පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු අගමැතිවරයකු හා විපක්ෂ නායකවරයකු ලෙස සහ මෙරට විධායක ජනාධිපතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහයන් 48 වසරක දේශපාලන දිගු ගමනක යෙදෙමින් ස්වකීය ජීවිතයේ 76 වැනි වියට එළැඹෙමින් සිටී. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
දේශපාලන ජීවිතයේ හිනිපෙතටම පැමිණි ඔහු 76 වැනි ජන්ම දිනය සපුරාලනුයේ ඉතා සංකීර්ණ දේශපාලනික අභියෝග රැසකට අභියෝග කරමිනි.
.එළැඹි සහශ්‍ර වර්ෂය මෙරට රාජ්‍ය නායකත්වය පොදුජන බලාපොරොත්තුව තහවුරු කරමින් පොරොන්දු දේශපාලනයේ සමාප්තිය හා ප්‍රතිපත්ති දේශපාලනයේ සමාරම්භයෙන්ද යුග පරිවර්තනයක ප්‍රාර්ථනයද රනිල්ගේ ආපදානය හා මුසුවී පවතී. එහි අඩු වැඩිය තහවුරු කිරීමෙහිලා කොරෝනා වසංගතය ද ප්‍රබල දායකත්වයක් සැපයූ බව ද සිහිකැඳවා ගත යුතුව ඇත.
රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන ආගමනය හුදු අහඹු සිදුවීමක් නොවේ. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගය පටන් ඔහුගේ පරපුරේ පූර්වගාමීහු ඊට දායක වූහ.
ජේ.ආර්. ජයවර්ධන යුගයෙහි දේශපාලනයට අත්පොත් තැබූ ඔහු චණ්ඩ මාරුත රැසකට මුහුණ දෙමින් සීත සමයෙහි දැඩි හිම කුණාටුවලට මුහුණ දෙන ඕක් ගසක් මෙන් සුරැකෙමින් සෙමින් සෙමින් නැගී සිටියේය. කිසි දිනක බලය ලුහුබැඳ නොගිය බල කඳවුරු නිර්මාණය නොකළ, හඹායෑමට වෙර නොදෑරූ ඔහු වෙත දෛවෝපගතවම නායකත්වය පැමිණියේය. මන්ද එකී නායකත්වය රැක ගනිමින් රට වෙනුවෙන් ඔහුගේ වගකීම හා යුතුකම ඉටුකළ යුතුමය. එජාපයෙන් වෙන්වී ගිය කල්ලිය පිළිබඳව ද එහි නායකත්වය ගැන ද ඔවුන්ගේ හැකියා සහ අපේක්ෂා පිළිබඳව ද රනිල් වික්රමසිංහයන්ට මනා අවබෝධයක් ඇත. සජබයට ජාතික නායකත්වය නිසි ලෙස පෙරට ගෙන යාමට හැකියාවක් තිබුණා නම් ඔහු පසුගිය ජනාධිපති සටනෙන් ඉවත් වීමට බොහෝ විට ඉඩකඩ තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ වත්මන් ජනාධිපති අනුර දිසානායක බලයට පැමිණීමය. එජාපය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි ලෙස පවතින සංකර දේශපාලනයට වගකිවයුතුය. ඒ පිළිබඳව වික්රමසිංහයන්ට අවබෝධ වන විට යම් ප්‍රමාදයක් වුණු බව සැබෑවකි. හෙතෙම වේගයෙන් නිවැරැදි වීමට උපක්‍රමශීලී වූයේය. පොහොට්ටුවත් සමග පූට්ටු වී ඔවුන්ගේ ඉණ ඉහ අතගාමින් අණපනත් 80 ක් පමණ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම පෙන්වා දීමට හැකිය. මේ අනුව අපට එළැඹීමට හැකි නිගමනය වනුයේ දුරට පෙනෙන රනිල් නොව ඔහු වෙතට ගිය විට දැක ගැනීමට හැකි වනුයේ.
අල් ජසීරා රූපවාහිනිය මගින් කල්යල් බලමින් බටලන්දට ගිනි තැබීමේ දේශපාලන කලාව ගැනත් මේ මොහොතේදී ඉතා කල්පනාකාරීව ක්‍රියාකළ යුතුව ඇත. මේ මොහොතේ කළ යුතු වන්නේ නිසි අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීමය.
ඩඩ්ලි සේනානායක රජය සමයෙහි ජාතික තරුණ සේවා සභා පනත ඉදිරිපත් කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඔවුනොවුන් අතර මතබේද පැවැති සමයේදී ජාතික තරුණසේවා සභාව තරුණ තරුණියන්ගේ හිතසුව පිණිස ආයතනයක් ලෙස ක්‍රියාත්මක නොවීය.
