කුරුල්ලෝ සමගින් කාවින්ද්‍යා



මා-පිය උරුමයක් ලෙසින් කලා කුසලතාවන් උපතින්ම රැගෙන ආ ඇය බොහෝ දෙනා හඳුනන්නේ රසික සිත් මන්මත් කරවන මිහිරි කටහඬක උරුමක්කාරියක ලෙසිනි. ඒ හඬට නොදෙවෙනිවම තමා රංගනයටත් දක්ෂයෙක් බව කිහිපවරක්ම ප්‍රේක්ෂක හදවත් තුළ පසක් කළ ඇය දීර්ඝ නිහැඬියාවකින් පසු නැවතත් පුංචි තිරයේ දිලෙන්නට පටන්ගෙන ඇත්තේ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශනය වන කුරුල්ලෝ ටෙලි නිර්මාණයෙනි. මේ පූර්විකාව කවින්ද්‍යා අධිකාරි ගැනයි. 

  • කවින්ද්‍යාගේ අලුත්ම ටෙලි නිර්මාණය ගැන කියලම මේ කතාබහ ආරම්භ කරමු? 

මම රංගන‍යෙන් දායකවන අලුත්ම ටෙලි නාට්‍යය කුරුල්ලෝ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ රාත්‍රී 6.20 ට විකාශනය වෙනවා. ඉතින් මට මේකට සම්බන්ධ වෙන්න මුලින්ම ආරාධනා කළේ දිනෙල්ක. ඔහු මුලින්ම මගෙන් ඇහුවේ තාමත් රගපානවා නේද කියලා. ඉතින් මම කීවා මට කරන්න පුළුවන් විදිහෙ නිර්මාණයක් ලැබුණොත් කැමැත්තෙන් භාර ගන්නවා කියලා. ඔහුගේ ආරාධනාවෙන් පස්සෙ මට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ගවිඳු දීසුරගෙන් ආරාධනාවක් ලැබුණා. මේ විදිහට තමයි මේ ටෙලි නිර්මාණය එක්ක සම්බන්ධවෙන්න අවස්ථාව ලැබෙන්නේ. 

  • ඔබ නිතර පුංචි තිරයේ දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි. ඉතින් "රේඛා" කියන චරිතය භාරගන්න විශේෂ හේතුවක් තිබුණා ද?

ඇත්තටම මම මේකට කැමති වෙනකොට මුළු පිටපතම කියවලා තිබුණෙත් නැහැ. නමුත් මම අධ්‍යක්ෂතුමා එක්ක මේ චරිතය ගැන කතා කරලා ඔහු චරිතය හඳුන්වා දුන්න ආකාරයට ඒ චරිතය ගැන පැහැදිලි කරගත්තා. මට මේ විදිහේ ටෙලි නාට්‍යයක් කරන්න ඕන කියල හීනයක් තිබුණේ නැහැ. මොකද මම මීට පෙර සම්බන්ධ වෙලා සිටිය නිර්මාණ දෙකේම තිබුණේ වෙනස් විදිහෙ චරිත. ඝරසර්ප සිනමා පටයේ මට තිබුණේ ගොඩක් වෙනස් චරිතයක්. සක්කාරං ටෙලිනාට්‍යය ගැමි ආරයට බර එකක්. ඒ නිසා මේ විදිහේ ටෙලි නාට්‍යයකට මීට පෙර සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒක නිසාම මට මේක අලුත් අත්දැකීමක්. ඉතින් මම ඒ වැඩේ හරිම ආසාවෙන් භාරගත්තා.    

  • ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?

ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සර ඉදන්ම ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි ඇයි දැන් රඟපාන්නෙ නැත්තෙ කියන එක. ඒත් දැන් ඇගේ තියන ටැටූස් එහෙම එක්ක මට චරිතවලට ඉන්න අමාරුයි. මොකද ඒවා ඒ ඒ චරිතවලට ගැළපෙන්නෙ නැති තැන් තියෙනවා. ගොඩක් අධ්‍යක්ෂකවරු පවා අහනවා ඇයි මෙහෙම ටැටූස් කළේ කියලා. ඉතින් මේ විදිහට බොහෝ දෙනෙක් බලන් හිටියා මම නැවතත් ටෙලි නිර්මාණයකින් දකින්න. දැන් ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. ඉතින් ඒ අයගෙන් හොඳ අදහස් වගේම ලොකු ආදරයකුත් ලැබෙනවා. ඉතින් හරිම සතුටුයි.

  • මේ විදිහට ඉඳහිට පුංචි තිරයට, රිදී තිරයට ගොඩ වදින්නේ චරිත තෝරා බේරාගෙන භාරගන්න නිසා ද?

