“නිදහස් සටන මුවහත් කළ කවි අසිපත් ”



කුසට සා ගිනි හදට සෝ ගිනි ගතට වැරහිලි කැබලි         එල්ලා
සතුට සාමය අහිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා 
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා
 
නව නිදහස් සටනක ආරම්භය මෙසේ පබැඳුමෙන් ලියවෙද්දී නව දේශපාලන පරිච්ඡේදයත් සමඟ නව රජයක්, නව පාලනයක් යටතේ 77 වන නිදහස් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 04 වන දින සමරන්නට සුදානම් වෙමින් සිටී. 
 
ලේ, දහඩිය, කඳුළු වැගුරූ මිනිසුන්ගේ ශක්තිය මතින් නිදහස් නිවහල් ජාතියක් ලෙස ලක් දෙරණ තුළ ජීවත් වීමට අදවන විට ඉඩහසර වෙන්ව තිබේ. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට යටව සිටි ශ්‍රී ලාංකිකයන් ඉන් මුදවාලීමට ජාතික වීරවරුන් බිහිවූවා සේම යුධ බිමට නොගොස් සිය තෙලි තුඩ අවියක් කරගත් සාහිත්‍ය නිර්මාණකරුවන් ගොන්නක් නිදහස් සටනේ පුරෝගාමීන් ලෙස හඳුනාගැනීමට පුළුවන. 
 
ලොව බිහිවූ අරගලයන්ගෙන් මිදී නිදහස අරභයා ලෝක ඉතිහාසය පුරා ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන් සිය කාව්‍යමය චින්තාවලින් ජන විඥානය අවධි කිරීමට දායක කරගෙන තිබේ. නිදහස උදෙසා ස්වකීය කවි අවියක් බවට පත් කරගත් විදේශීය කවීන් අතරින් ඉන්දියාවේ රවීන්ද්‍රනාත් තාගෝර්, ලතින් ඇමරිකාවේ පැබ්ලෝ නෙරූදා, පලස්තීනයේ අබු සල්මා, වියට්නාමයේ හෝ චිං මිං මතකයට නැඟේ. 
 
කාව්‍ය රචකයන් කාව්‍ය මාර්ග දෙකක් ඔස්සේ කාව්‍යකරණයේ නිරත විය. එක් කොටසක් අවිහිංසාවාදී මාර්ගයෙන් නිදහස කරා ළඟාවීම අරමුණු කළ අතර තවත් පිරිසක් සන්නද්ධ විප්ලවයක් වෙනුවෙන් කවි ලියූහ. ලාංකීය කවීන් අතර මෙම දෙපාර්ශ්වයම නියෝජනය විය. දේශීය ආධිපත්‍යයෙන් ස්වදේශයත් ස්වජාතියත් මුදවාගැනීමේ අභිලාෂය පෙරදැරිව නිදහස සටනට සිය කාව්‍යමය චින්තාවලිය අවියක් කරගත් කවීහු ලාංකීය කාව්‍ය පරපුරයන්හි දී හඳුනා ගැනීමට පුළුවන.  ලක් දෙරණෙහි ද ස්වකීය කවිබස අවියක් ලෙස අමෝරා වාග් සංග්‍රාමයේ නියැළු‍ණු ප්‍රබලයන් ලෙස ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, පියදාස සිරිසේන, පී.බී. අල්විස් පෙරේරා සුවිශේෂී වේ. ඒ අතරින් නිදහස සාක්ෂාත් කරගැනීම අරභයා අවේගාත්මක කවි ලියූ කවීන් අතර ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ ප්‍රමුඛ වූහ. 
 
කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්ගේ නිර්මාණ සලකා බැලීමේ දී දක්නට ලැබෙන සුවිශේෂීත්වය වනුයේ එදා පැවතුණු අධිරාජවාදී පාලන තන්ත්‍රයන්ට හා බටහිර සංස්කෘතියට එරෙහිව පරාදීන ජාතියක් තුළ දේශානුරාගය දැනවීමට නිර්මාණයන් තුළින් උත්සහ ගෙන තිබීමයි.  කොළඹ යුගයේ මුල් පරපුර නියෝජනය කරන ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වූ කලී සීහල දීපය පරාදීනව සිටි අවධියේ කවිය අවිය කොටගනිමින් නිදහස් සටනට ප්‍රාණය දුන් යතිවරයෙකි. 
 
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ශ්‍රී ලාංකිකයෙකු නොවුණද රට දැය වෙනුවෙන් අදීන හඬක් නගමින් ස්වකීය කවිය ආයුධයක් කොට ගනිමින් ස්වදේශිකයන් අවදිකරවීමේ උදාරතර මෙහෙයක නිරත විය.  සිකීම් මහින්ද හෙවත් එස්. මහින්ද නාමයෙන් පැවිදිව පසුකාලීනව ජාතික ව්‍යාපාරය හා බද්ධ කාව්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියෙකු ලෙසින් සිංහලයන් තුළ ජාතිකානුරාගයක්, ජාතිකාභිමානයක් දනවමින් බටහිර ආධිපත්‍යයෙන් රට මුදවා නිදහස ලබාගැනීමට දේශවාත්සල්‍යය ඇතිවන පරිද්දෙන් කාව්‍යකරණයේ නිරත විය.
 
යම් විටෙක කේශර සිංහයෙක් සිංහනාද කරන්නාක් මෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ලක්වාසී සිත් තුළ පිබිදීමක් ඇති කරලීමට ආවේගාත්මක කාව්‍යකරණයක නිරත වූහ. එකී ආවේගාත්මක කාව්‍යකරණයන් මත පදනම්ව ඇල්මැරුණු ස්වභාවයෙන් ක්‍රියාත්මක වූ නිදහස් සටනට ප්‍රාණයක් ලබාදීමට මහින්ද හිමියෝ සමත් වූහ. නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය සහ ලංකා මාතා යන නිර්මාණයන් මඟින් විරෝධාකල්ප දක්නට ලැබේ. එමඟින් ජාතිය සහ නිදහස සම්බන්ධයෙන් මහින්ද හිමියන් තුළ පැවති උද්වේගයත් සිංහලයාගේ උදාසීන බව සම්බන්ධයෙන් මහින්ද හිමියන් තුළ පැවති නොමනාපයත් ප්‍රකට වේ. 
 
දුරු කරනුවට ගන තර වහල ඳුර         රැඳී
අරුණාලෝකයක් දැන් පෙරදිගින් විඳී
පුරුදුව තිබෙන කාමුක මර ඇඳේ    වැඳී
කරුමෙක මහත සිංහලයා තවම නිදී
 
දික්කළ කෙණෙහි සතුරන්ගේ ගෙල    නොසිඳ
වක් නූ පොරණ සිංහල අත් යුවල                  අඳ
ඔක්කෝටම වඳින බල බලා ඉඳ
ලක්මව හඬන හැටි උඹටත්           පෙනෙනවද
 
මහින්ද හිමියන් සිය කාව්‍ය නිර්මාණ මඟින් සිංහලයා නිදහස උදෙසා පොලඹවනු ලබන්නේ චෝදනාත්මක ස්වරයෙනි. ජාතියේ අඩුපාඩු පෙන්වීම, පුරාණ වීරත්වය මතුකොට පෙන්වීම තුළින් පො​ෙළාවට බරක් වී සිටීම පිළිබඳව ප්‍රශ්න කරයි.
 
