කොටි උසාවියක නඩුවකට මුහුණ දුන් දකුණේ පළමු රියැදුරා


කිලිනොච්චි කොටි පොලීසියේ රඳවාගෙන සිට නිදහස ලබා මේ වනවිට සසුන්ගතව සිටින ඇකිරියේ විජේසුමන ස්වාමීන් වහන්සේගේ කතාව පසුගිය සතියේ ඔබට කියුවෙමු. එහිදී කියවුණු එල්.ටී.ටී අධිකරණයකින් දඬුවම් ලැබූ පළමු දකුණේ රියැදුරා වූ ඉන්දික පෙරේරාගේ අත්දැකීමයි මේ.

 

කිලිනොච්චිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එල්ටී.ටී.ඊ. පොලිසියේ අත්අඩංගුවට පත්ව එම සංවිධානය විසින් එකල පවත්වාගෙන ගිය අධිකරණයක් මගින් දඬුවම් නියම වූ දකුණේ ප්‍රථම රියදුරා ලෙස සැලකෙන්නේ ඉන්දික පෙරේරාය. ඒ මීට වසර 22 කට පමණ පෙර ‘ඒ’ 9 මාර්ගයේ කිලිනොච්චිය ප්‍රදේශයේදී දකුණේ සිට යාපනයට වන්දනා නඩයක් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක වෑන් රියක් ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් අවුරුදු පහක පමණ වයසැති දරුවෙකු මියයෑම සම්බන්ධයෙනි.


ඉන්දික පෙරේරා කළුතර මොරොන්තුඩුවේ සිට තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත වන්දනා නඩයක් රැගෙන යාපනය බලා පිටත්වූයේ 2002 වසරේ අගෝස්තු මාසයේ 18 වැනිදාය. දින තුනක සංචාරයක් සඳහා යාපනය බලා ගිය එම ගමන සඳහා අය කළ ගාස්තුව රුපියල් තිස්දහසකි.  බස් රථයේ අයිතිකරු මොරොන්තුඩුවේ පදිංචි කේ.ඒ.ඒ. වසන්තය.
එම වකවානුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සාම ගිවිසුමක් අත්සන් කර තිබූ නිසා කොයි කාටත් බාධාවකින් තොරව දකුණේ සිට උතුරට යෑමටත්, උතුරේ අයට දකුණට යෑමටත් අවස්ථාව උදා වී තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සවස 5.00ට වවුනියාව ඕමන්තේ ඔවුන්ගේ මුර කපොල්ල වසා දමන නිසා පසුදින උදෑසන වෙනතුරු ‘ඒ’ 9 මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකිරීමට නොහැකිය.


සවස පහට විනාඩි දහයක් තිබියදී ඉන්දික පෙරේරා පදවාගෙන ගිය බස් රථයට වවුනියාව, ඕමන්ත කොටි මුර කපොල්ල පසුකර යාමට හැකි විය. 
එල්.ටී.ටී.ඊ. පොලිසිය විසින් පැයට කිලෝමීටර් තිහට වැඩියෙන් වාහන ධාවනය කරන අය අත්අඩංගුවට ගන්නා බව සඳහන් කරමින් පාර දෙපස තැනින් තැන දැන්වීම් පුවරු ගසා තිබිණි. ඊට අමතරව මාර්ගය දෙපස බිම්බෝම්බ වළ දමා ඇති නිසා මාර්ගය අයිනට සමාන්තරව රිය  නොපදවන ලෙසද තැනින් තැන පුවරු සවිකර තිබූ නිසා ඉන්දික සිය 
බසය පදවාගෙන ගියේ 
බෙහෙවින් කල්පනාකාරීවය.


