නන්පරෙයිල් වතුයාය මැදින් දෙව් ලොවට යමුද ?



මනරම් කඳු පන්තිවලින්, හෙල් - ගල් කුළුවලින් සහ දියඇලි කොමළියෙන් හැඩ ගැන්වෙනා මනරම් වූ සබරගමුවේ මතු ප්‍රකාශිත ඉසව්වෙහි සංචාරය කරන්නෙකුට මීදුම් වලාකුළු අතරින් දෙව් ලොවකට ගියාක් බඳු හැඟුමක් ජනිත නොවුවහොත් අරුමයකි. එයට පාදක වනුයේ පරිසරකාමී දෙස් විදෙස් සංචාරක දෑස් මන්මත් කරවන, මනරම් වූ “නන්පරෙයිල්” නමින් අත්‍යාලංකෘත පාරාදීසයක් බඳු වතුයායක් සබරගමුවේ පිහිටා තිබීමය. 

ප්‍රංශ භාෂාවේ භාවිත වන “නන්පරෙයිල්” (Not The Same) හෝ අසමසම හෝ සංසන්දනය කළ නොහැක යන අර්ථයෙන් නම් යෙදුණු නන්පරෙයිල් වතුයාය අද වනවිට ප්‍රසිද්ධව ඇත්තේ බලන්ගොඩ වැවිලි සමාගමට අයත් නන්පේරියල් වතු යනුවෙනි. 

දවසේ පැය 24න් වැඩිම වේලාවක් මීදුමෙන් වැසී ඇති මෙම වතුයාය මුහුදු මට්ටමේ සිට අඩි 5000කට වඩා වැඩි උසකින් පිහිටා ඇත. බළංගොඩ මර්ගයේ බෙලිහුල්ඔය පසුකර 2kmක් පමණ ඉදිරියට පැමිණෙන විට නන්පරෙයිල්  හංදිය මුණ ගැසෙන අතරම ලෝකාන්තයට ගොස් පහළ බැලූ විට දිස්වන්නේ ද මෙම නන්පරෙයිල් වතුයායයි. 

  • ගමන් මාර්ගය

කොළඹ - නුවරඑළිය හෝ මහනුවර සිට මෙන්ම හම්බන්තොට දිශාවෙන් ද මෙහි සුන්දරත්වය අත්විඳීමට පිවිසිය හැකි අතර, කොළඹ සිට ගමනාරම්භ කරන්නෙකුට ප්‍රධාන මාර්ග දෙකක් භාවිත කළ හැකි වේ.  ඉන් එකක් කොළඹ සිට අවිස්සාවෙල්ලට පැමිණ රත්නපුර සිට බළංගොඩ හරහා නන්පරෙයිල් දක්වා මාර්ගය යි.

අනෙක් මාර්ගය වනුයේ කොළඹ සිට හතුපිටිය තෙක් ගොස් නැවත කුටිපිටියට පැමිණ බළංගොඩ හරහා නන්පරෙයිල් දක්වා දිවෙන මාර්ගය යි. 

මෙම වතුයාය බදුල්ල මෙන්ම හෝර්ටන් තැන්න දක්වා දිවෙන අතරම එය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටීම ද එක් සුවිශේෂීතාවකි.

නන්පරෙයිල් හංදියේ සිට 2km දක්වා ඉරියට ගමන් කිරීමේ දී පයිනස් නම් ගස්වලින් වටවූ කුඩා වනාන්තරයකට ඇතුළු වීමට හැකියාව ලැබෙන අතරම, එය දැනෙන්නේ සීත පිනිබිඳු ගත දැවටෙන සිසිල් හරිත වනයකට ඇතුළු වූවාක් මෙනි. එම මාර්ගයේම තව කෙටි දුරක් ඉදිරියට ගමන් කිරීමේ දී  කුඩා දියඇලි දෙකක් හමුවේ. එම දියඇලි දෙක එම මාර්ගයේ සුන්දරත්වය තව තවත් වැඩි කරන අතර, ජනවාරි මාසයේ දී එම ප්‍රදේශය “දියඇලි පාරාදීසයක්” ලෙස අරුත් ගැන්වීමට දනෝ හුරු පුරුදුවී සිටිති. මෙම වතුයායේ අසිරිය නැරඹීමට එහි අභ්‍යන්තරයට යාම සඳහා ඇති මාර්ගය තරමක් කටුක එකක් වුවද එයද ඔබට අලුත් අත්දැකීමක්, අලුත් රසයක් ජනනය කරනවාට කිසිදු සැකයක් නැත.

