නිදහස් වෙලාවට පොඩ්ඩක් එළියට බැහැලා කොළ පාට, නිල් පාට ලෝකෙක අතරමං වෙන්න අපි කවුරුත් ආසයි. හැබැයි ඒ ආසාව පස්සේ දුවන අය ඉන්නේ හරිම ටික දෙනයි. අද සංචාරකයා වෙතින් කියන්න යන්නේ ඒ විදිහට ලංකාව වටේ තනියම ඇවිදින ගමන් ත්‍රාසජනක අත්දැකීම් වලින් තමන්ගේ ට්‍රැවල් ලයිෆ් එක පුරවගන්න හදන සජීවනී රාජපක්ෂ පිළිබඳවයි.
කොහොමද සජීවනී තනියම ට්‍රැවල් කරන්න පටන් ගත්තේ ?
![]() |
![]() |
පොඩි කාලේ ඉඳන් මම ඇවිදින්න ආසයි. හැබැයි මම ගොඩක් තැන්වල ගිහින් නැහැ. ඉස්කෝලෙන් පවා මට මතක විදිහට ට්‍රිප් දෙක තුනක් වගේ තමයි ගිහින් තියෙන්නේ. මගේ පවුලේ අයත් එහෙම ලොකුවට ඇවිදින්න ගියපු අය නෙවෙයි . ඉතින් මට ඕනෙ වුණා මම ගිහින් නැති තැන්වල ඇවිදින්න යන්න. ඒ තැන්වල මිනිස්සු කොයි වගේද පරිසරය කොයි වගේද කියලා විඳින්න මට ආස හිතුණා. එහෙම තමයි ට්‍රැවල් කරන්න ඕනෙ කියන ආසාව මට මුලින්ම ඇති වුණේ.
මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා, ඒ දෙන්නගෙ යාළුවෝ එක්ක එකතුවෙලා අපි ඇවිදින්න ගිහින් තියෙනනවා. ඊට පස්සෙ මම වෙනම ට්‍රැවල් කරන යාළුවොත් එක්ක ඇවිදින්න ගියා. සාමාන්‍යයෙන් දවස් දෙක තුන යන්න වෙන දුර කඳුවලට එහෙම එයාලා එක්ක ගියා. ඒ අතරතුර මම තනියමත් ට්‍රැවල් කළා. පස්සෙ මට හිතුණා තනියම යන එක ගොඩක් නිදහස් කියලා. හැබැයි මම ලොකු කඳු තරණය කරලා තිබුණේ නැහැ. අත්දැකීම් නැති නිසා මට මුලින් ලොකු ලොකු ගමන් යන්න තරමක බයක් හිතුණා. මුල්ම දවස්වල මම තනියම නුවරට ගිහින් - මාලිගාව, මල්වත්ත, බහිරව කන්ද වගේ නුවර අවට තියෙන පොඩි පොඩි තැන් වලට ගිහින් බැලුවා. ඒ විදිහට මුල් කාලේ ලංකාවෙ තියෙන ලස්සන තැන්වලට, තනියම යන්න වැඩි අවදානමක් නැති තැන්වලට ගිහින් බැලුවා.
හුළංගල වගේ ඕනෙ කෙනෙක්ට බය නැතුව ගිහින් එන්න පුළුවන් කඳු වගේ තැන්වලට මුලින්ම ගියා. ඒ විදිහට පුංචිම තැන් වලින් තමයි මම මගේ ට්‍රැවල් ලයිෆ් එක පටන් ගත්තේ . ඊට පස්සෙ මම හිතුවා ඒ වගේ ටිකක් ලොකු තැන් වලටත් තනියම යන්න ඕනෙ කියලා. එහෙම ටිකෙන් ටික තමයි තනියම ට්‍රැවල් කරන්න පටන් ගත්තේ.
පළවෙනියට විඳපු කෑම්පින් අත්දැකීම මතක ද?
මට කෑම්පින් කරන්න ඕනෙ වෙන්නේ මුලින්ම ට්‍රැවල් කරන කොටමයි. හැබැයි ට්‍රැවල් කරන්න පටන් අරන් දැන් අවුරුදු දහයක් විතර වුණත්, අවුරුදු කීපයක්ම පහුවෙලා තමයි කෑම්පින් කරන්න මට පුළුවන් වුණේ. ඒත් දැන් අවුරුදු ගාණක් ගිහින් නිසා ඒ අත්දැකීම නම් හරියටම මතක නැහැ.
මේ වෙනකොට ලංකාවෙ ට්‍රැවල් කරලා තියෙන තැන් මොනවද ?
දැනට මම ගොඩක් තැන්වල ගිහින් තියෙනවා. මම ගොඩක්ම ආස ලංකාවේ නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව ට්‍රැවල් කරන්න. තව ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව සහ නුවරඑළිය ප්‍රදේශයටත් කැමතියි. ඒ වගේ බදුලු බණ්ඩාරවෙල, හපුතලේ වගේ ගොඩක් කඳුකර පැතිවල තමයි මම වැඩිපුර ඇවිදලා තියෙන්නේ. හැබැයි මම හිතාමතාම මග ඇරලා තියෙන තැන් ටිකකුත් තියෙනවා. මම අඩුවෙන්ම ඇවිදලා තියෙන්නේ මුහුදුබඩ පැතිවල සහ වියළි කලාපයේ. ඒකට හේතුව මට පොඩ්ඩක් මිග්රේන් තියෙනවා. ඒ නිසා මට අව්ව සැරත් එක්ක ඇවිදින්න අමාරුයි. ඒ නිසා ඒ පැත්ත ඇතෑරලා වැඩිපුරම මම තෙත් කලාපයෙ පැත්තට තමයි ඇවිදින්න යන්නෙ.
ට්‍රැවල් කරපු තැන් වලින් ආයෙ යන්න ආසා හිතුණ තැන් තියෙනව ද?
එහෙම හිතුණ තැන් ගොඩක් තියෙනවා. ඒ අතරෙ දවස් හතරක් විතර මම කැලේ හිටිය එක ගමනක් තියෙනවා. ආයෙ යන්න ආසම තැන්වල උඩින්ම තියෙන තැනක් තමයි නකල්ස්වල අලුගල්ලෙන. ඒ අවට ඇවිදින්න මම හරි කැමතියි.
විදේශ රටවලත් ට්‍රැවල් කරලා තියෙනව ද?
තාම නම් නැහැ. හැබැයි ආසාවක් තියෙනවා එක එක රටවල්වල තියෙන ලස්සන බලන්න ඇවිදින්න යන්න. ඉන්දියාවට, ස්විට්සර්ලන්තෙට, ඕස්ට්‍රේලියාවට වගේ යන්න ගොඩක් ආස තැන් ලිස්ට් එකක්ම තියෙනවා.
ලංකාවේ ට්‍රැවල් කරන්න ආසාවෙන් ඉන්න තැන් මොනව ද?
කාලෙක ඉඳන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පිකෝ ට්‍රේල්( pekoe trail) යන්න. එකේ කිලෝමීටර් තුන්සීයකට ආසන්න දුරක් පයින් යන්න තියෙන්නේ. ස්ටේජ් විසි දෙකක් තියෙනවා. තේ වතු ආශ්‍රිතව තමයි ඒ ට්‍රේල් එක හැදිලා තියෙන්නේ. මට ඒ පරිසරේ විඳින ගමන් ට්‍රේල් එකේ ඒ කිලෝ මීටර් ගාණම පුළුවන් තරම් ඉක්මනින් යන්න ආසයි. ඒක තමා දැනට තියෙන ලොකුම ආසාව.
|
![]() |
ඇත්තද රෑ 12 ට කනත්තට ගිහින් ඌරු මස් කනවා වගේ ත්‍රාසජනක දේවල් කරනවා කියන්නේ ?
ඔව්, මම ගොඩක් ත්‍රාසජනක ගමන්වලට, වැඩවලට කැමති කෙනෙක්. ගොඩක් අය හොල්මන්වලට බයයි. හොල්මන් තියෙනවා කියලා මිනිස්සු බය වෙන තැන්වල මම ගිහින් රෑ එළිවෙනකල් ඉඳලා ඇවිත් තියෙනවා. ඒත් මට තනියම යද්දිවත් ඒ වගේ කිසිම ප්‍රශ්නයක්, අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා නැහැ. මම හරි කැමතියි - මිනිස්සු ඒ වගේ බයක් දක්වන තැන්වලට යන්න, ඒ වගේ දේවල් කරන්න.
අදටත් සමහර පිරිමි ළමයින් පවා ඉන්නවා රෑට ගෙදරින් එළියට බහින්න බය. එහෙම සමාජයක ඒ වගේ දෙයක් කවුරුත් කරන්න හිතන්නෙ නැහැනෙ. අනිත් එක තමයි ගොඩක් අය හොල්මන්වලට බයයි. ඉතින් කනත්තට ගිහින් ඌරු මස් බැදලා කෑව එක ත්‍රාසජනක වැඩක්. ඒ වගේ තැනක පුළුටු කන බොන එක හොඳ නැහැ වගේ කතා අහලා තියෙනවනේ. ඉතින් මට ඕනෙ වුණේ ඇත්තටම ඒ වගේ දේවල් තියෙනව ද කියලා පොඩි කතාබහක් ඇති කරන්න. හිතුවා වගේම ගොඩක් අය ඒ ගැන කතා කළා, ගොඩක් අය බැණලා තිබ්බා. එහෙම දෙයක් තියෙනවද වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි ඇත්තටම මම එතනදි අරමුණු කර ගත්තේ. ඒ ගමන ගැන කිව්වොත් කනත්තට යන්න කලින් කරන්න ක්‍රියාවලියක් තියෙනවා. යන්න කලින් ගාස්තුවක් ගෙවලා, මම කරන්න හදන්නෙ මොකක් ද? අදාළ දිනේ සහ වෙලාව කියලා අවසර අරන් තමයි මම ඒ ගමන ගියේ. ඒ වගේ වෙලාවක එතනට යන්න ප්‍රවාහන පහසුකම් නැහැ. ඉතින් ඒ දේවලුත් හදා ගන්න ඕනේ. ඒ වගේ පෙර සූදානමකින් ගිහින් තමයි සොහොන් කොතක් උඩ මගේ ළිප එහෙම අරන් ගිහින්, මම ඌරු මස් බැදලා කෑවේ. ඒක ගොඩක් ත්‍රාසජනක අත්දැකීමක් වුණා.
තනියම ට්‍රැවල් කරද්දි බය හිතුණ අවස්ථා නැද්ද?
බය හිතෙනවා කියන්නේ මම ඇත්තටම බය පණ තියෙන මිනිස්සුන්ට. මිනිස් වාසයට ළඟ තැනකට යන එක කැලෑවකට යන එකටත් වඩා අවදානම්. මොකද අපට සතෙක් ගෙන් වෙන්න තියෙන කරදරයක් වුණත් ටිකක් මග ඇරගන්න පුළුවන්. හැබැයි මිනිස්සු අතරෙ නොමිනිස්සු ඉන්න නිසා බය හිතිලා තියෙනවා. මේ ළඟදිත් මට එහෙම සිද්ධියක් වුණා. ළඟදි මම බඹර කන්ද දියඇල්ල උඩ කෑම්පින් කරන්න ගියපු වෙලාවෙ ටෙන්ට් එක එහෙම ගහලා දිය ඇල්ලෙන් නාන්න ගියා. ඒ වෙලාවේ කූඩාරමෙන් එළියට එනකොට මනුස්සයෙක් මගෙ දිහා බලන් ඉන්නවා මම දැක්කා. ඒ බලන් හිටපු විදිහත් එක්ක මට තේරුණා මම තවදුරටත් එතැන ඉන්න එක සුදුසු නැහැ කියලා. සමහරවිට කිසි ප්‍රශ්නයක් නැතුව රෑ එළිවෙනකල් මට එතන ඉන්න අවස්ථාවත් තිබුණා. ඒත් ඒක මට හරියටම කියන්න බැහැනෙ. අවදානමක් තියෙද්දිත් එතන ඉන්න එක හොඳ මදි නිසා මම එතැනින් ඉවත් වුණා. ඒක තමයි මතක ඇති කාලෙකට බයක් දැනුණු අවස්ථාවකට තියෙන්නේ.