එහෙම විශේෂයක් නැහැ. මට ගොඩක් ආරාධනා ලැබිලා මම ඒවා ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් මට සක්කාරං ටෙලි නාට්‍යයෙන් පස්සෙනම් ඒ විදිහේ ගැමි චරිතවලට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඇත්තටම මගේ ආසාව තිබුණේ එක සිනමාපටයකට හෝ එක ටෙලිනාට්‍යයකට දායක වෙන්න. එක චරිතයක් කළාට පස්සේ නැවත නැවත එකම වගේ චරිත කරන්න කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා ඒ ලැබුණු ආරාධනාත් ටික ටික නතර වුණා. ඉතින් කාලෙකට පස්සේ නැවතත් ආරාධනාවක් ලැබුණම මට හිතුණා සම්බන්ධ වෙන්න. ඒ නිසා තමයි ලොකු කාලයකට පස්සේ නැවතත් දකින්න ලැබෙන්නේ. 

  • රංගනය පැත්තෙන් වෙනත් නිර්මාණ හෝ අලුත් ආරාධනා ලැබිල තියෙනවා ද?

නැහැ. මේ ටෙලි නාට්‍යයේ විතරයි කටයුතු කෙරෙන්නේ. නමුත් සංගීත වැඩ කටයුතු නම් දිගටම කෙරෙනවා.

  • ගායන ක්ෂේතුයේ වැඩ කටයුතු ගැනත් මතක් කරමු?

මගේ අලුත් ගීතයක නිර්මාණ වැඩ කටයුතු කෙරෙනෙවා දැන් අවුරුදු ගාණක ඉදන්ම. මේ අවුරුද්ද මුල ඒ ගීතය වීඩියෝ පටයත් එක්කම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහි ගී පද රචනය කළේ ලසිත. මෙලෙඩි එක දිල්ෂාන් සිල්වාගේ. ඒ දෙන්න එක්ක එකතුවෙලා කරපු ලස්සන වැඩක් මේක. ඒක තමයි මේ අවුරුද්දේ තියන විශේෂම වැඩ කටයුත්ත. ඊට අමතරව පිටරට ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට යන්න සූදානමින් ඉන්නවා. 

  • ඔබේ පවුලේ ප්‍රසංග මාලාවක් ගිය වසරේ පැවැත්වුණා. ඒ ගැනත් කියමු?

අතුල සමිතා love in concert with කවින්ද්‍යා අධිකාරී කියල තමයි ඒ ප්‍රසංග මාලාව නම් වෙලා තිබුණේ. See events මගින් තමයි සංවිධාන කටයුතු කෙරුණේ. ඇත්තටම ඒ ප්‍රසංගය අපේ ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් හරි ආදරයෙන් භාර ගත්තා. ඒ ප්‍රතිචාර හරිම ඉහළයි. ගොඩක් අය දුරකතන ඇමතුම් පවා ලබාදීල අහනවා අපේ පැත්තට අරගෙන එන්නෙ නැද්ද කියලා. කිහිප දෙනෙක් අපිට විවිධ චෝදනා කළාට අපිට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා කියල ඒ දේවල් අහද්දි මට දැනෙනවා. ඒ හැම කමෙන්ට් එකක්ම අපිට හරිම වටිනවා. ඉතින් ගිය වසරේ මේ ප්‍රසංග මාලාව ඉතාමත් සාර්ථකව පැවැත්වුණා. 2025 ප්ලෑන්ස් ගැන නම් තවම දන්නෙ නැහැ.

  • වෘත්තීමය ගායිකාවක් විදිහට ඔබ රංගන ශිල්පිනියක් කියන භූමිකාව දකින්නෙ කොහොම ද?

ඇත්තටම පොඩිකාලෙ ඉදන්ම අම්මිවත් තාත්තිවත් මට සීමා දාල තිබුණෙ නැහැ මේ විදිහට වෙන්න මේ දේවල් කරන්න කියලා. එයාලත් ගායන කටයුතු අතරතුරම රංගනයටත් යොමු වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ දෙක එහෙම වෙන් වෙන් කරලා හිතන්නෙ නැතිව කලාව කියන තැන ඉදන් ඒ දෙවර්ගයම දිහා බලන්න පුළුවන් කියලා. පෞද්ගලිකව මම රංගන ශිල්පිනියක් කියල හදුන්වනවට කැමති නැහැ. මොකද මට වඩා ගොඩක් දක්ෂයෝ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ගායනය මගේ ජීවිතේ මූලිකම දේ නිසා මම ගායන ශිල්පිනියක් විදිහට දකිනවට තමයි කැමති. රංගනයට ලැබෙන අවස්ථාව මට පිනකට, වාසනාවකට හෝ ජානමය හැකියාව නිසා ලැබුණ දෙයක් කියල මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම නර්තනයටත් කැමතියි. ඉතින් ඒ හැමදේම වෙන් වෙන් ව දකින්නෙ නැතුව සමානව අත්විදින්න කැමතියි. 

