කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි. නමුත් එයට “ආතරයිටිස්” යැයි බරපතළ නමක් ඇති බව නම් එදා ඔවුන් නොසිතන්න ඇති. කෙසේ වෙතත් එදා සහ අද තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. වර්තමානයේ ආතරයිටිස් වැඩිහිටියන් අතර මෙන්ම තරුණයන් අතරද ප්‍රචලිත වන්නේ, එය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් පීඩාවට පත් කරන රෝගයක් වී ඇති බැවිනි.
මෙවර කතාබහ ආතරයිටිස් සඳහා ආයුර්වේදයෙන්, සිද්ධ වෛද්‍ය විද්‍යාවෙන් පිළියම් සොයන ඔබ වෙනුවෙන් වෙන් කළෙමු.
Q: ආතරයිටිස් යනු?
මිනිස් සිරුරේ විශාලත්වයෙන් ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම ප්‍රමාණාත්මකව සහ ව්‍යුහාත්මකව ද විවිධ වූ විශාල සන්ධි ප්‍රමාණයක් ඇත. මෙසේ ශරීරය තුළ පිහිටි විවිධ අස්ථි සන්ධිවල ඇති වෙන්නා වූ ප්‍රධාහ තත්ත්වය හෙවත් ආසාධන තත්ත්වය සරලවම ආතරයිටිස් ලෙස හඳුන්වයි.
මෙම ආතරයිටිස් වර්ග කිහිපයකි.
ඒ අතර අප බහුලව සාකච්ඡා කරන ඔස්ටියෝ ආතරයිටිස් (Osteoarthritis), රූමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis), සොරියාටික් ආතරයිටිස් (Psoriatic arthritis), ගවුට් ආතරයිටිස් (Gout arthritis), ජූවනායිල් ආතරයිටිස් (Juvenile arthritis) ලෙස ආතරයිටිස් වර්ග කීපයකි. මෙහිදී සොරියාටික් ආතරයිටිස් සඳහා සිද්ධ විද්‍යාවේ කලංජගපඩයි (Kalanjagapadai) යන නම භාවිත වේ.
මෙම වර්ග අතරින් අපිට බහුලව හමුවෙන ආතරයිටිස් වර්ග දෙකකි. එකක් අප බහුලව සාකච්ඡා කරන ඔස්ටියෝ ආතරයිටිස්ය (Osteoarthritis). මෙය සිද්ධ වෛද්‍ය විද්‍යාවේ අසාල් කීල් වායු (Azhal keel vayu) ලෙසත් ආයුර්වේදයේ දී සන්ධිගත වාත යන නමිනුත් හඳුන්වයි.
දෙවැන්න රූමැටොයිඩ් ආතරයිටිස්ය (Rheumatoid arthritis). මෙය සිද්ධ විද්‍යාවේ වාලි අසාල් කීල් වායු (vali azhal keel vayu) වන අතර ආයුර්වේදයේදී ආම වාත යන්නත් භාවිත වේ.
Q: ආතරයිටිස් රෝග ලක්ෂණ?
ආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ ප්‍රධාහ තත්ත්වයක් හඳුන ගන්න පුළුවන් ලක්ෂණ තමා - සාමාන්‍යයෙන් සන්ධියක් ඉදිමීම, අධික වේදනාව, සාමාන්‍යයෙන් සන්ධියක චලන වේගය අඩුවීම, ආසාධනය වැඩි වූ විට රත් පැහැයක් දැකගත හැකිවීම ප්‍රධාන වශයෙන්ම දැක ගන්න පුළුවන්. ඊට අමතරව සන්ධිය නැමීමේ දී සහ දිගහැරීමේ දී ඇතමෙකුට ඇතිල්ලීමක් වැනි ශබ්දයක් ඇසීමත් අතරයිටිස් රෝගයේ දී බැලූ බැල්මට පෙනෙන ලක්ෂණ වෙනවා.
Q: ආතරයිටිස් අවදානම වැඩි කාට ද?
