දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන ක්‍රියාවලිය විවිධ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර සිදුවන සංකීර්ණ මැතිවරණ සටනකි. ප්‍රාදේශීය ජනතාවගේ සංස්කෘතික විවිධත්වය, ආර්ථික අවශ්‍යතා සහ සම්ප්‍රදායික ජාතික පක්ෂයන්ගේ බලපෑම මෙම ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට විශේෂ සමාජිය හා ආර්ථික බලපෑමක් ඇති කරයි. ඇතැම් විට ප්‍රධාන දේශපාලන පක්ෂයන්ගේ බලපෑම, අධ්‍යාපන, ආර්ථික සංවර්ධනය, කෘෂිකර්මාන්තය හා ඉඩම් බෙදාහැරීම් වැනි ප්‍රතිපත්ති කෙරේ යොමු වීම මැතිවරණ ඉතිහාසය පිරික්සීමේ දී දැකගත හැකිය.
නමුත් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නායකයින් සහ ස්වාධීන අපේක්ෂකයන් ප්‍රධාන පක්ෂවලට විශේෂ අභියෝගයක් වීම පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය පුරාවටම දැකගත හැකිය. ප්‍රාදේශීය ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරමින් කටයුතු කිරීම අරමුණු කර ගනිමින්- මෙලෙස ස්වාධීන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අයදුම් කිරීම දැකගත හැකිය. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනතාවගේ අවබෝධය හා අවශ්‍යතා ප්‍රධාන පක්ෂවල සහ ස්වාධීන පක්ෂවල සාර්ථකත්වයට හේතු වේ.
ජනතාවගේ ප්‍රශ්න, ආර්ථික ඉල්ලීම් සහ සංවර්ධන යෝජනා අවබෝධ කරගැනීම සහ ප්‍රචාරණය කිරීම ස්වාධීන අපේක්ෂකයෝ සඳහා ජනතා අවධානය ලබාගැනීම සහ කාලීනව බලපෑමක් ඇති කරති. ඒ අනුව මෙවර 2024 මහ මැතිවරණයේ වැඩිම පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ වෙනදා මෙන්ම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි. එමෙන්ම 2024 මහ මැතිවරණයේ දී ප්‍රතික්ෂේපිත නාම යෝජනා වැඩි සංඛ්‍යාවක් මෙවර වාර්තා වූවේ ද දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයෙනි. ඒ පිළිගත් දේශපාලන පක්ෂ එකක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් වශයෙනි.
අම්පාර දිස්ත්‍රික්කයෙන්
ඉදිරිපත්වන පක්ෂ
අකිල ඉලංකෙයි තමිල් කොංග්රස්, අහිල ඉලංගෙයි මහජන කොංග්රස්, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ජනඅරගල සන්ධානය, ජනනායක තමිල් තේසිය කූට්ටනි, ජනසෙත පෙරමුණ, ජාතික ජනබලවේගය, ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල්, දෙවන පරපුර පක්ෂය, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය, ප්රජාතන්ත්රවාදී පක්ෂය, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමගි ජන බලවේගය සහ සර්වජන බලය
එමෙන්ම ස්වාධීන කණ්ඩායම් 43ක් තරග කරන අතර, අපේ ජන බල පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් 07ක නාමයෝජනා ප්‍රතික්ෂේප විය. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 64ක් ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කරනු ලැබේ. ඒ අනුව මුළු අපේක්ෂක සංඛ්‍යාව 640කි.
“මන්ත්‍රී ධුර 07කට
අපේක්ෂකයින් 64 0දෙනෙක්
තරග බිමේ”
අම්පාර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී/ දිසාපති චින්තක අබේවික්‍රම: “2024 මහ මැතිවරණයට අදාළව මේ වන විට සියලු කටයුතු අප සූදානම් කර තිබෙනවා. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත අනුව මෙම මැතිවරණය අප පවත්වනවා.
ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ගත් විට වැඩිම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනක් තරග කරන කොට්ඨාසය දිගාමඩුල්ල කොට්ඨාසයයි. පිළිගත් දේශපාලන පක්ෂ 22ක් සහ ස්වාධීන කණ්ඩායම් 50ක් ඇතුළුව 72ක් නාමයෝජනා භාර දීම සිදුකර තිබෙනවා. එයින් පිළිගත් එක් පක්ෂයක නාම යෝජනාවක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් ප්‍රතික්ෂේප වීම සිදුවුණා. ඒ අනුව දැනට ස්වාධීන කණ්ඩායම් 43ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 21 ක් තරග කරන අතර, සමස්තයක් වශයෙන් ගත් කල පක්ෂ 64ක් මෙවර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතයි.’’
දිගාමඩුල්ල කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 555,432ක් වේ. මැතිවරණ කොට්ඨාස වන්නේ අම්පාර, සම්මන්තුර, කල්මුණ සහ පොතුවිල් යන ආසන 04 ය. මෙම ආසන 04ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 528ක් පිහිටවනු ලබයි.
