ග්‍රහක අල්ලන් කන්නයි හදන්නේ



ඇමෙරිකාවේ නාසා ආයතනය 2025 වසරෙන් පසු ‘ආටිමිස්’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ සඳහා යළි සඳට යෑමට බලාපොරොත්තු වෙයි. ගගනගාමියකු පමණක් නොව, ගගනගාමිනියක ද සඳට යැවීම සිදුවනු ඇත්තේ ‘ආටිමිස්’ මෙහෙයුම් යටතේය. ඉන්පසු, සඳ මත ජනාවාස පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවනු ඇති අතර, මේ වනවිටත් සඳ මත ජනාවාස ඉදිකරන්නේ කෙසේදැයි සැලැසුම් සකස් කර අවසන්ය. සඳ ජය ගැනීමෙන් පසු ඇමෙරිකාවේ නාසා ආයතනයේ මීළඟ ඉලක්කය, අඟහරු හෙවත් රතු ග්‍රහයාට ගගනගාමීන් යැවීම සහ අඟහරු මත ජනාවාස පිහිටුවීමය. 

නාසා ආයතනය සමඟ එක් වී සිටින ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ සමාගමේ හිමිකරු, බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ, දවසක තමන් පෘථිවිය හැර අඟහරු මත පදිංචියට යන බවත්, තමන් අවසන් සුසුම් හෙළන්නේ අඟහරු මතුපිට බවත්ය. අඟහරු ගවේෂණයෙන් පසු, සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතට යමින්, විශ්වයේ ඈතට යමින් ගවේෂණය කිරීමට ඇමෙරිකාව පමණක් නොව, රුසියාව, චීනය, යුරෝපා රටවල් පමණක් නොව, අප අසල්වැසි ඉන්දියාව පවා බලාපොරොත්තු දල්වා සිටී.  

අභ්‍යවකාශ ගමන් බිමන් පහසු නොවෙයි. අවුරුදු ගණනකට ආහාර, ජලය රැගෙන අභ්‍යවකාශ යානාවලින් යෑම අසීරුය. ගැඹුරු අභ්‍යවකාශයේ ඈතට ගමන් කරද්දී, අභ්‍යවකාශයෙන් ආහාර සොයාගැනීමට හැකියාවක් ඇතිදැයි සම්බන්ධයෙන් විද්‍යාඥයෝ උනන්දුවක් දක්වති. පසුගිය දා, බටහිර විද්‍යාඥයෝ මෙම ගැටලු‍වට අපූරු පිළියමක් ඉදිරිපත් කළහ. ඒ, විශ්වයේ පාවෙන ග්‍රහකවලින් ආහාර සකස් කර ගැනීම එසේ නැතිනම් ගගනගාමීන්ට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි. 

සිදුවන්නේ ග්‍රහක අල්ලාගෙන ඒවා ආහාරයට ගැනීම නෙවෙයි. ග්‍රහකවල ඇති කාබන් එම ග්‍රහකවලින් ලබාගෙන, ඒවායින් කෑමට ගත හැකි, ආහාරමය ද්‍රව්‍යයක් සකස් කර ගැනීමය. මෙම නව අදහස ඉදිරිපත් කරමින් ඒ ගැන පැහැදිලි කර ඇත්තේ, එංගලන්තයේ ලන්ඩන් නුවර, ඔන්ටැරියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජාෂුවා පියර්ස්ය. මහාචාර්යවරයා මෙම නව අදහස ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකන් සහ නෙදර්ලන්ත පර්‌යේෂකයන් එක් වී  සිදු කරන  නව  පර්‌යේෂණයක් පාදක කර ගනිමිනි.

