කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි



ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි. ඇය චිත්‍රපටි නරඹන්නට ප්‍රිය කළාය. නැටුම් ගැයුම්වලට දැක්වූයේ අපමණ දක්ෂතාවකි. ඇය  එකල ප්‍රාග් වෘත්තීය විෂයය සඳහා තෝරා ගත්තේ උඩරට නැටුම්ය. ඇය කවි, වන්නම් ගායනා කළේ ඉතා මිහිරි ස්වරයෙනි. කවදා හෝ සිනමා නිළියක වීමේ සිහිනයක් ඇය තුළ තිබිණි. එහෙත් ඇගේ අත්තම්මා ඒවාට කැමැත්තක් දැක්වූයේ නැත. ඇය විශ්වාස කළේ ඒවා ගැහැනු ළමයින්ට නොගැළපෙන ඒවා බවය.

“කකුල් දෙක පුච්චනවා ඔය නැටිලිවලට ගියොත් එහෙම..”

ඇය මිනිබිරියට තරවටු කරන්නට පුරුදුව සිටියාය. එහෙත් මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ආදිය කෑ ගසා ගායනා කරද්දී නම් සරදම් කළා පමණකි.

1978 දී සුමිත්‍රා පීරිස් මහත්මිය ඇය විසින්ම නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරනු ලබන පළමු චිත්‍රපටියට ගැහැනු ළමයෙක් සොයන්නට පටන් ගත්තේ මේ අතරය. ඇයට වුවමනා වී තිබුණේ අහිංසක පෙනුමැති පාසල් වියේ ගැහැනු ළමයෙකි. කොළඹ බාලිකා පාසල්වලින් එවැන්නියක් සොයා ගන්නට නොහැකි වූ ඇය පැමිණියේ හෝලි ක්‍රොස් කන්‍යාරාමයටය. ඇගේ ඥාති දරුවෝ කිහිප දෙනෙක් එහි ඉගෙනුම ලබමින් සිටියහ.

“මම දැක්කා බෙල්බොටම් එකක් ඇඳ ගත්ත ගෑනු කෙනෙක්  විදුහල්පති කාමරේ ළඟ ඉන්නවා.. එයාව වට කරගෙන ගෑනු ළමයි හුඟාක් හිටියා..”

සිය ප්‍රියතම වෘත්තියට යන්නට පාර කැපුණ ආකාරය සිහිපත් කරමින් වසන්ති පැවසුවාය. ඒ කාන්තාව කුමකට ආවා ද, ගැහැනු ළමයින් ඇය වට කරගෙන ඉන්නේ කුමකටදැයි වසන්ති දැන සිටියේ නැත. දැන ගන්නට ඇයට වුවමනාවක් ද නොවිණි. ඇය යමින් සිටියේ වෙන වැඩකටය. හදිසියේම යෙහෙළියක් ඇය වෙත දිව ආවාය.

“ෆිල්ම් ස්ටාර්.. අන්න යන්න යන්න.. අර ලේඩි ඇවිත් ඉන්නෙ ෆිල්ම් එකකට කට්ටිය තෝරා ගන්න..” ඇය පැවසුවාය.

වසන්ති යන්නට ගිය ගමන පසෙක දමා එතැනට ගියේ හුදෙක් කුතුහලය නිසාය. ඇය පිරිස කෙළවර ඈතින් සිටගෙන බලා සිටියාය. හදිසියේම සුමිත්‍රා පීරිස් ගේ දෑසට ඇය හසු වූයේය. ඇගේ මුහුණ ආලෝකමත් වූයේ නිතැතිනි.

“මෙන්න මේ තමයි මම මෙචච්ර දවස් හොයපු ගෑනු ළමයා..” සිනාමුසුව කියමින් ඇය වසන්ති වෙත ගියාය.

“ඔයා කැමති නැද්ද ෆිල්ම් එකක් රඟ පාන්න..?”

ඇය අසද්දී වසන්තිගේ ඉහේ මල් පිපුණේය. තමා මෙතරම් කලක් දුටු සිහිනය සැබෑ වෙන්නට ආසන්න බැව් ඇයට දැනිණි. එහෙත් ඇය පසුබෑවේ මිත්තණිය ගේ තරවටු සිහිපත් වීමෙනි.

“මම නම් හරිම ආසයි.. ඒත් ආච්චිගෙන් අහන්නෙ නැතුව මොකුත්ම කියන්න බෑ..” ඇය කීවාය.

“ඇයි ආච්චි..? අම්මා නැද්ද..?”

“නෑ.. අම්මා නැති වෙලා.. ආච්චි තමයි අපිව බලා ගන්නෙ..” ඇය කීවාය.

එදින සවසම සුමිත්‍රා පීරිස් මහත්මිය වසන්තිගේ නිවසට පැමිණියාය. වසන්ති බලා සිටියේ මිත්තණිය කුමක් කියනවා ඇද්දැයි බියෙනි. වසන්තිට රඟ පාන්නට ඇත්තේ පාසල් දැරියකගේ විනීත චරිතයක් බැව් විස්තර කළාට පසුව මිත්තණියගේ අකැමැත්ත අහෝසි වී ගියේය. ඇය චරිතය බාර ගන්නට වසන්තිට අවසර දුන්නාය.

“ආච්චිට මගේ රඟපෑම් බලන්න ආසාව තිබ්බා.. ඒත් එයාට හාර්ට් ඇටෑක් එකක් ආවා.. එයා අසනීපෙන් ඇඳේ ඉඳිද්දි තමයි මම ෂූටින් ගියෙ.. ෆිල්ම් එක රිලීස් වෙන්න ඉස්සර වෙලා එයාට මේ ලෝකෙන් යන්න සිද්ද වුණා..” වසන්ති කීවේ සුසුමක් ද හෙළමිනි.

දර්ශන තලය වූයේ බැද්දගාන පෙදෙසේ  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් මැංගුස් ඇතුළු පලතුරු සහිත සරුසාර ඉඩමකි. කුසුම් ගේ ගෙදර ඒ වත්තේ ගොඩ නංවා තිබිණි.   එතැනට එහායින් වූයේ හිස් ඉඩමකි. අද පාර්ලිමේන්තුව ගොඩ නැගී ඇත්තේ ඒ ඉඩමේය.

“මුලින් මම දැනගෙන හිටියෙ නෑ චිත්‍රපටියේ නම ගැහැනු ළමයි, මට රඟ පාන්න තියෙන චරිතයේ නම කුසුම් කියලා.. පස්සෙ තමයි දැන ගත්තෙ.. ඉස්කෝලේ යන ගෑනු ළමයෙකුගේ චරිතයක් රඟ පාන්න තියෙන්නෙ කිව්ව හින්දා හරි ආසාවෙන් ගියත් චිත්‍රපටි නිර්මාණය ගැන කිසිම දෙයක් දැනගෙන නොහිටිය හින්දම මට ලොකු බයක් දැනුණා.. මගේ අම්මට රඟ පෑවේ ට්‍රිලීෂියා ගුණවර්ධන.. මුල්ම දර්ශනයේ තිබුණේ අපි දෙන්නා කුස්සියට වෙලා නංගිට අත් වුණ ඉරණම ගැන කතා කර කර ඉන්නවා.. ඒත් මම හොඳටම බය වෙලා.. දෙබස් කියා ගන්න බෑ ඇඬෙනවා..”

සිය කුලුඳුල් අත්දැකීම සිහිපත් කරමින් වසන්ති පැවසුවාය.

එය සිය පළමු නිෂ්පාදනය සහ පළමු අධ්‍යක්ෂණය වුවත් සුමිත්‍රා පීරිස් කෝපයට හෝ කලබලයට පත් වූයේ නැත. ඇය රූගත කිරීම් නවත්වන්නට කණ්ඩායමට අණ කළාය.

“මෙයා තවම ඉස්කෝලේ යන ළමයෙක්නෙ.. එක පාරටම මෙහෙම දර්ශනයක රඟ පාන්න වුණාම කලබල වෙන එක පුදුමයක් නෙමෙයි.. අපි ඉස්කෝලේ දර්ශන ටිකක් අරගෙන ඉඳිමු..”ඇය කීවාය.

