කොදෙව් බලය බින්ද පසු



එයට එක් හේතුවක් වෙන්නේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වෙන රචින් රවීන්ද්‍රා, ඩැරල් මිචෙල්, ටොම් ලේතම්, ටොම් බ්ලන්ඩල්, ඩෙවන් කොන්වේ යන ක්‍රීඩකයන් මෙවර තරගාවලියේදී විවේක ගන්වා සිටීමයි. මේ මාසය අගදී නවසීලන්තයේ පැවැත්වෙන එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියට වැඩි බරක් තැබීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය එම තීරණය කර තිබීම මෙයට හේතුවයි. 

කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලිය 3-0 ක් ලෙස ජයගනු ඇතැයි අපේ බලාපොරොත්තුව විය. කොදෙව්වන්ට එරෙහිව හොඳින්ම දස්කම් දක්වන පැතුම් නිස්සංක නොමැතිව ද පළමු තරග දෙක පහසුවෙන් ජයගන්නට ශ්‍රී ලංකාව සමත් විය. චරිත් අසලංක සහ නිෂාන් මධුෂ්ක ඉතා ඉහළ දස්කම් දැක්වූහ.  අප බලාපොරොත්වූතු පරිදිම වනිඳු හසරංග රිද්මයට ආවේය. මේ නිසා තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් පහසු විය. මේ තරග දෙකේ සාර්ථකත්වයෙන් පසුව, පැතුම් නිස්සංක කණ්ඩායමට එද්දී නිෂාන් මධුශ්ක ඉවත්කිරීම ගැන බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවිය. එහෙත් එහිදී වූයේ, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් යන ලකුණු අතර නොසිටි දෙදෙනාට තවත් අවස්ථාවක් දී බැලීමය. ඒ අවස්ථාව මෙන්ඩිස් ලබා ගත්තද අවිශ්ක ප්‍රනාන්දු ලබා නොගත් බව අපේ අදහසයි. ඒ අනුව නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී නිෂාන් මධුශ්ක ආරම්භක පිතිකරුවා විය යුතුය. අවි අමෝරාගත යුත්තේ එසේ නොවුවහොත්ය. 

සමස්ථ තරගාවලිය දෙස බලනවිට, ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන්ට උචිත තණතිලි හැදුවාය යන චෝදනාවෙන් බැහැර විය නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙද්දී තත්ත්වය එසේය. එය වෙනස් කළ නොහැකි තත්ත්වයකි. මේ නිසා නවසීලන්තයට එරෙහිවද මෙය කළ යුතුව තිබේ. අනෙක් අතින්, කොදෙව් දූපත්වලදී හොඳින් පන්දු යවන ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට, ශ්‍රී ලංකාවේ දී දස්කම් දැක්වීමට වැඩි අවස්ථාවක් නොවීය. 

තරගාවලිය දෙස නැවත හැරී බලද්දී චරිත් අසලංක නායකයෙකු ලෙස තීරණ ගැනීමටත් වගකීම් ගැනීමටත් පසුබට නොවීම පැහැදිලිව දැකගත හැකි විය. අසීරු අවස්ථාවලදි පන්දු යැවීමට පැමිණ වගකීම ගැනීම නායකත්වය සම්බන්ධයෙන් ඉහළ හැකියාවක් ඇති බව පෙන්වූ අවස්ථාවන් විය. කෙසේ වුවද, පන්දු යැවීමේ දී අවස්ථා දෙකකදී තමන්ගේ කාර්යය නිමා වූවා යැයි අවබෝධ කරනොගෙන අතිරේක ඕවරයක් යැවීමෙන් අසලංක අමාරුවේ වැටෙනු දැක ගත හැකිවිය. එය අත්දැකීම් සමග නිවැරදි වෙනු ඇතයි අපේ විශ්වාසයයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම එසේ දස්කම් දක්වද්දී, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය. මේ තරගාවලියේ හොඳම කණ්ඩායම වූ ඇෆ්ගනිස්ථානය කුසලානය රැගෙන ගිය අතර, අවසන් තරගය දක්වා පැමිණීම ශ්‍රී ලංකාව පැත්තෙන් සුබ ලකුණකි. තරගාවලියේ පිතිකරුවන් ලෙස මතු වූ අහාන් වික්‍රසිංහ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙන්නට ඇත. පාසල් සමයේ සිටම පීඩනය දරාගත හැකි පිතිකරුවෙකු ලෙස දස්කම් පෙන්වූ අහාන්, පළමුපෙළ තරගවලදීද එම දස්කම් මුවහත් කරගත්තේය. මේ නිසා ප්‍රධාන කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ට දිගින් දිගටම අසාර්ථක වීමට අවස්ථාවක් නොමැති බවට අහාන් පණිවුඩය එවා ඇත. එසේම ලහිරු උදාර, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත තරගාවලිය පුරා දස්කම් දැක්වූහ. මේ නිසා නැගී එන කණ්ඩායම් අතර තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කුසලානයක් අත් නොවූවද, වාසියක් වූ බව ලියා තැබිය හැක. 

එළැඹෙන සෙනසුරාදා දිනයේ නවසීලන්තයට එරෙහි සුදු පන්දුවේ තරගාවලිය ඇරඹෙයි. සෙනසුරාදා සහ ඉරිදා විස්සයි20 තරග දෙක පැවැත්වෙයි.  ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් ජයග්‍රහණය කර ඉතිහාසයේ පළමුවරට ඉන්දියාවේ දී ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියක් ජයගෙන සිටින නවසීලන්තය, මෙවර ශ්‍රී ලංකාවට එවන්නේ තරුණ කණ්ඩායමකි. එහෙත් මිචෙල් සැන්ට්නර්, ග්ලෙන් පිලිප්ස්, මාක් චැප්මන්, හෙන්රි නිකලස්, ලුකී ෆර්ගසන්, ඉෂ් සෝඩි හා මයිකල් බ්‍රේස්වල් යන විස්සයි20 ක්‍රීඩකයෝ කණ්ඩායමට එක්වී සිටිති. මේ කණ්ඩායම බැලූ බැල්මට අත්දැකීම් අඩු කණ්ඩායමක් වුවත් නැති වෙන්නට දෙයක් නොමැති කණ්ඩායමක්ය. ග්ලෙන් පිලිප්ස්, මාක් චැප්මන් හා මයිකල් බ්‍රේස්වල්ගෙන් පරිස්සම් වීම ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම කළ යුතුව තිබේ. එසේ නොවෙන්නට, මේ තිදෙනාට තරගයක් කණපිට හැරවීම ඉතා පහසුය. 

ශ්‍රී ලංකාව පැත්තෙන් කිසිදු ක්‍රීඩකයෙකු අර්බුදයක නැත. නුවන් තුෂාර මෙවර තරගාවලියේ දී තමන්ගේ උපරිමයට ළඟා වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ හැරෙන්නට, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ රිද්මයේ අවුලක් නැත. කෙසේ වුවද, ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී විස්සයි20 8 ක් ක්‍රීඩාකර, හතරක් ජයගෙන දෙකක් පමණක් පරාජයට පත්වී සිටින නවසීලන්තය, මෙවර තරුණ කණ්ඩායමක් සමගද ජයක් සොයනු නියතය. එහෙයින් සූදානමින් සිටීම වැදගත්ය.


කාංචන දසනායක