මුරුගණ්ඩි ප්‍රදේශයේදී එක්වරම ඉදිරියෙන් විදුලි වේගයෙන් පැමිණි වෑන් රථයක් ඉන්දිකගේ බස් රථයේ ඉදිරිපස වැදුනේ හෙන හඬ නංවමිනි.  එම ප්‍රදේශය මිනිස් වාසයකින් තොර පාළු ප්‍රදේශයකි. කොටි අඩවියේදී සිදුවූ රිය අනතුර හා ඊට පසු සිදුවූ දේවල් ගැන ඔහු අපට තොරතුරු හෙළි කළේ මේ සිද්ධිය තමාට ජීවිතේ කිසි දවසක අමතක නොවන්නක් බව පවසමිනි.
“අපි කුරැණෑගලින් දවල්ට කාලා යාපනයේ ගමන යන්න පිටත් වුණා. මම පැයට කිලෝ මීටර් තිහකට වඩා වැඩි වේගයකින් බස් රථය ධාවනය කරගෙන ගියේ නැහැ. මට ඉදිරියෙන් වෑන් රථයක් පැයට කිලෝමීටර් 65 ක විතර වේගයෙන් ඇදී ආවා. මම ඉක්මනට බස් එක මාර්ගය අයිනේ නතර කර ගත්තා. විදුලි වේගයෙන් ආ එම වෑන් රථය මගේ බස් රථයේ ඉදිරිපස වැදී නැවතුනා. වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව තිබූ අතර මම වහා බස් රථය නතර කර කොන්දොස්තරත් එක්ක එම වෑන් රථය ළඟට ගියා. වෑන් රථයේ ගමන් කර ඇත්තේ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවායි. දරුවාගේ හිසට බරපතළ හානි සිදුවී තිබෙන අයුරු දැක්කා. දරුවාගේ මව පිටුපස අසුනේ වාඩිවී ගමන් කර ඇති අතර දරුවා වාහනයේ ජනේලයෙන් එළියට හිස දමාගෙන ඇවිත් තිබෙන බව ඒ මවගෙන් මට දැනගැනීමට ලැබුණා. දරුවාගේ මවට සහ පියාට ද තුවාල සිදුවී තිබුණා. ඒ කාලේ ‘ඒ’ නවය මාර්ගය ඕමන්තේ ඉඳලා යාපනයට යනකම්ම හරිම අබලන් තත්ත්වයක තිබුණේ, පාරේ හැමතැනම වළවල් තිබුණා.
එම වෑන් රථය දිනපතාම යාපනය පැත්තේ ඉඳලා වවුනියාවට කකුළුවෝ, ඉස්සෝ ප්‍රවාහනය කරන එකක්. හවස පහ වෙනකොට ඕමන්තේ කොටි මුරපොළ වසා දමන නිසා ඊට කලින් යාමට වේගයෙන් රථය ධාවනය කරගෙන පැමිණි බව එහි රියැදුරා මා සමග කෙඳිරිගාමින් පැවසුවා.
කොටි අඩවියේ මෙම අනතුර සිදුවූ නිසා කුමකින් කුමක් වේ දැයි කියා සිතාගැනීමට මට නොහැකි වුණා. බස් රථයෙන් බැහැලා හිටිය සියලු‍ දෙනා ඉක්මනට බස් රථයට ගොඩකරගෙන මම පුළුවන් තරම් ඉක්මනට 
යාපනයට ආවා.”
“කිලිනොච්චිය නගරය ආසන්නයේදී වෑන් රථයක් බස් රථය ඉස්සර කරගෙන ගොස් මග හරස් කර නැවැත්තුවා. මම හිතුවේ ඒ වෑන් එකේ එන්න ඇත්තේ කොටි තමයි කියල. අපි ජීවිත බලාපොරොත්තු අතහැරියා. වෑන් එකේ ආපු විදේශීය ජාතිකයෙකු සහ විදේශීය කාන්තාවක් එයින් බැස ආවා. ඒ දෙදෙනා සමග සමග රියැදුරුද පැමිණියා ඔහු සිංහල ජාතිකයෙක්. පස්සේ තමා දැනගත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කට්ටියක් තමා ඇවිත් ඉන්නේ කියා. ඒ වෙලාවේ හිතේ තිබුණු බය පහව ගියා. හිතට ලොකු 
සැහැල්ලු‍වක් දැනුනා.
ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ අය සිද්ධිය ගැන ඇහැව්වාම මම වෙච්ච ඇත්ත සිද්ධිය ඔවුන් සමග කිව්වා. කිසි දේකට බයවෙන්න එපා, කට්ටියම යමු කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. පොලිසියට කියා කිව්වා. පසුව අපව කිලිනොච්චිය පොලීසියට බාර දුන්නා. රථවාහන අංශයේ කොටි සැරයන්වරයෙක් සිද්ධිය ගැන තොරතුරු අහලා මගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. හොඳට සිංහල කතාකළ ඔහු මනෝහරන් කියලා කෙනෙක් බව පසුව මට 
දැනගැනීමට ලැබුණා.”
“බස් එකේ හිටිය වන්දනා නඩය කොටි පොලිසියේ රඳවාගත්තා. මාව අනතුර සිදුවූ ස්ථානයට කොටි පොලිස් සැරයන් විසින් රැගෙන ගියා.  කොටි පොලිසියේ තවත් කෙනෙක් සමග එක්වී අනතුර සිදුවූ ස්ථානය ටේප් පටියකින් මැන අවශ්‍ය සටහන් ඔවුන් ළඟ තිබූ පොත්වල යොදා ගත්තා. මාංචු නැතිවයි මාව රැගෙන ගියේ. එහි ගියාට පස්සේ මට දැනගැනීමට ලැබුණා අර කුඩා දරුවා මියගොස් ඇති බව. ඒ ගැන මටත් කියන්න බැරි තරම් ලොකු 
වේදනාවක් ඇතිවුණා.”
“පසුව මාව යළි කිලිනොච්චිය කොටි පොලිසියට රැගෙන ආවා. එදා රෑ වන්දනා නඩයට කොටි පොලිසියේ තිබුණු ලොකු ගොඩනැගිල්ලක නවාතැන් දීලා කන්න බොන්නත් දුන්නා. පසුවදා උදේ ඔවුන්ගේ බස් රථයක වන්දනා නඩේ සියලු‍ දෙනාම නංවා වවුනියාව ඕමන්ත දක්වා රැගෙන ගියා. මාව කොටි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
ඕමන්තට කැඳවාගෙන ගිය මගේ බස් රථයේ ආපු වන්දනා නඩේ කැඳවාගෙන යෑමට වවුනියාව ලංගම ඩිපෝවේ බස් රථයක් එවා තිබෙනවා. ඔවුන් නැවත කළුතර බලා පිටත්ව ගොස් තිබුණා. වන්දනා නඩයට මම කිව්වා ගෙදර ගිහින් වෙච්ච සිද්ධිය ගැන දැනුම් දීලා බස් එකේ අයිතිකරුට මේ බව කියන්න කියලා. පසුව දැනගැනීමට ලැබුණා කිසිම කෙනෙක් මේ ගැන කියල නැහැ කියලා. මම ජීවිතේ ගැන තියෙන සියලු‍ම බලාපොරොත්තු ඒ වෙනවිටත් අතහැරලා තිබුණේ.”