පාසල් දර්ශන බොහෝ සෙයින් වසන්ති ගේ සිත ගත්තේය. ඒවා රූගත කරන ලද්දේ හංවැල්ලේ බොස්කෝ පාසලේය. ඒ කාලයේ ශ්‍යාමා ආනන්ද බොහෝ ජනප්‍රිය නිළියකි. ගැහැනු ළමයි චිත්‍රපටියේ පද්මිණී වූයේ ශ්‍යාමාය. ඇගෙන් ආධුනික වසන්තිට ලැබුණේ පුදුමාකාර සහයෝගයකි. ඒ නිසාම සිය චරිතය සාර්ථක කර ගන්නට වසන්තිට හැකි වූයේය.

“ශ්‍යාමා හරිම හොඳ කෙනෙක්.. චිත්‍රපටියේ වගේම සැබෑ ජීවිතෙත් අපි හොඳ යාළුවෝ වුණා..

ඇය විවාහ වෙලා කැනඩාවට යනකම්ම ඒ යාළුකම එහෙමම තිබුණා.. ශ්‍යාමා කිසිම අඩුපාඩුවක් තිබුණ කෙනෙක් නෙමෙයි.. එයා විනෝදෙට චිත්‍රපටිවල රඟ පෑවේ.. ඒත් එයා කිසිම වෙලාවක කාගෙවත් හිත රිදෙන වචනයක්වත් කිව්ව කෙනෙක් නෙමෙයි..” වසන්ති පැවසුවාය.

ඒ කාලයේ ශ්‍යාමාත් පාසල් සිසුවියකි. එම නිසාම චිත්‍රපටියට වඩා ඔවුන්ගේ සිත් ඇදුණේ සෙල්ලමටය. දර්ශනයක් අවසන් වූ වහාම ඔවුහු සෙල්ලමට දිව ගියහ.

“මිසිස් පීරිස් හුඟාක් ඉවසිලිවන්ත ඒ වගේම කරුණාවන්ත කාන්තාවක්.. ඇය කාගෙවත් හිතක් රිද්දන්නෙ නෑ.. ළමයින්ට හරි ආදරෙයි.. අපිට කතා කරන්නෙ ආ.. වසන්ති දැන් එන්නකො..ශ්‍යාමත් එන්න.. මං කියන දේ කරලා ගිහින් ආයෙ සෙල්ලම් කරන්න.. ඉතින් අපි මිසිස් පීරිස් කියන්නෙ මොකද්ද ඒක ඒ විදියටම කරනවා.. ඇත්තටම අද කාලෙ එහෙම අධ්‍යක්ෂවරු හරි අඩුයි.. මේ මෑතකදී චිත්‍රපටියක රඟ පානකොට ආධුනික නිළියකට අධ්‍යක්ෂවරයා හරි තදින් කතා කළා.. මට කේන්ති ආවා.. මම එයාට පැත්තකට කතා කරලා කිව්වා මිසිස් පීරිස් එදා මට ඔහොම කතා කළානම් අද වසන්ති චතුරානි කියන නිළිය මෙතන නෑ.. කෙනෙකුට දෙයක් කියනකොට  එයාගෙ හිත රිදෙන්නෙ නැති විදියට කියලා දෙන්න කියලා..” ඇය කීවාය.  

ගැහැනු ළමයි චිත්‍රපටිය බොහෝ සෙයින් ජනප්‍රිය වූයේය. ගියගිය තැන මිනිස්සු ඇය කුසුම් ලෙස හැඳින ගත්හ. ඇයට දිනකට ලැබුණේ පුදුමාකාර ලියුම් තොගයකි


“ඒවා අල්මාරිය උඩ ගොඩ ගැහිලා.. ඇත්තටම එච්චර ලියුම් තොගයක් කියවන්න මට වෙලාව හොයා ගන්නත් බැරි වුණා..” වසන්ති කියන්නීය.