මගෙහි ඉදිරියට පිවිසෙන්නෙකුට හමුවන්නේ “බේකර්ස් බෙන්ඩ්” එසේත් නැතිනම් “වැළමිට වංගුව” ලෙස නම් කොට ඇති ස්ථානයකි. බළංගොඩ සිට පඹහින්නට එන අතරතුර එය හමුවේ.  ගමනාගමනය දුශ්කර මෙම මාර්ගයේ පහසුවෙන් ගමන් කළ හැක්කේ පොළොව මට්ටමේ සිට තරමක් උසින් රෝද සවිකොට ඇති ඩබල්වීල් කැබ් වැනි වාහන හෝ මෝටර් සයිකල්වලට ය. 

හොර්ටන් තැන්න පිහිටා ඇති ලෝකාන්තයේ පාමුලෙහි පිහිටා ඇතැයි සැලකෙන මෙම වතුයායේ උස මුහුදු මට්ටමේ සිට අඩි 5000කි. යට කී බේකර්ස් බෙන්ඩ්වලට පැමිණෙන මාර්ගය තරමක් අපහසු වුවත්, මගෙහි  ගමන් කරනා නරඹන්නන් අර්ථ දක්වන්නේ එය දෙව්ලොවට යන පාරක් ලෙසිනි. මාර්ගය දෙපසෙහි නිබඳවම දර්ශක කරවන සොභා දහමේ  සුන්දරත්වය නිසාවෙන් එලෙස අරුත් ගන්වන බැව් අමුතුවෙන් කිවයුතු නැත.

විටෙක මුළුමනින්ම මිදුමෙන් වෙලා ගන්නා මෙම බේකර්ස් බෙන්ඩ් නම් වූ වැලමිට වංගුව දේශීය මෙන්ම විදේශිකයන්ගේ පවා ඡායාරූපකරණයේ ප්‍රමුඛස්ථානයක් වන අතරම, 19 වන සියවසේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර්ස් සහ ඔහුගේ බිරිඳගේ සංචාරක ගමනාන්තයක් වූ මෙය අද වන විට සුප්‍රසිද්ධ View Point එකක් ලෙස නම් දරයි. බේක‍ර්ස් බෙන්ඩ් වලින් පසුව හමුවන්නේ නන්පරෙයිල් වතුයායයි. නන්පරෙයිල් වතුයාය ආශ්‍රිතව නිෂ්පාදනය වන තේ  සීලෝන් උසස් තේ (Ceylon High Grown Tea) ලෙස නාමකරණය කරනු ලබන අතරම, ඒවා ඉතා මෘදු හා සුවඳබර විශේෂිත නිමි තේ විශේෂ වේ. 

ආර්ථික වශයෙන් සුවිශේෂ වැදගත්කමක් දරණ මෙම නන්පරෙයිල් වතුයාය ශ්‍රී ලංකාවේ ප්‍රකට තේ වතු අතරින් එකකි. එය ජාතික ආර්ථිකයට අගයක් එකතු කරනුයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට අමිල දායකත්වයක් සපයමිනි. වතුයායට පැමිණෙන්නෙකුට එහි සිට ශ්‍රමසේවා සපයමින් සිටින දමිළ ජනයාගේ කාර්යශූරබව පමණක් නොව, ඔවුන් ගෙවන කර්කශ දිවිපෙවෙතෙහි දෝමනස්ස පැතිකඩයන් නිරීක්ෂණයට ද අවකාශය සැලසෙනු ඇත. ඔවුන් දිනපතා කිලෝමීටර 13ක තරමේ දුරක් පයින් යාම් ඊම් කරමින් සලසන සේවාව දුටුවිට ‘එය කෙසේවත් අපට නම් කළ නොහැක්කක්’ යැයි නිරුත්සාහිකවම ඔබේ මුවින් කියවෙනු නොඅනුමානය. 