“ඔස්ටියෝ ආතරයිටිස් හෙවත් අසාල් කීල් වායු රෝගය වයස්ගත පුද්ගලයන්ට සෑදීමේ වැඩි බලපෑමක් පවතිනවා. නමුත් එය ඔවුන්ටම පමණක් සීමා කිරීමට පුළුවන්කමක් නැහැ. තරුණ අවධියේදීත් මේ ඔස්ටියෝ ආතරයිටිස් නමැති රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. යම් පුද්ගලයෙකුට උපතේදී ම ඇති වන්නා වූ විකෘතිතාවන් නිසා සන්ධිවලට අවශ්‍ය පෝෂණය අඩුවීම හේතුවෙන් එය දිරාපත් වීමට ඇති හැකියාව වැඩි වෙනවා. මෙහිදී දිරාපත් වීම යනු අස්ථි සන්ධි අතර පවතින කාටිලේජ ප්ලේට් එක අඩුවීම. මේ නිසා අස්ථි එකට සම්බන්ධ වී ඇති ආටිකිලර් සර්ෆිසීස් (Articular surfaces) එකට හානි වීමේ හැකියාව තියෙනවා. ඒ හානිය සමග අස්ථිය වටේට කැල්සියම් කොටස් අක්‍රමවත්ව තැන්පත් වෙන්න පුළුවන්. ඒත් සමග අස්ථියේ සන්ධි විශාල වීම හෙවත් අක්‍රමවත් කැල්සියම් තැන්පත් වෙනවා. මෙය ඔස්ටියෝෆයිට් (Osteophytes) සම්බන්ධ වීමක් කියලා කියනවා.”
ඔස්ටියෝ ආතරයිටිස් රෝග තත්ත්වයට අදාළ වෙන ප්‍රධාන දෝෂය වෙන්නේ වාතය. වාත, පිත, කප කියලා ධාතු තුනක් තියෙන්නෙ. මේ ධාතු තුන අපිරිසිදු වුණාම තමයි දෝෂ බවට පත් වෙන්නේ. වාතය කියන දේ ධාතු තත්ත්වයේ තියෙන කොට හරිම හොඳයි. හැබැයි ඒක දෝෂයක් වුණාට පස්සේ ඒක අපේ ශරීරයේ රෝග තත්ත්ව ඇති කිරීමට තමයි බලපාන්නේ. මෙහිදී වාත, පිත සහ කප කියන තුනම ඒ ඒ අවධිවලදි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවා පරීක්ෂා කරන්න තමයි අපේ මේ පාරම්පරික සිද්ධ වෛද්‍යවරු අෂ්ටවිධ පරීක්ෂා භාවිත කරලා තියෙන්නේ. දිව බලනවා, ස්පර්ශ කරලා බලනවා, ඊට අමතරව හමේ පාට, මුත්‍රා, මල කොටස්වල වෙනස් වීම්, පරීක්ෂා කරලා අපි නිශ්චය කර ගන්නවා මේක මොන ආතරයිටිස් රෝගයක් ද කියලා. දැන් අපිට කලින්ට වඩා උපකරණ තියෙන නිසා පරීක්ෂා කරන්න ලැබෙන අවස්ථාත් වැඩියි. ඒ අනුව මෙහිදී අපිට සම්පූර්ණ රුධිර ගණනය කිරීමක් කරන්නත් පුළුවන් (full blood count). ඒ වගේම ආතරයිටිස් වර්ගයක් වන ගවුට් ආතරයිටිස් (Gout arthritis) රෝග නිර්ණයක් සඳහා අපි බලනවා යූරික් ඇසිඩ් වගේ දේවල්, ඊට පස්සේ සීරම්, කැල්සියම්. රූමැටොයිඩ් ආතරයිටිස් ද කියලා නිර්ණය කර ගැනීමට නම් රූමැටොයිඩ් ෆැක්ටර් සහ CRP, X-ray එකක් ප්‍රධාන වශයෙන් බලන්න පුළුවන්. එතනින් එහාට ගිහින් කාටිලේජ කොච්චර ප්‍රමාණයක් විනාශ වෙලාද බලන්න වගේ තව වැඩිදුර පරීක්ෂණවලට MRI සහ තව විශ්ලේෂණයන් කරන්න පුළුවන්.
Q: අතරයිටිස් නිට්ටාවට සුව කළ හැකි ද?
