පළමු වතාවට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ ශ්‍රී ලාංකිකයා


 
ඇන්ටාක්ටිකාව තරණය කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් හිමාලය තරණය කළ ඔහුට එය තවත් අභියෝගයක් පමණක් වුණි. පසුගියදා  ඔහු ඒ අභියෝගයද ජයගත්තේය. මහාද්වීප හතේ උසම කඳු නැග ලාංකීය දේශයට අභිමානයක් ගෙන දීම ඔහුගේ අරමුණ වන අතර, මේ වන විට ඔහු එහි අවසාන ඉලක්කයට සමීපව සිටී. ලෝකයේ නේක තැන්හි සැරිසරන්නන් අද ඔහු ගැන කතා වන්නේ පසුගියදා ඇන්ටාක්ටිකාව තරණය කළ නිසාවෙනි. ඇන්ටාක්ටිකාව යනු ලෝකයේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි කලාපයයි. සුදෝ සුදු හිමෙන් වැසී ගිය මිනිස් වාසයක් නැති, ඍණාංශක උෂ්ණත්ව අගයක් ඇති  මේ ඇන්ටාක්ටිකාවට ගොස් එහි ඇති උසම කන්ද වන  වින්සන් කඳු ශිඛරය ඔහු කෙසේ නම් තරණය කරන්නට ඇතිද? දසත සැරිසරන්නන්ට මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙකුට අමුත්තකු කඳු, කඳු නැගීමේ ඒ අභිමානවත් ශ්‍රී ලාංකිකයා වන යොහාන් පීරිස් ගෙන් අපි ඒ ගැන අහමු.
 

යොහාන් පීරිස්


 

 ඇන්ටාක්ටිකාවට ගිය ගමන ගැන ඔබට දැනෙන්නෙ කොහොම ද?
සාමාන්‍යයෙන් මේ වගේ කන්දක් එක්වර තරණයට එක්වන්නෙ නැහැ. පෙර පුහුණුවක් ලබා​ගෙන ගමන් ආරම්භ කිරීම පුරුද්දක්. ඒත් මීට පෙර ඇන්ටාක්ටිකාවට මම ඇවිත් තිබුණෙ නැහැ. මේ කන්ද මට අලුත් අත්දැකීමක්. මහාද්වීප හතෙන් තව මට තරණය කරන්න තියෙන්නෙ කඳු දෙකක් විතරයි. දකුණු ඇමරිකාවේ තියෙන උසම කන්ද සහ උතුරු ඇමරිකාවේ තියෙන උසම කන්ද විතරයි තව මට යන්න තියෙන්නෙ. 
 ඇන්ටාක්ටිකාව ගැන විස්තර කළොත්? 
ඇන්ටාක්ටිකාව තියෙන්නෙ පෘතුවියේ යටම කොටසේ, එනම් දක්ෂිණ ධ්‍රැවයේ. එය කිසිම රටකට අයත් නැහැ. ඇන්ටාක්ටිකාව තමයි ලෝකයේ ශීතාධිකම තැන. මෙහි යාමට තියෙන ලොකුම අභියෝගය ඒ දරුණු ශිතලයි. ගිම්හානයේදී යම්තාක් දුරකට හිරු එළිය තිබුණට, ශීතල ඒ විදිහමයි. එකම දේ කුණාටු තත්ත්වය තරමක් අඩුයි. 
 
 ඇන්ටාක්ටිකා වින්සන් කඳු පේලියට ළඟම?
 
මෙම කඳු පන්තිය පිහිටා තිබෙන්නෙ දකුණු ඇමරිකාව සමීපයේ. දකුණු අප්‍රිකාවට ගිහිනුත් යන්න පුළුවනි. ඒත් එය තරමක් දුරයි. 
 
 ඔබ මේ ගමන ගිය විදිහ, සූදානම් වූ විදිහ මුල සිට විස්තර කළොත්? 
 
මේ වගේ ගමනක් යාමට පෙර පුහුණුවීම් කිරීම සුපුරුදු විදිහට කළා. ගමන සංවිධානය කරන්න මා වටා පිරිසක් හිටියා. එයාලා මගේ යාළුවෝ. මේ වගේ ගමනක් වෙනුවෙන් අනුග්‍රාහකයින් සොයා ගැනීම ලොකුම අභියෝගයයි. කොහොම හරි ඒ අභියෝගයත් සියයට පණහක් විතර ජයගන්න පුළුවන් වුණා. ගමන් ආරම්භ කළේ  ලංකාවේ සිට  දෝහාවලට,  දෝහා සිට චිලියේ අගනුවර සන්තියාගෝ වෙත පැය 36ක විතර ගුවන් චාරිකාවක්. ඒක ටිකක් වෙහෙසකර ගමනක්. සන්තියාගෝ සිට පැය දෙකහාමාරක විතර තවත් ගුවන් ගමනක යෙදෙන්න තිබුණා. මේ වගේ කඳු තරණයකදී තනියම ඒ ගමන යාම ඉතා අසීරුයි. මම ගියේ තවත් කඳු තරණය කිරීමේ කණ්ඩායමක් එක්ක. මා සමග තවත් තුන් දෙනෙක් හිටියා. ඊට අමතරව මග පෙන්වන කෙනා හිටියා.  අපි ආවේ මේ වගේ සංචාර සංවිධානය කරන සමාගමක් සමග සම්බන්ධ වෙලා. එයාලා සියලු දේ සංවිධානය කර තිබුණා. ඔස්ට්‍රේලියානු සහ කැනේඩියානු කඳු තරණය කරන්නන් දෙදෙනා තමයි මා එක්ක හිටියෙ. අපව ගයිඩ් කළේ ආජන්ටිනා ජාතිකයෙක්. 
 
 ඇන්ටාක්ටිකාවට ගියේ එතැන් සිට ද? 
 
දින තුනක විතර කාලයකින් පසුව අපි සිටි නගරයේ සිට ඇන්ටාක්ටිකාව බලා පිටත් වුණේ ඒ වෙනුවෙන්ම යොදවා තිබූ ගුවන් යානයකින්. කඳු නැගීමේ සීසන් එකට එනම් ඒ සමයට ඇන්ටාක්ටිකාවේ තැනක කඳවුරක් පිහිටුවා තිබෙනවා.  දක්ෂිණ ධ්‍රැවයට සංචාරය කරන අය මුලින් එන්නෙත් එතැනට. ඒ කටයුතු සංවිධානය කරන්නත් සමාගම් තියෙනවා. විවිධ රටවල සිට පැමිණි කඳු නගින්නන් ඇවිත් හිටියා. ඒ සියලු දෙනා අතරින් ඝර්ම කලාපීය රටකින් හිටියෙ මම විතරයි. චිලියේ අපි සිටි ඒ නගරයේ සිට ඇන්ටාක්ටිකාවේ ආරම්භක කඳවුර වෙත ගුවනින් යාමට ගත වූ කාලය පැය හතරක්. 
 
 ඇන්ටාක්ටිකාවට ගුවනින් යද්දී මොනවගේ භූමි දර්ශන ද දැක ගන්න ලැබුණෙ?
 
මහා සාගරය විතරයි. උඩ වලාකුළු වියන, පහතින් මහා සාගරය. පැය තුනහමාරක් විතර ගියාම දකින්න ලැබුෙණ සුදු හිම කඳු විතරයි. ගිම්හාන සමය නිසා අහස නිල්ම නිල් පාටයි පහත භූමිය  කිරි සුදු පාටයි. එච්චරම තමයි දකින්න තියෙන්නෙ. 
 
 
  කෑම්ප් එක මොන වගේ ද ?
 
සියලු පහසුකම් සහිතව එනම්,  දුරකථන සබඳතා වගේම, සියලු තාක්ෂණික පහසුකම් සම්පාදනය කර තිබුණා. ආහාර පාන පවා ලබා දුන්නේ බුෆේ ක්‍රමයට. ඒ වෙනුවෙන් සූප වේදීන් පවා හිටියා. 
 
 එතැනින් පසුව? 
 
එතැන් සිට වින්සන් කඳු පාමුලට යාමට තවත් ගුවන් යානයක් යොදවා තිබුණා. හැබැයි ඒ විදිහට ගුවන් ගමන යන්නේ හොඳ දේශගුණික තත්ත්වයක් තිබුණොත් විතරයි. නැතිනම් කාලගුණය යහපත් වෙන තෙක් කඳවුරේ සිටිය යුතු වෙනවා.  කඳවුරේ සිට කඳු පාමුලට යන්න විනාඩි හතළිස් පහක් විතර ගත වෙනවා. අපි මුහුණ දුන් ලොකුම දුෂ්කරතාව ඒ ගමන යාමට තිබූ කාලගුණික තත්ත්වයයි. ගුවන් යානය ගොඩ බෑමට තරම් සුදුසු කාලගුණික තත්ත්වයක් තිබුණෙ නැති නිසා, දින දොළහක් අපට කෑම්ප් එකේ ගත කිරීමට සිදු වුණා. දරාගන්න බැරි ශීතලක දින දොළහක් සිටීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒත් ආපසු හැරී එන්න බැහැනෙ. කන්දක් තරණය කිරීම කියන්නෙම මානසික දරාගැනීමක්. ඒ මානසික දරාගැනීම නැතිනම් ඊට මුහුණ දෙන්න බැහැ. 
 
