ජනහදගැස්ම හඳුනාගත් ගන්ධියම් ව්‍යාපාරය



1976 වසරේ වව්නියාවේ දී ආරම්භ කරන ලද ’ගාන්ධියම් ව්‍යාපාරය’ මහත්මා ගාන්ධිගේ ජීවන දර්ශනයත්, අල්පේච්ඡ හා සරල ජීවන රටාව පදනම් කරගනිමින් - දරිද්‍රතාවය තුරන් කිරීම, නොසලකා හැරීම හා ප්‍රචණ්ඩත්වය පිටු දැකීම වැනි ඒවා මූලික අරමුණු සේ සලකා කටයුතු කරන ලද ස්වෙච්ඡා සංවිධානයකි. එහි ආරම්භක නිර්මාතෘවරුන් වූයේ වෘත්තියෙන් ගෘහ නිර්මාණ හා නගර සැලසුම් ශිල්පියෙකු වූ සොලමන් අරුලානන්දම් ඩේවිඩ් හෙවත් එස්. ඒ. ඩේවිඩ් සහ සමාජ දේශපාලන ක්‍රියාධරයෙකු වූ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් යන අයයි.

ආරම්භයේදීම ගාන්ධියම් ව්‍යාපාරය මගින් සිදු කරන ලද්දේ, 1977 වසරේ පශ්චාත් මැතිවරණ භීෂණය නිසා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූවන්ට - උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුනරුත්ථාපන කඳවුරු පිහිටුවීමය. එමගින් සිදුකරන ලද යළි පදිංචි කරවීමේ කටයුතු ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත විය. ආරම්භයේ සිටම මෙම සංවිධානයේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල, රාජ්‍ය සේවා හා විද්වත් වෘත්තිකයන් ඇතුළු දෙමළ සමාජයේ කොටස් වලින් ආධාර උපකාර ලැබිණි. එමෙන්ම 1978 වසරේදී මඩකලපුව හරහා හමා ගිය සුළි සුළං තත්ත්වයෙන් විපතට පත්වූවන් හට උදව් උපකාර කිරීමද සිදුකරන ලදී. තවද ගාන්ධියම් ව්‍යාපාරය විසින් පුල්මුඩේ හා නැදුන්කර්නි යන ප්‍රදේශවල සමූහ ගොවිපොළවල් ආරම්භ කරන ලදී. එයට හේතුවක් ද තිබුණි.  මානව ශ්‍රමය, සතුන්, බීජ, පස හා ජලය යොදා ගෙන අවම උත්සාහයකින් උපරිම නිෂ්පාදනයක් ලබා ගත හැක්කේ යාපනය අර්ධද්වීපය තුළ බැව්,  ඉඩම් කොමිසමේ සභාපති ධූරය දැරූ බී. එච්. ෆාමර් විසින් සම්පාදනය කරනු ලැබූ වාර්තාවක් පදනම් කරගනිමින් නිගමනය කෙරී තිබීම ඊට හේතු විය. 

1977 ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අනාථව කිසිවක් කර කියාගත නොහැකිව පැමිණි පිරිස් යොදා ගනිමින් වගා කටයුතු සිදුකරන ලද අතර, වසරක කාලයකින් පසුව සාර්ථක උඳු අස්වැන්නක් නෙළා ගැනීමටද හැකි විය. මේ අතර කාලපරිච්ඡේදයේදී, ගාන්ධියම් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සඳහා ක්‍රියාකාරි කමිටුවක් ද පත් කර ගන්නා ලදි. එහි සාමාජිකයන් වූයේ, වව්නියාව නගර සභාවේ හිටපු නගරාධිපති එස්. සුබ්‍රමනියම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකාර තනතුරක් දැරු ටී. නල්ලතම්බි, විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වූ කේ. රාජසුන්දරම්,  විශ්‍රාමික විගණකාධිපති එස්. කන්දප්පු සහ කෘෂිකර්ම උපදේශකයෙකු වූ තම්බිරාජ් යන අය කටයුතු කළහ. 1980 වසර වනවිට සරණාගත පවුල් ඇතුළු මුළු පවුල් 3000 කට අධික ප්‍රමාණයක් ගාන්ධියම් ව්‍යාපාරය යටතේ රැකවරණය ලබමින් සිටියහ. ඒ අනූව යාපනය, කිළිනොච්චිය, වව්නියාව, මන්නාරම, මුලතිවු, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ද දිස්ත්‍රික් මධ්‍යස්ථාන ව්‍යාප්තව තිබුණි. ඒ අනුව කුඩා ළමුන් 3000 ක් පමණ ගාන්ධියම් ව්‍යාපාරය යටතේ රැකවරණය ලැබූහ. එහි අඩු වයසේ දරුවන්ට කිරි වීදුරුවක් හා ත්‍රිපෝෂ ද ලබා දෙන ලදී. තවද වෛද්‍ය සායන, දැනුවත් කිරීමේ වැඩසටහන් හා තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක විය. කල් ගතවත්ම ගාන්ධියම් ව්‍යාපාරය සඳහා ජාත්‍යන්තර සහන සේවා සංවිධාන වලින් මෙන්ම විදෙස්ගත දෙමළ ප්‍රජාවගෙන්ද ආධාර උපකාර ලැබුණි.

