නීතිපති පුරාණයෙන්


පාර්ලිමේන්තුව විසින් නීති සම්මත කිරීමෙන් පසු ඒවා ක්‍රියාත්මක කරවීම නීතිපතිවරයා ගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙයි. නීතිපතිවරයා යනු රජයේ ප්‍රධාන නීති උපදේශකයා ය. රජය වෙනුවෙන් සියලුම නීතිමය කටයුතුවල දී පෙනී සිටිනු ලබන්නේ නීතිපතිවරයා යි. නීතිපතිවරයා යටතේ ඒ වෙනුවෙන් කාර්ය මණ්‌ඩලයක්‌ සිටී.  

නීතිපති දෙපාර්තමේන්තුව සිවිල් හා අපරාධ අංශය යනුවෙන් කොටස්‌ දෙකක්‌ යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලුම බරපතළ අපරාධ සම්බන්ධයෙන් නීතිමය කටයුතු මෙහෙයවනු ලබන්නේ නීතිපතිවරයා ගේ අධීක්‍ෂණය යටතේය. මහාධිකරණ ඉදිරියේ මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, බරපතළ කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වන නඩුවලට අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලබන්නේ නීතිපතිවරයාගේ නමින්ය.

රට තුළ ක්‍රියාත්මක සෑම මහාධිකරණයක්‌ හමුවේ නීතිපතිවරයා ගේ නියෝජිතයෙක්‌ ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්‌ නඩු කටයුතු මෙහෙයවීම කරනු ලබයි. අපරාධමය නඩුවල අභියාචනාවල දී නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පෙනී සිටී. ඒ වගේම මූලික අයිතිවාසිකම් නඩුවල දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමක්‌ ද සිදු වේ. 

මීට අමතරව සිවිල් නඩුවල දී එනම් රජයට එරෙහිව හෝ රාජ්‍ය නිලධාරියකුට එරෙහිව නඩුවක්‌ ගොණු වූ අවස්‌ථාවක  දී රජය වෙනුවෙන් හෝ එම නිලධාරියා වෙනුවෙන් සිවිල් අධිකරණවල ද නීතිපතිවරයාගේ නියෝජිතයෙකු පෙනී සිටී. එමෙන්ම මෙරට නීතිය හා සාමය ආරක්‍ෂා කරන පොලිස්‌ නිලධාරීන් ගේ හා පරිපාලන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ගේ රාජකාරිමය කටයුතුවල දී මතුවන නෛතික ප්‍රශ්නවල දී නීතිමය උපදෙස්‌ දීම ද නීතිපතිවරයා සිදුකරනු ලබයි. නීතිපතිවරයාට සහාය වීමට ඔහු යටතේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් හා නීතිඥවරුන් රාශියකින් සැදුම්ලත් මණ්‌ඩලයකින් සමන්විත වේ. නීතිපතිවරයාගේ කාර්යය රජයට ස්‌වාධීනව නීති උපදෙස්‌ ලබාදීමයි. රජය නොමග නොයන ලෙසින් සිය ස්‌වාධීනත්වය ආරක්‍ෂා කරගෙන එම උපදෙස්‌ ලබාදීම කළ යුතුයි. නීතිපති ධුරය භාර ගන්නා තැනැත්තා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව කටයුතු කරන බවට දිවුරුම් දිය යුතුයි. ඒ අනුව ස්‌වාධීනව, හෘදයසාක්‌කියට එකඟව කටයුතු කළ යුතුයි. රජය අපහසුතාවට පත්වන කිසිවක්‌ නීති රාමු තුළ සිදු නොකළ යුතුයි. 

නීතිපති පදවිය යනු මෑතක දී පිහිට වූ පදවියක් නොවේ. එයට දිගු කාලීන ඉතිහාසයක් පවතී. එංගලන්තයේ සහ වේල්ස් හි අතිඋතුම් මහ රජුගේ හෝ රැජිනිය ගේ නීති නියෝජිතයා ලෙස හඳුන්වනු ලබන්නේ ඇටර්නි ජනරාල්වරයා හෙවත් නීතිපතිවරයා ය. මහා බ්‍රිතාන්‍යයේ නීතිපති පදවිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.ව. 1243 දී බව වාර්තා වී තිබේ. ක්‍රි.ව. 1461 වන විට මේ පදවියට යම්කිසි ප්‍රමාණයක දේශපාලන මුහුණුවරක් එක් වූයේ සාමි මණ්ඩලයට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම නීතිපතිවරයාට පැවරී තිබීම නිසාය. කාලයත් සමගම ඇති වූ විවිධාකාර වෙනස්කම් සහ අවශ්‍යතාවන් නිසා ක්‍රි.ව. 1673 වන විට මෙම පදවියට නිල වශයෙන්ම කිරීටය වෙනුවෙන් නීති කටයුතුවලට පෙනී සිටීම, උපදෙස් දීම සහ නඩු පැවැරීම, ඒ යටතේ රජයේ දෙපාර්තමේන්තුවල ට අමාත්‍යවරුන් ට නීති උපදෙස් ලබාදීම හා විවිධ අවස්ථාවන් හි පාර්ලිමේන්තුව තුළ පැන නගින නීති ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමද නීතිපතිවරයා ට පැවරිණි.