තවත් නොබෝ දුරක් ඉදිරියට ගමන් කිරීමේ දී අප ඇතුළු වන්නේ සෞම්‍ය දේශගුණයකට නෑකම් කියනා, දසත හරිත පැහැයෙන් වටවූ, නෙක මල්වලින් අලංකෘත වූ, සීත මඳනලින් හද පිරිමදිනා තරම් සිසිල් බවක් දැනෙනා බංගලාවකටය. එය  “නැග්‍රැක් (Nagrak) බංගලාවයි.” Nagrak ලෙස හඳුන්වන මෙය නන්පරෙයිල් වතුයායේ බංගලාවකි. කොළඹ - බදුල්ල පාරේ බෙලිහුල්ඔය පසුකොට කිලෝමීටර් කීපයක් ඉදිරියට ගියවිට නන්පරෙයිල් වත්තට යන පාර හමුවෙන අතර, දුෂ්කර වංගු 33 ක් ගෙවා කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියපසු මෙම අති සුන්දර වතු බංගලාවට ළඟවිය හැකිය. එක් මොහොතකට ඔබට සිතාගත හැකි ද  නැගීමට ඇති කන්දේ ප්‍රමාණය.මෙම නැග්‍රැක් බංගලාවට ගමන් කිරීමට මෙම ස්ථානයෙන් හැරී වම් අතට ගමන් කළ යුතුය.

නැග්‍රැක් ලෙස හඳුන්වන නන්පරෙයිල් වත්තේ එක් කොටසක් හෙවත් Division එකක් වේ. යමෙකුට එහි සිට දකුණට, නොඑසේනම් Upper Division  පැත්තට යන්නේ නම් ලෝකාන්තය පහලට ගමන් කිරීමට ද හැකිකම ලැබේ. කඳු මුදුනේ තනිවුණු පාරාදීසය - එසේත්  නැතිනම් නැග්රැක් බංගලාව 1936 දී ඉදි කරන ලද එකක් බවට විශ්වාස කළ හැකි සලකුණු බංගලාවේ පිටුපස වතුර ටැංකියක ඇති බව තතු දත් අය කියයි. 

ඒ කෙසේ වෙතත් මෙම ස්ථානයට ගිය පසු ගතට මෙන්ම සිතට දැනෙන්නේ අමුතුම සුන්දර හැඟුමකි. සීත කාලගුණයට සරිලන ලෙස ඉදිකොට ඇති  බංගලාවේ අභ්‍යන්තරයෙහි උණුසුම් ජනනයෙහිලා   ගිනි උදුනක් ස්ථානගත කොට ඇති අතර, සුව පහසු කාමරවල නිවාඩු සුවය උපරිම ආකාරයෙන් විඳීමටද  පහසුකම් ඇත. මෙම නැග්‍රක් බංගලාව කාමර 5කින් සමන්විත වන අතරම, කිසිදු අපහසුතාවයකින් තොරව 10 දෙනෙකුට නැවතීමේ හැකියාව පවතී. 

බංගලාවේ එළියට ගොස් අවට නරඹන්නෙකු වටපිටාව ගැන වචනවලින් විස්තර කළ නොහැකි තරම් සුන්දරත්වයක අතරමං කරනු නිසැකය. ඒ, බංගලාවේ ගෙවත්ත අලංකාර  මල් වවා සකස් කර ඇති නිසාවෙන් සේම එක් පැත්තකින් පිහිටා ඇති බැලුම් හල නිසාවෙනි. තවද එළිමහනේ  අසිරිය විඳීමට  කැමති අයට තවත් ස්ථානයක් සකස් කර ඇත. බංගලාවේ භාරකරුගේ සහ කෝකියන් ගේ සුහදශීලී බව නිසාම එය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමදව ලබනා බංගලාවක් බවට පත්ව ඇතුවාට කිසිදු සැකයක් නැත. 

මෙම නන්පරෙයිල් වතුයායේ පිහිටි බේකර්ස් බෙන්ඩ් මෙන්ම නැග්‍රැක් බංගලාව දෙස් විදෙස් සංචාරකයින් ගේ සදා මතකයේ රැඳෙනු ඇතැයි නිසැකවම ප්‍රකාශ කළ හැක.  





මදූශා දිල්ශානි