ලංකාවේ සුප්‍රකට රජයේ නිලධාරියෙකු විසින් 2021 මැයි 21 දින ලංකාවේ ඉතිහාසය වෙනස් කරනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත. ඔහු අන් කිසිවෙකු නොව එවකට නීතිපති ධූරය දැරූ දප්පුල ද ලිවේරා ය. ලිවේරා විශ්‍රාම ලැබීමට තිබුණේ මැයි 26 දිනයි. ඊට මාස කිහිපයකට පෙර ඔහු, තමන් කතෝලික බැතිමතෙකු බැවින් ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ආරම්භයේ සිට තමන්ගේ අධීක්ෂණයේ පැවැති බැවින් ද නඩු පැවරීමට ඇත්තේ තව කෙටි කාලයක් බැවින් ද නඩු පවරන තුරු තමන්ට සේවා දිගුවක් ලබා දෙන මෙන් ජනපතිවරයාගෙන් ඉල්ලීය. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
මැයි 21 දින මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ, පාස්කු ප්‍රහාරය පිටුපස දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බවයි. බොහෝ දුරට එකී ප්‍රකාශය කරන්න ඇත්තේ සේවා දිගුවක් ලබා ගැනීමට විය හැක. නැතහොත් සේවා දිගුව ලබා නොදීම පිළිබඳ පළිගැනීමට විය හැක. කෙසේ වෙතත්, එය විපක්ෂයට මෙන්ම සමාජ මාධ්‍යවලට ද, තලු මරමින් හපන්නට රසැති චුවින්ගම් එකක් විය. එබැවින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙකු පිළිබඳ විවිධ කුමන්ත්‍රණ න්‍යායන් සමාජයේ මතු වෙන්නට විය. වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්සට අනුව, මහ මොළකරු ඉන්දියානු ආණ්ඩුවය. සිරිල් ගාමිණි පියතුමාට අනුව ඔහු අබු හින්ද් ය. තව පිරිසකට ඒ සොනික් සොනික්ය. තවත් පිරිසකට ඒ නවුෆර් මවුලවි ය. තවත් පිරිසකට ඒ රාජපක්ෂවරු ය.
2021 ඔක්තෝබර් මස වෙන විට පොලිසිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 751කි. එයින් විසිපස් දෙනෙකුට චෝදනා 23,270ක් යටතේ 2021 ඔක්තෝබර් 4 දින මහාධිකරණයේ නඩු පවරන ලදී. ඒ අනුව, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට ආණ්ඩුව නඩු පැවරුවේ, ප්‍රහාරය සිදු වී වසර දෙකහාමාරක් ඇතුළතය. 2001.09.11 දින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සහ 2015 ප්‍රංශයේ පැරිස් නුවර පිපිරවීම් මාලාවට නඩු දැමීමට ඒ රටවල් ගත් කාලයට සාපේක්ෂව ලංකාණ්ඩුව ඉතාම කාර්යක්ෂමව කටයුතු කර තිබුණි. වගකිවයුත්තන්ට නඩු පැවරීමෙන් පසු ද, මහ මොළකරු සොයන මාධ්‍ය - දේශපාලන හවුල් මෙහෙයුම නම් අවසන් නොවිණි.
2023 වසර ඇරඹෙන්නේ මහ මොළකරු පිළිබඳ විවාදයෙන් රටම ගිනි ගන්නා තරමට ගිනියම් කරමිනි. එබැවින් හිටපු නීතිපතිවරයා කැඳවා ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කර මේ ගින්න නිවා දැමීමට ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව, ඔහුගේ ආන්දෝලනාත්මක කතාව පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට, 2023 අප්‍රේල් 19 දින රහස් පොලිසියට පැමිණෙන මෙන් ඔහුට දැනුම් දෙන ලදී. ඔහු සීඅයිඩියට නොපැමිණියත් ඔහුගේ නීතිඥයා පිටු හතක ලිපියක් පොලිසියට භාර දෙන ලදී. නඩු තීන්දු සහ නීති සිද්ධාන්ත උපුටා දක්වමින් සකසා තිබුණු එම ලිපියේ හරය වූයේ, තමන්ගේ ප්‍රකාශයට පදනම් වුණේ තම සේවාලාභීන් විසින් ලබා දුන් තොරතුරු බැවින්, සේවාලාභියෙකු නීතිඥයෙකුට ලබාදෙන තොරතුරු පිළිබඳ, පොලිසියට පමණක් නොව අධිකරණයට පවා ප්‍රශ්න කළ නොහැකි බව පෙන්වා දෙමින්, පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි.