 දින දොළහක කාලය ගත කළ විදිහ? මොනවගේ හැඟීමක් ද ගෙන දුන්නෙ? 
 
කඳවුරේ දින දොළහක් නිකම්ම ගත කරන්නත් බැහැනෙ. ඒ නිසා අපි සයිකල් පැදීම, ඇවිදින්න දුවන්න පුළුවන්. අපි ඒ ක්‍රියාකාරකම්වල යෙදුණා.  මේ සියලු දේ කරද්දී ශීත කබා සහ ඍණාංශක දේශගුණයේදී පැලඳිය යුතු  සියලු දේ වෙතින් ආවරණය වීම අනියාර්යය දෙයක්. නැතිනම් සිදු වෙන්නෙ ශීතලට පිච්චෙන එකයි. 
 
 ඒ දින දොළහ ගත කරද්දී රාත්‍රී අහසේ දුටු දේ මොනව ද? 
 
ඇන්ටාක්ටිකාවට  ගිම්හාන  සමය රාත්‍රියටත් දහවල්. අඳුර වැටෙන්නෙ නැහැ. පැය විසි හතරම එළියයි. එය වෙනස්ම අත් දැකීමක්. 
 
 ඒ වන විට ගමනට ගත කර තිබූ කාලය? දින ගණන?
 
දින පහලොවක් විතර. 
 
 වින්සන් කන්ද තරණය කළ විදිහ ඊළඟට කියමු? 
 
කඳවුරේ සිට විනාඩි හතළිස් පහක ගුවන් ගමනකින් කඳු පාමුල ඇති   කඳවුරු ඇති තැනට අපි ළඟා වුණා. අපේ කඳු නැගීමේ ආම්පන්න සියල්ල සුදානම් කරගෙන  එදිනම අපි කන්ද නැගීමේ ගමන ආරම්භ කළා. අඩි 16,050 ක විතර උසක් තරණය කළ යුතුයි. එය එක් දිනකින් කළ හැකි දෙයක් නෙවෙයි. 
 
සම්පූර්ණ කන්ද නගින්න දින හතක් ගත වුණා.අපි කන්ද තරණය කළේ අදියරෙන් අදියර.  ඉහළම කඳවුර වෙත ගිය පසුව කාලගුණික තත්වය මත හොඳනම් විතරක්, පීක් එකට ළඟාවෙනවා. එනම් මුදුනතට යනවා. ඒ විදිහට ගිය අපි එදාම නැවත පල්ලම් බහින්න පටන් ගත්තා. ඒ කියන්නෙ ඉහළම ඇති කඳවුර වෙත ආවා. ඒ වගේ ගමනක දී එසේ කළ යුතු වෙනවා.  එතැන දිනක් ගත කර ඊළඟට දිනක් ඇතුළත කන්ද බැසීම සිදු කළා. කෙළින්ම අපි ආවේ මූලික කඳවුරට.
 
 කන්ද නගින්න දවස් හතක් ගත කළේ? 
 
කෑම්ප් වන් එකට ගිය පසු කාලගුණික තත්ත්වය යහපත් වෙනකම් ඉඳලා තමයි කන්ද තරණය කිරීම පටන් ගන්නෙ.  ඒ නිසා එය කරන්න වෙන්නෙ අදියරෙන් අදියරයි. කෑම්ප් වන් එකේ සිට දෙවැනි කෑම්ප් එකට ගිහින් දින දෙකක් එහි ගත කරන්න සිදුවුණේ කාල ගුණික තත්ත්වයේ වෙනසක් තිබූ නිසයි. ඒ ඔක්කෝම දත්ත බලා අපව මෙහෙය වූයේ අපේ මග පෙන්වන්නා. අන්තිමට එයා ගත්ත තීරණය ඉතා හොඳ දවසක් වුණා. සුළඟ අඩුයි, හොඳින් හිරු එළිය පතිත වී තිබුණා. ඒ නිසා අපේ ප්‍රයත්නය සාර්ථක වුණා. 
 
 මේ වින්සන් කන්ද තරණය කරද්දී අතරමගදී දුටු විශේෂ දේ සහ මුහුණ දුන් සිදුවීම් මොනව ද? 
 
