පන තරංගවල ශබ්දය වැඩි බවක් පෙනුණා. අපට වැඩිපුර තෙතමන ගතියක් දක්නට ලැබුණු ඒ අවට අනෙක් ප්‍රදේශවල ඉතා මෘදුවටයි අසන්ට ලැබුණේ.’
ආචාර්ය සුජානියා එය පැහැදිලි කළාය.
’ඝට්ටනයේ දී පෘථිවිය ඇතුළට ගිය තැටිවල පාෂාණ කැබලි තෙත් ගතියෙන් වැඩි වූයේ හරය දෙසට යද්දී ප්‍රති ස්ඵටිකකරණයට ලක් වීමෙන් ඒවා සැහැල්ලු ව්‍යුහ බවට පත් වීම නිසයි. මෙයින් අදහස් කෙරෙන්නේ ඒ කඳු සෑදී ඇත්තේ ඒ වටා ඇති තැටිවල කැබලිවලට වඩා මඳක් ලොකු කැබලි වලින් බවත්, ඒ වගේ ම ඒවා අතරින් යන කම්පන තරංගවලින් ශක්තිය උරා නොගන්නා බවත් තමයි.’ ආචාර්ය සුජානියා වැඩි දුරටත් මෙසේ කීවාය.
’‘මේ ඛනිජ කැබලි අංශු එක් රාත්‍රියක් ඇතුළත ඇති වන දේ නොවෙයි. ඒවා ගැන එකක් කිව හැකියි. මේ ඛඛීVඡ කොටසෙහි ඇති ද්‍රව්‍ය ඒ අවට බිඳී ගිය තැටිවලට වඩා මිලියන ගණනක් වයසැති ඒවා බවයි.’
පර්යේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව පොළොව යට මහ කඳුවල වයස අඩු තරමින් වසර මිලියන 500 ක් තරම්ය. සමහර විට ඒවායේ වයස ඊට බොහෝ වැඩි විය හැකිය. ඒවා පෘථිවිය තරම්ම පැරණි නොවන්නත් පුළුවනි. මෙයින් මෙතෙක් සම්ප්‍රදායිකව පැවති අදහස වූ මැන්ටලය වෙනස් නොවී, දිගටම පවතිනවා යන මතයට පහරක් වදී. එහෙත්, මැන්ටලය ඇත්තෙන්ම ද්‍රවයක් නොවූවත් එය ඉතා දීර්ඝ කාලීන කාල රාමු අනුව ද්‍රවයක් මෙන් චලනය වන බව දැන් විද්‍යාඥයන්ගේ අදහසය.
විද්‍යාඥයන් කලින් සිතා සිටියේ මැන්ටලය ගලා යන ධාරා නිසා හොඳින් මුසු වී ඇති බවය. ඒත් මේ ව්‍යුහයන් වසර බිලියන ගණන් පැරණි ඒවා නොවෙනස්ව පවතිනවා පමණක් නොව මැන්ටලයේ සංවහනය නිසා වෙනස් වෙතැයි සිතිය නොහැකි බව ඔවුහු පවසති.
පර්යේෂකයන් පවසන්නේ, අප චන්ද්‍රයා සෑදුණේ අඟහරු තරම් ප්‍රමාණයේ ග්‍රහ වස්තුවක් පෘථිවිය තුළට කඩා වැදීමෙන් බවය. ඒ බිහිසුණු ගැටුමෙන් ඒ ග්‍රහ වස්තූන් දෙකෙහිම උණු වූ පාෂාණ අවකාශයට විසි වන්නට ඇත. ඒවා පසුව සිසිල් වීමෙන් චන්ද්‍රයා සෑදෙන්න ඇත. ඒත් චන්ද්‍රයා බොහෝ සේ කුඩා බැවින්, අවකාශයට විසිවුණු අනෙක් කොටස්වලට කුමක් සිදුවුණේ දැයි යන ප්රශ්නය මතුවිය.
ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් කියන්නේ, මේ (LLSVP)කොටසෙහි ඇත්තේ ඒ ග්‍රහයාගේ ගැටුමෙන් පෘථිවියෙහි රැඳුණු කොටස් විය හැකි බවය. පර්යේෂණාත්මක සසඳා බැලීම් ගණනාවකින් පසු විද්‍යාඥයන් තීරණය කළේ පෘථිවියෙන් සියයට දෙකක් තරම් වන කොටසක් පුරාණ පෘථිවියේ පහළ මැන්ටලය තෙක් ඇතුළට කිඳා බසින්නට ඇතැයි කියාය. මේ කරුණුවලින් මේ කලාපයේ උෂ්ණත්වයෙන් වැඩි වුණේ ඇයි දැයි කියා අපට පැහැදිලි වෙයි. එමෙන්ම, මේ කලාපවල පාෂාණ, ඒ අවට පාෂාණවලට වඩා ඝනත්වයෙන්, උෂ්ණත්වයෙන් හා වයසින් වැඩි වීමට හේතුව එයින් තවදුරටත් පැහැදිලි වෙයි.
වසර බිලියන 4.45 කට පෙර, සෞරග්‍රහ මණ්ඩලය බිහි වී වසර මිලින 150 පමණ පසු, අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණයේ ග්‍රහයෙක් පෘථිවියේ ගැටුණි. විද්‍යාඥයන් ඊට නම් තබා ඇත්තේ තෙයියා යනුවෙනි. ඒ ප්‍රචණ්ඩකාරී මහා ගැටුම හේතුවෙන් පෘථිවියෙන් කොටසක් සුන්බුන් ආදිය ධූලි වලාවක් ලෙසින් අවකාශයට විසිවිය. ඒ සුන්බුන් හා දූවිලි බොහෝ කැලතී තදින් මුසු වීමෙන් පසු බිහි වූ ගෝලාකාර වස්තුව අපේ චන්ද්‍රයාය.
ඒ නිසා චන්ද්‍රයාගේ පස් හා පෘථිවියේ පස්වල සමානකමක් ඇති බව පෙනුණි. ඒ බව හෙළිදරව් වූයේ නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු ඇපලෝ අභ්‍යවකාශ ගාමීන් සඳ වෙත ගොස් ගෙනා පස් සැසැඳීමෙන් අනතුරුවය. චන්ද්‍රයාගේ හා පෘථිවියේ සමානකමට අදාළව මත ගණනාවක් වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර ඇත. මේ ග්‍රහලෝකයට එම නම තැබුවේ ග්‍රීක මිථ්‍යා කතාවල එන ටයිටන් අනුව යමිනි. ඒ ග්‍රීක ප්‍රවාදයේ එන ටයිටන්ගේ මව වූ සෙලීන්, සඳට අධිපති දෙව්දුවය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි