ජන කැලඹිලි මැද ධුරය අත්හැර ගෙදර ගිය අගමැතිවරයා


 

1952 මැයි මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ අග්‍රගණ්‍ය ප්‍රජාතන්ත්‍රවාදියකු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක ය. මන්ත්‍රී ධුර 95න් 54ක් ජයගත් ඔහු 14 දෙනකුගෙන් සමන්විත වූ කැබිනට් මණ්ඩලයක් ද පත්කරගත් අතර මුදල් අමාත්‍ය ධුරය හිමිවූයේ ජේ. ආර්. ජයවර්ධනටය. 
 
කොරියන් යුද්ධය හේතුවෙන් මෙරට විදේශ සම්පත් ඉහළ ගොස් තිබුණත් 1951 දී රුපියල් මිලියන 345ක් වූ වෙෙළඳ අතිරික්තය 1953 වන විට රුපියල් මිලියන 200ක හිඟයක් බවට පරිවර්තනය විය. මේ නිසා 1953–54 රාජ්‍ය අයවැය සකස්කිරීම බලවත් ගැටලුවක් බවට පත් විය. එහෙත් දෙවැනි ලෝක යුද්ධය පැවැති වකවානුවේ සිට ජනතාවට ලබාදෙන සුභසාධන කටයුතු නතර කරන්නට සිදුවිය. මේ නිසා මහජන සුභසාධන කටයුතු කපා හරින ලෙස මහා භාණ්ඩගාරය උපදෙස් දෙන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අය–වැය ලේඛනයෙන් මෙතෙක් පාසල්වලට ලබාදුන් දිවා ආහාර අත්හිටුවීමටත් අනාථාධාර දීමනා අඩුකිරීමටත්, දුම්රිය හා තැපැල් ගාස්තු වැඩිකිරීමටත් යෝජනා කෙරිණි. එතෙක් පැවැති සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩිකළ අතර මෙලෙස ආහාර සහනාධාරය මිලියන 300 සිට 160 දක්වා 50% කින් අඩුකරනු ලැබීය.
 
1952 මැයි මහ මැතිවරණ අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂයේ පොරොන්දුවක් වූයේ ආහාර සලාකය ජාත්‍යන්තර වෙෙළඳපොළ මිල ගණන්වලටද වඩා අඩුවෙන් ලබා දෙන බවය. අය-වැය විවාදයට ගනු ලැබූ 1953 ජූලි 23 වැනි දින වමේ පක්‍ෂවල දායකත්වය යටතේ විරුද්ධපක්‍ෂය ගාලුමුවදොර පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල ජනරැලියක් සංවිධානය කළ අතර ආණ්ඩුව විසින් එය කඩාකප්පල් කරනු ලැබීය. අගෝස්තු මස 07 වන දින අයවැය දෙවන වර කියවීම විවාදය අවසානයේ වැඩි ඡන්දයෙන් එය සම්මත විය. 
 
අගෝස්තු 12 වැනි දින මහා වැඩ වර්ජනයක් කිරීමට වාමාංශික පක්‍ෂ තීරණය කළ අතර සුභසාධන කප්පාදුවට විරුද්ධ පොදු ජනතාවගේ සහය ඊට නොඅඩුව ලැබුණි. විවිධ වෘත්තීය සමිති විසින් මෙහෙයවන ලද හර්තාලය නිසා දුම්රිය, බස්රිය ධාවනය ඇණහිටි අතර කොළඹ ප්‍රදේශයේ ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරන්නට විය. රට පුරා නගරවල මේ තත්වය උද්ගත වූ අතර කැබිනට් මණ්ඩල රැස්වීමට පවා අවදානමක් පැවැති නිසා වරායේ නවතා තිබූ එච්.එම්.එස්. නිවුපවුන්ඩ්ස් නම් යුද නැවේදී කැබිනට් මණ්ඩලය රැස්වී ඇඳිරි නීතිය ප්‍රකාශකර පොලිසිය හර්තාලය කඩාකප්පල් කිරීමට යොදවනු ලැබුවේය. ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හර්තාලය මැඩපැවිත්වීමේදී පොලිස් හා හමුදා වෙඩි පහරවලින් කම්කරුවෝ 12 දෙනෙක් මිය ගියහ. අර්බුදකාරී තත්ත්වය මැඩපැවැතුණත් හර්තාලයේ දෝංකාරය රටපුරා පැතිරී ගියේ රජයේ ක්‍රියාදාමය විවේචනය වෙමිනි. අගෝස්තු 17 වැනිදා මැතිසබය කල්දැමීමේ යෝජනාව අවස්ථාවේදී විපක්‍ෂ නායකයින් දැඩි ලෙස අගමැතිවරයාත් ආණ්ඩුවත් විවේචනයට ලක් කළ අතර 18 වැනිදා මහජන ආරක්‍ෂක පණත් සංශෝධන විවාදයේදී වඩාත් උණුසුම් වාග් ප්‍රහාර විපක්‍ෂයෙන් එල්ල විය. එම සංශෝධනවල, අරමුණ වූයේ පාර්ලිමේන්තුවෙන් පිටත කඩාකප්පල්කාරී ක්‍රියා කැලඹිලි තවදුරටත් සිදුවීමට ඇති ඉඩකඩ අහුරමින් හර්තාලය වැළැක්වීමේදී දක්නට ලැබූ නීතිමය දුබලතා සඳහා පිළියම් යෙදවීම විය. අගමැතිවරයා හර්තාලය මැඩ පැවැත්වීමේදී ඇතිවූ තත්ත්වයන් පිළිබඳව මහත් කනස්සල්ලට පත්වූ අතර ඇතිවූ ජීවිත හානි පිළිබඳව වඩාත් කනගාටු විය. 
 