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ශෝධන, සමන, තර්පන ලෙස විෂ ඉවත් කිරීම, සමතුලිතතාව, යථා තත්ත්වයට පත් කිරීම සහ පෝෂණය සඳහා භාවිත ක්‍රම සිද්ධ වෛද්‍ය ක්‍රමයේදීත් භාවිත කරනවා. සිද්ධ වෛද්‍ය ක්රමයේ දී මූලිකත්වය දෙන්නේ අපි ශෝධනයට. ඒකෙදි අපි purgation therapy නැත්තම් විරේක මුලින්ම කරනවා. මොකද විරේක කර්මවලින් තමයි වාතය කියන දේ අපිට ප්‍රධාන වශයෙන්ම අනුලෝමනය කරන්න පුළුවන්. හැබැයි විරේක කර්මවලට අපි රෝගයෙන් රෝගයට වෙනස් කර්ම තමයි භාවිත කරන්නේ. සිද්ධ වෛද්‍ය ක්රමයේ විශේෂ තෙල් වර්ගයක් තියෙනවා වාත නාශ තෛලය කියලා.
ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වයේ දී අපි ඒක වැඩිම වුණොත් මිලිලීටර් 30 විතර උදේ රෝගියාට හිස් බඩට දෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසෙ ඉඳන් පොඩි විවේකයක් දීලා ඉන් අනතුරුව සමන, තර්පන කියන ක්‍රම අනුව අවස්ථානුකූලව, සන්ධිය පවතින ස්වභාවය මත අභ්‍යන්තර සහ බාහිර වශයෙන් බෙහෙත් ලබාදීම සිදු කරනවා. මෙහි දී අපි වැඩිපුරම භාවිත කරන බෙහෙත් වර්ග තමා අමුක්කරා (Amukkara), සම්බුපක්කන් (Sambupakkan) කියන්නේ.
සිද්ධ වෛද්‍ය විද්‍යාවේ අපි පෂ්බම් (Pashbam), සෙන්දූරම් (Senduram), මිලාහු (Milahu) කියලා විශේෂිත වූ ඖෂධ වර්ග ප්‍රධාන වශයෙන් භාවිත කරනවා. ඒ කසායවලට අමතරව, ඊට එහා ගිය ලෝහ (metals) සහ ඛනිජ වලින් (Minerals) හදන ඖෂධ වර්ග. මේ රෝගී තත්ත්වය මැඩ පවත්වන්න ඒ ඖෂධවලින් ලොකු බලපෑමක් කරනවා.”
වර්තමානයේ නිරන්තර සන්ධි වේදනාවට මිනිසුන් සොයන්නේ සදාකාලික සුවයක්. මේ රෝගී තත්ත්වය සීයට සීයක් සුව කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එය රෝගියාගේ තත්ත්වය මත රඳා පවතිනවා. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් වයසට යනවිට කාන්තාවන්ට හැදීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. හේතුව තමයි කාන්තාවන්ගේ මාසික ශුද්ධිය නතර වීමත් සමග ඔවුන්ගේ හෝමෝන අඩුවීම, ප්‍රධාන වශයෙන් ඊස්ටජන් හෝමෝනයේ අඩුවීම බලපානවා අස්ථි සන්ධිවල ඇති වෙන ප්‍රධාහ තත්ත්වයට. ඒ අනුව කාන්තාව සහ පුරුෂයා අතරින් වැඩි බලපෑමක් තියෙන්නේ කාන්තාවන්ට.
එහෙම කියලා පිරිමි පාර්ශ්වය නොසලකා හරින්න බෑ මොකද ඔවුන් නිරත වෙන රැකියාව මෙයට බලපානවා. කරන රැකියාව වැඩිපුර සිටගෙන ඉන්න එකක් නම්, බර උස්සන එකක් නම්, එවැනි පුද්ගලයන්ට ඉක්මනින් මේ රෝගය හැදෙනවා. මේ සඳහා වයස්ගත වෙන්න අවශ්‍යම නැහැ. පුද්ගලයා අධික ලෙස සන්ධි පරිභෝජනය කරනවා නම් ඒ අයට ඔස්ටියෝ ආතරයිටීස් කියන රෝගී තත්ත්වය ඇති වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව කාන්තාවන්ගෙත් සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය නැවතෙන්නේ අවුරුදු 50 න් විතරනෙ. ඒ වගේම සමහර කාන්තාවන් අවුරුදු 25 - 30 වගේ වෙද්දි විවිධ සංකූලතා හේතුවෙන් ඔවුන්ගේ ගර්භාෂය ඉවත් කරනවා. එවැනි තත්ත්වයන් මතත් ඔවුන්ගේ හෝමෝනවල අඩුවීමත් එක්ක 30 - 35 වැනි වයසේදී ම ඔස්ටියෝ ආතරයිටීස් සෑදීමේ ඉඩකඩ පවතිනවා. එවැනි තත්ත්වයකදී ගර්භාෂයක් ඉවත් කළ පසු ඒ තුළ ක්‍රියාත්මක වූ හෝමෝන නැවත ඇති කිරීමට හැකියාවක් ආයුර්වේදයේදී නැහැ. නමුත් ඒ හරහා ඇති වෙන සංකූලතා මගහැර ඔවුන්ට වේදනාවකින් සහ අපහසුතාවකින් තොරව ජීවිතේ වැඩකටයුතු කරගෙන යෑමට උදව් කිරීමේ හැකියාව මේ වෛද්‍ය ක්‍රමය හරහා ලබා දිය හැක.