ඇය සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූවාය. ඇගේ ගුරුවරුන් විදුහල්පතිනියට පවා දොස් කීවේ චිත්‍රපටියට සම්බන්ධ වීමට අවසර දුන් නිසා වසන්ති විශ්ව විද්‍යාලයට පිවිසීමේ වරම අහිමි කර ගත් බැව් කියමිනි.

“ඇත්තටම විශ්ව විද්‍යාලෙ ගිහින් උපාධි දෙකතුනක් අරගෙනත් ඉගෙන ගන්න බැරි දේවල් මම මේ ක්ෂේත්‍රය තුළින් ඉගෙන ගත්තා.. අපි ඉදිරිපත් කරන්නෙ සමාජය තුළ තියෙන චරිතනෙ.. එතකොට ඒවයින් ඉගෙන ගන්න තියෙන දේවල් අනන්තයි.. අද ළමයි වැඩි දෙනෙක් ජනප්‍රියත්වය පස්සෙ හඹා යනවා.. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගෙ ආත්ම ගෞරවයට පවා හානි සිදු කර ගන්නවා.. මම නම් හැම වෙලාවෙම විශ්වාස කරන්නෙ අපි වැඩ කරන්න ඕන ජනප්‍රියත්වය අපිව හඹාගෙන එන විදියට.. එතකොට තමයි අපි ජයග්‍රාහී වෙන්නෙ.. නැත්නම් උරුම වෙන්නෙ පරාජය විතරමයි..”

ඇය කියන්නේ අලුතින් ක්ෂේත්‍රයට එන අයට අවවාදයක් වශයෙනි.  

අවුරුදු දහසයේදී ක්ෂේත්‍රයට පිවිසි ඇය  ගඟ අද්දර චිත්‍රපටියේ නිර්මලාගේ චරිතය තුළින් ප්‍රේක්ෂක සිත් වශී කර ගනිද්දී යාන්තම් අවුරුදු දහනමයක් වූවා පමණකි. ඒ ඇගේ දෙවන චිත්‍රපටියයි. එයට සරසවි සම්මාන උළෙලේ මෙන්ම ජනාධිපති සම්මාන උළෙලේදී ද හොඳම නිළි සම්මානය හිමි වූයේය.

මේ වන විට ඇය චිත්‍රපටි හැට ගණනක රඟ පා තිබේ. අහසින් පොෙළාවට, අමල් බිසෝ, චූඩා මැණිකේ, සිරිබෝ අයියා, පරිත්‍යාග, පාර දිගේ, සෙවණැලි ඇද මිනිස්සු, හංස විලක්, සමාවෙන්න, ආයාචනා, බිත්ති හතර, දිනුම, ආදර හසුන, මංගල තෑග්ග, සටන, සහරාවේ සිහිනය, මධු සිහින, හිමගිරි, වන බමරා, අවරගිර, උතුරදකුණ, රජ සෙල්ලම්, සිංහ රජා, කියලා වැඩක් නෑ, කුල ගෙය, සසර සැරිසරන තෙක් ඔබ මගේ, අඹු සැමියෝ, ධවල පුෂ්පය, දුවට මවක මිස, විසි දැල, ජුලියට්ගේ භූමිකාව, කිණිහිරියා මල්, පොරොන්දුව ඒ අතර තිබේ.

ඇය අග පිපි මල්, ගජමන් නෝනා, දුර්ගාන්තය, ඉටි පහන්, ගිරය, කුලවමිය, ඉඩෝරයක මල් පිපිලා, දෙනුවර මැණිකේ, දහස් ගව් දුර, ධවල කඩුල්ල, දිය මත රුව, ඉලන්දාරියෝ, මනෝ මන්දිර, පෙම් පියවර, සෙදෝනා, සෙනෙහසේ ගීතය, උත්තමාවි, යද්දෙහි ගෙදර ඇතුළු ටෙලි නාට්‍යවල රැසක ද රඟ පා තිබේ.  ඒ චරිත රසිකයන්ගේ සිත් තුළ අමරණීය ලෙස රැඳී තිබෙන්නේය.

තමා සෑහෙන කාලයකට පසු මේ දිනවල විවේකීව නිවසේ සිටින බැව් වසන්ති චතුරානි කියන්නීය.


චන්දි කොඩිකාර