ජේ.ආර්. දේශපාලනයට එළඹුණු තරුණ වියේදී මහනුවර පැවැති උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමේ තරුණ සම්මේලනයේදී මෙවැනි අදහසක් ගෙනහැර පෑය.
‘අපේ රටේ දැන් වැඩියෙන්ම ඇතිවන්නේ මැතිවරණ ඉලක්ක කරගත් තරුණ පෙරමුණයි. තරුණයින්ට මෙරට සංවර්ධනයට දායක වන්නට, තම ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට සහජ හැකියා දියුණු කරගන්නට. ප්රජාතන්ත්රවාදී ජීවන ක්‍රමයකට හුරුවන්නට, දේශපාලන බේදයෙන් තොරව එකතු වන්නට තරුණ ආයතනයක් නැතිවීම අඩුපාඩුවකි. අප අනාගතයේදී එබඳු ආයතනයක් ඇතිකළ යුතුයි.’
රනිල්ගේ මුල්ම කාර්යය වූයේ ජාතික තරුණ සේවා සභාවේ කාර්යය මණ්ඩලයට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පුහුණුවක් ලබා දීමය. එහිදී ඔහු මෙසේ පැවසීය.
‘ඔබ කවර දේශපාලනයක් කළත් මට කමක් නෑ. අපි මේ රටේ වැදගත්ම කොටස වන තරුණ තරුණියන් වෙනුවෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමු.’
මැද මාවතක ගමන් කරන තරුණ ව්‍යාපාරයක හරය එලෙස අවබෝධ කරගෙන තිබිණි. එතුවක් තරුණ සේවා සභාවේ සෙවණට පැමිණ සිටියේ අතමිට සරු නැති අල්ප තරුණ පිරිසකි. පැහැදිලිව එකී පිරිස සමස්ත තරුණ ජනගහනයෙන් සුළු පිරිසකි. මධ්‍යම පාන්තික උගත් තරුණ පිරිසෙහි නියෝජනයක් තිබුණේ ම නැති තරම්ය.
ලංකාවේ නෙක දිසාවන්හි නියැදි ලෙස තෝරාගත් ගම්මාන රැසකම සමීක්ෂණ පැවැත්විණි. අවසන රනිල් සම්පත්දායකයන් රැසක් සමග වැඩමුළුවක් පැවැත්වීය.
එවැනි එක් වැඩමුළුවකදී සම්පත්දායකයකු වූ එවක රාජ්‍ය අමාත්‍යවරයා වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මෙසේ පැවසීය.
‘කවර දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී සිටියත්, මැතිවරණයකින් පසුව රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ගමේ මූලික ප්‍රශ්න විමසා බලා ඉටුකිරීම දේශපාලනයක් නොවේ. එය තෙවැනි ලෝකයේ රටකට අත්‍යවශ්‍ය ඉතා වැදගත් තරුණ සේවාවක්.’
කොක්මාදූව, බුළුතොට, අල්ගම, බේරුවල වැනි ගම්මානවල යෞවන සමාජ විසිපහක් පිහිටවිණි.
රජයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පවා සිය නියෝජ්‍ය ඇමැතිවරුන් නොසලකා හරින ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මකව සිටින විටදී පවා හෙතෙම නියෝජ්‍ය ඇමැතිවරයා වුණු ගාමිණී අතුකෝරළට නිශ්චිත වගකීම් සම්භාරයක් පැවරීය. ඔහු යෞවන සමාජ පිහිට වූ ගම්මානවල නිරතුරුවම සැරි සරමින් සිය අමාත්‍යවරයාගේ අරමුණ තහවුරු කිරීමට ඇපකැප වූයේය. ලක්දිව පුරා ගම්මානවල යෞවන සමාජ ස්ථාපිත වූයේ ඉනික්බිතිවය.
යෞවන සමාජ සඳහා නිලතල දරන්නන් තෝරා ගැනුණේ ප්‍රජාතන්ත්‍රවාදීව සාමාජික ඡන්ද බලයෙනි. සාමාජිකත්වය වසර 16 සිට 28 දක්වා පුළුල් කෙරිණි. ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ සුබසාධන කටයුතුවලට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන වෙන් කළේය. යෞවන කේන්ද්‍ර එලෙස ස්ථාපිත විය. පසු කලෙක තරුණ අසහන කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් තරුණ තරුණියන් ප්‍රකාශ කළේ යෞවන කේන්ද්‍ර වැඩ පිළිවෙළ වඩාත් පුළුල් කළ යුතු බවයි.