ඇමෙරිකාවේ මිචිගන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, පර්‌යේෂකයන්, ඇමෙරිකන් ආරක්ෂක අමාත්‍යාංශයේ නව පර්‌යේෂණයකට සම්බන්ධ වී පරිසරය වනසන ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ආහාර බවට පත් කිරීමේ නව ක්‍රමවේද සකස් කරයි. මෙම ක්‍රියාවලිය හැඳින්වන්නේ,‘ පයිරෝලිසිස්’ යනුවෙනි. ඝන, වායු සහ තෙල් වශයෙන් ප්ලාස්ටික් ලෙස වෙන් කිරීම මෙම ක්‍රියාවලියයි. ප්ලාස්ටික්වලින් වෙන් කර ගන්නා තෙල්, ජෛව ප්‍රතික්‍රියාකාරකයක් තුළදී, බැක්ටීරියා සඳහා ආහාර ලෙස ලබා දෙයි. ප්ලාස්ටික් ආහාරමය ද්‍රව්‍යයක් ලෙස සකස් කර ගන්නා ‘පයිරෝලිසිස්’ ක්‍රමවේදය භාවිතයට ගනිමින්, ග්‍රහකවල ඇති කාබන් යොදාගෙන ආහාර සකස් කර ගැනීම කළ හැකි යැයි මහාචාර්ය ජාෂුවා පියර්ස් පෙන්වා දෙයි.

පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී, අධික තාපය නිසා දීප්තිමත්ව දහනය වන ආකාශ වස්තූන් ‘උල්කා’ නමින් හැඳින්වෙයි. පෘථිවි වායුගෝලයට ඇතුළුවෙන පාෂාණ කැබැලි වල්ගා තරු මෙන් මෙසේ දීප්තියෙන් දැල්වෙන්නේ ඒවායේ ඇති දූවිලි සහ පාෂාණ අංශු කොටස් ගිනි ගනිද්දීය. උල්කා බොහොමයක් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී දැවී අළු වෙයි. උල්කා එසේත් නැතිනම් උල්කාපාත පෘථිවි වායුගෝලය පසාරු කර ගෙන දැවී විනාශ නොවී, පෘථිවි පෘෂ්ඨයට වැටෙන්නේ නම් ඒවා උල්කාශ්ම යනුවෙන් හැඳින්වෙයි. තරමක් ප්‍රමාණයෙන් විශාල, එසේ දැවී අළු වී නොයන උල්කා තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ උල්කාපාත එසේත් නැතිනම් උල්කාශ්ම යනුවෙනි. දැවී අළු වී නොගොස් කඩා වැටුණු උල්කා කැබලි ක්ෂුද්‍ර ජීවීන්ට ආහාර ලෙස ලබාදීමට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විර්ජේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ඇන්මෙක් වජීන් සමත් වී සිටී.


ඒ අනුව, මිචිගන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ ඇම්ස්ටර්ඩෑම් විර්ජේ විශ්ව විද්‍යාලයේ ඇන්මෙක් වජීන් ප්‍රමුඛ ඇගේ පර්යේෂණ කණ්ඩායම් එක් වී, ග්‍රහකවලින් ලබාගන්නා කාබන් යොදාගෙන අභ්‍යවකාශයේ දුර ගමන්වල යෙදෙන ගගනගාමීන්ට ආහාර ලෙස සකස් කිරීම කළ හැකි යැයි මහාචාර්ය ජාෂුවා පියර්ස් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. අනාගතයේ දිනයක අභ්‍යවකාශයේ චාරිකා යෙදෙන ගගනගාමීන්ට, අභ්‍යවකාශ යානා සහ රොකට්ටුවල ආහාර සහ ජලය පවටාගෙන රැගෙන යෑම කළ නොහැකිය. එහෙයින් ආහාර අතරමඟදී සකස් කර ගැනීමත්, ජලය වෙනුවට මුත්‍ර පෙරා යළි බීමට ගැනීමටත් සිදුවන බව මහාචාර්ය ජාෂුවා පියර්ස් පෙන්වා දෙයි.

ග්‍රහක යනුවෙන් හැඳින්වන්නේ, අප සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේදී, සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම්වලින් කැබැලි වුණු ග්‍රහලෝක ඇතුළු ග්‍රහ වස්තූන්වල කොටස්ය. මේවා අඩි කීපයක සිට කිලෝ මීටර් දහස් ගණනක් දැවැන්ත වෙයි. මීට අවුරුදු මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ ඩයිනසෝරයන් විනාශ වී ගියේ කිලෝ මීටර් 10 ක් හෝ 15 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙනි. නවතම අධ්‍යයනයකට අනුව තහවුරු වී ඇත්තේ, එදා, අවුරුදු මිලියන 65 කට පෙර, පෘථිවියේ හැපුණේ එක් දැවැන්ත ග්‍රහයක් නොව, ග්‍රහක දෙකක් බවය. මේ වනවිටත් විටින් විට දැවැන්ත ග්‍රහක පෘථිවිය අසලින්, පෘථිවිය පසු කර යයි. ඒවායේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් පෘථිවියේ හැපී මහා විනාශයක් විය හැකිය.

