ජිවීතය හා මනුෂ්‍යත්වය දෙස නව ඇසකින් බැලීමට පොලබවන ’’



පුවත්පත් පිළිබඳව කතා කරන විට තීරු ලිපියට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. පුවත්පත කලාවක් බවට පත් කිරීමට තීරු ලිපිය දායක වූවා යැයි කිව හැකිය. පුවත්පත් තීරු ලිපි රචකයන් ලෙස අප අතීතයේ පටන් හඳුනාගන්නා බොහෝ රචකයන් පසුකාලීනව සාහිත්‍යධරයෝ වූහ. නොඑසේනම් බොහෝ පුවත්පත්වල තීරු ලිපි ලිවීම ද සාහිත්‍යවේදීන් විසින් සිදු කරන බව උදාහරණ සහිතව පෙන්වා දිය හැකිය. එය සෑම විටකම එසේ නොවුණත්, බොහෝ උදාහරණ ඔස්සේ එම නිගමනයට පැමිණිය හැකිය. 

සුපුන් අතුකෝරල විසින් ’‘අහස් ගඟ’ නමින් තීරු ලිපියක් ‘රැස’ පුවත්පතට ලියන්නේ, මීට වසර කිහිපයකට පෙරය. එම ලිපි මාලාවේ අරමුණ වී ඇත්තේ - සුවිශේෂී බලපෑම් සහගත සිදුවීම්වල, ඡායාරූපවල, කලා නිර්මාණවල හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවල නොදුටු පැතිකඩක් අනාවරණය කිරීමය. එමෙන්ම ඉතිහාසයේ සැඟවුණු දෙයක් යළි මතු කර පාඨක ප්‍රජාව සමඟ බෙදාගැනීමය. 

මෙම තීරු ලිපි  රචනා කළ සුපුන් අතුකෝරල කවියෙකි. සරද නුබ තරු වැල හා ප්‍රේමයට ඉඩක් ඇත ඔහුගේ කාව්‍ය කෘතීන් වේ. සුපුන් සමඟ කරන ලද සාහිත්‍යමය කතාබහ මෙම ලිපිය ඔස්සේ අපි ඔබට ගෙන එන්නෙමු. 

 ඔබ කාව්‍යකරණයෙන් සහෘදයින් අතරට ගිය කවියෙක්. තීරු ලිපිය ඔබට මොන වගේ අත්දැකීමක් වුණා ද?

සුපුන් අතුකෝරළ 


 

බොහෝ දෙනා මාව හඳුනාගත්තේ කවියෙක් ලෙස. ඒත් ලිපි සහ වි⁣ශේෂාංග රචනය ද මට ආගන්තුක දෙයක් වුණේ නැහැ. පාසල් කාලයේ සිටම මම පුවත්පත්, සඟරාවලට ලිපි ලිව්වා.

මා උසස් අධ්‍යාපනය හැදෑරුවෙත් සන්නිවේදනය හා ජනමාධ්‍යය යන විෂයන් සම්බන්ධවයි. වෘත්තිමය වශයෙන්ද ජනමාධ්‍ය සමඟ මා සමීපව කටයුතු කරනවා. එවන් පසුබිමක් තුළයි රැස පුවත්පතට සතිපතා තීරු ලිපියක් ලියන්නට අවස්ථාව ලැබුණේ.

මාධ්‍යයක් විදියට ගත්තොත් තීරු ලිපිය කවියට වඩා වෙනස්. කවි කියන දේ හිතලා ලියන්න බැහැ ඉබේ ලියැවෙන්න ඕන. ඒ වගේම ලියැවෙන්නේ හෙමි හිමින්. එමෙන්ම එය වඩාත් පුද්ගලබද්ධයි වගේම, ලියා අවසන් කිරීම සඳහා දිගු කාලයක් වුවද ගතවිය හැකියි. එහෙත් තීරු ලිපි - සතිපතා, නිශ්චිත ඉඩකඩක රචනා කළ යුතුයි. ඒ තුළින් පාඨකයාට හා සමාජයට ද දෙයක් ලැබෙන්න ඕන. කවිය සහ තීරු ලිපිය එකිනෙකට වෙනස් අංශ දෙකක් වුවත්, ලේඛනය පිළිබඳ මගේ උනන්දුව නිසා තීරු ලිපි රචනා කිරීම හොඳ අත්දැකීමක් වුණා.