මහ මොළකරු පිළිබඳ විවාදය ලංකාවේ උණුසුම් වෙන අතරේ, ඊට වසර ගණනාවකට පෙර ඇමෙරිකාවේ එෆ්බීඅයි නැතිනම් Federal Bureau of Investigation (FBI) ආයතනය නවීන තාක්ෂණය සහ සිය පුළුල් වූ අත්දැකීම් ඇසුරෙන් මහ මොළකරු කවුදැයි විසඳා තිබුණි. ඒ එෆ්බීඅයි වෙනුවෙන් එහි විශේෂ නියෝජිත, මෙරිලි ගුඩ්වින් විසින් 2020 මධ්‍යම කැලිෆෝනියා දිසා අධිකරණයට ඉදිරිපත් කළ පිටු 72ක දිවුරුම් ප්‍රකාශයක් මගිනි. ලංකාවේ සිදුවුණු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තීරණය කිරීමට ඇමෙරිකාවේ එෆ්බීඅයි සතු හැකියාව සමහරුන්ට ප්‍රශ්නයක් විය හැක. එබැවින් එෆ්බීඅයි යනු කවුදැයි යන්නත් එෆ්බීඅයි පාස්කු ප්‍රහාරයට මැදිහත් වුණු ආකාරය පිළිබඳවත් අපේ අවධානය යොමු කරමු.
ඇමෙරිකානු මධ්‍යම ආණ්ඩුවේ ප්‍රධානතම අපරාධ විමර්ශන ආයතනය එෆ්බීඅයි වේ. එය සතු දැවැන්ත සම්පත්, නවීන තාක්ෂණය සහ පුළුල් අත්දැකීම් හේතුවෙන් ලොව අංක එකේ අපරාධ විමර්ශන ආයතනය ලෙස සැලකෙන්නේ එෆ්බීඅයි ය. අබිරහස් අපරාධ විසඳීමට තමන්ගේ ආයතන අසමත් වෙන විට බොහෝ රටවල් එෆ්බීඅයි ආයතනයට තමන්ට සහාය වෙන මෙන් ආරාධනා කරයි. නමුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයන්ට එෆ්බීඅයි මැදිහත් වුණේ ස්වෙච්ඡාවෙනි. ඊට හේතු දෙකකි. මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතිකයින් මිය ගොස් තිබුණි. ඊටත් වඩා වැදගත් වුණේ, ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති, ඇමෙරිකාවේ තහනම් සංවිධානයක් වෙන අයිඑස්අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාර ගැනීමයි.
පාස්කු ප්‍රහාරය සිදු වුණේ 2019 අප්‍රේල් 21 දිනයි. ඊට දින දෙකකට පසු අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නිල පුවත් ඒජන්සිය වන ‘‘අමාක්’’ විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි. ඊට අමතරව, ඔවුන් වීඩියෝ පටයක් ද නිකුත් කර තිබුණි. එහි තිබුණේ, පුද්ගලයන් හත් දෙනෙකු කළු ඇඳුම් ඇඳ කිණිසි අත් දරා, මුහුණු සඟවා ගෙන අයිඑස්අයිඑස් ධජය ඉදිරිපිට සිටියදී මුහුණ ආවරණය කර නොගනිමින් සහරාන් හසීම් කරන ප්‍රකාශයකි. ඔහු එහි දී ප්‍රකාශ කර සිටියේ, නවසීලන්තයේ දී පල්ලි තුළ යාච්ඤා කරමින් සිටි මුස්ලිම්වරුන් මරා දැමීමට පළි ගැනීම සඳහා තමන් ක්‍රිස්තියානින් ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ල කරන බවයි.