ට්‍රැවල් කරන කොට ලබපු අමතක නොවන අත්දැකීම් ?
කටුසු කන්දෙ ගියපු ගමන ඒ වගේ අත්දැකීමක්. ඒක ටිකක් අමාරු ගමනක්. හේතුව තමයි තියෙන්නේ ලොකු ගලක්. ඒ ගල උලක් වගේ හැදිලා උඩ පුංචි තීරුවක යන්න තියෙන්නේ. දකුණ වම කියලා මොන පැත්ත හැරුණත් බෑවුමක්, ප්රපාතයක් තියෙන්නේ. එක පත්තකට වැටුණොත් නම් අනිවාර්යයෙන් මරණය. අනිත් පැත්තට වැටුණොත් සමහරවිට අත පය කැඩිලා බේරෙන්න පොඩි අවස්ථාවක් තියෙයි. ඒක නිසා හරියට අඩියක් තිබ්බෙ නැත්තම් ජීවිතේ අවදානමේ. ඒ නිසා ඒක මාරාන්තික ගමනක් වුණා. තව එක පාරක් අලින් ගේ රජ දහනකට ගියා නුවරගල. හැබැයි ඒක මම තනියම ගියපු ගමනක් නෙවෙයි. ඒක ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕනෙ ගමනක්. ඒ ගමන පුරාවට අලි අවස්ථා කීපයකදීම මට මුහුණට මුහුණ හම්බ වුණා. ඒක ඇත්තටම අමතක නොවෙන අත්දැකීමක්. ඊට අමතරව එහෙම මතක හිටින ගමනක් තමයි අධික වර්ෂා කාලෙකදි කොටගග ඇලි 7 බලන්න ගිය ගමන. ගිය අවුරුද්දේ අවසාන කාලෙ මම ගියා නකල්ස් කොටගග දිය ඇලි බලන්න. ඒක දිය ඇලි හතක් තියෙන දිය ඇලි දාමයක්. ඒ දියඇලි බලන්න මම තෝරගෙන තිබුණෙ හොඳටම වැස්ස දවස් ටිකක්. සාමාන්‍ය කාලෙකදි වතුර පාර හරි අඩුවෙන් ගියත් මම ගියපු දවස්වල හොඳටම වතුර. වැස්සෙ නාගෙන තමයි මම ඒ ගමන ගියෙ. සමහර තැන්වලින් යන්න නම් වතුර පාරවල් පහු කරන්න ඕනෙ. ඒ තැන්වල ගහගෙන යන්න තරම් වතුර. ඉතින් ඒ ගමනෙදි මට පුළුවන් තරම් වතුර පාර මග ඇරලා තමයි මම ගියේ. ඒ කොටගහ පතන තියෙනවා. පතන සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා. පොඩි අඩිපාරක් තිබ්බෙ හොයාගෙන යන්නත්. ඒ අඩිපාරෙත් හැමතැනම පැහැදිලි නැහැ. වැස්සත් එක්ක මීදුමෙන් වැහිලා, වතුරෙන් අඩිපාර පොඩ්ඩක් හරි පේන්න තිබුණු තැනුත් වැහිලා ගිහින් මට යන්න ඕනෙ කොහෙටද කියලා හරියට හොයා ගන්න පවා එදා අමාරු වුණා. ඒ නිසා ඒ ගමනත් මතක හිටින අත්දැකීමක් එකතු කළා.