සතිපතා තීරු ලිපියක් ලියන එක හිතන තරම්ම ලෙහෙසි නෑ.

 කාලීන සිදුවීමක්, පාඨකයින් අතර කතාබහට ලක්වන මාතෘකාවක් , යම් කිසි ප්‍රබල අත්දැකීමක් ඊට අවශ්‍යයි. ඔබගේ අහස් ගඟ තීරු ලිපිය සතිපතා ලියද්දි ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කළේ මොන අංශ පිළිබඳව ද?

අහස් ගඟ‘ තීරු ලිපි මාලාව රචනා කිරීමේ දී මගේ අරමුණ වුණේ ලෝක ඉතිහාසයේ සුවිශේෂ බලපෑම් සහගත සිදුවීම්වල, ලෝ පතළ ඡායාරූපවල, කලා නිර්මාණවල හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවල නොදුටු පැතිකඩක් අනාවරණය කිරීමයි. එමෙන්ම ඉතිහාසයේ සැඟවුණු දෙයක් යළි මතුකර පාඨකයන් සමඟ බෙදා-හදාගැනීමටත් මට අවැසිව තිබුණා.

ඉඳින්, එවන් ලිපි මාලාවක් සතිපතා ලිවීමම යම් අභියෝගයක් වුණා. ඒ වෙනුවෙන් මම ලිපි සහ ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් පරිශීලනය කළා වගේම අන්තර්ජාලයෙන්ද කරුණු එක්රැස් කළා. කෙසේ නමුත් මින් පෙර සිංහලෙන් ලියැවී නැති සිදුවීම්, ඡායාරූප සහ කලා නිර්මාණ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් දැක්වීමට මා කටයුතු කළා. පුද්ගල චරිත ගත්තොත් වැඩි වශයෙන් ඔවුන්ගේ ජීවිතවල ප්‍රේම කලාපය ස්පර්ශ කිරීමට මා උත්සහ ගත්තේ, එය අප සැමටම සමීප හා සංවේදී මාතෘකාවක් වන නිසයි.

කෙසේ නමුත් මෙහි අවසන් අරමුණ වුණේ, පාඨකයාගේ දැනුමට අලු‍ත් යමක් එක් කිරීම මෙන්ම - ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබඳ නව ඇසකින් බැලීමට ඔවුන්ව පෙලඹවීමයි.

 තීරු ලිපියට සාහිත්‍යමය මුහුණුවරක් දෙන්න බාධාවක් නෑ. මෙවැනි අත්දැකීම් ඔස්සේ ලියවෙන තීරු ලිපියක දී ඔබ එය කළේ කොහොම ද?

මම කවියෙක් වීම නිසාදෝ මෙම තිරු ලිපි මාලාවට සාහිත්‍යයමය මුහුණුවරක් දෙන්න මා නිරන්තරයෙන්ම උත්සාහ කළා. උදාහරණයක් වශයෙන් ගතහොත්, මේ ග්‍රන්ථයේ ඇති ජවහර්ලාල් නේරු සහ එඩ්විනාගේ ප්‍රේම කතාව ඇතුළත් ‘නේරුගේ පෙම්වතිය‘, චිලියානු ජාතික කිවිවර පැබ්ලෝ නෙරුඩාගේ ප්‍රේම සැරිය සඳහන් ‘කවියෙකුගේ පෙම් සිත‘, මහාකවි රබින්ද්‍රනාත් තාගෝර්ගේ අහිමි පෙම ගැන කියවෙන ‘නොනිමි ප්‍රේමය‘ වැනි ලිපිවලට මූලික වූණේ සුන්දර පෙම් කතායි. ඉතිං ඒ ලිපිවලට ඔවුන් අතර හුවමාරු වූ ලිපිවල කොටස්, කවි උපුටා දැක්වීමට කටයුතු කළා.

