ශූරයන් ගේ කුසලානය ආරම්භවීමත් සමග - බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමුව තිබේ. ඉන්දියාවේ ලොකුකම පෙන්වමින් පාකිස්ථානයට නොයා, ඉන්දියාවට ඩුබායි හි දී ක්‍රීඩා කරන්නට අවස්ථාව දී ඇති “අමුතු ශූරයන් ගේ කුසලානයක් වන මෙවර තරගාවලියේ” ශ්‍රී ලංකාව දකින්නට නොලැබීම - ශ්‍රී ලාංකිකයන් ගේ පමණක් නොව, ලොව සියලු ක්‍රිකට් රසිකයන්ගේ කනස්සල්ලට හේතු වී ඇතුවාට සැක නැත.
එහෙත් ශ්‍රී ලංකාවට මෙය ඉතා හොඳ පාඩමකි. ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් නොලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හොඳින් දස්කම් දක්වන බව සැබවි. එහෙත් ඒ බොහොමයක් ශ්‍රී ලංකාවේ දී ය. කෙසේ වුවත් ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ එක්දින ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ තත්ත්ව සමග සංසන්දනය කළ ද ප්රශස්ත ජයග්‍රහණයක් බව නොකිව මනාය.
එක්දින තරගාවලිය ගැන කතා කරන්නට පෙර අප අමතක නොකළ යුත්තේ ටෙස්ට් තරගාවලියේ පරාජයයි. මේ තරගාවලිය ඇරඹීමට පෙරම අප කියූවේ තරගාවලියේ තරග දෙකම ගාල්ලේ පැවැත්වීම ගැටලු සහගත බවයි. අපේ අදහස වූයේ - මේ තරග දෙකින් එකක් වෙනත් ක්‍රීඩා පිටියක පවත්වා වෙනසක් කළ යුතු බවයි. එහෙත් අවසානයේ දී ගාල්ල පරාජිතයන් ගේ තණතිල්ලක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියාවට හැකි විය. ගාල්ලට මේ තරග දෙක දුන්නේ කුමන හේතුවක් නිසාදැයි සිතෙන්නේ, ගාල්ලේ දී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ තරග 6 කින් 3 ක් පරාජය වී සිටි නිසාය. නවසීලන්තය, කොදෙව්, අයර්ලන්තය වැනි කණ්ඩායම් ගාල්ලේ දී පහසුවෙන් පරාජය කළ ද, මෑත කාලයේ දී ශ්‍රී ලංකාව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ ගාල්ලේ දී පරාජය වීම දැකගත හැකිය. එහි දී මේ කණ්ඩායම් දෙක ඉතා හොඳින් සූදානම්ව පැමිණීමත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට විදේශීය දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේ නොහැකියාවත් කැපී පෙනුණි. සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට මේ තරම් දඟකැවෙන තණතිලි දේශීය තරගවලදී හෝ ලැබෙන්නේ නැත. ඒ අනුව ඔවුන්ට ද මෙය ආගන්තුකය. මෙය අවසන් වතාවට නවසීලන්තය හමුවේ ඉන්දියාව තම රටේ දී ලැබූ පරාජයට සමාන තත්ත්වයකි. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් මෙන්ම – පුහුණුකරුවන්, නායකයන්, ක්‍රීඩකයන් සියලු දෙනා ගාල්ලේ දඟ කැවීමෙන් වාසි ගැනීම පසෙක තබා නියම ටෙස්ට් තරග වෙනුවෙන් සූදානම් විය යුතුය. අනෙක් අතින් සංචාරක කර්මාන්තය ගැන සිතන්නේ නම් පල්ලෙකැලේට ටෙස්ට් තරගය ගෙන ගියාට කමක් නැත. හම්බන්තොටට ගෙන ගියත් කමක් නැත. මේ නිසා ක්‍රිකට් බලධරයන් මේ ගැන දැඩිව කල්පනා කළ යුතු කාලය පැමිණ තිබේ. විශේෂයෙන්ම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ පාකිස්ථානය සමග ගාල්ලේ සෙල්ලම් ගැන සිතන්නට යෑම පාඩුවක් බව දැන් ඔප්පු වී තිබේ.