Q:ආතරයිටීස්වලට සුදුසු ආහාර?
රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී ආහාර පාලනයද ඉතා වැදගත් වේ. ආතරයිටිස් රෝගී තත්ත්වයට සුදුසු සහ නුසුදුසු ආහාර ඇත. ඒ අනුව සුදුසු ආහාර ලෙස වැටකොළු, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා වැනි එළවළු, කැල්සියම් බහුල ආහාර, එළකිරි, මීකිරි වැනි කිරි වර්ග, ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, මුරුංගා කොළ ආහාර ලෙස ගැනීම සුදුසු වේ.
Q:නුසුදුසු ආහාර?
නොගත යුතු ආහාර අතර ප්‍රධාන වශයෙන් රස වර්ග කිහිපයකි. එනම් තිත්ත රස, කහට රස සහ මිරිස් සැර යන තුන ඉවත් කළ යුතුයි. ඒ රස වර්ග නිතර ආහාරයට ගැනීමේ දී වාත ධාතුව කිපිය හැකි බැවිනි. ඒ පිළිබඳ අදහස් දැක්වූ කරුණාරත්න වෛද්‍යතුමා “වාතය කියන ධාතුව දෝෂයක් බවට පත් කිරීමට හැකි පංච භූත වලින් භූත වර්ග දෙකක් මේ රසවල තියෙනවා. ඒ නිසා ඒ රස වර්ග වලින් ඉවත් විය යුතුයි. ඊට අමතරව කාබෝහයිඩ්රේට් වැඩි ආහාරවලින් වැළකිය යුතුයි. එමෙන්ම උදේ, දවල් රාත්රියේදී අපි ගන්නා කැලරි ප්‍රමාණය අඩු කර ගතයුතුයි. කාබෝහයිඩ්රේට් යනු පිටි විතරක් නොව අපි එදිනෙදා ගන්න බතුත් ඊට අයත් වෙනවා. ඒ නිසා ඒවාත් අඩු කරන්න ඕනේ”
Q: කොරෝනා එන්නතෙන් පසු එන කකුල් වේදනාව ආතරයිටිස්?
කොරෝනා වෛරසයට ලබාගත් එන්නත් හේතුවෙන් කකුල් ඉදිමුම, සන්ධි වේදනා වැනි විවිධ සංකූලතාවයන් ඇතිවීම බහුල වශයෙන් අපට දක්නට ලැබුණා. අපිට රෝගීන් නිතරම කියන දෙයක් තමයි - මෙච්චර දවස් අපි හොඳට හිටියා, කොරෝනා වෛරසයට ගහපු වැක්සින් එකෙන් පස්සෙ විවිධ සංකූලතා ආවා කියලා. එහිදී ප්‍රධාන වශයෙන් කියන දෙයක් තමයි අත පය උස්සන්න බෑ, වැඩිය මහන්සි වෙන්න බෑ, වගේ දේවල්. සමහරුන් අංශභාගේ හැදුණා කියනවා. හැබැයි ඒක අපිට සීයට සීයක් කියන්න බෑ. මොකද ඒකට සාධක තියෙන්න ඕනෙ නිසා. හැබැයි මේක සිද්ධ වෛද්‍ය විද්‍යාවට ගළප ගන්න කොට එය සිදුවීමේ ප්‍රවණතාවක් තියෙනවා. කොරෝනා කියන්නේ වෛරස් එකක්. ඒකට විරුද්ධව වැක්සින් එකක් විදිහට ගන්නෙත් අක්‍රීය කරන ලද වෛරස් එකක්. ඒකෙන් වෙන්නෙ අපේ ශරීරයේ ඇති වෙනවා වෛරස් එකට විරුද්ධව ප්‍රතිදේහ කියලා කොටසක්. ඒ ප්‍රතිදේහ අපේ සන්ධි හරහා ගමන් කිරීමේදී සන්ධිවල සයිනෝවියල් මෙම්බ්රේන් (Synovial Membrane) කියලා තියෙන කොටස ආසාදනයට ලක් වෙන්න පුළුවන්. සිද්ධ වෛද්‍ය විද්‍යාවේදීත් අපි භාවිත කරනවා මලම් කියලා කොටසක්. මලම් කියලා කියන්නේ අපේ ශරීරයට අනවශ්‍ය ඕනෙම දෙයක්.