මේ අතරේ, අප්‍රේල් 26 දින සහරාන්ගේ සයින්දමරුදු නිවස වටලන පොලිසියට, ත්‍රස්තවාදීන් සමග වෙඩි හුවාමාරුවකට මුහුණ දීමට සිදු විය. සහරාන්ගේ බිරිඳ සහ දරුවන් බේරාගැනීමට හැකි වුවත්, ත්‍රස්ත කල්ලියේ නායකයෙකු වන සහරාන්ගේ සොයුරු රිල්වාන් ඇතුළු එතැන සිටි බහුතරය බෝම්බ පුපුරුවා ගෙන මරණය පත් විය. අප්‍රේල් 27 දින අමාක් ඒජන්සිය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරින් සහ අයිඑස්අයිඑස් සටන්කරුවන් අතර පැවැති වෙඩි හුවමාරුවක දී පොලිස් නිලධාරින් 17 දෙනෙකු තුවාල කිරීමට හෝ මරා දැමීමට තම සටන්කරුවන් සමත්වුණු බවයි. එයින් පෙනුණේ, දෙවැනි පෙළ නායකයන් පවා මරණයට පත් වී හෝ අත්අඩංගුවට පත් වී සිටි අවස්ථාවක පවා, අයිඑස්අයිඑස් නායකයන් සමග සන්නිවේදනයේ යෙදුණු අය ඉතිරි වී සිටි බවයි. අප්‍රේල් 29 දින අමාක් නිකුත් කළ වීඩියෝවකින්, අයිඑස්අයිඑස් නායක අල් බග්දාදි, විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ, ඊට පෙර මාසයේ දී, සිරියාවේ දී අයිඑස්අයිඑස් සංවිධානයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හමුදා එල්ල කළ විනාශකාරි ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස තමන් පාස්කු ප්‍රහාරය එල්ල කළ බවයි.
ලොව ඕනෑම තැනක එල්ල කරන අයිඑස්අයිඑස් ප්‍රහාරයක් ගැඹුරින් අධ්‍යනය කිරීම, තම රටට අනාගතයේ දී එල්ල වීමට නියමිත ප්‍රහාරය කල් ඇතිව හඳුනා ගැනීමට ඇති අගනාම ක්‍රමය ලෙස ඇමෙරිකානු ආණ්ඩුව සිතන්නට ඇත. එබැවින් ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කිරීමට ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු අතර ලංකාණ්ඩුව ද එය දුටුවේ තමන්ට ඇදුණු ලොතරැයියක් ලෙසයි.
පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ එෆ්බීඅයි කණ්ඩායම, 2019 අප්‍රේල් සිට 2020 අප්‍රේල් දක්වා වසරක් පුරා වරින් වර ලංකාවේ රැඳී සිටිමින් ඉතා ගැඹුරු විමර්ශනයක් සිදු කළේය. සීඅයිඩී පරිශ්‍රයේ දී සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සියලුදෙනාගෙන්ම ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරන ලදී. සමහරු මහමොළකරු ලෙස හැඳින් වූ, ශ්‍රී ලංකා අයිඑස්අයිඑස් හී නියෝජ්‍ය නායක වුණු මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවිගෙන් අවස්ථා හතරක දී ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. එමෙන්ම බෝම්බ පුපුරුවන ලද ස්ථාන මෙන්ම, ආරක්ෂිත නිවාසවල දී හමුවුණු දෑ ඇමෙරිකානු පර් යේෂණගාර තුළ තියුණු පරීක්ෂාවන්ට ලක්කර ඇත. ත්‍රස්තවාදීන්ගේ ජංගම දුරකතන සහ පරිගණකවල තිබුණු තොරතුරු පමණක් නොව මකා දමා තිබුණු තොරතුරු ද ප්‍රකෘති කර ගැඹුරු විශ්ලේෂණයකට ලක් කරන ලදී. එමෙන්ම, අයිඑස්අයිඑස් සංවිධානය විසින් සපයා තිබුණු සඟරා, විෂය නිර්දේශ, පුහුණු නිබන්ධන සහ ප්‍රචාරක වැඩසටහන් ගැඹුරු අධ්‍යයනයකට ලක් කරන ලදී. මෙම ගැඹුරු අධ්‍යයනයට ඉහළම දායකත්වය සැපයුවේ, ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුණු ඉල්හාම් අහ්මඩ් ය. ඔබ දන්නා අයුරින් කිව්වොත්, මොහොමඩ් ඊබ්‍රාහිම් හෙවත් ඊබ්‍රහිම් නානාගේ මරාගෙන මැරුණු එක් පුතෙකි. ඔහු ෂැන්ග්‍රිලා හෝටලයට පැමිණි මෝටර් රථයේ තිබි හාඩ්ඩිස්ක් එකක් හමු විය. එහි මුරපද බිඳ, ප්‍රමාණයෙන් ටෙරා බයිට් එකකට වැඩි දැවැන්ත තොරතුරු ප්‍රමාණයක් අධ්‍යනය කිරීමට විමර්ශකයන්ට හැකි විය.
