අපට ජලය නොමැතිව ජීවත්විය නොහැක. පරක් තෙරක් නොපෙනෙන මේ මහා විශ්වයේ, ජීවය ඇති එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. පෘථිවියේ ජීවය පහළවීමට එක් ප්‍රධාන සාධකයක් වන්නේ ජලයයි. ජීවය ආරම්භ වූයේ සාගරයෙනි. ජලය නොමැතිව ජීවත් විය හැක්කේ දින 3 ක් පමණි. ජලය හරිම බලවත්ය. කොතරම් බලවත්දැයි කීවොත්, පෘථිවිය භ්‍රමණය එසේත් නැතිනම් පෘථිවියේ කැරකීම තීරණය කරන්නේ ද ජලයයි; පෘථිවියේ ඇති භූගත ජලයයි.
පසුගිය වසර ගණනාව තිස්සේ මනුෂ්‍ය අප - පෘථිවියේ ඇති භූගත ජලය පමණ ඉක්මවා, ඉවක් බවක් නොමැතිව භාවිතා කර තිබේ. අප අපගේ පැවැත්ම උදෙසා භූගත ජලය එලෙස පරිභෝජනය කරද්දී - පෘථිවිය අභ්‍යන්තරයෙන් වියළීමට පටන් ගත්තේය.
දැන් එහි බලපෑම පෘථිවියේ කැරැකීමට පවා බලපෑම් එල්ල කර තිබේ. භූගත ජලය ඉවක් බවක් නැතිව අප භාවිතයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, පෘථිවියේ අක්ෂය වටා භ්‍රමණය වීමේ ආනතිය හෙවත් ඇලවීම වෙනස් වී ඇත. පෘථිවිය කලින් තිබූ තත්ත්වයට වඩා තවත් අඟල් 31.5 කින් මේ වන විට ඇලවී ඇතැයි දැන් සොයාගෙන තිබේ. මෙය සුබ ආරංචියක් නම් නොවේ.
පෘථිවියේ ඇති මිරිදිය ජලයෙන් සියයට 99 ක් ඇත්තේ භූගත ජලයයි. ලොව පුරා ඇති භූගත ජලය ඉතා වේගයෙන් ක්ෂය වීමට පටන් ගත්තේ මහා පරිමාණයෙන් අප ඒවා ඉහළට පොම්ප කරන නිසාය. වාර්ෂිකව මනුෂ්‍ය පරිහරණය සඳහා ලබාගන්නා, භූගත ජල ප්‍රමාණය ගැලුම් ට්‍රිලියන 75 ක් බව පැවැසෙයි.
පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ඉලිප්සාකාරව පරිභ්‍රමණය වෙමින් පවතී. මෙම අක්ෂය යනු - භූවිද්‍යාඥයන් විසින් පෘථිවිය මධ්‍යයේ ඇතැයි කියා උපකල්පනය කොට නිර්මාණය කරන ලද කල්පිත රේඛාවක් වේ. විද්‍යාඥයන්ට අනුව, 1993 වසරේ සිට 2010 දක්වා කාලයේ, පෘථිවියේ භූගත ජලය ගිගාටොන් 2,150 ක ප්‍රමාණයක් අප විසින් පරිභෝජනයට ගෙන ඇත. පෘථිවියේ ඇලවීම වෙනස් වීමට පටන්ගෙන ඇත්තේ ඒ අනුවය.
විශ්වයේ සිට බලන විට ගෝලාකාර සේ පෙනුනත්, පෘථිවියෙහි සැබැවින්ම ගෝලාකාර ස්වරූපයක් නැත. එය අර්තාපල් ගෙඩියක් වැනිය. පෘථිවියට ඇත්තේ මතුපිට ගැටිති පිරුණු අසම්පූර්ණ හැඩයකි. පෘථිවිය මතුපිට කඳුවැටි මෙන් ම සානු සහ සාගරවලින් පවතී. පෘථිවිය නොනැවතී කැරකෙන බඹරයක් වැනි ය. පෘථිවිය කැරකෙන්නේ මෙවැනි භූ විෂමතා ලක්ෂණ ද සමගිනි.
භූගත ජල ප්‍රමාණය අඩු වී යද්දී, එය පෘථිවියේ ස්කන්ධයට බලපෑම් එල්ල කරයි. පෘථිවියේ සමබරතාව වෙනස් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය වෙව්ලන්න පටන් ගනී. මෙය අපට පමණක් නොව, පෘථිවියේ සියලුම ජීවීන්ට හොඳ දෙයක් නොවෙයි. දැනටමත් අප මෙහි ප්‍රතිඵල අත්විඳිමින් සිටී. ඉදිරියේ දී මෙම තත්ත්වය වඩාත් උත්සන්න වනු ඇත.
පෘථිවියේ හැසිරීම අසාමාන්‍ය බවත්, පෘථිවියේ අක්ෂයට යම් බලපෑමක් එල්ලවෙමින් පවතින බවත්, භූ විද්‍යාඥයන්ට අවබෝධ වූයේ 2000 වසරේදීය. ඒත් එසේ වන්නේ භූගත ජලය ක්ෂයවීමේ ප්‍රතිඵලයක් නිසා යැයි ඔවුන් වටහා ගත්තේ - වසර ගණනක අධ්‍යයනයකින් අනතුරුවය. වසර 24 කට පමණ පසු සිදුවී ඇත්තේ කුමක්දැයි විද්‍යාඥයන් අවබෝධ කර ගනිද්දී සියල්ල සිදුවී හමාරය.
පෘථිවියේ මෙම ඇලවීම, ගෝලීය උණුසුම ඉහළ දැමීමට ද හේතුවක් වී ඇත. ගෝලීය උණුසුම එසේත් නැතිනම් පෘථිවි උෂ්ණත්වය අහිතකර ලෙස ඉහළ යෑම පසුපස සිටින්නේ ද මනුෂ්‍ය අප වීම කනගාටුවට කරුණකි. අපේ වළ අප කපා ගන්නවා යැයි කීමට මීට වඩා හොඳ උදාහරණයක් ඇත්තේ නැත. ගෝලීය උණුසුම ඉහළ යද්දී ද්‍රැව අයිස් තට්ටු සහ ග්ලැසියර දියවෙයි. මේ වනවිටත් ග්ලැසියර බොහොමයක් දියවී සාගර ජල මට්ටම ඉහළ ගොස් ඇත. විද්‍යාඥයන්ට අනුව, 2050 වසර වෙද්දී, සාගර ජල මට්ටම අඩියකින් පමණ ඉහළ යනු ඇත. පෘථිවිය ඇලවීම මෙම තත්ත්වය තීව්‍ර කිරීමට හේතුවක් වී ඇත . මහා ජල ගැලීම්, ප්‍රචණ්ඩ වැහි කුණාටුවලට හේතුව ද මