2024මහ මැතිවරණයෙන් පත්වූ පාර්ලිමේන්තුව තොටිල්ල පදවන අත රට යන අත තීරණය කිරීමේ බලය අතමිට මොළවාගෙන ඇත. ඒ අලුත් පාර්ලිමේන්තුවෙහිය. එහි කාන්තා නියෝජනය 22කි. ඉන් 20 ක්ම ජාතික ජනබලවේගයෙනි. මේ රට හදන තැනට රට වටෙන් පැමිණි කාන්තාවන්ගේ ආගිය කතාබහයි.
අගමැතිනි හරිනි අමරසූරිය
|
පිරිමින්ට වඩා ගැහැනුන් සිටියද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලත් මහ නගර සභාවලත් නගර සභා සහ ප්‍රාදේශීය සභාවලත් සිටින ජනතා නියෝජිතයන්ගෙන් ඉතා වැඩි කොටසක්, ගැහැනුන් නොව පිරිමින්ය. සර්වජන ඡන්ද බලය හා ප්රජාතන්ත්රවාදය යටතේ කොයි කාටත් එක හා සමාන අයිතියක් තිබිය යුතු නමුත් දේශපාලනයෙහි එවැන්නක් දක්නට නොලැබේ. දේශපාලන ක්ෂේත්රයේ කාන්තාවන්ට තැනක් ලැබුණේ දශක පහකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වී ගිනස් වාර්තාවකුත් පිහිටුවීමෙන් පසුවය. ලංකාවේ ප්‍රථම විපක්ෂ නායිකාව වූයේද එතුමියමය. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, පකිස්තානයේ බෙනාසිර් භූතෝ, බංග්ලාදේශයේ ඛලීඩාෂියා හා ෂීක් හසීනා, එංගලන්තයේ මාග්‍රට් තැචර්, ඊශ්‍රායලයේ ගෝල්ඩා මෙයර්, ඉන්දුනීසියාවේ සුඛර්ණෝ පුත්‍රි, ජර්මනියේ ඇන්ජෙලා මර්කල් ඒ රටවල රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඊට පසුවය.
පිරිමින්ට වඩා ආත්ම ශක්තියෙන් ඉදිරියෙන් සිටියද කාන්තා පරපුර ගෙයි බිත්ති හතරට, කුස්සිය මුල්ලට කොටු කර සිටි යුගයක් අඩසිය වසකට පමණ පෙර තිබිණ. ඒ යුගය නිමා කරමින් කාන්තාව අද සිය භූමිකාවේ හඬ අවදි කරන යුගයට පිවිස ඇත.
2024 පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය
මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක දී වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව ලෙස දස වැනි පාර්ලිමේන්තුව ඉතිහාසගත වෙයි. ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු මන්ත්‍රීවරියන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර එය ඉතිහාසගත වන්නේ එක් පක්ෂයකින් එක්වර වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව ලෙසය.
එමෙන්ම මෙවර මහ මැතිවරණයෙන් ජය ලැබූ අගමැතිනි අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ මන්ත්‍රීධුර අපේක්ෂිකාවක ලෙස මනාප 655,289 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගෙන ඉතිහාස ගත වන්නීය.
මෙවර දිස්ත්‍රික් කාන්තා නියෝජනය මෙසේය
• ජාතික ජනබල වේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අගමැතිනි අාචාර්ය හරිනි අමරසූරිය, කෞශල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ
• ගාල්ල දිස්ත්‍රික්කයෙන් හසාරා ලියනගේ
• කළුතර දිස්ත්‍රික්කයෙන් නිලන්ති කොට්ටහව්චි,
ඔෂානි උමන්ගා
• බදුල්ල දිස්ත්‍රික්කයෙන් අම්බිකා සැමුවෙල්
• පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිරුණි විජේසිංහ
• මාතර දිස්ත්‍රික්කයෙන් සරෝජා පොල්රාජ්
• නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි,
අනුෂ්කා තිලකරත්න
• රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිලුෂා ගමගේ
• කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සාගරිකා අතාවු ද
• මොනරාගල දිස්ත්‍රික්කයෙන් චතුරි ගංගානි
• මහනුවර දිස්ත්‍රික්කයෙන් තුෂාරි ජයසිංහ
• මාතලේ දිස්ත්‍රික්කයෙන් දීප්ති වාසලගේ
• කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගීතා කුමාරි හේරත්
• ගම්පහ දිස්ත්‍රික්කයෙන් හේමාලි සුජීවා වීරසේකර
• දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මුතුමැණිකේ රත්වත්තේ
• ජාතික ජනබලවේගයෙන් ජාතික ලැයිස්තුවෙන් ලක්මාලි හරිස්චන්ද්‍ර පාර්ලිමේන්තු වරම් හිමි වී ඇත.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්න සහ මහනුවර දිස්ත්‍රික්කය නියෝජන කළ චමින්ද්‍රානී කිරිඇල්ල විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති. සමගි ජන බල වේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තෙවැනි වතාවටය. ඇය අඛණ්ඩව තෙවරක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ මන්ත්‍රීවරියකි.
මෙවර මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත් වී තිබෙන අතර එය මෙතෙක් පාර්ලිමේන්තුවක් සඳහා තේරීපත් වී ඇති වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව වේ.
21 දෙනෙකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයට ඇමතිවරියන් දෙදෙනෙකු ඇතුළත් අතර, ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරය හොබවන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ය.
නව රජය යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණ සරෝජා සාවීති පෝල්රාජ් ලැබූ කාන්තා විජයග්‍රහණය ගැන අදහස් දක්වා සිටියේ මෙසේය.
“මම 2000 අවුරුද්දේ පටන් ජනතා විමුක්ති පෙරමුණේ කාන්තා අංශයේ වැඩ කරපු කෙනෙක්. සුනාමි ව්‍යසනය නිසා විපතට පත් වූවන්ට සහන සැලසීමේ රතු තරුව ස්වේච්ඡා සංවිධානයේ සාමාජිකාවක් වෙලා හිටියා. එහෙම අරඹපු මගේ දේශපාලන ගමනට මේ වෙද්දී අවුරුදු 24 ක් විතර වෙනවා. මගේ සැමියා වෛද්‍ය අසිත අමරකෝන් පාසල් කාලයේ දී වගේම විශ්වවිද්‍යාලයේදීත් ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මට දේශපාලන ආභාසය ගොඩක්ම ලැබුණේ ඔහුගෙ ඇසුර නිසයි. මගේ වගේම සැමියාගේත් පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ නැහැ. ඒක නිසා මම පවුල් පසුබිමකින් දේශපාලනයට ආපු කෙනෙක් නෙමෙයි.
මේ වෙනකොට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස මට ලැබිලා තිබෙන වගකීම අති විශාලයි. මේ වෙද්දී ලංකාව තුළ දක්නට ලැබෙන ගෘහස්ථ ප්රචණ්ඩත්වය, කාන්තා හිංසනය වගේම ළමා හිංසනයට හේතුවක් විදියට කාන්තාවන් ආර්ථික වශයෙන් නිදහස් නොවීම දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසෙට වැටුප 20,000 ක් ලබා ගන්න මවක් ගත්තොත් ඇයට සිටින්නේ දරුවන් දෙදෙනෙක් නම් ඔවුන් අධ්‍යාපන කටයුතු වගේම අනෙකත් අවශ්‍යතා සපුරන්න ඒ ලබන වැටුප ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ හේතුව මත ඇය පීඩනයට ලක්වෙනවා වගේම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නිසියාකාරව සිද්ධ කරගන්න අවශ්‍ය පහසුකම් සපයා ගන්න අමාරුයි. ඒක නිසා ඒ තත්ත්වය නැති කරලා සමාන ශ්රමයට සමාන වැටුපක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
මෙතෙක් කාලයක් රටේ පැවතුණ ආණ්ඩුවල අමාත්‍යවරුන් දිවුරුම් දීමේදී ඔවුන්ගේ පවුලේ අයත් ඒ සඳහා සහභාගී වුණා. නමුත් මෙවර එවැන්නක් දකින්නට ලැබුණේ නැහැ.
“මම කාලයක් ගුරුවරියක් විදියට සේවය කළ කෙනෙක්. එහෙම වැඩ කරද්දී මගේ සැමියා මම ඉන්න තැනට ඇවිත් මම උගන්වන විදිය බලන් හිටියේ නැහැ. ඔහුගේත් ස්ථාන මාරුවීම් වගේම සේවාස්ථානයේ වැඩකටයුතුවලට අපි සහභාගී වෙන්නේ නැහැ. ඒවා දෛනික ජීවිතයේ සිද්ධ වෙන සාමාන්‍ය දේවල්. අමාත්‍යධුර දිවුරුම් දීමත් මම දකින්නේ ඒ වගේ අවස්ථාවක් හැටියටයි. ඊට අමතරව පක්ෂය තුළදී වුණත් අපි හැම කෙනෙක්ම දරපු මතය වුණේ දේශපාලනය කියන්නේ ස්වේච්ඡා සේවයක් මිසක් පවුල් පිටින් දරාගෙන කළ යුතු දෙයක් නෙවෙයි කියන එකයි.”