එහි තිබී, අයිඑස්අයිඑස් සංවිධානය විසින් සපයා තිබුණු සඟරා, විෂය නිර්දේශ, පුහුණු නිබන්ධන සහ ප්‍රචාරක වැඩසටහන් පමණක් නොව අයිඑස්අයිඑස් නිල සඟරාව වන “ඩාබිග්”හි ප්‍රකාශන විශාල ගණනක් ද හමු විය. එමෙන්ම අයිඑස්අයිඑස් සංවිධානයේ නිල අන්තර්ජාල සඟරාව වන “රුමියාහ්”හි ප්‍රකාශන වාර තොග පිටින් මෙම හාඩ් ඩිස්ක් හී තිබී ඇත.
මේ සියල්ල අවසානයේ, එෆ්බීඅයි එළැඹුණු නිගමනය නම් මේ ප්‍රහාර සැලසුම් කළ මහ මොළකරු වන්නේ වෙනත් අයෙකු නොව, ජාතික තව්හිත් ජමාත්හි නායක ලෙස අප දැන සිටි ඇත්තෙන්ම අයිඑස්අයිඑස් - ශ්‍රී ලංකා හී නායකයාව සිටි සහරාන් හසීම්ය. ඔහුව ඒ සඳහා පොලඹවා ඇත්තේ අයිඑස්අයිඑස් නායකයන්ය. ඔහුගේ මනස ඒ සඳහා සැකසූ අයුරුත්, ඔහු ප්‍රහාරය සැලසුම් කළ අයුරුත් මෙරිලි ගුඩ්වින් විසින් දිවුරුම් ප්‍රකාශයක් හරහා මැනවින් පැහැදිලි කර ඇත. මීට සමගාමීව, නමුත් ස්වාධීනව පරීක්ෂණයක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ද මෙම නිගමනයටම එළැඹීම කාගේත් අවධානය යොමු විය යුතු කරුණකි. එමෙන්ම, ලොව සිටින විශිෂ්ටතම ත්‍රස්ත විශේෂඥයෙකු වන මහචාර්ය රොහාන් ගුණරත්න විසින් ද ලංකාණ්ඩුවේ ඇරයුමෙන් මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් කරන ලදී. ඔහුගේ නිගමනය වුයේ ද අයිඑස්අයිඑස් නායකයන්ගේ පෙලඹවීම මත, සහරාන් මෙම ප්‍රහාරය සැලසුම් කර සිදු කළ බවය. ඒ පිළිබඳ “Sri Lanka’s Easter Sunday Massacre” නමින් ඔහු පොතක් ද පළ කර ඇත.