මේ කාලපරිච්ඡේදය වෙන විට ගාන්ධියම් ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය උදහස යොමු විය. දකුණේ සැලකිය යුතු කෝපයක් පවතින බව නිර්මාතෘ වෛද්‍ය රාජසුන්දරම් පවසා සිටියේය. තවද දේශපාලනිකව උසිගන්වනු ලැබු කල්ලි අනුරාධපුරයෙන් හෝ මැදවච්චියෙන් ගෙනවිත් ජනපදවල  පුනරුත්ථාපනයේ සිටින අයට පහර  දී ඔවුන් පලවා හැරීමට ඉඩකඩ ඇති බවත්, ජනපදයකින් පුද්ගලයන් දෙදෙනෙකුට හෝ ආත්මාරක්ෂාව සඳහා ගිනිඅවි පාවිච්චිය පුහුණු කළ හොත් එවැනි කල්ලිවලින් එන ප්‍රහාරක ප්‍රයත්න එකකින් හෝ දෙකකින් නතර විය හැකි බව ද වෛද්‍යවරයා පවසා සිටියේය. කෙසේ වුවද 1979 වසරේ සිටම - එවක රජයේ අභ්‍යන්තර ආරක්ෂක අංශය විසින් ඉතාමත් සැලසුම් සහගතව ගාන්ධියම් ව්‍යාපාරයේ කටයුතු කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දරන ලදී. ඒ අනූව විදේශ සංවිධාන වලින් ගාන්ධියම් ව්‍යාපාරය වෙත ලැබෙන ආධාර - ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බව විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල අනුයුක්ත ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් හරහා අසත්‍ය ප්‍රචාරයන් කරමින් ගාන්ධියම් ව්‍යාපාරයට ඇති ජාත්‍යන්තර පිළිගැනීම පලුදු කරමින්ද, ලැබෙන ආධාර නවතා දැමීමටද, කටයුතු කරන ලදී. 

1982 වසරේදී වෛද්‍ය රාජසුන්දරම් විසින් වවුනියාවේදී බහුජනවාර්ගික මහජන විරෝධතාවට සහභාගි වූ අතර, එහිදී සිදු කෙරුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට හා එය යටතේ සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව හඬ නැගීමය. මේ විරෝධතාවට පොලිස් ප්‍රහාරයක් එල්ල වූ අතර, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද බැටන් පොලු‍ ප්‍රහාර එල්ල කර - කෙස්වලින් පාර දිගේ ඇදගෙන යන ලදී. එසේම ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහිව රජය විසින් පුවත්පත් මාධ්‍ය ද භාවිත කරන ලදි. 1983 වසරේදී භාරතීපුරම් කඳවුරු වැසියන්ට පහර දී වාසස්ථාන ගිනිබත් කරන ලදි. අප්‍රේල් මස 06 වැනි දින ගාන්‍ධියම් ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය එස්. රාජසුන්දරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, වව්නියාව, ත්‍රිකුණාමලය හා මඩකලපුව ගාන්ධියම් කාර්යාල වෙත මුද්‍රා තබන ලදි. එසේම ව්‍යාපාරයේ සභාපති එස්. ඒ. ඩේවිඩ් වද කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් කාර්යාලයේදී අත්අඩංගුවට ගන්නා ලදි. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද රාජසුන්දරම් හා ඩේවිඩ් පනාගොඩ හමුදා කඳවුරෙහි රඳවා තබා පහර දීම් සිදු කරන ලදැයි ද කියවේ. මෙසේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන වධබන්ධනයන්ට ලක් කිරීමට එරෙහිව - නව සමසමාජ පක්ෂය, ලංකා පොදු සේවා සංගමය, ජාතීන් අතර යුක්තිය හා සමානතාව සඳහා වූ ව්‍යාපාරය, නිව්ටන් ගුණසිංහගේ මහනුවර ලංකා සමාජ අධ්‍යයන ආයතනය හා රජයේ ලිපිකරු සේවා සංගමය වැනි බහුජන සංවිධාන හා වෘත්තීය සමිති විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් ජනාධිපති ජයවර්ධන වෙත සිය විරෝධය පළ කරන ලද ලිපි යොමු කරන ලදී. 

1983 ජූලි මුල් සතිය වෙන විට ගාන්ධියම් ව්‍යාපාරයේ කාර්යාල, සමුහ ගොවිපොළවල්, වාහනවලට ගිනි තබා විනාශ කරන ලද අතර,  ව්‍යාපාරයේ සාමාජිකයන්ව ද අත්අඩංගුවට ගෙන තාඩන පීඩනවලට ලක්කරන ලදි. දේශපාලන සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කරන ලද අතර, එහිදී ද ඔවුන්ට එරෙහිව මර්දනය ක්‍රියාත්මක විය. එහිදී ලේකම් වෛද්‍ය රාජසුන්දරම් ඝාතනය කෙරුණි.නමුත් සභාපති එස්. ඒ. ඩේවිඩ් දිවි ගලවාගැනීමට සමත් වුණි. අවිහිංසාවාදය මූලික කරගත් ගාන්ධියම් ව්‍යාපාරයේ සාමාජිකයෝ ඔවුන් හට එල්ල වූ රාජ්‍ය මර්දනය හේතුවෙන් පසු කාලීනව ප්ලොට් හා උතුරේ වෙනත් සන්නද්ධ සංවිධානවල  සාමාජිකත්වය ලබා ගත්හ. 

කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලිය හෙවත් ජූලි ප්‍රචණ්ඩත්වය නිර්මාණය කිරීමට එවක රජය සිදුකළ පෙරහුරු රංගනයක ප්‍රාරම්භය ලෙස - ඇතැම් විචාරකයෝ යථොක්ත මර්දන ක්‍රියාන්විතය හඳුන්වා දෙති.   


එම්. තාරික්