තනියම ට්‍රැවල් කරද්දි ආරක්ෂාව වගේම අනිත් දේවලුත් කොහොම ද ඉගෙන ගත්තෙ?
සාමාන්‍යයෙන් මම පොඩි කාලේ ඉඳන් ගොඩක් දේවල් තනියම කරන්න පුරුදු වුණ කෙනෙක්. ඒකත් එක්ක ගොඩක් දේවල් තනියම කරගන්න පුළුවන් හැකියාවක් මට තිබ්බා. ඉතින් කැලෑවකට යද්දි තමන්ගෙ ආරක්ෂාව සලස ගන්න තැන ඉඳලා අපි යන පරිසර පද්ධතිය මොන වගේ ද? අපිට මුණ ගැහෙන්න පුළුවන් සත්තු කවුද? තර්ජනයක් වෙන සත්තු කවුද? ප්‍රවාහන පහසුකම්, ආත්ම ආරක්ෂාව, ප්‍රථමාධාර වගේ ගොඩක් දේවල් දැන ගන්න ඕනෙ. ඉතින් ඒ දේවල් ගැන මම ගොඩක් තොරතුරු හෙව්වා. මගෙ ආසාව තිබ්බෙ කැලෑවට, දියඇලිවලට, කඳුවලට. ඒ දේවල් එක්ක මම ගොඩක් දේවල් හොයලා, ඉගෙන ගන්න පුරුදු වුණා. සත්තු ගැන, ශාක ගැන වගේම තනියම ගිහින් උයන් කන විදිහ පවා මට පුළුවන් විදිහට තනියම හොයාගෙන ඉගෙන ගත්තා. ගොඩක් පිටරට චැනල්ස්වලින් ඒ සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ හැමදේම අධ්‍යයනය කරලා තමයි ඒ දේවල් ඉගෙන ගත්තෙ.
මේ ට්‍රැවල් ලයිෆ් එක කොහොම ද දැනෙන්නේ?
ඇත්තටම සමහර වෙලාවට කැලේ ඉද්දිත් මට ගෙදර ඉන්නවා වගේ පහසුවක්, නිදහසක් දැනෙනවා. මට තව යන්න කොච්චර ලස්සන තැන් තියෙනව ද? මැරෙන්න කළින් ඒ තැන්වලට යන්න පුළුවන් වෙයි ද? ඉවර කරන්න නම් බැරි වෙයි කොහොමත්. හැබැයි කැලේ ඉද්දි ඒ දැනෙන නිදහසට, කොළ පාට පරිසරේට, රෑට තරු දිහා බලාගෙන, හද දිහා බලා ගෙන, සත්තුන්ගෙ සද්ද අහගෙන නිදාගෙන ඒ ගෙවෙන ජීවිතේට මම හරිම කැමතියි.
මේ විදිහට ට්‍රැවල් කරන එකේ අරමුණ මොකක් ද?
ට්‍රැවලින් කියන්නේ මුලදි මගේ විනෝදාංශය. හැබැයි දැන් ඒක ඊටත් වඩා උඩට ඇවිත් තියෙන්නේ. දැන් මම කැමතියි ෆුල් ටයිම් ට්‍රැවලර් (full time traveler) කෙනෙක් වෙන්න. ඒ තරමටම ට්රැවලින්වලට මම කැමතියි. ට්‍රැවල් කරද්දි මගෙ අරමුණ වෙන්නේ ඒ ලැබෙන මානසික නිදහස සහ මානසික තෘප්තිය.