මෙවර තේරී පත් වී ඇති මන්ත්‍රීවරියන් අතරින් අති බහුතරයක් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබා ඇති අය වන අතර, විවිධ වෘත්තීන් නියෝජනය කරන කාන්තාවෝය. බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් මැතිවරණය ජයගත් සැමුවෙල් අම්බිගා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි වතු ජනතාව නියෝජනය කරන කාන්තාවන් වීම විශේෂත්වයකි. වතුකර ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙවරය.”
සැමුවෙල් අම්බිගා ජයග්‍රහණයේ වගකීම පිළිබඳව අදහස් දක්වා සිටියේ මෙසේය,
”අවුරුදු 76 කින් සැබෑ වූ කඳුකර නියෝජනයක් තිබුණේ නැහැ. අපේ නියෝජිතයන් කියාගෙන හිටපු හැමෝම ප්‍රභූ පෙළැන්තියක්. එයාලා කළේ අපේ ප්‍රශ්න වවාගෙන කාලා එයාලාගේ තනතුරු රැකගත්ත එක. අවුරුදු 76 කාලයක් තිස්සේ තිබුණ දේශපාලන ක්‍රමය තුළ වතුරකරයෙන් සල්ලි නැති පවුලකින් කාන්තාවක් දේශපාලනයට ආපු පළමු වතාව මෙයයි. වතුකරයේ මිනිස්සු මගෙන් ඉල්ලපු එකම දේ ලයිම් කාමරයේ ගෙවන ජීවිතේ වෙනස් කරන්න කියලා විතරයි. මම මේ වතුකරයේ ලයිම් කාමරයක කම්කරුවකුගේ දියණියක් විදිහට තියෙන හැම දුකක්ම විඳපු කෙනෙක්. අහිංසක වතු ජනතාව විඳින දුකෙන් ඒ අය මුදවා ගන්න මට ලැබුණ මේ ජනවරමට මම උපරිමයෙන් සේවය කරනවා.
කාන්තා නියෝජනයේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මැති සබයට එන්නට වරම් ලැබෙන්නේ 1931 දී ලංකාවට ප්රදානය කළ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් සමඟ සර්වජන ඡන්ද බලය ලැබීම නිසාය. එහෙත් කාන්තාවන් ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිය දිනාගනු ලැබුවේ බොහෝ බාධක අතරින්ය. මෙම ඡන්ද බලය පිළිබඳ අරගලයේ දී කාන්තාවෝ ඡන්ද සටනට ඇතුළුවීමට සූදානම් වී සිටියහ. ප්‍රථම මැතිවරණය වැඩිහිටි සර්ව ඡන්දය පදනම් කරගෙන පැවැත් වූ අතර එයට කාන්තාවන් තිදෙනෙක් තරග කළහ. 1931 දී දෙදෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු වූහ. තේසුම් සරවනමුත්තු දමිළ වෛද්‍යවරියකි. ඇය කොළඹ කොට්ඨාසයට තේරී පත් වූවාය. ඇඩ්ලින් මොලමුරේ සිංහල වැඩවසම් රදල පවුලකින් පැවැත එන්නියකි. ඈ සිය පියාගේ අභාවයෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයකින් ජය ගත්තාය.
ඒ අනුව සර්වජන ඡන්ද බලයෙන් ඇරඹි පළමු ව්‍යවස්ථාදායකය වන රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයකින් ජයගෙන ශ්‍රී ලංකාවේ පළමු වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවකින් තේරී පත් වූ කාන්තාව ලෙස ඇඩ්ලින් මොලමුරේ ඉතිහාසයට එක් වූවාය.