සහරාන් නායකයා නම්, ඔහු සිය දිවි නසා ගනීවි ද යන ප්‍රශ්නය බොහෝ කුමන්ත්‍රණ න්‍යායන් (conspiracy theories ) ඉදිරිපත් කරන අය ප්‍රශ්න කරති. ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ද එෆ්බීඅයි නිලධාරින්ගේ අවධානය යොමු වී ඇත. ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදින්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙන්ම ලේඛන අධ්‍යනයේ දී ද මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සිදුකර ඇත. මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට සහරාන් සැලසුම් කර ඇත්තේ 2017 සිටය. ඒ සඳහා ඔහුට පෙලඹවීම ලැබී ඇත්තේ අයිඑස්අයිඑස් නායකයන්ගෙනි. වෙනත් පිරිසක් යොදවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනු වෙනුවට, තමන්ම ඊට නායකත්වය දීමට ද ඔහුට හේතුවක් තිබිණි.
කාත්තන්කුඩි හී දී සූෆි මුස්ලිම්වරුන් මරා දැමීම ද ඇතුළු ඔවුන්ට විවිධ හිරිහැර කිරීම හේතුවෙන් මෙන්ම, මාවනැල්ලේ බුදු පිළිමය විනාශ කිරීම හේතුවෙන් ද සහරාන් දිගු කලක් තිස්සේ පොලිසිය විසින් සොයමින් සිටි පුද්ගලයෙකි. තමන්ගේ සුරක්ෂිතම ආරක්ෂිත නිවස ලෙස සැලකූ වනාතවිල්ලුව ලැක්ටෝ වත්තට පොලිසිය කඩා පැනීමෙන් පසු, තමන් පොලිසියට හසුවීමට ඉතා ආසන්න බවට සහරාන් තේරුම් ගෙන ඇත. පොලිස් අත්අඩංගුවට පත්වෙනු වෙනුවට, මරාගෙන මැරෙන ප්‍රහාරයක යෙදීම තමාට ඇති හොඳම විකල්පය ලෙස සහරාන් දැක ඇත. මේ පිළිබඳ වැඩි විස්තර එෆ්බීඅයි නිලධාරින්ට සපයා ඇත්තේ සහරාන්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මවුලවි ය.
සහරාන් සහ නවුෆර් මවුලවි මුණ ගැසෙන්නේ 2004 තරම් ඈතක දී කාත්තන්කුඩි හි පිහිටි මද්‍රසා පාසලක දීය. අන්තවාදී වහාබ්වාදයට ආකර්ෂණය වුණු මේ දෙදෙනා, විවිධ වහාබ්වාදි සංවිධානවලට බැඳුණු නමුත් පසුව නවුෆර් මවුලවි රැකියාවක් සඳහා විදෙස් ගත වේ. තමන් සිටින සංවිධානය නිතර මාරු කළ සහරාන්, 2009 දී ජාතික තව්හිත් ජමාත් සංවිධානය තමන්ගේ නායකත්වයෙන් බිහි කරයි. අයිඑස්අයිඑස් වර්ණනා කරමින් එහි ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටියත්, 2017 අග වෙන තුරුම ඔහුට අයිඑස්අයිඑස් සංවිධානය සමග සෘජු සබඳතා නොතිබුණි.
2017 දී සහරාන්, නවුෆර්, මිල්හාන්, හස්තූන් සහ රිල්වාන් ඇතුළු පිරිසක් කැලයකට ගොස්, අවි දරාගෙන පටිගත කළ වීඩියෝවකින් අයිඑස්අයිඑස් සංවිධානයට සහ එහි නායක අල් බග්දාදිට සිය පක්ෂපාතිත්වය ප්‍රකාශ කර ඇත. පසුව එම වීඩියෝව සිරියාවේ අයිඑස්අයිඑස් වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලාංකික ඥාතියෙකු හරහා අල් බග්දාදි වෙත යවා ඇත. සහරාන්ගේ කණ්ඩායම අයිඑස්අයිඑස් - ශ්‍රී ලංකා ලෙස පිළිගැනීමටත්, එහි නායක ලෙස සහරාන්ව පත් කිරීමටත් අයිඑස්අයිඑස් තීරණය කර ඇත්තේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුය. ඉන්පසු සහරාන් විසින් තම දෙවැනියා ලෙස නවුෆර් මවුලවි පත් කර ඇත.