“පසුවදා උදේ මාව කිලිනොච්චිය පොලිසියේ කොටි ඕ.අයි.සී. වෙත ඉදිරිපත් කළා. සිංහලෙන් මා සමග කතා කළාම මට පුදුම හිතුනා. බොහොම පැහැදිලි සිංහලෙන් ඔහු කතා කළා. මම බියට පත්වෙලා ඉන්න බව තේරුම් ගිය නිසා ඔහු මුලින්ම කළේ මගේ හිතේ තිබුණු බිය පහකර දැමීමයි. මගෙන් විස්තර ඇහැව්වා. මම වැල්ලවත්තේ කෙනෙක්, කිලිනොච්චිය කොටි පොලිසියේ ඕ.අයි.සී. මාත් එක්ක කිව්වා. මතක ඇති කාලයක ඒ පැත්තේ ගිහින් නෑ කියා වැල්ලවත්ත ප්‍රදේශයේ විස්තර මගෙන් විමසා සිටියා. කිසිම දේකට බයවෙන්න එපා, කොටි පොලිසියට දාලා නඩු විභාග කරලා දඬුවම් නියම කරලා නිදහස් කරයි” කියා ඔහු කිව්වා. 


ලක්ෂ තුනහමාරක මුදලක් ගෙවන්න කියා තවත් සමහර අය මා සමග පසුව කිව්වා. මට මේවා ගැන කිසිම දෙයක් ගෙදරට හෝ බස් එකේ අයිතිකාර වසන්ත අයියාට දැනුම් දීමට ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා මම අන්ත අසරණ තත්ත්වයට පත්වෙලයි හිටියේ. මම මේ ගැන දස අතේ කල්පනා කරමින් එදා රැය පොලිසියේ ගත කළා.” 
“පසුදින උදෑසන ජීප් රථයකින් කොටි නායකයෙක් යැයි සිතිය හැකි අයෙක් පැමිණ ඇති අතර ඔහුගේ ආරක්ෂාවට සන්නද්ධ කොටි සාමාජිකයින් සිටියා. මම කවුදැයි කියා දන්නවා දැයි කියා ඔහු පැහැදිලි සිංහලෙන් විමසුවා. දන්නේ නැතැයි කී පසුව, දන්නේ නැත්නම් හඳුනාගන්න. මම තමා එල්ටී.ටී.ඊ. පොලිස්පති නඩේසන් කියන්නේ කියලා ඔහු මාත් එක්ක කිව්වා. මම අවුරුදු තිස් එකක් පොලිසියේ රාජකාරි කර තිබෙනවා. ඒ නිසා ඔය හැම පැත්තක් ගැනම මම හොඳට දන්නවා. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මම පුහුණුව ලැබුවා ආදී වශයෙන් කොටි පොලිස්පති නඩේසන් විස්තර කිව්වා. ඔහු බොහොම හොඳට කරුණාවෙන් කතාබස් කළා. තමා විවාහ වෙලා ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කළ විනීතා කියන සිංහල නිලධාරිනියක සමග බවද ඔහු පවසා සිටියා.
ඊට පස්සේ ඔහු මගෙන් විමසුවා මොනවද තියෙන ප්‍රශ්න කියලා. ගෙදරට පණිවිඩයක් දෙන්න ක්‍රමයක් නැහැ කියා. ගෙදරට හෝ බස් එකේ අයිතිකරුට කෝල් එකක් ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියා. මම එහෙම කිව්වාට පස්සේ කොටි පොලිස්පති නඩේසන් කිලිනොච්චිය පොලිසියේ ඕ.අයි.සී.ට කතා කරලා කිව්වා මේ රියැදුරු මහත්තයාව කෝල් එකක් ගන්න පුළුවන් තැනකට එක්ක යන්න කියලා.