ටෙස්ට් තරගවලදී දැකගත හැකි වූයේ අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක නොවීමයි. රැකගත යුතු උඩපන්දු අත්හැරීම අති විශාල පාඩුවක් බව මේ ටෙස්ට් තරග දෙකේ දීම ඔප්පු විය. අනෙක් අතින් ආරම්භක පිතිකරුවන් ගේ අර්බුදයයි. මේ තරගාවලියට ඕෂධ ප්‍රනාන්දු කැඳවූ අතර, එය සාර්ථක නොවූ බව පැහැදිලිව දැක ගත හැකි විය. මේ තරගාවලියට පැතුම් නිස්සංක වෙනුවට ඕෂධ කැඳවූව ද එය සාර්ථක නොවීය. දෙවැනි තරගයේ දී පැතුම් නිස්සංක ද අසාර්ථක විය. දිමුත් අවසන් තරග දෙකේ දීම අසාර්ථක විය. මේ අසාර්ථකත්වය ශ්‍රී ලංකාවට බලපෑවේය. එසේම ධනංජය ද සිල්වා ගේ අසාර්ථකත්වය ද පරාජයට බලපෑවේය. කමිඳු මෙන්ඩිස් ගේ අසාර්ථකත්වය විශ්වාස කළ හැකි මට්ටමක එකකි. ඔහු සිටි රිද්මයට අනුව එය ගිලිහෙන මොහොතක් වන අතර ඔහු සම්බන්ධයෙන් ප්‍රතිවාදීන් දැඩි නිරීක්ෂණයක සිටින බව ද සියල්ලෝ දනිති. ඒ අනුව මේ අසාර්ථකත්වය විශ්වාස කළ හැකි තත්ත්වයකි.
තරගාවලිය පුරාම විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් පමණි. විශේෂයෙන්ම චන්දිමාල් සමග දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට තවත් එක් පිතිකරුවෙකු සිටියේ නම් තරගාවලියේ තීරණය මීට වඩා වෙනස් වීමට තිබුණි. දෙවැනි තරගයේ දෙවැනි ඉණිමේ දී ශ්‍රී ලංකාවට ලකුණු 150 ක් ඉදිරියට පැමිණීමට අවස්ථාවක් තිබුණ ද කුසල් සහ මැතිව්ස් අතර සම්බන්ධය තවත් ලකුණු 50 ක් ඉදිරියට ගෙන යෑමට නොහැකි වීම පාඩුවක් විය. අනෙක් අතින් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට අවශ්‍ය සියලුම අඩුම කුඩුම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සතු විය.
එක්දින තරගාවලිය මෙයට සම්පූර්ණයෙන්ම වෙනස් විය. 2016 න් පසුව ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගවලදී තරග 10 කින් ශ්‍රී ලංකාව ජයගෙන තිබුණේ 4 ක් පමණි. මේ තත්ත්වයෙන් මිදීමට මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට හැකිවිය. එපමණක් නොව ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 1975 න් ඇරඹෙන එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියක සියලු තරග ජයගෙන තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව සටහන් කර ගන්නේද මේ තරගාවලියේ දීය. මේ තරගාවලියේ දී ස්ටාක් සහ කමින්ස් නොසිටිය බව සැබෑවක් වුව ද, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ යම් මට්ටකම සාර්ථකත්වයක් ලබා සිටින සියලු පන්දු යවන්නෝ සිටියහ. ඒ අනුව මෙය අති සාර්ථක ජයග්‍රහණයකි.
නායකයෙකු ලෙස චරිත් අසලංක සාර්ථක ගමනක යමින් සිටියි. එහි විශේෂත්වය වන්නේ, ඔහු තමන්ගේ පිතිහරඹයට නායකත්වය පීඩනයක් ඇති නොකර ගැනීමයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ දී අර්ධ ශතකයක් ලැබූ පසුව තරග 6 ක් අසාර්ථකව සිටි අසලංක මේ තරගාවලියේ දී තමන් ගේ හැකියාව පෙන්වූයේය. විශේෂයෙන් ඔහු පළමු තරගයේ දී දියත් කළ ඉනිම පරිණත ක්‍රීඩකයෙකුගේ සියලු ලක්ෂණ පෙන්වයි. අනෙක් අතින් එක්දින තරග 73 කට පසුව තමන්ගේ සාමාන්‍යය 43 ක පවත්වාගෙන යෑම යනු ඉතා හොඳ එක්දින ක්‍රීඩකයෙකු ගේ ලක්ෂණයකි. මේ වනවිටත් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රීඩකයෙකු ගේ වැඩිම එක්දින සාමාන්‍යයට හිමිකම් කියන්නේ අසලංකයි. මෙය තවත් තරග සිය ගණනක් පවත්වාගෙන යෑම අවශ්‍යතාවයයි.
