කලා ක්ෂේත්රයේදී අපට හමුවන වඩාත් නිරහංකාර, විවෘතව අදහස් ප්‍රකාශ කරන සොඳුරු හිතැත්තියක ලෙස දිල්හානි ඒකනායක ප්‍රවීන රංග ශිල්පිනිය නම් කළ හැකියි. ඒ සොඳුරු හිතැත්තිය, අව්‍යාජ කලාකාරිය මේ දිනවල අපට හමුවන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ, තිලංග සුමතිපාලයන් නිෂ්පාදනය කළ ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයේ චරිත රංගනයක් සමගය. ආදරණීය ‘දිල්’ ලෙස හැමෝගෙම ආදරය දිනා සිටින ඇය සමග මේ කතා බහ ඒ නිසාමය.
- ‘දිල්’ කොහොමද ඉතින් මේ දිනවල වැඩ කටයුතු එහෙම?
පසුගිය දිනවල රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කළ ‘ලවර්ස්ලීප්’ ෆිල්ම් එකේ රංගන කටයුතුවල දායක වුණා. දැන් මේ දිනවල රිදී රැයක් සහ සිහින රැයක් වෙනුවෙන් දායක වෙනවා. තවත් අලුත් චිත්‍රපටයක සහ ටෙලිනාට්‍යයක වැඩ ජනවාරි මාසයේ දී පටන් ගන්න තියෙනවා.
- කොහොමද ගෙදර කටයුතු?
මේ දිනවල වෙනදාටත් වඩා කාර්ය බහුල වුණාට ගෙදර වැඩ කටයුතුත් හොඳින් සිදු වෙනවා. තාම අර ඉස්සර වගේම කලා ක්ෂේත්රයේ වැඩ වැඩියි.
කොහොමද දැන් ප්‍රියංකරගෙ අසනීප තත්ත්වය එහෙම. අපි ඔහුට ඉක්මන් සුවය පතන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
ප්‍රියංකර හොඳින්. එයාව බලාගන්නත් ගෙදර අය ඉන්නවා. ඉතින් ඒ නිසාම මටත් නිදහස් මනසකින් කලා කටයුතුවලට දායක වීමේ අවකාශය ලැබී තිබෙනවා.
- ‘දිල්’ අපට කිව්වනෙ ඉස්සරටත් වඩා, ඒ කියන්නෙ දිල්ගෙ තුරුණු කාලයටත් වඩා දැන් වැඩ වැඩියි කියලා? කලා කටයුතුවලට එච්චර ඉල්ලුමක් ලැබීම ඔබ දකින්නෙ?
මම හිතන්නෙ පසුගිය කාලයේ රංගනයෙන් කළ කී දේ එක්ක අපි ගැන නිර්මාණකරුවන්ට වගේම ප්රේක්ෂකයන්ටත් පැහැදීමක් ඇති. ඒ වගේම රංගන ස්වභාවය අනුව රික්තකයක් ඇති නිසා අපට ඒ විදිහට අවස්ථා ලැබෙනව ඇති.
- ඔබ වෙතින් තවමත් තුරුණු පෙනුම දකින්න ලැෙබන බව ඇත්ත. ඒත් එදා තුරුණු කාලයේ විදිහටම මේ නර්තනය, රැඟුම, චරිතාංග ස්වභාවය එක්ක ශක්තිය තියෙනවද, සක්‍රිය වී කටයුතු කරන්න?
චරිත රංගනයන්නෙ තියෙන්නෙ. ඒ වෙනුවෙන් ඇඟ වෙහෙසවන්න වෙන්නෙ නැහැ තමයි. ඒත් එක දිගට – කටයුතු කළාම මහන්සියක් දැනෙනවා. ඒක ස්වභාවිකයි. ඒ නිසා වැඩ බාර ගන්නෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලයි.
- හොඳයි, දිල් දැන් අපි කතා කරමු. මහාචාර්ය සුනිල් ආරියරත්නගෙ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ ඔබගේ චරිතය ගැන, මේ ඔබ රඟපාන කී වැනි සිනමා නිර්මාණය ද?
මට හරියටම මතකයක් නැතත්, එකසිය තිහකට වඩා සිනමා නිර්මාණවලට දායක වෙලා තියෙනවා.