පොලිස් හා හමුදා වෙඩි පහරින් මියගිය ජීවිතවලට රජය වගකිවයුතු බවත් 1915න් මෙපිට සිදුවූ විශාලතම මිනිස් ඝාතනය මෙය බවත් විපක්‍ෂය විසින් හඳුන්වා දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් අගමැති ඩඩ්ලි සේනානායක දැඩි සේ කලකිරීමට පත්වූයේ දැඩි චිත්ත පීඩාව මධ්‍යයේය. එදා ඇතිවූ තත්ත්වය පිළිබඳව ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය පොතේ පළමු වෙළුමේ කේ. එම්. ද සිල්වා හා හවඩ් රිගින්ස් 423 පිටුවේ මෙසේ දක්වා ඇත.
 
“පොලිස් හා හමුදා වෙඩිපහර වලින් 1915 න් මෙපිට ප්‍රථම වතාවට හර්තාලයෙන් සිදු වූ ජීවිත හානිය නිර්දය විවේචනයට ලක්කළ විරුද්ධ පක්‍ෂයට අගමැතිවරයාද එඩිතරව ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඊළඟ දිනයේ පැවැති ජාතික ආරක්‍ෂක පනත පිළිබඳ විවාදයේදී වෙහෙස මහන්සිය හා චිත්තපීඩාව විඳදරා ගැන්මට නොහැකිවූ අගමැතිවරයා ශාරීරික හා මානසිකව අසහනයට පත්ව යෝජිත සංශෝධන ඉවත් කර ගැන්මට පවා අදහස් කළේය. මඳ විවේකයක් ගැනීමටත් සිත එකලස් කරගැන්මටත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි සිය කාර්යාලයට වහාම ගෙන යන ලදී. 
 
එම සංශෝධන පාර්ලිමේන්තුවෙන් සම්මත වුනමුත් ඔහුගේ සිතට අරක්ගෙන තිබූ අසහනය දුරුවූයේ නැත. කෙසේ වෙතත් මෙම සිද්ධි මාලාවේ කටුක බවත් ඉන් ඇතිවූ මානසික පීඩාවත් ඔහුට විඳ දරාගත නොහැකි විය.”
 
සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතියක් නොවූයෙන් තවදුරටත් පාලන කටයුතුවලින් විවේකයක් ගැනීමට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක නුවරඑළිය බලා ගියේ සැප්තැම්බර් 26 වැනිදාය. අගමැතිගේ ළඟම සහෘදයා ලෙස ජේ. ආර්. ජයවර්ධන පෙනී සිටියත් අයවැය තුළින් මතුවූ බඩු මිල වැඩිවීම් හමුවේ සහන කප්පාදුව නිසා සහ හර්තාලය මැඩපැවැත්වීමේදී කම්කරු ජීවිත ගණනාවක් විනාශ වීම ගැන දැඩි කලකිරීමකට පත්ව සිටි නිසා ඔහුගේ අසනීප තත්ත්වයේ වර්ධනයක් මිස අඩුවක් නොවීය.
 
මේ අතර කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සර් ජෝන් කොතලාවල ඔක්තෝබර් 12 වන දින සහල් සේරුවක මිල ශත 55 දක්වා අඩුකරන බැව් ප්‍රකාශ කළේ ජේ. ආර්. ජයවර්ධන මුදල් ඇමතිතුමාගේ ද විරුද්ධතා මධ්‍යයේය. 
 
මේ තත්ත්වය තුළ 1953 ඔක්තෝබර් 12 වැනිදා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුන බව නිවේදනය කළ අතර සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන වෙනුවට සර් ඔලිවර් ගුණතිලක මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර ජේ. ආර්. ජයවර්ධන කෘෂිකර්ම සහ ආහාර ඇමැති ලෙස දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තුවේ සභානායක ලෙස ද පත්වූ ඔහු කලින් ආණ්ඩුවේ මෙන්ම රජයේ දෙවැනියා විය. ලංකා ඉතිහාසයේ අගමැතිවරයාගේ මේ ඉවත්වීම වාර්තා වන්නේ උත්තුංග ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස සංවේදී හදවතක් ඇති අගමැතිවරයකුගේ සමුගැන්මක් ලෙසය. බලයේ රැඳී සිටීම එකම අභිලාෂය බවට එකල නායකයින්ගේ සිත් තුළ පැලපදියන් නොවීම ඊට හේතු විය. 
 

බණ්ඩාරගම 
සමරසේන මුදලිගේ