කෙසේ වුවද දෙවැනි එක්දින තරගයේ දී නිෂාන් මධුශ්ක ඉතා සාර්ථක ආරම්භයක් ලබා දීමට මැදිහත් විය. පැතුම් අඩු ලකුණු ගණනකට දැවී යාමේ පාඩුව නිශාන් ඉතා කල්පනාකාරී ලෙස විසඳා දුන්නේය. ඔහුට මේ තරගයේ දී දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්නට ලැබුණේ නම් එය තවත් වටී. කෙසේ වුවද නිෂාන් ගේ සහ මෙන්ඩිස් ගේ දායකත්වය අවසානයේ විශාල ලකුණු ප්‍රමාණයකට යෑමට අවස්ථාව උදා කර දුනේනේය. අනෙක් අතින් අසිත ප්‍රනාන්දු අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වූයේය. ඔහු තරග දෙකේදීම පන්දුවෙන් ඉතාම හොඳ ආරම්භයක් ලබා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් වැඩි වාසියක් විය.
පළමු එක්දින තරගයේ දී කඩුළු 4 ක් දවාගත් මහීෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය නිමාවනවිට ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙස ඉදිරියට පැමිණියේය. පසුගිය වසරේ සිට එක්දින පන්දු යවන්නෙකු ලෙස සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ මහීෂ් පසුගිය වසරේ ජනවාරියේ සිට මේ දක්වා තරග 17 ක් ක්‍රීඩා කර ඉණිම් 16 කදී පන්දු යවා කඩුළු 26 ක් දවාගෙන තිබේ. මේ කාලයේ දී ඔහු කඩුල්ලක් දවා ගැනීමට ලබා දෙන ලකුණු ප්‍රමාණය මෙන්ම කඩුල්ලක් දවා ගැනීමට වැය කරන පන්දු ප්‍රමාණයද සැලකිය යුතු ලෙස අඩුව තිබේ. පසුගිය සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට මහීෂ් පන්දුවෙන් දැක්වූ දායකත්වය ඔහු අංක එක දක්වා පැමිණීමට හේතු වී ඇති බව පැහැදිලිය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් අසලංක මෙන්ම මහීෂ්ද තවත් වසර කිහිපයක්ම මේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යා යුතුව ඇති බව මතක් කළ යුතුය.
ටෙස්ට් තරග වලදී වේග පන්දු යවන්නන් සම්බන්ධයෙන් ද අපේ අදහස පෙර කී කතාවමය. අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක යන තිදෙනා ගෙන් දෙදෙනෙකු මේ තරගාවලියේ දී යොදා ගෙන ගාල්ලෙන් පිටත තරගයකට යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණි. අනෙක් අතින් ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ගේ පන්දු යැවීම අවම වශයෙන් දක්නට ලැබෙන්නේ ට්‍රැවිස් හෙඩ් පවා කඩුළු ලබාගත් අවස්ථාවකය. ප්‍රධාන පන්දු යවන්නන්ට ප්‍රතිවාදී පිතිකරුවන් සූදානම් නම් ඔවුන්ගේ අවධානය වෙනස් කිරීමට ධනංජය සහ කමිඳු යොදා ගත හැකිය. අපේ අදහස නම් ගාල්ලේ දී පවා මිලාන් රත්නායක සමග ක්‍රීඩා කර කමිඳු සහ ධනංජය වැඩියෙන් පන්දු යැව්වා නම් ප්‍රතිඵලය වෙනස් විය හැකි බවයි.
ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අපට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරග සම්බන්ධයෙන් අප දකින කෝණය වෙනස් කළ යුතු බවයි. මේ වසරේ ටෙස්ට් තරග ඉතා අඩු ප්‍රමාණයක් තිබීම නිසා ශ්‍රී ලංකාවට මේ ගැන යළිත් හිතන්නට අවස්ථාවක් තිබේ. එසේම මේ වසරේ ටෙස්ට් තරග අඩු කණ්ඩායම් සමග සාකච්ඡා කර ටෙස්ට් තරග 4 ක් හෝ කාල සටහනට එක් කර ගැනීමට ක්‍රිකට් බලධරයන් උත්සාහ ගත යුතුය. එසේ නොමැති වුවහොත් ලබන වසරේ ජූනි දක්වා අපට ඇත්තේ තරග 4 ක් පමණි. එය කිසිසේත් නොසෑහේ. ටෙස්ට් ශූරතාවයට අයත් නොවුණ ද ටෙස්ට් තරග පවත්වාගෙන යෑමට අයි.සී.සියෙන් බාධාවක් නොමැති බව පැහැදිලිය. එකම ප්රශ්නය වනු ඇත්තේ මුදල්ය. එහෙත් ටෙස්ට් තරග වැඩි කර ගැනීමට උත්සාහයක් නොගෙන සිටීම පාඩුවකි.
කාංචන දසනායක