- ගෞතම බුද්ධ මාතා, සිනමා නිර්මාණයේ ඔබ රඟපාන්නෙ, මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ චරිතයක්, මීට පෙර එවැනි චරිත රඟපාලා තියෙනව නේද?
රජ කාලයේ චරිත කීපයක් කළත්, මේ විදිහට පැවිදි චරිතයක් කරන්නෙ පළවැනි වතාවටයි.
- පළමු වතාවට මේ වගේ චරිතයක් රඟපෑමෙන් මොන වගේ අත්දැකීමක්ද ලැබුවෙ?
ඒ ඇඳුම ඇඳ ගත්තාම වෙනදා වගේ කලබල ගතියක් දැනුණෙ නැහැ. ඒ කියන්නෙ සාමාන්‍ය ජීවිතයේදි සාමාන්‍ය විදිහට කටයුතු කරනව වගේ නෙවෙයි. සංයමයක්, හික්මීමක් ඒ ඇඳුමෙම තියෙනවා. මට අසීරුම වුණේ හිසට මේක් අප් එක දාගෙන ඒ වෙනුවෙන් පැය ගණනක් සිටීමට සිදුවීමයි. ඒ මේක් අප් එක දාගෙන ලොකු වෙලාවක් ඉන්න හරි අමාරුයි. ඒ නිසා, ආයෙත් නම් ඒ වගේ චරිතයක් බාර ගන්න එකක් නැහැ. ඒක ඇත්තටම අසීරු චරිතයක්. ‘බුද්ධ මාතා’ ෆිල්ම් එකට මම සහභාගි වුණේ සුනිල් අයියා (මහාචාර්ය සුනිල් ආරියරත්න) නිසාමයි.
- කොහොමද මේ ෆිල්ම් එක ඔබට දැනෙන විදිහ?
මට හිතෙන්නෙ හරිම සුන්දර කතාවක් වගෙයි. සුන්දර ලෝකයක් වගේ චිත්‍රපටයක්. සුනිල් ආරියරත්නයන් හට නිර්මාණය වූ ප්‍රේක්ෂකාගාරයක් මේ රටේ තියෙනවා. එතුමා නිර්මාණය කරන චිත්‍රපටවලට කැමති ජන කොටසක් ඉන්නවා. මේ තිර – පිටපත ලියන්න එතුමා සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා. බුද්ධ චරිතය වටා ගෙතුණු කතාවක් ලියද්දි බොහෝ දේ සොයා යාම වගේම පරිශීලනය කරන්න වෙනවා. එතුමා මේ විදිහට විශාල මහන්සියක් දාලා තමයි එතුමාගේ නිර්මාණ වටා රොද බැඳුණු ප්‍රේක්ෂකයාට මෙය තිලිණ කර තිබෙන්නෙ.
- දිල් නර්තනය ඔබගෙ ජීවිතය එක්ක බැඳී ඇති දෙයක්. එදා වගේම ඔබ ඒ නර්තනය හා බැඳී කටයුතු කරනවා. චරිතාංග රංගනයේ යෙදෙනවා. මොකක්ද මෙහි රහස?
එහෙම නොවුනා නම් කෙනෙක් ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. නිතරම මිනිසෙක් ක්‍රියාශීලී වීම වගේම හොඳ ශක්තිමත් ගතියක් ඇතිව ඒ කියන්නෙ හොඳ එනර්ජි එකකින් ජීවත් වෙන්න ඕනැ. වයසට යනවාය කියලා හිතාගෙන ඒ සක්රීයත්වය අත්හැර ගන්න මිනිස්සු, විනෝද වෙන එක අත්හැර ගන්න මිනිස්සු ඉක්මනටම ලෙඩ වෙනවා. අන්න එතකොට තමයි, එක් චරිතයකට එක් දෙයකට පමණක් සීමා වෙන්නෙ. ඉතින් මම හිතන්නෙ මම මේ විෂයත් සමග ක්‍රියාශීලීව සිටීම තමයි එකම හේතුව. අමුතුවෙන් මවාගන්න ජීවිතයක් නොවෙයි, මගේ සැබෑ ජීවිතයෙ හැටි එහෙමයි.