ලංකාව පුරා මෙවැනි සමාජ 3000 ක් පිහිටුවීමද පසුව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල මැතිවරණ කොට්ඨාස මට්ටමින් පිහිටුවීමට ද රනිල් උපදෙස් දුන්නේය. උප දිසාපති කොට්ඨාස මට්ටමින් ද ප්‍රාදේශීය මණ්ඩල පත් කෙරිණි. දිස්ත්‍රික් මට්ටමින් යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලය ගොඩනැගිණි. අවසන ජාතික මහා සම්මේලනය ස්ථාපිත කෙරිණි.
යෞවන සමාජ ජාතික මහා සම්මේලනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් යුතුව පැවැත්විණි.
යෞවන සමිති සම්මේලනය අද නිල වශයෙන් ස්ථාපනය කරන බව ප්‍රකාශයට පත් කරමින්, තරුණ සේවා සභාව හැදුවේ අපේ පක්ෂයේ තරුණයින්ට පමණක් නොවේ. සමස්ත ශ්‍රී ලාංකික තරුණ සංහතියටමයි.’
උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම අමතමින් තමා තරුණ වියේ දුටු සිහිනය ශ්‍රී ලාංකේය දේශපාලනයේ දීර්ඝතම යාත්‍රිකයාගේ ඇස් පනාපිට තහවුරු වූයේ එලෙසිනි.
ලංකාවේ යෞවන සමාජ තුන් දහසක් ස්ථාපිත වීමෙන් පසුව සහ එහි සාමාජික සාමාජිකාවන් ලක්ෂයක් ගොනුවුණු විට තරුණ මධ්‍යස්ථානයක අවශ්‍යතාව දැනුණි. මහරගම තරුණ මධ්‍යස්ථානය ඉදිකිරීමට පිඹුරුපත් සකස් කළේ ඉන් පසුවය. යෞවන සමාජයන්හි ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා නිලතල දරන්නන් තෝරා පත්කර ගැනුණේ ඡන්දයෙනි. එය තාරුණ්‍යය ප්රජාතන්ත්රවාදී ජීවන රටාවකට යහපත් අනුවර්තනයකි. වරක් එක්තරා යෞවන සමාජයක ලේකම් ධුරය හෙබවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ තරුණයකු තනතුරින් පහ කරන ලෙස මන්ත්‍රීවරයකු කළ ඉල්ලීම රනිල් තරයේම ප්‍රතික්ෂේප කළේය.
‘ඡන්දයෙන් පත්වුණු තරුණයකු ඉවත් කරන්න අපට අයිතියක් නෑ.’ රනිල් අවධාරණයෙන් පැවැසීය.
රනිල් සියලු නිලධාරීන් කැඳවමින් දිගු සාකච්ඡා පැවැත්වීය. අදහස් උදහස් ගැටුණු කල නැවුම් අදහස් පූදින්නට විය. එහි ප්‍රතිඵලය වූයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම කොට්ඨාසයකම එක් යෞවන සමාජයක් පිහිටුවීමට තීන්දු තීරණය වීමය.
මීට පෙර ජාතික තරුණසේවා සභාව යටතෙහි ක්‍රියාත්මක වූයේ ප්‍රජා ව්‍යාපෘති වැඩසටහනකි. ඒ අනුව තරුණ තරුණියන්ට මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ලබා දුන්නේය. මතුවට යමක් නොවිණි. අනතුරුව සංවිධානාත්මක තරුණ ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබිණි. දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන් පත් කෙරණි.
රට සිව්දෙස පැතිරුණු යෞවන සමාජ ව්‍යාපාරය තරුණ තරුණියන්ට ජන නායකත්වයට පත්වීමට ඇරියුම් කරමින් තිබිණි. ගමේ යෞවන සමාජයේ සිට ජාතික මට්ටමේ යෞවන සමාජ සම්මේලනය දක්වා පියවරින් පියවර, ප්‍රජාතන්ත්‍රවාදීව කරළියට නැගීමට මග හෙළිකර තිබිණි.
මේසා කැපවීමක් කළ රනිල් ස්වකීය දේශපාලන ප්‍රතිරූපය තහවුරු කරගැනීම හෝ පාලන පක්ෂයේ බල ව්‍යාපෘතිය තිර කර ගැනීමේ මෙවලමක් බවට පත්කර නොගැනීමට වග බලා ගත්තේය.
පළමුව තරුණ එකමුතුවක් ලෙස ඇරඹුණු යොවුන් පුරය වසරින් වසර සෞන්දර්ය ක්‍රියාකාරකම්, අධ්‍යාපන කඳවුරු, සංස්කෘතික සංදර්ශන, තරුණ කුසලතා පෙළහර දැක්වීම වැනි තරග ඉසව්වලින් සමන්විත වූ අතර ආදර්ශ පාර්ලිමේන්තුවක් ඡන්දයෙන් තෝරා ගැනීම මගින් දේශපාලන ක්ෂේත්රයට පිවිසීමට කැමැති පිරිසට මහඟු අවස්ථාවක් උදාවිය.
