තාත්තයි පුතයි - අමල් නදීමාල්



තාත්තෙක් සහ පුතෙකු අතර ඇති බැඳීම මොන වගේද කියා විමසීම බොහෝ විට තාත්තෙකුගෙන් ඇසිය යුතු නොවේ. ඒ ප්‍රශ්නයේම උත්තරයද තිබීම ඊට හේතුවය. බැඳීම මොන වගේද? යන්නෙන් කියනවාට වඩා දෙදෙනා දෙදෙනකු නොව එක් අයෙකු යැයි ප්‍රකාශ වන හෙයිනි. සැබැවින්ම පිය - පුතු බැඳීම යනු මැනිය නොහැකි සුසංයෝගයකි. පියෙකුගේ ඊළඟ ප්‍රකාශනය, පරිච්ඡේදය වන්නේ පුතෙකි. මේ පිය - පුතු යුගල එය සනාත කළ තවත් තාත්තා කෙනෙකු සහ පුතෙකි. ‘අමල් - නදීමාල්’, ඒ නාමයන් දෙකද අපූරුයි නේද?’’ ඉතින් අපි බලමු මේ තාත්තාට - නදිමාල් පුතා දැනෙන  හැඟෙන විදිහ තාත්තයි - පුතයි විශේෂාංගයට පවසන හැටි.

‘‘ජීවිතය සුපුරුදු විදිහට ගෙවෙනවා. මේ දිනවල විශේෂත්වය වෙන්නෙ ව්‍යායාම්වල වැඩිපුර නිරත වීමයි. කෑම බීම අඩු කරලා ව්‍යායාම් කළොත් හොඳයි කියලා හිතුවා.’’

තාත්තයි - පුතයි ගැන අමල්ගෙන් අහන්නට පෙර එයාගේ මේ දිනවල  ගත කරන විදිහ ගැන  කියමින් කතාවට මුල පිරුවෙ ඒ අයුරිණි. ඔහුගේ අලුත්ම ගීත දෙකක් නුදුරේදීම එළිදැක්වීමට නියමිත බවත් කියනවා. කසුන් කල්හාර සංගීතවත් කළ පිහාටුවක් සහ නදීක ගුරුගේ සංගීතවත් කළ, තරහාකාරි යන ගීත දෙක ළඟදීම ඔබට අහන්නට ලැබේවි. මේ ගීත දෙකම ලියා ඇත්තේ මංජුල වෙඩිවර්ධන ය. අමල්ගෙ ගීත අහන්නට ආසාවෙන් සිටින බොහෝ දෙනාට එය සුබ පණිවුඩයක් වේවි. ඉතින් දැන් අපි අමල්ගෙ ‘තාත්තා භූමිකාවට එබිකම් කර බලමු.!

  • අමල් මොන විදිහෙ තාත්තා කෙනෙක් ද?

තාත්තා කියන වගකීම තියෙන්නෙ මගේ ඇතුලාන්තයේ. බාහිරව ගත්තොත් තාත්තා කෙනෙකු විදියට මම දරුවන්ට දුරස්වී නැහැ.  ඒක මම මගේ තාත්තාගෙන් ගත්ත ආභාෂයක්. නදීමාල්ට මම බෙහෙවින් සමීප තාත්තා කෙනෙක්. මමයි අපේ තාත්තයි ගත්තොත් අපි දෙන්නට වඩා මමයි - පුතයි අතර ඉතාමත් සමීප බවක් තිබෙන්නෙ. ඒ දිනවල මට මතකයි අපේ තාත්තා මගේ සංගීත කටයුතු කරගෙන යන්න මට වෙලාව දීලා තිබුණෙ. සංගීත කටයුතු එක්ක ‘බෑන්ඩ්’ වල හිටපු නිසා රටේ දුර පළාත්වල හෝටලවල නතරවී කටයුතු  කරගෙන යන්න ඉඩ දීලා මම යන ගමන දිහා බලාන ඉන්න ඇති. 