එදා පටන් ගන්න දවසේ ඉඳලම ‘රිදී රැයක්’ වෙනුවෙන් දිල්හානි දායකත්වය ලබා දෙනවා නේද?
අවුරුද්දක් - දෙකක් ඉන්න බැරි වුණා. මේ වතාවෙත් මම පෙනී සිටින්නෙ සුළු අවස්ථාවකට. මෙවර ප්රියංකරලගෙ සංගීත පරම්පරාවේ ගීතයක් වෙනුවෙන් තමයි මම පෙනී සිටින්නෙ. ප්‍රියංකරගෙ තාත්තා මිල්ටන් පෙරේරා සහ ප්‍රියංකර වෙනුවෙන් අගය කරන නිර්මාණයක්. මම ඒකට දායක වුණා. ඒ අවස්ථාවට අපේ පුතා දිල්මින් තමයි ගයන්නෙ.
- පසුගිය කාලයේදී ලංකාවේ දේශපාලනයේ බොහෝ දේ වෙනස් වුණා. ඔබ ඒ වෙනස්වීම වෙනුවෙන් නිතර පෙනී සිටි චරිතයක්. දැන් ඔබට සතුටුද කියලා ඇහුවොත්?
අනිවාර්යයෙන්ම සතුටුයි. මට සතුටුවිය නොහැකි නම් ලෙහෙසියන් මත දරන්නෙ නැහැ. මම ඉවසීමත්, සංයමයත්, විනයත් ඇති කෙනෙක්. ඒ නිසා අනාගතය කොහෙටද යන්නෙ කියන දේ මට දැනෙනවා.
- ඒ කියන්නෙ මතුපිටින් අපි දකින මට සිලුටු සොඳුරු චරිතයට වඩා දිල් ඇතුළාන්තයෙන් ගැඹුරුව හිතන චරිතයක්?
මම චරිත දෙකක් නෙවෙයි. ඔබ කියූ විදියෙ
මට සිලුටු - සැහැල්ලු ගතියෙන් සිටින කෙනෙක්. ඒත් මට හිතෙන විදිහට මම ටිකක් දුර පෙනෙන කෙනෙක්. ඒකට හේතුව සහ එහෙම වෙන්න හේතුව පරාර්ථකාමීව කටයුතු කරන කෙනෙක් නිසයි. නිතරම මම ගන්නෙ පොදු තීන්දු. ඒ විදිහට රට ගැන හිතලා ගන්න තීන්දුවලදි මගේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ගන්න තීන්දු තීරණ නොවෙයි. පොදුවේ යහපත උදෙසා ගන්න සහ විශ්වාස කළ තීරණයි. පසුගිය තිබුනු විදිහට රට දිගටම ගියේ නම්, ලොකු ආගාධයකට යන්නෙ. ඉතින් දැන් අපට සැනසුම් සුසුමක් හෙළමින්, සුබවාදී හෙටක් ගැන ආකල්ප දරන්න පුළුවනි. ඒක එක් රැයකින් වෙන එකක් නැහැ. අපි හැමෝම යහපතම බලාපොරොත්තු වෙමු. අපි හැමදාම බලාපොරොත්තු වෙන්නෙ ලස්සන රටක්.
- ‘දිල්’ ගෙවී ගිය ජීවිතය දිහා බලද්දී ඔබට දැනෙන හැඟෙන විදිහ?
මට හැඟෙන්නෙ මට හොඳ ජීවිතයක් තිබූ වගයි. පසු තැවෙන්න – දුක් වෙන්න දේවල් නැහැ. නිතරම සතුටින් - විනෝදයෙන් හැමෝම එක්ක කටයුතු කළේ. ජීවිතයේ කවදා හරි මම සතුටින්ම මිය යාවි. තමන්ගෙ මරණයට සතුටින් මුහුණ දීමට නම්, එය පුහුණු කරලා තියෙන්න ඕනැ. මරණයට සතුටින් මුහුණ දීමට නම් හොඳ ජීවිත ගත කර තිබෙන්න ඕනැ. ලද දෙයින් සතුටු විය හැකි නම්, කොච්චර සුන්දරද. මේ ලෝකයේ එහෙම සතුටින් ගත කරන්න කොච්චර දේ තියෙනවද?අපට....
සඳුන් ගමගේ