වාර්තාගත වී ඇති අන්දමට එංගලන්තයේ ප්‍රථම නීතිපතිවරයා විලියම්. ඩී. බොන්සිල් නමැති නීතිවිශාරදයෙකි. ඇමෙරිකාවේ නීතිපති පදවිය ස්ථාපිත කරන ලද්දේ 1789 දීය. මහාධිකරණයේ නඩු පැවැරීම, රජය වෙනුවෙන් නඩු පවත්වාගෙන යාම, නීතිමය ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් ජනාධිපතිවරයා ට උපදෙස් දීම සහ අමාත්‍යංශවල රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් ට නීති උපදෙස් දීම නීතිපතිවරයා ට පැවරුණු විශේෂ කාර්ය භාරයන් වෙයි. නීතිපතිවරයා ගේ කටයුතුවලට සහාය දැක්වීම පිණිස 1870 දී ඇමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබීය. නීතිපති රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් සහ ආරක්ෂක ලේකම් යන පදවි හතර ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍යයේ උසස්ම සහ සම්භාවනීය තනතුරු වන අතර, ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වෙයි. ඇමෙරිකාවේ නීතිපතිවරයා ට විශේෂිත වූ ධජයක් ඇත. නීතිපති පදවිය ඇතුළු වෙනත් වැදගත් විධායක පදවි කිහිපයකට බලපාන විශේෂත්වයක්

වෙන්නේ එරට නව ජනාධිපතිවරයෙක් දිව්රුම් දෙන දිනයේම ඔවුන් ඉල්ලා අස්වීමයි. නව ජනාධිපති තමන්ට සිතැඟි පරිදි සුදුස්සන් තෝරා ඒ ඒ පදවිවලට පත් කරයි. නිදර්ශනයක් වශයෙන් ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ භාරගත් දිනයේ නීතිපති ලොරෙටා ලීන්ඩ් පදවියෙන් ඉල්ලා අස්විය. නව නීතිපතිවරයෙකු පත් කරන තුරු ඔහු පදවියේ වැඩ බැලුවේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව නීතිපති ලෙස ජෙෆ් සෙසන්ස් පත් කරන ලද මොහොතේම ලොරේටා වෙනත් පදවියකට මාරුවී ගියේය. 

ඇමෙරිකාවේ ප්‍රථම නීතිපතිවරයා එඩ්මන්ඩ් රැන්ඩොල්ෆ් විය. 789 දී ඔහු එම පදවියට පත් කරන ලද්දේ ප්‍රථම ජනාධිපතිව සිටි ජෝර්ජ් වොෂින්ටන් විසිනි.  නීතිපති හෝ නීති නිලධාරි පදවියක සේවය කිරීම අපාගත වී සිටින තරම් දුෂ්කර කාර්යයක් බව එංගලන්තයේ නීති විශේෂඥයෙක් වූ ශ්‍රීමත් පැටි‍්‍රක් හැස්ටියේ පවසා ඇත. ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නීති නිලධාරියා සහ නීති බලධරයා නීතිපතිවරයා ය. සම්භාවනීය තත්ත්වයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු නීතිපති පදවියට පත් කිරීම අපේ රටේ චාරිත්‍රයයි. 

අපේ රටේ ප්‍රථම නීතිපතිවරයා ජේම්ස් ඩන්කින් විය. ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා විසින් 1801 දී ඔහු පත් කරන ලද බව වාර්තා වී ඇත.

1801 සිට 1936 දක්වා බ්‍රිතාන්‍ය ජාතිකයන් 24 දෙනෙක් ආණ්ඩුකාරවරුන් 19 දෙනෙකු යටතේ නීති පදවියේ නිරත වූ අතර, ජෝන් විලියම් රොනල්ඩ් ඉලංගකෝන් ප්‍රථම ලාංකික නීතිපතිවරයා විය. 1936 දී ඔහු ඒ තනතුරට පත් කරන ලද්දේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් එඩ්වර්ඩ්ස් ස්ටබ්ස් විසිනි. 

1946න් පසු මණික්කු වඩුමෙස්ත්‍රි හෙන්ද්‍රික් ද සිල්වා, චෙල්ලප්පා නාගලිංගම්, හේම හෙන්රි බස්නායක, එඩ්වර්ඩ් පර්සිවල් රෝස්, නොට්ල් ග්‍රේෂන්, ඩග්ලස් ජෑන්ස්, ඒ. සී. ඇම්. අමීර්, වික්ටර් තෙන්නකෝන්, සිවා පසුපතිල, සුනිල් චන්ද්‍ර ද සිල්වා, තිලක් මාරපන, ෂිබ්ලි අසීස්, සරත් එන් ද සිල්වා, කේ. කමල සබේසන්, ලචින්තා ද සිල්වා, මොහාන් පීරිස්, ඊවා වනසුන්දර, පාලිත ප්‍රනාන්දු, ජයන්ත ජයසූරිය, යුවන්ජන විජේතිලක යන මහත් මහත්මීන් නීතිපති පදවියේ සේවය කර ඇත.

දැනට බලපවත්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) 9 වැනි පරිච්ජේදය - විධායක - රජයේ සේවය “යටතේ නීතිපතිවරයා ද, යුද හමුදාවේ - නාවික හමුදාවේ - ගුවන් හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෝ ද ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ නියමිත සියලු රජයේ නිලධරයෝ ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නාහ”

මෙරට දැනට නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ, පාරින්ද රණසිංහ ය. ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ට විධායක බලතල නොමැත. විධායක බලතල අධිකරණ ඇමැතිවරයා සතුව ඇත. සාමාන්‍යයෙන් දේශපාලන පත්වීමක් නොවන සහ නොවිය යුතු මෙම පදවියේ කටයුතු නීතිපතිවරයා විසින් අපක්ෂපාතී ව, නිර්භීතව, පිරිසුදු සිතින් සහ දෑතින් යුතුව ඉටු කරනු ඇතැයි යනු මහජන බලාපොරොත්තුව වේ.


ශෂිකා අබේරත්න