හැබැයි  මට ඒ නිසා එයාලගෙ සමීපයේ වැඩිපුර කාලයක් ගත කරන්න ලැබුණෙ නැහැ. අද මගේ පුතාට ඒ නිදහස තිබෙන  බව ඇත්ත. ඒත් අපට වඩා එයාලට බොහෝ සම්පත් තියෙනවා. එදා අපට සමහර අවස්ථාවලදී ඉන්න-හිටින්න ගෙයක් තිබුණෙ නැහැ. අපි  කුලී ගෙවල්වලත් හිටියා. තාත්තගෙ මහගෙදර, අම්මගෙ මහගෙදර හිටියා. ඒ විදිහට හැල හැප්පීම් බොහොමයක් එක්ක අපේ ජීවිත ගලා ගියේ. එත් මගේ පුතාටත්  දුලා දෙන්නටත් ඒ පැත්ත නැහැ. එයාලට සුව පහසු-මානසික වටපිටාව මම හදලා තියෙන්නෙ.

  • අපි නදීමාල්ගේ කුඩා කාලයට යමු. කොහොමද අමල්ට ඒ ගැන මතක...

ඒක මතක් කරද්දීත් බොහොම  සුන්දර  බවක් හැඟෙන්නෙ. එයාගේ පොඩි කාලයට මම බොහොම  ආසයි. මට එයා එක්ක ඉන්න වැඩිපුර කාලය ලැබුණා. ඒත් මගේ පොඩිදුව  එක්ක ඉන්න වැඩිපුර කාලයක් මට ලැබුණෙ නැහැ.  

‘නදීමාල්’ගෙ කුඩා කාලය ගත්තොත් දඟ වැඩ කළ කොල්ලෙක් නෙවෙයි. හැබැයි හරිම හුරතල් කොල්ලෙක්. මගේ ජීවිතයේ හැල හැප්පීම් ඇති වෙන්නට පෙර එයා එක්ක වැඩිපුර කාලය ගත කිරීමට ලැබීම ඇත්තටම මට සුන්දර මතකයක් එයාට අවුරුදු හත අටක් වෙනකල්ම මට එයාගේ සමීපයේ ඉන්න ලැබුණා.

  • නදීමාල්, මොන වගේ තැනකට යැවීමේ අරමුණ ඇතිවද ඔබ ඔහුට අධ්‍යාපනයට පාර කිව්වෙ!

මට වඩා එයාගේ අම්මගෙ මග පෙන්වීම තමයි තිබුණෙ. ඇයට අවශ්‍ය වුණේ නදිමාල්ට හොඳට උගන්වන්න. මගේ අරමුණ වුණේ එයාට හොඳට මියුසික් උගන්වන්න වගේම හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම. සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය භාෂාවක්. එයාගෙ සංගීත කටයුතුවලට මගේ බලපෑම් තිබුණේ නැහැ. මගේ සංගීත ගමන දිහා එයා බලා සිටිමින් සංගීත ක්ෂේත්‍රයේ යමක්  කරාවිය කියන හැඟීම මට තිබුණා. අද එයා සංගීත  ක්ෂේත්‍රයේ ඇවිත් තියෙන ගමන දිහා බලද්දී මට හරි සතුටක් දැනෙන්නෙ. ඉස්සර මට මතකයි අපේ තාත්තා මධුවිතත් තොල ගෑ අවස්ථාවලදී මට ඉස්සරහට  එන්න කියලා සිංදුවක් කියන්න කී හැටි ඉතින් අපේ තාත්තාගෙ ඒ පිහිටීමම මටත් තියෙනවා. මාත් ඒ වගේ අවස්ථාවලදී (දැන් නම් මම බොන්නෙ නැහැ) පුතේ අර සිංදුව කියපං කියලා එයා ළවා සිංදු කියවා ගන්න අවස්ථා තියෙනවා. 

  • තාත්තෙකුට පුතෙකු සිටීම- ඔබට දනවන හැඟීම්?

තාත්තෙකුට පුතෙකු විතරක් නොවෙයි දරුවන් ඉන්නවාය කියන හැඟීම දැනෙන්න මහ මෙරක් තරමට වූ හැඟීමක්. එක් වතාවක මැරෙන්නවත් බය නැහැ, කියලයි මම හිතුවේ. ඒත් අද ගැන හිතද්දී මේ ළමයින් තුන්දෙනා ගැන හිතද්දී දැන් මම මරණයට ටිකක් බයයි. ඒකට හේතුව මෙයාලා වෙනුවෙන් තව ටිකක් කල් ජීවත් වෙන්න ආසයි. එයාලට වැරැද්දක් නොවන විදිහට-එයාලට  හරි විදිහට පාර පෙන්වන්න තියෙන නිසා තමයි ඒ ආසාව තියෙන්නෙ.  

  • සංගීත කටයුතු හැර නදීමාල් - අමල් පිය - පුතු දෙදෙනා මොන වගේ වැඩවලද නිරත වන්නෙ?

අපි දෙන්නම ජිම් යනවා. මම උදේට ජිම් එකට යනවා. එයා හවසට යනවා.

  • දෙන්නා එකතු වුණාම මොන වගේ මාතෘකා ගැනද වැඩිපුර කතා වෙන්නෙ!

කතා නොකරන මාතෘකාවක් නැති තරම්, ආදරය, ජීවිතය, සංගීතය එකී මෙකී නොකී සියලු දේ ගැන කතා වෙනවා. එයාගේ පෞද්ගලික ජීවිතේ  තොරතුරු ගැන පවා කතා කරනවා. එයාටත් ඒවා නොසඟවා පවසන්න පුළුවන්. මේ ළමයින් දෙන්නාම බොරු කියන්නෙ නැහැ. මම බොරුවක් කියලා තිබුණත් එයාලා එහෙම නැහැ. 

  • ‘නදිමාල්’ වේදිකාවේ ගී ගයමින් ප්‍රේක්ෂක ආදරය ලබද්දී ප්‍රේක්ෂකයකු ලෙස එයා නරඹන ‘අමල්’ට මොනා වගේ හැඟීමක් ද ගෙන දෙන්නෙ?

බොහොම ආසයි. ඒත් දැන් ඒවා දැකලා බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. කොයි හැටි වෙතත් ඒක ලොකු සතුටක්.

  • ඇයි මේ තාත්තයි - පුතයි එකතුවෙලා ප්‍රසංගයක් නොකරන්නෙ.?

 තාත්තටයි - පුතාටයි එකතුවෙලා ප්‍රසංගයක් කිරීමේ ලොකු අදහසක් තියෙනවා. ඒත් අද මට වඩා එයා කාර්යබහුලයි. ඒ ස්වභාවය එක්ක. එයාගෙන් ඊට කාලය වෙන්කර ගැනීම අපහසුයි. මාත් මාගේ සංගීත කටයුතුවලට යනවනෙ. ඉතින් කාලය එක්ක අපි බලමු! ඉදිරිය සුබ වේවි!

  • ඔබගෙ ජීවිතයේ අඩුපාඩු - වැරැදි  සිදුවුණේ නම් ඒ අත්දැකීම් එක්ක ඔබ පුතාට නොකර ඉන්නය කියලා උපදෙස් දෙන්නෙ මොනවා ගැනද?

නොකර ඉන්න කියලා කියනවාට  වඩා මම එයාට හරිම දේ කියලා දෙනවා.  එයාගෙ යාළුවො එක්ක පවා සිටියදී මම ඒවා කියා දෙනවා.  ඒ කියන්නෙ බොරුකීම, කේලම් කීම වැනි මිනිසකුට හානි වන දේ නොකර සිටීම ගැන, යහපත් ජීවන චර්යාවන් ගැන තමයි එයාටත් එයාගේ සංගීත කණ්ඩායමේ යාළුවන්ටත් කියා දෙන්නෙ. මගේ ළමුන් තුන්දෙනාම ඇත්තටම හරිම මානුෂියයි. 

  • ‘අමල්ට’ට නැති,  නදීමාල් සතු විශේෂ ගුණාංගයක් ලෙස ඔබ දකින්නෙ?

මම හිතන්නෙ ඉවසීම සහ ඉතුරු කිරීමේ ගුණය. ඒ කියන්නෙ යහපත් කළමනාකාරණය එයා සතුයි.

  • එයාගේ අඩුපාඩුවක් ලෙස දකින්නේ.

එයාගේ ශූර කළමනාකාරිත්වය වෙලාවකට මට කරදරයක්. එතකොට ඉතින් එක - එක ඒවා  මම කියනවා.

  • නංගිලා දෙදෙනා එක්ක නදිමාල්ට තියෙන බැඳීම මොන වගේ ද?

කියලා නිම කරන්න බැරි තරම් බැඳීමක්. ඒ තුන්දෙනාට තියෙන්නෙ වෙනම ආදරණීය සහෝදර බැඳීමක්. හරිම එකතුයි.


සඳුන් ගම​ෙග්