1990 දී ප්‍රාදේශීය සභා ඡන්දයේදී තරුණ නියෝජනය අනිවාර්ය කළ පසු සෑම දේශපාලන පක්ෂයකින්ම පාහේ නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවලට පිවිසීමට යෞවන සමාජ නායක නායිකාවන්ට අවස්ථාව උදාවිය. එලෙස සමාජ නායකත්වය අවබෝධ කරගත් තරුණ පරපුර ඇතැමෙක් ජාතික දේශපාලනයට මුසුවෙමින් පාර්ලිමේන්තු නියෝජනය තෙක් පැමිණීම යථාර්ථයක් බවට පත් විය.
එකී ව්‍යාපාරය තරුණයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් කලා කුසලතා, ක්‍රීඩා දස්කම්, වෘත්තීය පුහුණුව, තරුණ හුවමාරු ඔස්සේ ක්‍රියාත්මක වීම සිදුවිය.
නිස්කෝ ශ්රාමෝපාකාරය යටතේ තරුණ තරුණියන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය මූල්යධනය ලබා දුන්නේය. නේවාසිකව බෙල්වුඩ් පුහුණු මධ්‍යස්ථානය කලා ශිල්ප පුහුණුවට ළබැඳි ගුරුකුලයක් වැනිය. ඉන් උපන් ‘සැළලිහිණියෝ’ නමැති සංස්කෘතික කණ්ඩායම දෙස් විදෙස් සංස්කෘතික සංදර්ශන පැවැත්වූ වෘත්තීය කලා ශිල්පීන්ගේ තිඹිරිගෙයක් ලෙස හැඳින්වීම වඩා සුදුසුය.
ජපානය, කැනඩාව, මැලේසියාව හා සිංගප්පූරුවයන රටවල් අතර තරුණ හුවමාරු වැඩසටහන් ඇරඹිණි. එතෙර තරුණ තරුණියෝ පැමිණ අපේ ගම් බිම්වල සැරිසරමින් යෞවන සමාජ ක්‍රියාකාරකම්වල නිරත වූහ. ඒ අයුරින් අපේ තරුණ තරුණියන් විදේශ හුවමාරු වැඩසටහන් මගින් ජගත් ජන සමාජයේ අත්දැකීම්වලින් සන්නද්ධ වූහ. පළාත් බද වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහි කෙරිණි. උතුරු නැගෙනහිර, වවුනියාව, කිලිනොච්චිය, නිලාවේලි වැනි ප්‍රදේශවල දමිළ තරුණ තරුණියන්ට පුහුණු අවස්ථා මැනවින් ජීවිත සකස් කර දුන්නේය.
තරුණ තරුණියන්ගේ හැකියා දක්ෂතා ඔප නංවාලීමේ දී රනිල් යාපනයේ දමිළ යෞවන කලා උළෙලට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ මහත් බලාපොරොත්තු සමුදායක්, තුන්කල් දැක්මකින් යුතුවය.
මංපෙත්, ළිං, පොකුණු තැනීම, ඇළවේලි පිළියෙල කිරීම ආදී කටයුතු සඳහා තරුණ දායකත්වය කැපීපෙනුණි. ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කර ජාතිකාභිමානය හා ග්රාමාභිමානය දනවන අයුරින් ජාතික තරුණ සේවා ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ ගම්වල හා නගරබද පොදු කාර්ය රැසක් සාර්ථකව නිමාවට පත්කරමිනි.
උපාධිධාරී විරැකියාව තරුණ අසහනයේ ප්‍රධාන සාධකයෙකි. මුල්වරට උපාධිධාරී ස්ථාපන සේවය පිහිටුවමින් යෞවන හා රැකී රක්ෂා අමාත්‍යවරයා ලෙස වඩා කාලෝචිත වැඩපිළිවෙළකට පදනම දැමුවේය. සරසවියෙන් ඉක්ම වසර දෙක තුනක් ඇතුළත සෑම උපාධිධාරියකුටම රැකියාවක් සැපයෙන වැඩ පිළිවෙළක් පළමුවරට ක්‍රියාත්මක වූයේ උපාධිධාරී ස්ථාපන සේවයෙනි.
රට ගොඩ දැමීමේ සමාර්ථය තිබෙන්නේ එක පක්ෂයකට හෝ කණ්ඩායමකට නොවෙන බව දැන් සක්සුදක් සේ අවබෝධ වෙමින් තිබේ.