  • ඉතින් දැන් නර්තනය පැත්තෙන් නිර්මාණ කරන්නෙ නැද්ද?

නැහැ. කැමැත්ත තිබුණත් කාලයක් යනකොට මම මහත් වුණු නිසා නර්තන කටයුතු නතර වුණා. ඊට පස්සෙ අවස්ථාවක් ලැබුෙණ නැති නිසා ඒක අමතක කරලා දැම්මා. 

  • මේ විදිහට කලා කටයුතු කරද්දි පවුලෙන් ලැබෙන සහයෝගය ගොඩක් වැදගත්, ඒ ගැනත් මතක් කරමු? 

ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. ඒ අත‍රිනුත් මගේ අම්මි විශේෂයි. එයා හැමදාම මම ගැන, මගේ දේවල් ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මම අනිත් අයට ධනාත්මක විදිහට ජීවත් වෙන්න උපදෙස් දුන්නට මම මගේ දේවල්වලදී නිතරම ඍණාත්මකව තමයි හිතන්නේ. නිර්මාණයක් භාර ගත්තත් අනේ ඒක කරගන්න බැරි වෙයි කියල නිතරම හිතනවා. ඒ වෙලාවට අම්මි තමයි මගේ ලොකුම මෝටිවේෂන් එක. ඒවගේම මල්ලි ඇතුළු පවුලේ ඔක්කොම මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. දැන් මට තවත් අලුත් මෝටිවේෂන් එකක් තියෙනවා. ඒ මගේ සැමියා. ගොඩක් පාන්දරින් රූගත කිරීම් එහෙම තියෙන දවසට එයා තමයි උදෙන්ම නැගිටලා මාවත් නැගිට්ටවලා ඒ දේවල්වලට උනන්දු කරලා යවන්නේ. ඇත්තටම ඒ අතින් මම හරිම වාසනාවන්තයි මොකද මගේ ජීවිතේට හොඳ සහයෝගයක් දෙන සැමියෙක් මට ලැබිල ඉන්නවා. ඉතින් මගේ මේ සාර්ථකත්වයේ ශක්තිය මගේ පවුල තමයි.

  • ඔබ සමාජ මාධ්‍ය ඇතුළේ ගොඩක් ගැහැනු ළමයින්ට ජීවිතේ ගැන ධනාත්මකව හිතන්න කියල දෙනවා. කලාවට එන්න ඉන්න අලුත් අයට මොකද කියන්න තියෙන්නේ?

පිරිමි ළමයින්ට සාපේක්ෂව ගැහැනු ළමයි හරිම සංවේදී. ඉතින් මම හිතන්නේ නැහැ ගැහැණු ළමයෙකුට ජීවීතේ වෙන කිසිම දෙයක් එකපාරම දරාගන්න පුළුවන් කියල. අපිට කියන්නත් බැහැ කිසිදෙයක් නොවුණ විදිහට ජීවත් වෙන්න කියලා. මට කියන්න තියෙන්නේ ඉවසීමෙන් වැඩ කරන්න කියලා. මේ කලාව කියන්නේ පහසු, සුන්දර, හරි ලස්සන දෙයක් නෙවෙයි. සුන්දර දේවල් අස්සෙත් ගොඩක් බාධක තියෙනවා. ඉතින් අපි අපේ මනස කෙළින් තියාගෙන වැඩ කරන්න ඕන. තමන්ගේ සීමාවන් තමන් දැනගන්න ඕන. මිනිස්සු ඇසුරු කරද්දිත් ඒ ඒ අය ගැන හොඳින් තේරුම් ගන්න ඕන. මේ දේවල් හරියට දැනගෙන ජීවත් වුණොත් සාර්ථක වෙන්න පුළුවන්.  

  • ගොඩක් කලාකරුවන් දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්නවා. කවින්ද්‍යාට ඒ වගේ බලාපොරොත්තු නැද්ද?කලාවෙන්ම ඉදිරියට යන්නද බලාපොරොත්තුව?

දැනට නැහැ. මම ආස දේ කරගෙන ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. නමුත් ඉදිරියේදී වෙනසක් සිද්ධ වෙයිද දන්නෙ නැහැ. මම සාමාන්‍යයෙන් අනාගත බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. මම හැමවෙලේම අද දවස ගැන හිතල වැඩ කරන කෙනෙක්. අද දවස කොහොම ද හොඳට ගත කරන්නේ කියන එක තමා මට තියන එකම බලාපොරොත්තුව. අද දවස සතුටින් ගත කරලා හෙට උදේට තමයි හෙට දවස ගැන හිතන්නේ. ඒක තමයි මගේ විදිහ. මම හිතනවා එහෙම ජීවත් වෙන එකෙන් ඔලුවට ලොකු ආතතියක් දෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා.   


දුලක්ෂි ලියනගේ