එමෙන්ම සරල හා රසවත් බස්වහරක් භාවිත කිරීමට මෙන්ම මාතෘකාවන් යෙදීමේදී ආකර්ෂණීය මාතෘකාවන් යෙදීමට ද උත්සාහ කළා.

 මේ තීරු ලිපි පුවත්පතේ පළවන විට ලැබුණ ප්‍රතිචාර මොන වගේ ද? පාඨකයන් මේ වගේ ප්‍රසිද්ධ චරිතවල අප්‍රසිද්ධ කතා දැනගන්න, කියවන්න කැමති ද?

අහස් ගඟ තිරු ලිපි මාලාව පුවත්පතේ පළවන විට හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණා. එය සතිපතා කියවීමට හුරු පුරුදු වූ පාඨක පිරිසක්ද සිටියා. එමෙන්ම පුවත්පතේ පළවීමෙන් පසු මුහුණු පොතට එක්කළ විට ද විශාල ප්‍රතිචාරයක් ලැබුණා. මෙම කාර්යයේ දිගටම නිරතවීම⁣ට ලැබුණු විශාලතම උත්තේජනය වුණේ පාඨක ප්‍රතිචාරයි.

 තීරු ලිපියක් පාඨකයන් අතරට යන්නෙ පුවත්පතින්. පොතක් වශයෙන් මුද්‍රණය වන විටත් ඔවුන් එය කියවා අවසන්. තීරු ලිපි සංග්‍රහයක් ලෙස මුද්‍රණය කිරීමේ අරමුණ මොකක් ද? වර්තමානයේ දී ඒ සඳහා පාඨක ඉල්ලු‍මක් තියෙනවද?

පාඨකයාගේ දැනුමට අලු‍ත් යමක් එක් කළ මේ ලිපි මාලාව පාඨකයන්ගේ පරිශීලනය සඳහා එක් තැනකට සංගෘහිත කළ යුතුයි යන අදහස මගේ සිතේ තිබුණා. ඒ වෙනුවෙන් දිරිගැන්වීම්ද සිදු කෙරුණා.

මෙය ග්‍රන්ථයක් ලෙස පළකෙරුණේ වසර කිහිපයකින් පසු වීම නිසා ලිපි නැවත සංස්කරණය කිරීමටත්, ඇතැම් තොරතුරු යාවත්කාලීන කිරීමටත් මම කටයුතු කළා.

තීරු ලිපි ග්‍රන්ථ කෙරෙහි පවතින පාඨක ඉල්ලු‍ම පිළිබඳ කතා කළොත් එය එතරම් සතුටුදායක නොවන බවයි මගේ හැඟීම. නවකතා, කෙටිකතා හා කවිවලට සාපේක්ෂව තීරු ලිපිවලට ඇත්තේ අ⁣ඩු ඉල්ලු‍මක්. ජනමාධ්‍ය වෘත්තියකයන් සහ සිසුන් විශාල පිරිසක් සිටින සමාජයක එසේ වී ඇත්තේ මන්දැයි යන්න මටත් ගැටලු‍වක්.

 කවිය ඔබේ වැඩ බිම. ඉදිරියටත් ඔබ ඔබේ සාහිත්‍යමය කාර්ය කවිය තුළ පමණක් ම කරයි ද?

ඔබ පැවසුවා සේම මගේ මූලිකම මාධ්‍යය වන්නේ කවියයි. අප දන්නා පරිදි කවිය යන සාහිත්‍යාංගය මේ වන වි⁣ට බොහෝ දුරට වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මා තවදුරටත් අභ්‍යාසයේ යෙදෙමින් සහ හදාරමින් සිටිනවා. ඉදිරියේදී කවි පොතක් පළකිරීමේ අදහසද තිබෙනවා.

එමෙන්ම ඉඩ ලැබෙන පරිදි වෙනත් මාධ්‍යයන් කරා යොමුවීමටද කැමතියි. කෙසේ නමුත් මූලික ව⁣ශයෙන් වැදගත් වන්නේ අඛණ්ඩව ලේඛන කාර්යයයේ නිරත වීම බව මා විශ්වාස කරනවා.


නවෝද්‍යා ජයවික්‍රම