ග්ලූකෝස් වුණත් අධික විදිහට තියෙනවා නම් ඒකත් මල කොටසක් විදිහට සලකන්නෙ. රුධිරය වුණත් රුධිර නාළවලින් පිටත තැනක තියෙනවා නම් සලකන්නේ මල කොටසක් විදිහට. ප්‍රතිදේහ වුණත් අතිරික්තව තියෙනවා නම් ඒකත් මල කොටසක්. මල ද්‍රව්‍ය ශරීරයේ එකතු වීම වාත රෝගය වැඩිවීමට ප්‍රධාන හේතුවක්. ඉතින් එහෙම බැලුවම අර කතාවේ ඇත්තකුත් තියෙනවා. හැබැයි ඒ වගේ තත්ත්වයකදී එන්න පුළුවන් ආතරයිටිස් වර්ගය වෙන්නේ රූමැටොයිඩ් ආතරයිටිස් වර්ගය නැත්තම් වාලි අසාල් කීල් වායි කියන රෝග තත්ත්වය. එවැනි තත්ත්ව වුණත් සුව කිරීමේ හැකියාව පවතිනවා. මුලින්ම වාත අනුලෝමනයකදී ප්‍රතිකාර ක්‍රමවේදයේදී මල ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු අග්නිය වැඩි කරලා පෝෂණය කිරීමක් තුළින් මේ රෝගී තත්ත්ව අපිට සුව කිරීමේ හැකියාවක් තියෙනවා.
Q: කකුල් ඉදිමෙන හැමෝටම ආතරයිටිස් ද?
කකුල් ඉදිමීම සුව නොවූ පමණින් කෙනෙකුට ආතරයිටිස් රෝගය ඇති බවට නිශ්චය කළ නොහැක. මන්දයත් අංශභාගය වැනි රෝගයකදී රෝගියෙකුට දිගු කාලීනව පවතින අංශභාග තත්ත්වය නිසා සන්ධි පෝෂණය වීම අඩු වීමත් සමඟ සන්ධිය දිරාපත් වීම ඇරඹේ. එමෙන්ම ඕනෙම කෙනෙක් ගෙ ඇවිදීම, චලනයන් අඩුවෙන විට සන්ධිවල රුධිර ගමනය අඩු වේ. එවැනි තත්ත්වයක් වුවද ආතරයිටිස් තත්ත්වයකට හැරීමට හැක. එසේම කකුල් ඉදිමීම ඇතුළු මුළු ශරීරයම ඉදිමීම ආතරයිටිස් තත්ත්වයක් ලෙස ගත නොහැකියි. වෛද්‍යවරයෙකුගේ නිවැරදි රෝග නිර්ණයකින් තොරව, තියෙන්නේ ආතරයිටිස් කියලා හිතන්න බැහැ. සමහර විට එම වේදනාව ඊට වඩා බරපතළ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකද වකුගඩුවෙ, අක්මාවෙ, රුධිර ගත ගැටලු, පිළිකා තත්ත්ව වලදීත් කකුල් ඉදිමුම් වලට ලක් වෙනවා. ඒ වගේම කකුල් දෙකේම ඒකාකාරී ලෙස රුධිර කැටි සිරවීම නිසාත් ඉදිමෙනවා වෙන්න පුළුවන්. මේ වගේ රෝගී තත්ත්වවලදි කළ හැකි හොඳම දේ සුදුසු වෛද්‍යවරයෙකු වෙත ගිහින් නිවැරදි රෝග විනිශ්චයකින් පසුව ප්‍රතිකාර ගැනීම. නැතහොත් දරුණු සංකූලතා ඇති වී මිය යෑමට පවා පුළුවන්.”
කෞශල්‍යා ලක්ෂානි