පෘථිවියේ ගැටේවි යැයි බිය පළ කෙරෙන ග්‍රහක සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයෝ සැම විටම විමසිල්ලෙන් පසුවෙති. පෘථිවියට නුදුරින් විශ්වයේ ගමන් කරන මෙවැනි ග්‍රහක කැබලි, උල්කා ආදිය හැඳින්වෙන්නේ ‘නියෝ’ යනුවෙනි. 2008 කේවී 2 විශාලත්වයෙන් වැඩි ‘ නියෝ’ ලෙස නාසා විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇත. ‘නියෝ’ යනුවෙන් හැඳින්වෙන්නේ පෘථිවියට සැතපුම් මිලියන 120 ක සීමාවක් ඇතුළත ගමන් කරන අභ්‍යවකාශ වස්තූන්ය. නාසා විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, අද හෙට නොවෙයි, අනාගතයේ කවදා හෝ දිනෙක පෘථිවියට අනතුරක් කළ හැකි ‘නියෝ’ දහස් ගණනක් විශ්වයේ සැරිසරමින් ඇති බවය. ‘

නියෝ’ එසේත් නැතිනම් පෘථිවිය අසලට පැමිණෙන ග්‍රහක සම්බන්ධයෙන් පසුගිය 30 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර ග්‍රහක දිනයේ දී ද කතාබහට ලක් විය. තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ පෘථිවියට අනතුරක් වේවි යැයි සැක කෙරෙන ග්‍රහක සම්බන්ධයෙන් මෙහිදී සම්මන්ත්‍රණ පවා සිදුවිය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද මැදිහත් වීමෙනි. නිසැක වශයෙන්ම පෘථිවියේ හැපෙනු ඇතැයි ගණනය කර ඇති දැවැන්ත ග්‍රහක තුනක් ගැන නාසා විද්‍යාඥයන් විස්තර අනාවරණය කර ඇත. මේ විස්තර අනාවරණය කර ඇත්තේ, සියුම් ලෙස සිදු කළ ගණනය කිරීම් අනුවය. එම ගණනය කිරීම් සඳහා සුපිරි පරිගණක විද්‍යාඥයන්ට පහසුවක් වී තිබේ. එයින් එක් ග්‍රහකයක විශ්කම්භය මීටර් 2000 කි. එය පෘථිවියේ හැපීමට පැමිණෙනු ඇත්තේ 2880 දී ය. අනෙක් ග්‍රහක දෙක ඊට පෙර එනම් 2185 දීත්, 2196 වසරේදීත් පෘථිවියේ හැපීමට පැමිණෙනු ඇත. 2196 දී පැමිණෙන ග්‍රහකය ‘101955 බෙන්නු’ ය.

ඔබ මේ ලිපිය කියවද්දී පෘථිවියට චන්ද්‍රයන් දෙදෙනකු සිටී. ඒ, සාමාන්‍ය චන්ද්‍රයාට අමතරව, පියවි ඇසට නොපෙනෙන කුඩා චන්ද්‍රයෙකි. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 පීටී5 යනුවෙනි. දුරේක්ෂ ආධාරයෙන් ඔවුන්ට ග්‍රහකය සොයා ගැනීමට හැකිවූයේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. 2024 පීටී 5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට, ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී පෘථිවිය වටා කක්ෂයක ගමන් කරයි. එය දෙවැනි සඳක් යැයි පැවැසෙන්නේ ඒ නිසාය. නොවැම්බර් 25 වැනිදා ග්‍රහකය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යෑමට නියමිතය. 2024 පීටී 5 ග්‍රහකය මීටර් 10 ක පළලකින් යුක්ත බව පැවැසෙයි.
 


  • ලු‍සිත ජයමාන්න

       එන්.ඩී.ටීවී. ඇසුරිනි