බලව් පොලොන්නරු අනුරාපුර පෙදෙස 
සිතව් පැවැති නිදහස මෙහි පෙර දවස
නගව් තව තවත් තර සර තරුණ ගොස
වරෙව් යමවු නැගිටිව් නොපියව් දෙ ඇස
 
උපන්නෙත් මැරෙන්නෙත් තනිවමයි ලොවේ
එයින් පිටස්තර වෙන විදිහකින්         නොවේ
අනුන් පිහිට තකමින් යුතුකම            හමුවේ
බියෙන් මුළු වදිනු අපහට තරම් නොවේ
 
මහින්ද හිමියන්ගේ පබැඳුම් තුළ බලහත්කාරය ගැබ්ව ඇත. ජනතාව තමාට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට උත්සහගෙන ඇති බවත් තනියෙන් ඉපදුන සේම තනියෙන් මිය යා යුතුය. 
 
එය සත්‍යයකි. නමුත් ඉපදුණේ මහින්ද හිමියන් යන පරමාර්ථය සඳහා නොවේ උපන් දේශය වෙනුවෙන් සේවය කළ යුතු බව සත්‍යයකි යන්න අවධාරණය කරයි.  තවද මහින්ද හිමියන් අධිරාජ්‍යවාදයෙන් මිදීමට සීමා නොවී ජාතීන් අතර සියලු‍ භේද ඉවත්වීම තුළින් සැබෑ නිදහසත් සාමයත් උදාවන බවද සනිටුහන් කර තිබේ. 
 
උස් තැන් කපා ඇද මිටි තැන් පිරවීම
උස් මිටි දෙකම වඳ කොට සම කරලීම
උස් මනුදමකි ගතියකි යන පැවසීම
උස් හඬ නඟා පතුරව් සැම       තැනදීම
 
තවද මහින්ද හිමියන්ගේ “ජාතික තොටිල්ල” හෙවත් දරු නැළවිල්ල කාව්‍යය නිර්මාණයේ අරමුණ ලෙස යොදා ගෙන ඇත්තේ දේශයේ විමුක්තිය වෙනුවෙන් වත්මන් ළමා හා තරුණ පරපුර කැපවිය යුතු බවයි. මෙහි වස්තු විෂය ලෙස යොදාගෙන ඇත්තේ ළදරු වියේ සිටම ලාංකිකයන් තුළ ස්වකීය දේශය ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමයි. සිව්පද ආකෘතියට රචනා වී ඇති මෙම නිර්මාණය තුළින් සිය මවගේ නැළවිල්ල අසා තොටිල්ලෙහි නැළවෙන දරුවාට කුඩා වියේ සිටම ස්වකීය දේශය ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමට ගත් යත්න පිළිබිඹු කෙරේ. 
 
“නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ                        වේ
ඒ බව සිහි කොට මෙලො              වේ
යුතුකම ඉටු කළ යුතු                      වේ”
 
“ජාතික රණ දෙරණ මතේ
 ගැටී වැටී මළ මොහොතේ  
සුන්දර සුරඹුන්ගේ අතේ
නැළවෙන බව සිතනු                   පුතේ ”
 
මෙම පද්‍ය පන්තිය දරු නැළවිල්ල ලෙස අර්ථගන්වා තිබුණ ද මෙය හුදු දරු නැළවිල්ලක සලකුණ ඉක්මවා යන්නකි. සාම්ප්‍රදායික දරු නැළවිලි ගී තාලයට නිර්මාණය කර තිබෙන පබදුමෙහි එන නිදහස නැමති මහ මුහුදෙහි උල්පත නුඹ යැයි සංඥා කිරීම තුළම පාඨක සිතෙහි දේශප්‍රේමීත්වය උද්දීපනය කිරීමට ගත් වෑයමකි. උද්වේගජනක පද්‍යකරණයේ නිරතවෙමින් ශබ්ද රසය සහ අර්ථ රසය මනාව මුසු කරමින් ලාංකිකයන් තුළ එඩිතර බව, පසු නොබැසීම වර්ධනය කරමින් සටන් බිමට පිවිස දේශය රැකගැනීමට අවශ්‍ය කරන මනස නිර්මාණය කිරීම මෙම කාව්‍ය හරහා සිදු කර තිබේ. 
 