ඊට පස්සේ කිලිනොච්චියේ පොලිසියේ කොටි ඕ.අයි.සී. මාව කොටි පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙක් මගින් කොටින්ගේ සන්නිවේදන මධ්‍යස්ථානයක් වෙත කැඳවාගෙන ආවා. ඒ කොහෙද කියන්න දන්නේ නැහැ. ඒ ගැන අහන්න ගියෙත් නැහැ.”
“මම ඒ සන්නිවේදන මධ්‍යස්ථානයේ ඉඳලා බස් එකේ අයිතිකරු වෙන වසන්ත අයියාට කෝල් එකක් අරන් වෙච්ච සිද්ධිය සේරම කිව්වා. මම ඔහුට කිව්වා කොටි පොලීසියේ අය කිව්වා ලක්ෂ තුනහමාරක් දුන්නොත් මාව නිදහස් කරන්නම් යැයි කී බව. මල්ලි ඔයා බයවෙන්න එපා මම හෙට උදේම කිලිනොච්චියට එනවා සල්ලිත් අරගෙන කියා වසන්ත අයියා කිව්වා. කිව්වා වගේම ඔහු පහුවදා උදෑසනම තවත් කිහිපදෙනෙක් එක්ක කිලිනොච්චියට ආවා. සල්ලි දීලා මාව මුදාගෙන යන්නයි ආවෙ කියා ඔහු පැවසුවත්, ඕ.අයි.සී. කිව්වා උසාවියට ඉදිරිපත් කරලා නඩුවක් අහලා තමයි කරන දෙයක් කරන්නේ කියා. මට මගේ බස් එකත් එපා මේ සල්ලි අරගෙන රියැදුරු මහත්තයාව නිදහස් කරන්නැයි කියා ඔහු කිහිප වතාවක්ම බැගෑපත් වුණත් වැඩක් වුණේ නැහැ. ඔවුන් හිස් අතින් ආපසු ගියා. ඒ මාසයේ 27 වැනිදාට කොටි උසාවියට පැමිණෙන ලෙස කොටි රථවාහන අංශයෙන් ඔහුට දැනුම් දී තිබුණා.” යැයි ඉන්දික පැවසීය.
බස් රථයේ හිමිකරු වසන්ත කිලිනොච්චියට පැමිණි අවස්ථාවේ කොටි සංවිධානයේ නීතිඥයෙකු හමුවී මෙම අනතුර සම්බන්ධයෙන් පෙනීසිටින ලෙස ඉල්ලීමක් කර තිබුණ අතර එක් නඩු වාරයකට රුපියල් 200ක් අවශ්‍ය බව එම නීතිඥයා වසන්ත සමග පවසා ඇත. කොටි නායකත්වය ඔවුන්ගේ නීතිඥයින්ට හිතූ මිල ගණන් අයකිරීම තහනම් කර තිබූ අතර, නඩුවේ ස්වභාවය අනුව අය කළ යුතු මිල ගණන් කොටි සංවිධානය විසින් තීරණය කර තිබේ. වැඩි මුදලක් අයකර අසුවුවහොත් නීතිඥකමෙන් පහකර දමා ඇත. අයකර ගත් එම මුදලද සේවා දායකයාට ආපසු ගෙවිය යුතුය.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉන්දිකව බේරාගැනීමට මේ ගැන ජාත්‍යන්තර සටන්විරාම නිරීක්ෂණ කමිටුව වෙතද ඒ වෙනවිටත් පැමිණිලි කර තිබිණි.
කිලිනොච්චිය කොටි අධිකරණයට ඉදිරිපත් කරන තෙක් දින දොළහකට ආසන්න කාලයක් කිලිනොච්චිය කොටි පොලීසියේ රැඳෙන්නට ඉන්දිකට සිදුවිය.
“මාව බලන්න කොටි පොලිස්පති නඩේසන් විතරක් නෙමේ මුහුදු කොටි නායක සුසෙයි නැමැත්තාද පැමිණියා. මුහුදු කොටි නායකයාද මගෙන් තොරතුරු විමසුවා. රිය අනතුරකින් කෙනෙකු මියයාම සම්බන්ධයෙන් දකුණේ රියැදුරෙක් අත්අඩංගුවට ගෙන කොටි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරලා නඩු විභාගයක් කෙරුවේ පළමු වතාවට බව ඔවුන්ද මා සමග 
කියා සිටියා.”
