බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ලංකාවේ අපට ද නාම මාත්‍ර නිදහස ලැබුණු වග පත පොතෙහි සඳහන් වේ. 1948 පෙබරවාරි හතරවැනිදා නාමමාත්‍ර නිදහස වෙනුවෙන් විවිධ උත්සව පැවැත් වූ වග වැඩිහිටියෝ පවසති. අගමැති ඩී. එස්. සේනානායක උතුමෝ නිදහස් මඟුල් දා බ්‍රිතාන්‍ය පාලකයන්ට ස්තූති යාතිකා පැවැත්වීය.
එදා ගුවන්විදුලියේ වැඩසටහන් ආරම්භයේ දී සෙත් පිරිත් දේශනයක් නොවීය. එහෙත් 1956 අප්‍රේල් මස 13 වැනිදා ගුවන් විදුලියෙන් සෙත් පිරිත් දේශනා කිරීමක් ආරම්භ කෙරිණි. අපි මේ ගැන හරියාකාරව දැනගන්නට 1956 විෂය භාර ඇමැතිතුමාගෙන් විමසන්නට මගක් සොයමු. විෂය භාර ඇමැති මුස්ලිම් ජාතික ඉස්ලාම් භක්තිකයකු වූ හිටපු තැපැල් හා විදුලි සංදේශ ඇමැති සී. ඒ. ඇස්. මරික්කාර්ය. පොදු ජනවහරින් කියන වචනය ‘සිංහල මරික්කාර්’ ය. ඔහුගේ නමට මුලින් රාජකරුණා රජවාසල චන්ද්‍රසේකර මුදියන්සේලාගේ සහ සිංහල වාසගම ද තිබුණු බව අප අතරින් වියෝවූ වැලිතර ඒ රාජසිංහ ලේඛකයා වරක් පැවසීය.
ඒ පමණක් නොවේ.
උදේ පාන්දර ගුවන්විදුලියෙන් සෙත් පිරිත් දේශනා කිරීමේ වැඩපිළිවෙළ පටන් ගත්තේ පාන්දර ගෙදරින් එළියට බසින විට සෙත් පිරිත්වලට සවන් යොමා සිතේ සතුටක් ඇතිකර ගැනීමට ඉඩක් සලසාදීමේ අරමුණින් යැයි කී එවකට තැපැල් හා විදුලි සංදේශ ඇමැති සී. ඒ. එස්. මරික්කාර් මෛත්‍රී චින්තන වැඩසටහන් උදෑසන පැවැත්වීමට විධිවිධාන යෙදුවේත් තමා බවද ඔහු සඳහන් කළේය.
මෛත්‍රී චින්තා වැඩසටහනත්, ගුවන්විදුලියේ වැඩසටහන් ආරම්භයේ දී සෙත් පිරිත් දේශනා කිරීමත් ආරම්භ කළ අමාත්‍ය සී. ඒ. ඇස්. මරික්කාර් සිංහල ජන ගී, ජාතික ගම්මඬු, සංඝයා වහන්සේ සහභාගි වන බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරන ලද්දේත් ‘සිංහල මරික්කාර්’ යන විරුදාවලියෙන් හැඳින්වෙන මරික්කාර් ඇමැතිතුමන් විසිනි.
කවුද මේ සී. ඒ. එස්. මරික්කාර්?
සිංහල රජ දවසේ යාත්‍රාවලින් ලක්දිවට පැමිණි අරාබිකරයේ වෙළෙඳුන්ගෙන් මෙරට මුස්ලිම් ප්‍රජාව පැවතෙන බව සඳහන් වේ. එම ජනකොටස කන්ද උඩරටට සංක්‍රමණය වූ බවත් ඒ වකවානුවේ ඔවුන්ට සිංහල වාසගම් ද ලැබුණු බවත් වාර්තා වේ. උඩරටට සංක්‍රමණය වීම පිටුපස මුස්ලිම්වරුන්ට ආවේණික වූ වෙළෙඳාම ද පැවති බැව් රහසක් නොවේ. අදත් හද්ද පිටිසර ගම්වලට මුස්ලිම් තරුණයෝ කරුංකා - ගොරකා - ගම්මිරිස් - පුවක් ආදී සුළු අපනයන භෝග සොයා ගජරාමෙට වෙළෙඳාමෙහි යෙදෙති.
මරික්කාර්ගේ පියා ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි කාසිලා මරික්කාර්ය. කාසිලා අබ්දුල් සමාස් (සී. ඒ. එස්. මරික්කාර්) ජන්මලාභය ලබා ඇත්තේ 1911 ජූලි 5 වැනිදාය. කාසිලා මරික්කාර් ඔහුගේ ගම් ප්‍රදේශයේ කඩුගන්නාවේ බෞද්ධ විහාරස්ථාන සමග සබඳතාවකින් කටයුතු කර ඇත. විවිධ ජනකොටස් අතර එවකට පැවැති සුහදශීලීත්වය සහෝදරත්වය සංහිඳියාව පෙන්නුම් කෙරෙන පරිද්දෙන් කාසිලා මරික්කාර් බෞද්ධ ජනතාව අතර සබඳකම් පවත්වා ඇත.