නිදහස් සටන අරභයා සිය කවිය අවියක් කරගත් නිර්මාණකරුවෙක් ලෙස ආනන්ද රාජකරුණාවන් හඳුනාගත හැකිය. සිංහල බෞද්ධයා සහ සිංහල සමය වැනි පුවත්පත්වල සංස්කාරක මණ්ඩලයේ සේවය කරමින් මෙන්ම පසුකාලීනව ‘බෞද්ධයා’ යන්ත්‍රාලයේ කෘත්‍යාධිකාරි තනතුරද හොබවමින් සිය කවියෙන් නිදහස් සටනට පණ දුන්හ. විශේෂයෙන්ම එවක උදාසීනව උන් සිංහලයන් තුළ ජාතික හැඟීම් වර්ධනය කරමින් ජාතික නිදහස උදෙසා සිංහලයන් යොමුකරමින් පරගැති බවින් මිදීමටත්, අන්ධානුකරණයෙන් මුදවාලීමත් සහ අධිරාජ්‍යවාදීන්ට කත් ඇදීමෙන් වළකා පරාදීන බවින් මුදවා ගැනීමට එතුමා සිය කවිය මෙහෙයවා  ඇති අයුරු විශිෂ්ට ය.
 
‘‘විමසව් සිතව් සලකව් බාවනා               කරව්
 නිදහස් යන සතරකුර තුන් යම ම          පුරව්
 බියසුලූ ගතිය දොම්නස මෙ සියල්ල      හරව්
 සිංහල සිත් සතන් ගෙන ලක් දිනිති සරව්’
 
හුදු කවියෙක් ලෙසින් පමණක් නොව සිය සමස්ත ක්‍රියාවෙන්ම අභීත සිංහලයෙක් වූ ආනන්ද රාජකරුණා මහතා පරගැති සිරිත් සියල්ල ඉවතලූවෙක් ද වෙයි. නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් අනුමත කර ගන්නට මෙන්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරවන්නට ද එතුමා ගත් උත්සාහය ප්‍රශංසනීය ය. 
 
නිදහස් අරගලය වෙනුවෙන් සිය දිවියම කැප කරන්නට වුව සූදානම්ව සිටි එතුමා සෑම මොහොතක ම අධිරාජ්‍යවාදයට එරෙහිව යමින් හෙළයන් අවදිකරලීමට කවි රචිත ය.
 
නිදහස් සටන වෙනුවෙන් සාහිත්‍යමය මගපෙන්වීමක යෙදෙමින් අරගලයන් ශක්තිමත් කරන්නට වෙහෙසුන තවත් ලාංකේය සාහිත්‍යකරුවෙක් ලෙසින් පියදාස සිරිසේනයන් හඳුනාගත හැකිය. 
 
සුදු අධිරාජ්‍ය පාලන සමයේ මත්වතුරට ලාංකේය ජන සමාජය හුරුකරවන්නට දරන වෑයමට එරෙහිව යමින් ‘සිංහලයිනි නැගිටිව්, පවුල් දිවිය වනසන මත්පැනින් වැළකෙව්’ යනුවෙන් අභීත හඬක් නැගීය. නිදහස් සටන වෙනුවෙන් සිරගත වූ ප්‍රථම ගත්කතුවරයා ලෙසින් ද ප්‍රකට වන මෙතුමා සිය රට ජාතිය සුරැකීම උදෙසා අභීත සිංහ නාදයක් නිකුත් කළ විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙකි.
 