පසුගිය දිනවල ලොව ජනප්‍රියම තනි සංචාරක ගමනාන්ත අතර පළමු තැනට ලංකාව නම් කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවේ දැනුවත්ව solo female travelers ඉන්නේ ටික දෙනයි. හැබැයි සෝෂල් මීඩියා වලට එන්නේ නැති අයත් ඇති. ට්‍රැවල් කරන පිරිමි අය නම් ගොඩක් ඉන්නවනේ. ලංකාව මේ වගේ තැනකට එන්න, ඒ විදිහට තනියම ට්‍රැවල් කරන අයගෙ දායකත්වයත් අනිවාර්යයෙන් ලැබෙන්න ඇති. ඉතින් තනියම ට්‍රැවල් කරන කාන්තාවක් විදිහට ඒ ගැන මට ගොඩක් සතුටුයි. ලංකාවට විදේශ රටක ඉඳන් එන සංචාරකයන්ට, අපේ රටේ අයට, බයක් නැතුව ගමනක් ගිහින් එන්න පුළුවන් තැනක් විදිහට ලංකාව තියෙනවා කියද්දිත් මාරම සතුටුයි.
කොහොමද දෛනික වැඩ එක්ක ට්‍රැවල් කරන්න වෙලාව වෙන් කර ගන්නේ?
මම කළින් නම් පෞද්ගලික ස්ථානයක අවුරුදු අටක් විතර රැකියාවක් කළා. ඒකෙ වැඩමුර අනුව තමයි වැඩ කරන්න තිබුණේ. අවසාන කාලේ මම වැඩ කළා හවස 3.30 පාන්දර 12.30 කියන වැඩ මුරේට. ඒකෙදි උදේ වරුවම මට නිදහස ලැබුණා. පාන්දර හතරට වගේ ගෙදරින් ගියොත් දවල් 2.30, 3 විතර වෙද්දි ගෙදරට එන්න පූළුවන්. ළඟ තැන්වලට මම එහෙම ඇවිදින්න ගියා. ඒක අට පහ රැකියාවක් කරනවට වඩා මට ලැබුණු වාසියක්. එහෙම ඉද්දි මගේ වැඩ මුරේ නවය හය කියන වෙලාවට මාරු වෙනවා. සාමාන්‍යයෙන් මම මාසෙට දෙපාරක් හරි තුන්පාරක් හරි ඇවිදින්න යන කෙනෙක්. ඒ වුණත් රැකියාවත් එක්ක මට නිවාඩු ගන්න අපහසු වුණා. ඒ හේතු දෙක නිසා මම තීරණේ කරනවා රැකියාවෙන් ඉවත් වෙන්න. මේ වෙනකොට මම ගෙදර මල් වවන්න පටන් අරන් තියෙනවා. ඒක ඉදිරියෙදි ව්‍යාපාරයක් විදිහට දියුණු කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා ට්‍රැවල් කරන්න වෙලාව ලැබෙනවා.
ට්‍රැවල් කරන්න ආසවෙන් ඉන්න අයට මොනව ද කියන්න තියෙන්නේ?
මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි ආසාව තිබ්බට ඒ දේ අපිට තනියම කරන්න පුළුවන්ද කියන දේ.මොකද දැක්ක පලියට ආසාවට අපිට ට්‍රැවල් කරන්න යන්න බැහැ. විශේෂයෙන් ගැහැනු ළමයෙක් නම් තනියම යද්දි ලොකු අවදානමක් තියෙනවා. තනියම ට්‍රැවල් කරද්දි මුලින් කිව්වා වගේ අපි ඉගෙන ගන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා හැකියාව සහ ආත්ම විශ්වාසය තියෙනවා නම් මුලින්ම පොඩි තැනකින් තමයි ට්‍රැවල් කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම තමයි ට්‍රැවල් කරද්දි පුළුවන් තරම් ස්වභාවික පරිසරේට අපෙන් වෙන හානිය අවම කරලා පරිසරය රසවිඳින්නත් මතක තියාගන්න ඕනේ.
කෞශල්‍යා ලක්ෂානි