අමුතු දේ දැක්කෙ නම් නැහැ. ඒත් මේ කන්ද නැගීමේ ගමන ඉතාම වෙනස් අත්දැකීමක්. මිනිසුන් වාසය නොකරන තැනකට ඇවිත් මේ වගේ ගමනක් යාමම විශේෂත්වයක්.  ගහක්-කොළක් නැති හිම සහ අයිස් පර්වත විතරක් ඇති වෙනමම ලෝකයක්. කඳු මුදුනතට ගියාම මට දැනුණෙ, මම දැන් ඉන්නෙ ලෝකයේ පල්ලෙහාම තැන, ශීතලම තැන තියෙන උසම කඳු මුදුනෙ, මේක මොන තරම් නම් වෙනස් දුර්ලබ අත් දැකීමක් ද යන හැඟීමයි. ලංකාවේ කොඩිය අතට අරගෙන ඉහළට ඔසවාගෙන සිටිද්දී, ඇති වූ සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මගේ - අපේ රට වෙනුවෙන් ඇන්ටාක්ටිකාවට ගිහින් එහි උසම තැන සිට අපේ සිංහ ධජය එසැවීම මොන තරම් නම් සතුටක් ද. මගේ රට ගැන ආඩම්බරයක්. ඒක මම පුද්ගලිකව ලැබූ ජයක් නෙවෙයි. මොන විදිහට ගියත්, ඒක මම කළේ රට වෙනුවෙන්. 
 
 දැන් ලාංකීය ධජය එහි ලෙළදෙනවා ද? 
 
ඇන්ටාක්ටිකාවේ පරිසරයට  කිසිම දෙයක් මුදා හැරීම තහනම්. ලෝක කාලගුණික – දේශගුණික වෙනස නිසා,  ඇන්ටාක්ටිකාව ගැන තදින් අවධානය යොමු කරලා තියෙන්නෙ. කඩදාසි කැබැල්ලක්වත් මුදා හරින්න තහනම්.  ධජය එසැවීම හැර එහි රැඳවීම තහනම්. ගුවන් යානයට ගොඩවෙද්දී පවා අපේ සපත්තු විශේෂිත විෂබීජනාශක ද්‍රව්‍යයක් යොදා පිරිසිදු කරනවා. කිසිම විෂබීජයක් ඇන්ටාක්ටිකාවට ගෙන යාම සපුරා තහනම්. එහෙට කිසිම දෙයක් ගෙන යන්න බැහැ වගේම, එහෙන් කිසිම දෙයක් ගේන්නත් බැහැ. 
 
 එදා කඳු මුදුනත කොපමණ වේලාවක් රැඳී සිටිය ද? මොනවගේ දසුන්ද දුටුවේ?
 
අපි විනාඩි විස්සක වගේ කාලයක් එහි සිටියා. සෑම දිසාවකින්ම පෙනුණෙ අයිස් කඳු, හිම, සහ සුදෝ සුදු පැහැය විතරයි. වලාකුළු යායක් මැද සිටිනවාක් මෙන් වූ හැඟීමක්. ඒක ඇත්තටම පුදුම දර්ශනයක්. තනිකරම අයිස් මුහුදක් වගෙයි. 
 
මේ විදිහට වින්සන් කන්ද කරණය කර ආපසු ඇන්ටාක්ටිකාවේ පහළට ඇවිත් කොච්චර දවසක් එහි ගත කළාද, මූලික කඳවුරේ සිට අපි ගුවන් යානයෙන් ගමනාරම්භක තැනට ආපසු පැමිණියා. එහි දින දෙකක් විතර අපට ගත කිරීමට සිදු වුණා. නැවතත් චිලී දේශයට ආවේ ඉන් පසුවයි. Punta Arenas  නගරයට ආවෙ. අපි ඇන්ටාක්ටිකාවට ගියෙත් එතැන් සිටයි. 
 
 චිලීය ගැනත් අපට විස්තරයක් කරන්න පුළුවනි ද? ලාංකිකයින් එහෙම චිලියේදී හමුවුණා ද?  
 
හමු වුණේ නැහැ. සමහර විට ව්‍යාපාරිකයින් එහෙම යනවා ඇති. ඒත් මට ලාංකිකයින් කවුරුවත් හමු වුණේ නැහැ. චිලීය හරිම ලස්සන රටක්. මිනිස්සුත් හරි හොඳයි. කඳු බොහොමයක් ඇති රටක්. දියුණු රටක් වග පෙනෙනවා. මම හිතන්නෙ ඉන්ධන එහෙම ඇති රටක්. 
 
 වින්සන් කන්ද තරණය කළ ඔබ කවදද නැවත මව් රටට එන්නෙ?
 
මම දැන්ම ලංකාවට එන්නෙ නැහැ. කෙළින්ම ආර්ජන්ටිනාවට යනවා.
 
 ඇයි එහි යන්නෙ?
 
දකුනු ඇමරිකාවේ ඇති උසම කන්ද තරණය කරන්න. ඒකෙ නම Aconcagua. අඩි 22,461 ක් උස කන්දක්.  එය තරණය කිරීමට දින 21ක් විතර ගත වෙනවා. ලංකාවට නැවත එන්න හිතාගෙන ඉන්නෙ පෙබරවාරි 26 විතර.
 
 

සඳුන් ගමගේ