පළකොට කෙසර සිහනද අභිරු       එඩියෙනි
මගේ රට දැය මුදනු වස් සටනට            පැමිණි
වරදට හසුව සිටියත් සිරගෙයි සොවිනි
සිහියට නඟමි හෙළ දෑ අභිමන පැරැණි
 
බටහිර සිරිත් හෙළා දකිමින් සිංහලයාට තම ජාතිය පිළිබඳ හැඟීමක් ඇතිවන පරිද්දෙන් සිය ලිපි නිර්මාණය කරන්නට එතුමා සැමවිටම උත්සහ ගෙන තිබේ. 1903 දී ‘සිංහල ජාතිය’ නමින් පුවත්පතක් ඇරඹමින් මෙතුමා ක්‍රිස්තියානි ආගම හා බටහිර සංස්කෘතිය මුසු නොවූ පුවත්පත් කලාවක් ආරම්භ කිරීමෙහි පුරෝගාමියෙකු ද වෙයි.
 
තවද කොළඹ යුගයේ කවියකු වූ පී.බී. අල්විස් පෙරේරා කවියා ද නිදහස් සටනට උරදුන් දේශමාමක කවියෙකි. සිංහල කවියෙහි වස්තු විෂය පුළුල්කිරීමට දායක වූ අල්විස් පෙරේරා තමා ජීවත් වූ යුගයේ සමාජයීය හා ආර්ථික බලවේග මනුෂ්‍ය සමාජයේ හා ජීවිතයේ පැවැත්මට බලපෑම් කළ ආකාරය සිය කවියට වස්තු විෂය කරගෙන තිබේ. ලිහිල් බසින් කවි තැනීම ප්‍රිය කළ නූතන කවීන් අතර පී.බී. අල්විස් පෙරේරා කවියා ප්‍රමුඛස්ථානයක් ගනී. පැරණි ඇදුරන්ගේ පද්‍ය රීතිවලට වහල් නොවී නිදහස්ව තම සිතිවිලි හෙළි කරන මේ කවියා අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.
 
අදිරද වහල් බැමි ඔළුවලටත් ඉහළයි
නිදහස ලබන්නේ අපි ඒ බැමි ලිහලයි
මා මේ කියන්නේ තරමක් පද වහලයි
කඩතොත් කැඩිය යුතු ‘අදිරදයේ වහළයි’
 
අතීත විරුවන්ගේ ලේ, දහඩිය, කඳුළු ද, කවීන්ගේ ප්‍රබල වාග් සංග්‍රාමයන් මතින් අධිරාජ්‍යවාදීන්ගේ සීහල දීපය බේරා ගැනිණ. 
 
මෙවැනි වූ සාහිත්‍යමය මැදිහත් වීමෙන් ලාංකේය නිදහස් අරගලය වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙය වූ තවත් බොහෝමයක් නිර්මාණකරුවන්ගේ වාග් සංග්‍රාමයන් මේ ලක් දෙරණේ නිදහස වෙනුවෙන් අවකාශගතව ලාංකේය ප්‍රජාවගේ සිත් තුළට රට ජාතිය ආගම පිළිබඳ ජාතිමාමකත්වයක් ඇති කරලන්නට සමත්වීමද මෙරට නිදහස් අරගලය තව තවත් ශක්තිමත් කරන්නට ඇති බැව් නම් නිසැක ය.
 
77 වන නිදහස සමරන කාල සීමාව තුළ අඛණ්ඩ ක්‍රියාත්මක වූ දේශපාලන යුගයක් අවසන් කර නව දේශපාලන ගමන් මගක් අරඹමින් නිදහසේ අරුණලු මහජනතාව වෙත ලබාදීමට සැරසෙමින් සිටී. 
 
අධිරාජ්‍යවාදීන් පරාද කිරීමට කවි අසිපත් ප්‍රබල වූවා සේම, දේශපාලන ඉතිහාසයන් හි අදූරදර්ශී පාලනයන් නෙරපා හැර නව පාලනයන් ස්ථාපිත කිරීමට කවිය ග්‍රාමක බලවේගය බවට පත්වෙමින් නිදහස් සටන මුවහත් කිරීමට කවි අසිපත් ප්‍රබල දායකත්වය ලබාදීමට පාදක වන බව එදා මෙදා අසන්නට ලැබෙන සන්නිදර්ශන තුළින් පසක් වේ.

මනීෂා වීරසිංහ