කඩුගන්නාවේ අභයරාජ පරවේණාධිපතිව වැඩවිසූ හීනටිපනේ සීලානන්ද නාහිමිපාණන් වෙත ගොස් තම පුතාට අකුරු කියවාගත් බවද පැවසේ. ගමේ පාසලින් සහ පන්සලෙන් මූලික අධ්‍යාපනය ලබා දෙවනුව මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා ඇත. පිරිවෙන් අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සහ මධ්‍යම විභාගයෙන් ද සමත්ව ඇත. ඒ සමගම මෙම ශිෂ්‍යයා පෙරදිග භාෂා වන සිංහල, පාලි, සංස්කෘත ද ඉතිහාසය, බුද්ධ ධර්මය වැනි විෂයයන් ද ප්‍රගුණ කර ඇත. නීතිය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට ඇතුළත් වූ බවද පැවසේ. නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා වකවානුවේ දෙවැනි ලෝක සංග්‍රාමය හටගෙන ඇත. පියා ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වීම නිසා මරික්කාර් තරුණයා ද ඒ ක්ෂේත්‍රයට යොමුවිය. ව්‍යාපාරික කටයුතු සමග සමාජ දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වූ ඔහු දේශපාලන ක්‍රියාකාරීත්වයට ද යොමුවිය.
1947 මහ මැතිවරණයේ දී මරික්කාර් ගලහ අසුනට එ.ජා.ප.යෙන් තරග කළේය. එ.ජා.ප. අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත්ව සිටි අතර ටී. බී. පානබොක්ක අසුන (එජාප) ජයග්‍රහණය කළේය. 1952 දී කඩුගන්නාව බහු මන්ත්‍රී ආසනයට ශ්‍රීලනිපයෙන් තරග කර දෙවැනි මන්ත්‍රීවරයා බවට පත් විය. 1956 දී කඩුගන්නාව ම.එ.පෙ. අපේක්ෂක ලෙස තරගකර පළමුවැනි මන්ත්‍රී ධුරයට පත් විය. බණ්ඩාරනායක ආණ්ඩුවේ තැපැල් විදුලි සංදේශ සහ ප්‍රවෘත්ති අමාත්‍ය ධුරයට පත් විය.
මුස්ලිම් ජාතික ඉස්ලාම් ආගමිකයකු වුවද ඔහු සිංහල බෞද්ධකමට අපමණ ආදරය ගෞරවයක් දැක්වීය. ධර්ම චක්‍ර ලාංඡනය බෞද්ධාගමික ලාංඡනයක් බව කිවයුතු නැත. මරික්කාර් මහතාගේ නිවසේ ධර්ම චක්‍ර ලාංඡනයක් බිත්තියෙහි ඉතා අලංකාර ලෙස ප්‍රදර්ශනය කර තිබුණු බව පැවසේ.
චතුර කථිකයකු වූ මරික්කාර් සිංහල දෙමළ භාෂා ද්වයෙන්ම ජනතාව ඇමතීමට දක්ෂතාවක් දැක්වූ නිසා සියලු ජනකොටස් හි ගෞරවාදරයට ලක් විය. 1970 නොවැම්බර් 10 වැනි දින මරික්කාර් ඇමැතිවරයා ජීවිතය හැර ගියේය. සිංහල, දෙමළ, මුස්ලිම් ජන ක්ෂේත්‍රය තුළ මහත් ජනාදරයට පත්ව සිටි එතුමා දේශපාලනයෙන් සමුගෙන නිදහස්ව කල් ගත කරන අවධියෙහි ගරුතර මහා සංඝරත්නයට ගරුසරුව හැසිරෙමින් සිය අතීත සිද්ධි රසවත්ව හරවත්ව විස්තර කළේය.
උදේ පාන්දර ගුවන්විදුලියෙන් සෙත් පිරිත් දේශනා කිරීමත් මෛත්‍රී චින්තා වැඩසටහනෙහිත් නිර්මාතෘ වන්නේ මුස්ලිම් ජාතික දේශපාලන නායකයෙකි. ඒ පමණක් නොවේ. ලංකාවේ හා විදේශීය රටවල ද කෝටි සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ උතුම් පූජනීය දිනය එනම් බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූ දිනය වන වෙසක් පුන් පොහෝ දින සමස්ත ලෝකයටම නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා පියවර තබන ලද්දේ අන්‍යාගමික දේශප්‍රේමියකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් බව අපි ගෞරවයෙන් සඳහන් කරමු.
එපමණක් නොවේ. “සිරි බුද්ධගයා විහාරේ වඳිනේමු මෝක්ෂෙ පතාලා” යන හරබර බැතිබර ගීතය එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමග හද බැඳගෙන ගායනා කළේ කිතුනු බැතිමතියක වූ රුක්මණී දේවි විසිනි. ශ්‍රී ලංකාවේ බොදු ගී වැඩිම ප්‍රමාණයක් ගායනා කරන ලද්දේ ඉස්ලාම් භක්තිකයකු වූ මොහිදීන් බෙග්ය.
සුහදශීලීත්වය, සහෝදරත්වය, සංහිඳියාව වචනවලට සීමා නොවී ක්‍රියාත්මක වීම අපි ඉතා ගෞරවයෙන් අගය කරමු.
බන්ධුල ආර්. ගුලවත්ත