සහරාන් තම කණ්ඩායමට ප්‍රකාශ කර ඇත්තේ, අයිඑස්අයිඑස් නායකයන් තමන් සමග කතා කරන්නේ ‘‘ටෙලිග්‍රෑම්’’ නම් ඇප් එකෙන් බවයි. ටෙලිග්‍රෑම් යනු ඇමෙරිකානු වට්ස්ඇප් මෙන්ම ජනප්‍රිය රුසියානු සන්නිවේදන ඇප් එකකි. අයිඑස්අයිඑස් සංවිධානය තම විෂය නිර්දේශ, පුහුණු පාඨමාලා සහ ප්‍රචාරක ද්‍රව්‍ය ලබා දුන්නත් මුදල් එවූ බවට සාක්ෂි නැත. විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ, මුදල් යෙදවීම සම්පූර්ණයෙන්ම කර ඇත්තේ ඊබ්‍රහිම් නානාගේ පුත් ඉල්හාම් බවයි.
වෙළෙඳපොළෙන් මිල දී ගත හැකි ද්‍රව්‍ය ඇසුරෙන් සහරාන් බෝම්බ සැකසූ ආකාරයත්, බෝම්බ සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගත්තේ කාගෙන් ද යන්නත් මෙම වාර්තාවේ විස්තරාත්මකව ඇත. ඒ පිළිබඳ මේ ලිපියේ නොලියන්නේ පාඨකයා ද එවැනි අත්හදාබැලීම් කිරීමට පෙලඹිය හැකි හෙයිනි.
මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා සහරාන් විසින් හෝටල් සහ පල්ලි තෝරාගැනීමට හේතු පහක් සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇත. බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පෙර, සහරාන් ඒ පිළිබඳ උපදෙස් ලබා ඇත්තේ අයිඑස්අයිඑස් නායකයන්ගෙනි. ඔවුන් කතෝලික පල්ලි ඉලක්ක කිරීමට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් දෙවියන් විශ්වාස නොකරන අය තොග පිටින් මරා දැමිය යුතුය යන පදනමිනි. හෝටල් ඉලක්ක කර ඇත්තේ සිරියාවේ තමන්ට එරෙහිව සටන් කරන බටහිරයින් ගොදුරු කර ගැනීමටයි. නවුෆර් මවුලවි පවසන අයුරින්, ලංකාවේ ඇති චීන දේපළ ඉලක්ක කරන මෙන් අයිඑස්අයිඑස් නායකයන්ගෙන් සහරාන්ට උපදෙස් ලැබී ඇත. ෂැංග්‍රිලා හෝටලය ඉලක්ක කර ඇත්තේ එබැවිනි. සහරාන් මෙම ප්‍රහාරයට පෙළෙඹවීම සඳහා, ඉරාකයේ ජනාකීර්ණ ස්ථානයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් වීරත්වයට නගමින් ලියූ ලිපි ද සහරාන්ට එවා ඇත.
අයිඑස්අයිඑස් නායකයන්ගේ උපදෙස් සහ පෙලඹවීම මත, සහරාන් හසීම් විසින් සැලසුම් කර පාස්කු ප්‍රහාරය එල්ල කළ බව එෆ්බීඅයි විසින් ඉතාම තාර්කිකව සහ සාක්ෂි සහිතව මෙම දිවුරුම් ප්‍රකාශයේ තහවුරු කර ඇත. එබැවින් මහ මොළකරුවෙකු සොයා ආණ්ඩුව නාස්ති කරන කාලය වැය කළ යුත්තේ මෙම වාර්තාව සිංහල සහ දෙමළ බසට පරිවර්තනය කර සමාජ ගත කරන්නටය. එවිට ත්‍රස්තවාදින් මෙන්ම අන්තවාදින් ද මුල් අවස්ථාවේ හඳුනාගෙන අනාගතයේ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා මෙරට සිදුනොවන බවට තහවුරු කර ගත හැක.