“අප ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවන්නේ පසුගිය ඡනාධිපතිවරණයේ දී සේම හාඩි උසස් අධ්‍යාපන ආයතනයේ හා හාඩි කාර්මික ආයතනයේ දී. මෙවර ඡන්ද ගණන් කිරීමේ ශාලා 68ක් පමණ පිහිටවනවා.”
“වියදම් නියාමන පනතට අනුව දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් 3,765,829ක්. ඒවගේම දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වියදම් කළ හැකි උපරිම අගය රුපියල් 24,791,707ක්. ”
අම්පාර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කසුන් ශ්‍රීනාත් අත්තනායක අදහස් දක්වමින්: “මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව වාර්තා වෙන්නේ අපේ මැතිවරණ කොට්ඨාසයෙන්. එහි පළල අඟල් 9ක් වන අතර මුළු දිග ප්‍රමාණය අඟල් 20.2ක් වනවා. ඡන්ද පත්‍රිකා විශාලත්වය නිසා අපට මෙවර ඡන්ද පෙට්ටි ප්‍රමාණය වැඩි කිරීමට සිදුවෙනවා. එයට අවශ්‍ය වන ප්‍රවාහන පහසුකම් වැඩි කරන්න සිදුවෙනවා. වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හා වන අලි අවදානම් සහිත ඡන්ද මධ්‍යස්ථානයන් කෙරේ විශේෂ අවධානයක් යොමු කරන්න වී තිබෙනවා. ගණන් කිරීමේ හා ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනයන් හි පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 64ක් තරගවදින නිසා විශාල නියෝජිතයන් ප්‍රමාණයක් නිරීක්ෂණ කටයුතුවලට සහභාගිවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බැවින්, ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් හි තවදුරටත් අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරමින් පවතිනවා.’’
අම්පාර දිස්ත්‍රික්කයේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කර ඇති සංඛ්‍යාව 29352ක් වන අතර, එම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් 350ට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මධ්‍යස්ථාන 250කට ආසන්න මධ්‍යස්ථාන ප්‍රමාණයක එළඹෙන 30 වැනිදා, 01වැනිදා සහ 4වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිත අතර, එහි නිරීක්ෂණ කටයුතුවලට ද සහකාර තේරීම්භාර නිලධාරීන් සහභාගි වෙනවා. සම්මන්තුර, කල්මුණ සහ පොතුවිල් ඡන්ද ආසන පාදක කර ගනිමින් දේශපාලන පක්ෂ රැසක් ඔවුන්ගේ මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව එම ප්රදේශයන්ගේ මැතිවරණ නීති උල්ලංඝනයවීම් වැළක්වීම වෙනුවෙන් එම රාජකාරි කටයුතු සඳහා අමතර නිලධාරීන් අප මේ වන විට යොදවා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය ලබාගැනීමට ද කටයුතු කර තිබෙනවා.
ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 19වැනිදා පැවැත්වූවා. මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීති විරෝධි ක්‍රියා වැළැක්වීම උදෙසා ඔවුන්ගේ මැතිවරණ නීති පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බලයලත් නියෝජිතයන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ටත් එදිනම දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදුකළා. එහිදී අදාළ පක්ෂවල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කළා. එමෙන්ම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රියාවලිය තුළ අප පොලිතීන් සැරසිලි සිදුකිරීම අවම කර තිබෙනවා. ඒ පිළිබඳ ඔවුන්ට අවශ්‍ය සියලු දැනුවත් කිරීම් කටයුතු සිදුකර තිබෙනවා.
පළාත් පාලන ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතන මැතිවරණ සමයේ රාජ්‍ය දෙපළ අවභාවිතා කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය අනුව කටයුතු සිදුකළ යුතු බවට අවශ්‍ය දැනුවත් වීම් කටයුතු සිද්ධ කර තිබෙනවා. අංක 2403/19 දරන ගැසට් පත්‍රයට අනුව අප සියලු දෙනා දැනුවත් කර තිබෙනවා.
වියදම් නියාමන පනතට අදාළව කටයුතු සිද්ධ වන නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වී දින 21ක් ඇතුළත වියදම් නියාමන පනතට අදාළ ඒ ආදායම් හා වියදම් පිළිබඳ වාර්තා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාර දෙන්න අවශ්‍යයි.
මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. පක්ෂවලට ලැබුණ ඡන්ද ගණනය කිරීම් සිදුකිරීමෙන් අනතුරුව, ඒ ඒ පක්ෂවලට ලැබෙන නියෝජිත සංඛ්‍යාව නිශ්චය කර, අනතුරුව ඒ ඒ අපේක්ෂකයන් ලබාගත් මනාප ගණන් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන ඒ සඳහා සහයෝගය දක්වනවා. ”
ෂෙහානි දිල්රුක්ෂිකා