එතැන් පටන් සමානුපාතික නියෝජන ක්‍රමය දක්වාද 1989 දී පැවති පාර්ලිමේන්තුව පළමු මැතිවරණය දක්වා ද අතර කාලයෙහි පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන්නේ ඉතාමත් සුළු කාන්තා ප්රතිශතයකි. ලංකාවේ කාන්තා ඇමතිවරියන් ගත් විට දක්නට ලැබෙන්නේ ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර අඩුවෙන් හිමිවන බවය. 1947 වර්ෂයේ සිට ගත් විට කාන්තාවන් ආසන වශයෙන් දිනා ඇත්තේ 63 කි. 1947 සිට මේ දක්වා කාන්තාවන් අමාත්‍යධුර 17 ක් හොබවා ඇත. කාන්තාවන්ට ලැබී ඇත්තේ කාන්තාවන්ටම ආවේණික අමාත්‍යධුර පමණි. එනම් වනිතා කටයුතු, සමාජසේවා, සෞඛ්‍ය, බුද්ධශාසන වැනි අමාත්‍ය ධුරයි.
1947 සිට 2020 දක්වා පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් කරන ලද ඡන්ද අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව හා සසඳන විට අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව ඉතාමත් පහළ මට්ටමක පැවතුණේය.
නමුත් 2004 වසරේ පැවති මැතිවරණයේදී වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වූ මැතිවරණය මෙන්ම ස්ත්‍රීන් වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත් වූ වසරක් විය. එහිදී මුළු අපේක්ෂකයන් 5685 ක් ඉදිරිපත්ව ඇති අතර ස්ත්‍රීන් 375 ක් ඉදිරිපත් වී ඇත. නමුත් පාර්ලිමේන්තු කාන්තා නියෝජනය පැවතුණේ අවම මට්ටමකය.
1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම ගෙවී ගිය වසර 78 ක කාලය තුළ ව්‍යවස්ථාදායකය නියෝජනය කර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙකි. ඉන් කාන්තාවන් 45 දෙනෙකුම තේරී පත් වී ඇත්තේ එක් සභා වාරයක දී පමණි.
එක් වතාවකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන් 31 දෙනෙකුගෙන් වැඩිම කාලයක් මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර ඇත්තේ අමරා පියසීලි රත්නායකය. ඇය පාර්ලිමේන්තුවට හය වතාවක් තේරී පත් ඇති අතර අඛණ්ඩව වසර 33ක් මන්ත්‍රීවරියක ලෙස කටයුතු කොට ඇත.
එමෙන්ම අගමැති එස් .ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේ සෞඛ්‍ය ඇමතිවරියක ලෙස පත්වූ විමලා විජයවර්ධන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු කැබිනට් ඇමතිවරිය වන්නීය.
එමෙන්ම දේශපාලනයේ කාන්තා නියෝජනය තුළ ප්‍රබලම සන්ධිස්ථානයක් වන සිරිමාවෝ බණ්ඩාරනායක, ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ අතර ඇගේ දියණියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය බවට ද පත් වූවාය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වීමට පෙර 1994 වසරේ දී මහ මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා ය.
කෙසේ නමුත් 1989 පටන් මේ දක්වා පැවති මැතිවරණයන්හි දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 අතුරින් කාන්තා ප්‍රතිශතය සියයට 6 ඉක්මවා ගොස් තිබුණේ නැත. වරකට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති උපරිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව වූයේ 13කි.
ජාතික ලැයිස්තුවෙන්වත් ඉටු නොවූ සිහින
ජාතික ලැයිස්තුවෙන් සියයට 50 ක කාන්තා නියෝජනයක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයේ පෙර සිටි සභාපතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ගෙනාවද එම උත්සාහය ද ව්‍යාර්ථ විය. කෙසේ නමුත් ගෘහිනියන්, ව්‍යවසායිකාවන්, රැකියාවේ නියැළෙන, වගකීම් දරන, පූර්ණකාලීන වගකීම් ඉෂ්ට කරන ඔවුන් වෙනුවෙන් හා ඔවුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු වුවත් ඊට ලැබූ අවස්ථා බොහෝ සීමිත විය. සියල්ලම බදා ගත්තේ පිරිමින්ය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ලැයිස්තුව හඳුන්වා දීමෙන් පසු මන්ත්‍රීවරියන් 19 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත් වී ඇති නමුත් 2001 සිට 2010 දක්වා කාලයෙහි කිසිම කාන්තාවකට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් ලැබී තිබුණේ නැත.
එමෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංසන්දයේ කාන්තා නියෝජන ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව දැනට රැඳී සිටින්නේ 175 වැනි ස්ථානයේ ය. ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානය හා මියන්මාරය වැනි රටවල් කිහිපයකි. නමුත් වෙනත් වසරවලට වඩා 2024 මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ලෝකයේ දියුණු රටවල දකින්නට නොලැබෙන ප්රගතිශීලි තත්ත්වයක් වන්නේ ඉතිහාසයේ මුල් වරට එක් පක්ෂයකින් පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව ලෙස ඉතිහාසයට එක් වෙමිනි.
කාන්තාවන්ට දේශපාලනයට එන්න පවුලේ
කවුරු හරි මැරෙන්නම ඕනද
හසාරා ලියනගේ
|
මීට පෙර ජාතික ලැයිස්තුවෙන් ඉදිපත් වූ කාන්තා නියෝජන බහුතරය ඉදිරිපත් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගේ පවුල්වල හෝ දේශපාලනයේ නිරත වී සිටි පිරිමි සාමාජිකයෙකු මිය යාමෙන් පසුවය. පාර්ලිමේන්තුවට බහුතර කාන්තා නියෝජනය වූයේ බොහෝ විට සැමියාගේ වියෝවෙන් පසුවය. නමුත් මෙවර කාන්තා පාර්ලිමේන්තු නියෝජනයේ එම සම්ප්රදාය බිඳ දමා ඇති බව පෙනේ.
විවිධ දුක් පීඩා ,අසාධාරණකම් ,අපයෝජනවලට නිරතුවම ගොදුරු වන්නේ කාන්තාවන් සහ පොඩි දරුවන්ය. තේ වතු කම්කරු කාන්තාවන්ගේ ප්‍රශ්න, මැදපෙරදිග කාන්තාවන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව එකී නොකී බොහෝ දේ තුළ ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් විය යුතු වුවත් මේ දක්වා සිදු වූයේ මේ කාන්තාවන්ගේ ප්‍රශ්න නියෝජනයට සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලනඥයන්ගේ පවුල්වල කාන්තාවන්ම තේරී පත්වීමය. නමුත් රටේ කාන්තාවගේ ප්‍රශ්න ගැටලු තවමත් ඒ අයුරින්මය. එසේ නම් සැබෑ ලෙස පත් විය යුත්තේ ඒ සමාජ තලයේම ඒ ප්රශ්නවල ගැටෙමින් එම ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන්ය.
2024 පර්ලිමේන්තුවට වරම් දිනා ගත් මන්ත්‍රීවරියන් අතුරින් ළාබාලතම මන්ත්‍රීවරිය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හසාරා ලියනගේ නීතිඥවරියකි, මනෝ උපදේශකවරියකි. මේ ඇගේ අදහස්ය.
“අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නට මැදිහත්වීමේ ඉඩක් අපට තිබුණේ නැහැ. ඒ අතරේ තමයි ජාතික ජනබලවේගය කාන්තාවන් දේශපාලනය තුළ බලගන්වන්ට ගැහැනු අපි එක මිටට තියලා කාන්තාවන් බළමුළු ගැන්වීම ආරම්භ කළේ. හැමදාම අපේ රටේ සාමාන්‍ය කාන්තාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබුණේ හරිම අඩුවෙන්. හැමදාම රදළ පෙළැන්ති, පවුල් දේශපාලනයෙන් තමයි කාන්තා නියෝජනය සිදු වුණේ. සාමාන්‍ය පවුලකින් කාන්තාවකට දේශපාලනයට ඒමේ දොරවල් ගොඩාක් වැහිලා තිබුණේ. රටේ ජන්ද හිමි නාමලේඛනේ සියයට 56 ක්ම ඉන්නේ කාන්තාවන්. හැබැයි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5 කටත් වඩා අඩුයි . ඒ හිසඩ, ඒ අභියෝග ජයගන්න ලැබීම සමස්ත කාන්තා ප්‍රජාවම ලැබූ අති විශාල ජයග්‍රහණයක්.
ඒ වගේම අපි මේ ගමන ආවේ කිසිම ලාභ අපේක්ෂාවකින්වත් තනතුරු එක්ක බැඳිලා ඉන්නවත් නෙමෙයි . ලැබෙන වගකීම් වගකීමක් ලෙස ඉටු කරන්නයි.
