දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ



කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇතිහැරි අතර, සමහර අය ලොක් ඩවුන් වූ ජීවිතයට සැබෑ අරුතක් දීමේ අරමුණ ඇතිව කටයුතු කළහ. ජීවිතය පිළිබඳව පෙරටත් වඩා බලාපොරොත්තු තබා දිරියෙන්, දැක්මෙන්, කැපවීමෙන් කටයුතු කළ අය අතර ඔහුද එක් චරිතයක් විය. තවත් විදිහකට කිවහොත්, සුබවාදී අරමුණක් ඇතිව ජීවිතයට මුහුණ දී තම තුරුණු ජීවිතයට මහා අරුතක් ලබාදීමට ඔහුට හැකිව ඇත. ඉවුම් - පිහුම් කලාවට තාරුණ්‍යයේ හැඩකාර රස සංකල්පයක් හඳුන්වා දුන් ඔහු ගැන අද කතා වන්නේ ලාංකීය සමාජය පමණක් නොවේ. ලෝකයේ බොහෝ දෙනා අතර මේ සොඳුරු - හුරුබුහුටි තරුණයා ප්‍රකටව සිටී. ‘වයිල්ඩ් කුක් බුක්’ ලෙස ඉවුම් පිහුම් කලාවට රස-ගුණ-පිරි රිද්මයක් ගෙනා ඔහු අද ‘වයිල්ඩිෂ්’ අවන්හල් ව්‍යාපාරයේ නිර්මාණකරුවා වෙයි. හෙට දින ජාත්‍යන්තරයට ඔහුගේ රස රිද්මය ගෙන යාමේ අරමුණ ඇතිව කටයුතු කරන, තාරුණ්‍යයේදීම සාර්ථක වූ ඔහු ඒ සාර්ථක කතාව අපට කියන්නෙ කොහොමද බලමු!

  • ‘චරිත්’ සම්පූර්ණ නම?

තන්ත්‍රීගේ චරිත් නිපුණ සිල්වා.

  • ගම

බම්බලපිටිය

  • මොන වගේ පවුලක කෙනෙක් ද?

සාමාන්‍ය පවුලකට අයත් කෙනෙක්.

  • ජීවිතයේ මතකයන් ගැන කිව්වොත් කොතැනින්ද මතකයන් පටන් ගන්නෙ? 

කුඩා කාලයේ සිට ජීවිතයේ සැම දෙයක් ගැනම මතකයි. ප්‍රීතිමත් ලෙස කුඩා කාලය ගත කිරීමට හැකි වුණා. දඟ වැඩ එක්ක තමයි කුඩා කාලය ගෙවුණෙ. 

  • පවුලේ විස්තර?

අපේ පවුලේ හතර දෙනයි.

  • ජීවිතයේ මුලින්ම අරමුණක් ඇති වුණේ මොන වයසේදි ද?

මට මතක විදිහට අවුරුදු 17දි විතර. පවුලේ තිබූ ප්‍රශ්නත් එක්ක මොනවා හරි කරන්න ඕනැය කියන සිතිවිල්ල ආවේ. හැබැයි ලොකු අරමුණු සහ අධ්‍යාපනයෙන් කෙළවරටම යනවාය කියන අදහස් තිබුණෙ නැහැ. මට තිබුණෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කියන අරමුණයි. ගෙදර හොඳට හදාගෙන පොඩි වාහනයක් අරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඕනැය කියන අරමුණ තිබුණෙ. රැකියාවක් කරන්න යොමු වුණේ ඒ අරමුණ නිසයි.

  • එහෙම හිතුව චරිත්ගෙ ජීවිතය හැරවුමක් බවට පත් වෙන්න පටන් ගත්තෙ කොතැනින් ද?

මෙම අංශයේ රැකියාව පටන් ගත්ත පළමු දවසෙ සිටම කියලයි මම හිතන්නෙ. පළමු දවසෙ මට තිබුණෙ පිරිසිදු කිරීම් කරන්න. මම අයත් වුණේ ‘පේස්ට්‍රි’ අංශයට. පොඩි පුටුවක් එක්ක කබඩ්වල තිබූ කෑම ජාති එළියට අරගෙන කබඩ් පිරිසිදු කරලා, නැවත අසුරවන්න තිබුණෙ. මුල්ම දවසෙ මම මේස් නැතුව සපත්තු දාගෙන ගිහින් හිටියෙ. ඒ නිසා හොඳටම බැනුම් ඇහුවා. ඒක තමයි පළවෙනිම අත්දැකීම. රැකියාවේ ටර්නින් පොයින්ට් එක ආවෙ එතැනින්. සෝෂල් මීඩියා ටර්නින් පොයින්ට් එකට ආවෙ, කෝවිඩ් නිසයි.

  • ඒ ගැන කියමු?

කොව්ඩි නිසා ගෙදරට කොටුවෙල සිටියදී මම දන්නා ශාස්ත්‍රයෙන් යමක් කළොත් හොඳයි කියලා හිතුවා. පරිසරයට මම හරිම ආසා කෙනෙක්. මගේ ජීවිතය නේචර් එක එක්ක බැඳී තිබෙන ජීවිතයක්. ඉතින් ඒ හා සම්බන්ධ වී යමක් කළොත් හොඳයි කියලා හිතුවා. මගේ ජොබ් එක එක්ක, මගේ විදිහ එක්ක කෑම හදද්දී ලස්සන දිය ඇලි, කඳු පේලි, නිදහස් පරිසර වැනි තැන්වල සිට එය කළොත් වඩා හොඳයි කියලා හිතුවා. මම ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි ඒක. එතැනින් පටන් ගත්ත ගමන තමයි සෝෂල් මීඩියාවල ප්‍රචාරය වෙන්න පටන් ගත්තෙ.

  • කෑම පිළියෙල කිරීමට පෙර, පිහි උඩ දාන්න, බදුන් එහෙ - මෙහෙ රටාවකට උඩ දමමින්, වැඩ දාන්න පුරුදු වුණේ කොහොමද?

බොහෝ විට ඒ වගේ දේ මම දැකලා තිබුණෙ ටී.වී. දැන්වීම්වලදී විතරයි. හරි ලස්සනට, සංයමයකින් ඒ විදිහට ඉදිරිපත් කරන විදිහ මට මගේ කරන දේට ගෙන එන්න ඕනැ වුණා. පෙර පුහුණුවක් වෙලා කළේ නැහැ. සෝෂල් මීඩියා එකට ගැළපෙන විදිහට කරන්න පටන් ගත්තා.

  • ‘වයිල්ඩ් කුක් බුක්’ නම යොදා ගත්තෙ?

නේචර් එකට එය සම්බන්ධයිනෙ. ඒ නිසයි ඒ නම යොදා ගත්තෙ.

  • ඒ විදිහට කටයුතු කරගෙන ගියේ ජොබ් එක කරන අතරේදීම ද?

ඔව්, ජොබ් එක කරන අතරේදී, මගේ වැඩ ටිකත් කරගෙන යන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් මා සේවය කළ ස්ථානයේ විධායක සූපවේදීන් දෙදෙනා ලබා දුන්නෙ ලොකු සහයෝගයක්. එහෙම කරගනෙ යද්දි මටත් කොවිඩ් හැදුණා. මාස එකහමාරක් විතර මට නිවාඩු ලැබුණා. ඒ ලැබුණු නිවාඩුව තමයි මෙම සංකල්පයට යොදාගෙන මගේ වැඩේ කරගෙන ගියේ.

  • ඉන්පසුව තමුන්ගේම ගමනක් යා යුතුය කියන අදහස ඇතිවුණේ කොහොම ද?

කෑම හැදෙන විදිහ එක්ක, ජොබ් එකට ගිය පළමු දවසෙ ඉඳලම මට තිබුණෙ මගේම දෙයක් කිරීමේ අරමුණයි. කේක් එකක් හදන විදිහ, බර්ගර් එකක් හදන විදිහ ඇතුළු සියලු දේ දැන ගත්තෙ ජොබ් එකට ගිය පසුවයි. හෝටලයක සේවයට ගිය නිසා තමයි සියලු දේ ගැන දැන ගත්තෙ. ඉතින් පළමු දින සිට මම කටයුතු කළේ මගේම ගමනක් යන්න. සෝෂල් මීඩියා එකේ මම කරන දේ එක්ක මට අවස්ථා ලැබෙන්න පටන් ගත්තා. ඒ එක්කම ජොබ් එකෙන් අයින් වෙලා මගේම ගමනක් යන්න කාලය හරි කියලා හිතුවා. එහෙම හිතලා තමයි තනියම පටන් ගත්තෙ.

  • ඒ විදිහට සෝෂල් මීඩියා (සමාජ මාධ්‍යයේ) අලුත් ගමනක් අරඹද්දී, ඒ වැඩේ කරගෙන යන්න ආර්ථිකය ප්‍රමාණවත් වුණා ද?

ඒ දිනවල වීඩියෝ එකක් කරන්න අවම වියදම ලෙස රුපියල් 5000 ක් විතර ගියා. කෑම බඩු ගන්න තමයි වියදම් කළේ. කොහොම හරි අතේ රුපියලක්වත් නැති වෙනකම්ම වියදම් කරන්න සිද්ධ වුණා.

  • මුදල් නැතුව, මගේම දෙයක් තවදුරටත් කරගෙන යනවාය කියන සුබවාදී ආකල්පය තිබුණා ද?

අතේ රුපියලක්වත් නැති තරමට වීඩියෝ කරගෙන යද්දී තවත් අවස්ථා එන්න පටන් ගත්තා. විවිධ ආහාර-පාන බ්‍රෑන්ඩ් එක්ක ප්‍රවර්ධන කටයුතු කරන්න. ඒ එක්කම මුදල් අතට එන්න පටන් ගත්තා. අද දක්වා ඒ මුදල් කළමනාකරණය කරගෙන කටයුතු කරගෙන යනවා.

  • දිනෙන් - දින මුදල් ගලා එන්න පටන් ගත්තාම චරිත් ඒවා මොන විදිහට ද යොදා ගත්තෙ? මුදල් යහමින් ලැබෙද්දි සමහර තරුණයින් ඒවා අනවශ්‍ය විදිහටනෙ පරිහරණය කරන්නෙ ? ඔබ?

අනවශ්‍ය දේවලට මම වියදම් කරන්නෙම නැහැ. අපේ සමාජය අනවශ්‍ය දේ ලෙස පිළිගත් විදිහට මත් වෙන දේ භාවිතය අද දක්වා මම කරලා නැහැ. කරන්නෙත් නැහැ. එයින් තොර වගේම අවශ්‍යදේට විතරමයි වියදම් කරන්නෙ. සෝෂල් මීඩියා වෙනුවෙන් කරන වීඩියෝවලට තමයි ලොකු වියදමක් යන්නෙ. මේ කටයුතු එක්ක තව කෙනෙක්ට උදවු කරගෙන ජීවත්වීමේ තත්වයක් අද වන විට ලැබී තිබෙනවා.

  • කෙසේ හෝ මේ දියුණුව ලබන්න ඔබ අනෙක් තරුණයින් අතරින් වෙනස් වුණේ මොන වගේ දෙයක් නිසා ද?

මම හිතන්නෙ මගේ වීඩියෝ ඉදිරිපත් කළ සංකල්පයේ වෙනස කියලයි මම හිතන්නෙ.

  • තමුන්ගෙ නිර්මාණශීලිත්වය එක්ක තව කෙනෙකුට තමුන්ගෙ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න නම් ඔබ දෙන උපදෙස?

කරන දේ නොනවත්වා එක දිගට කරගෙන යන්න, ඒක සාර්ථක වෙනවාමයි. අවුරුද්දක්ද, දෙකක් ද, දවසක් ද, පැයක් ද කියා කියන්න බැහැ. සෝෂල් මීඩියා කියන්නෙ තත්පරෙන් වෙනස් කළ හැකි, වෙනස් විය හැකි වේදිකාවක්. අපි සෝෂල් මීඩියා එකට දෙන විදිහ අනුව තමයි නරඹන්නන් එය ග්‍රහණය කරගන්නෙ. වෙනස් දෙයක් කළොත් ඒකෙ ප්‍රතිඵලය හොඳයි.

  • තමුන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ මුදලක් අතේ තිබෙන්නම ඕනැ ද?

මම පටන් ගත්තෙ රුපියලක්වත් නැතිව. ගෙදර තියෙන දේ භාවිත කළා. මුලින්ම මම කිචන් එකක් (මුළුතැන් ගෙයක්) හැදුවෙ ගමේ විදිහට. මැටි කපලා, මැටි අනලා, මැටිවලින් බිත්ති හදලා පටන් ගත්තෙ. ඒ විදිහට නමුත් ළඟ ඇති දේ පාවිච්චි කරලා යමක් කරන්න පුළුවන් නම්, ඒ දේ සාර්ථක වෙනවා. එහෙම නොදැන භාණ්ඩ විතරක් ගන්න ගියොත් සමහර විට අපි ෆේල් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම තමුන්ගෙ සංකල්පය ලොකු කර ගන්න. විශාල මුදලක් වියදම් කරලා කැමරාවක් අරගෙන මම උයන – පිහන කලාවේ වීඩියෝ කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේ කරන බොහෝ දෙනෙක් ෆේල්. පියවරෙන් - පියවර යද්දි සමහර විට අපිට සමහර පියවර මග හැරුණත්, දියුණුවට ගිහින්, යම්කිසි විදිහකින් යළි පල්ලෙහාට ගියොත්, අපට අර මග හැරුනු තැන් අල්ලා ගන්න පුළුවනි. මම බොහොම පොඩි ෆෝන් එකකින් වැඩේ පටන් ගත්තෙ. අද අගනා වටිනා කැමරාවලින් ඉවුම් - පිහුම් කලාවේ වීඩියෝ කරන තත්ත්වයට ඇවිත්. ඒක එක රැයකින් ආ ගමනක් නෙවෙයි.

ඒ විදිහට පියවරෙන් පියවර අරමුණක් ඇතිව ඇවිත්, අද වන විට කොළඹ සුපිරි තැනක සුපිරි අවන්හලක් ඔබ විවෘතකර තිබෙනවා. වයිල්ඩිෂ් (Wildish)? ගමේ සිට කොළඹ ඇවිත් ඒ වික්‍රමය කළ මේ කොල්ලට අද කොහොම ද ඒ ගැන දැනෙන්නෙ.

කොළඹට එනකම්ම කොළඹ මොන වගේද? කොළඹදි තියෙන අවස්ථා මොනවද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. ගමේ සිටි අපට හම්බ වෙන්නෙ නැති දෙයක්. ගමේ සමහර අය කොළඹ වෙන දේ ගැන දන්නෙත් නැහැ. කොළඹ ආ නිසා තමයි මම දැනගත්තෙ සෑහෙන්න අවස්ථා තියෙන බව. ඒක ඇත්තටම ලොකු අභියෝගයක්. මගේ ටීම් එකේ තව තුන් දෙනෙක් ඉන්නවා. මේ රෙස්ටුරන්ට් එක පටන්ගන්නට පෙර කොළඹ තියෙන සෑම අවන්හලකටම වගේ ගිහින් අපි කාලා අත් හදා බැලීම් කළා. ඒ විදිහට අධ්‍යයනය කරලා තමයි අපි අපේ අරමුණ ප්‍රායෝගික කර ගත්තෙ.


සඳුන් ගමගේ