ඉන්දික මෙම නඩුව සම්බන්ධව තොරතුරු හෙළි කළේ මෙසේය.
“එදා යාපනයේ යන්න ආවේ මාත් එක්ක වෙනදාට වැඩ කරන කොන්දොස්තරවරයා නොවේ. වෙනදාට කොන්දොස්තර වැඩේ කරන්නේ කුමාර කියලා කෙනෙක්. ඔහු යුද හමුදාවේ හිටපු සෙබළෙක්. එදා යාපනයේ වන්දනාවේ යන්න ආවේ වසන්ත අයියාගේ සහෝදරයෙක් වෙන චමින්ද. ඔහුව එල්.ටී.ටී.ඊ. පොලිසියෙන් දින තුනකට පස්සේ  නිදහස් කළා.
මාව කවදාක්වත් කොටි පොලිසියේ සිර මැදිරියේ රඳවා තැබුවේ නැහැ. මට ඕනෑම තැනක නිදහසේ ඇවිදින්න අවස්ථාව ලබාදී තිබුණා. පොලිසියෙන් කන්න බොන්න දුන්නා. කන්න හරිම අමාරුයි අප්පිරියයි. වම්බොටුයි බතුයි, එහෙමත් නැත්නම් මුරුංගයි බතුයි තමා හැමදාම කන්න දෙන්නේ. ඉඳලා හිටලා හරක් මස් දුන්නත් මම මස් කන්නේ නැති නිසා හරක් මස් ප්‍රතික්ෂේප කළා. හුඟක් දවස්වලට තුන් වේලටම මේ වෑංජනත් එක්ක බත් තමා ලැබෙන්නේ. සමහර දවස්වලට පිට්ටු. බොන්න තියෙන වතුර හරිම බොර පාටයි. මම විතරක් නෙමේ, කොටි පොලිසියේ අය කෑවෙත් මේවාම තමා. ඔවුන් නම් මේ කෑම තලු‍ මර මර කෑවා. මමත් කෑම කෑවේ පොලිසියේ අය එක්ක එකටයි. හුඟක් දෙනෙකුට හොඳට සිංහල කතා බහ කරන්න පුළුවනි. පොලිසියේම බංකුවක තමා මම නිදා ගත්තේ. වැසිකිළියට යන්න ඕනැ උනහම වතුර ටික පවා ළඟට ගෙනත් දෙනවා. දවස් පහකට හයකට විතර පස්සේ තමයි ඇඟපත හෝදා ගත්තේ. එකම ඇඳුම ඇඳගෙන දවස් ගාණක් හිටියා. යාළුවො කට්ටියක් මාව බලන්න ඇවිත් ඇඳුම් පැළඳුම් දුන්නා.
“දවස් තුන හතරක් ගියාට පස්සේ මම කිලිනොච්චිය එල්.ටී.ටී.ඊ. පොලිසියේ ලොක්කාට කිව්වා මට තනියම ඉන්න හරිම අමාරුයි. මගේ තනියට මගේම සහෝදරයා ගෙන්වාගන්න ඉඩ දෙන්න කියලා. ඔහු කොටි නායකයින් කිහිප දෙනෙකුගෙන් ඊට අවසර ලබාගත්තා. මගේ පෙනුමට බෙහෙවින් සමාන මගේ මිතුරෙක් අයියාගේ ජාතික  හැඳුනුම්පත රැගෙන මගේ අයියා විදිහට පෙනී ඉඳලා මගේ ළඟට ආවා. ඒ මම පදවන බස් රථයේ ස්ථිර කොන්දොස්තරවරයා 
වූ කුමාර. 
කොටි පොලිසියේ ඉද්දි, කොටි ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගෙන සිටි  යුද හමුදාවේ සෙබළුන් තිදෙනෙකු රැගෙන ආවා. ඔවුන් සමග කතා බහ කිරීමට මට තහනම් කරලයි තිබුණේ. ඔවුන් සමග ඉඩක් ලැබුණු හැම අවස්ථාවකදීම හොරෙන් කතාබහ කළා. එක් සෙබළෙක් මට ලියුමක් ලියලා දුන්නා, කවදා හරි නිදහස් වෙලා යන දවසකට මේ ලියුම කොම්පඤ්ඤවීදිය යුද හමුදා කඳවුරේ නිලධාරියෙක් අතට පත් කරන්නයි කියලා. ඒ ලියුම හංගලා තියා ගත්තා.” යැයි ඉන්දික පවසයි.