මෙවර කාන්තා ප්‍රතිශතය වැඩි
වුණ හැටි
ජනගහනය, ඡන්දදායක ප්‍රතිශතය සහ සාක්ෂරතාව අතරින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියෙන් සිටින නමුත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය ඉතා සීමිත ය. ලාංකික කාන්තාවට දේශපාලනයට පිවිසීමට විශේෂයෙන්ම නාම යෝජනා ලැබීම, මැතිවරණ සටන සාර්ථකව කරගෙන යාමට පිරිමියෙකුට වඩා වැඩි කැපවීමක් කළ යුතුය . එසේම ඇයට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේදීත් පිරිමියෙකුට වඩා විවිධ බාධකවලට මුහුණ පෑමට සිදුවේ. මේ නිසාද දේශපාලන පවුල් පසුබිමකින් ඇරෙන්නට කිසිදු කාන්තාවක් ස්වාධීනව දේශපාලනයට පිවිසීම දැඩි අභියෝගාත්මකය. එයට හේතු කිහිපයක් ඇත. දේශපානය තුළ කාන්තාවට අවම ඉඩක් ලැබීමට හේතුව වූයේ මීට පෙර නාම යෝජනා ලබා දීමේ අඩු වීමය. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තා නියෝජනය ඉහළ දැමීම සම්බන්ධයෙන් සංවාදයක් මතු කරමින් බොහෝ පක්ෂ පෙරට වඩා කාන්තාවන්ට නාම යෝජනා ලබා දීම ඉහළ දමා තිබීමද මෙවර මැතිවරණයේ විශේෂත්වයකි.
එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසඳයේ හිටපු සභාපතිනිය වූ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සහ සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනයේ නියැලෙන කාන්තාවන් සහ සිවිල් සංවිධාන විසින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපේක්ෂිකාවන් සහ පක්ෂ විසින් මනාපවලින් එක් මනාපයක් තම දිස්ත්‍රික්කයෙන් තරග වදින එක් කාන්තාවකට දෙන ලෙසට ප්‍රචාරණ සමයේ ද දිරිමත් කිරීම් ද සිදු විය. ඔවුන් කියා සිටියේ රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන් වුවද කාන්තාවන් පිළිබඳව වැදගත් තීන්දු ගන්නා ස්ථානවල කාන්තාවන් නියෝජනය නොවීම රටක් ලෙස ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවත්ය.
ඒ අනුව 2024 පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 9.77 ක ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති අතර අන්තර් පාර්ලිමේන්තු සංසදයේ කාන්තා නියෝජන ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව 166 වැනි ස්ථානය දක්වා ඉහළ යනු ඇත.
පාර්ලිමේන්තු කාන්තා නියෝජනයේ ජ්‍යෙෂ්ඨතම නියෝජනය වන සමගි ජනබලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තෙවැනි වතාවටය. මෙවර ඉතිහාස ගත කාන්තා නියෝජනය ගැන ඇය දැක් වූ අදහස් මෙසේය.
රෝහිණී කවිරත්න
|
අලුත් සහ තරුණ මුහුණු ටිකක් ඇවිත් තියෙනවා. අපි හැමෝම ඇවිත් ඉන්නේ මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඒ කටයුත්තෙදී යහපත් දේ වෙනුවෙන් දායක වෙන්නත් අඩු පාඩු පෙන්වා දෙන්නත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් අයට පරණ අයගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා වගේම අපටත් අලුත් අයගෙන් ඉගෙන ගන්න දේවලුත් තියෙයි.
විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් රකින්න ඕනෑ. ගරු කරන්න ඕනෑ. විපක්ෂ නායකයාගේ ආසනයේ වැඩි වෙලා එක් මන්ත්‍රීවරයෙක් කළ කතාව සමාජ මාධ්‍යයේ ඔබ දකින්න ඇති. විපක්ෂනායකයා කවුද කියන එක නෙමෙයි ප්රශ්නය. ඔහු පත්කරලා හිටියත් නැතත් ඔහුට වෙන් වුණ සීට් එකක් තියෙනවා. ඒ වගේ ජනාධිපතිට, කථානායකට, අගමැතිට සභානායකට ආදි තවත් තනතුරු සඳහා වෙන්වුණ නිශ්චිත ආසන තියෙනවා. ඒ සම්ප්‍රදායන් ලේබල් කරලා නැහැ. සම්ප්‍රදායන් ලේබල් කරලා තියන්නේ නැහැ. අලුත් අයට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රැකගනිමින් රටට යහපතක් වෙන විදිහට වැඩ කිරීමයි සිදුවිය යුත්තේ කියලා.
නදීශා අතුකෝරළ