නියමිත දිනයේ කිලිනොච්චියේ පිහිටි කොටි උසාවිය වෙත ඉන්දික ඉදිරිපත් කරන දිනයේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගේ ඉල්ලීමකට අනුව එවක එහි ජාතික සංවිධායක වසන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායමක්ද කොටි උසාවියට පැමිණ සිටියහ.
ඉන්දික රියැදුරු වෙනුවෙන් කොටි උසාවියේ පෙනීසිට ඇත්තේ සංවිධානයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ මෙලවර් නැමැත්තෙකි. නඩුව විභාග කළේ කොටි නඩුකාරයෙකු ලෙස හැඳින්වෙන මනියරත්නම් නමැත්තෙකි.
නඩු විභාගයේදී තීන්දු වූයේ රියැදුරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද බස් රථය මුදාහැරීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ද ගෙවිය යුතු බවය. රුපියල් ලක්ෂයක දඩ මුදල ගෙවීමෙන් පසු රියැදුරු ඉන්දික  මුදාහැරුණු අතර පනස් දහසක මුදල ගෙවීමෙන් පසු 
බස්රථය මුදාහැරිණි.


“මම ගිහින් දුන්නු මෙම ලියුම නිසා එම යුද හමුදා සෙබළුන් තිදෙනා ගැන උසස් හමුදා නිලධාරීන් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට හා සටන් විරාම නිරීක්ෂණ කමිටුවට දැනුම් දීලා ඔවුන් තිදෙනාම පසු කලෙක නිදහස් කරගත්තා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ බංකර් හදන්න ලී කපන්න ගොස් හිටි අවස්ථාවේ බව පසුව දැනගත්තා.” යැයිද ඉන්දික සඳහන් කළේය.
ලී කැපීමට ගොස් අත්අඩංගුවට පත්වූ සෙබළෙක් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ ගැන දිනපතා ලංකාදීපය වෙනුවෙන් තොරතුරැ වාර්තා කිරීමට මෙම සටහන තබන ලේඛකයාද,  ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ද එම අධිකරණයට ගියහ. ඡායාරූප ශිල්පියා වූයේ එවකට ලංකාදීපයේ සේවය කළ මේ වෙනවිට ඉතාලියේ රැකියාවක නිරතව සිටින සංජීව නිරෝෂණය.
ඉන්දික, කොටි අධිකරණයෙන් නිදහස ලබා පැමිණ යුද හමුදාව අතට පත්කළ, කොටි පොලිස් භාරයේ සිටි විජේසිංහගේ ලියුමෙන් පසුව හමුදාව සහ රතුකුරුස සංවිධානය ක්‍රියාත්මක වී කොටි පොලිස් අත්අඩංගුවේ සිටි පිරිස නිදහස් කරගත්හ. එසේ නිදහස් වූ විජේසිංහ හෙවත් ඇකිරියේ විජේසුමන හිමියන් බැහැදැකීමට ඉන්දික පෙරේරා උන්වහන්සේ වැඩ සිටින බෙන්තොට වනවාස රජමහා විහාරයට කිහිප අවස්ථාවකදීම ගොස් ඇත.
(රියැදුරු ඉන්දික පෙරේරා ගැන අපට දැනුම්දුන් කැස්බෑවේ පදිංචි සංජීව රත්නායක මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය.)

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය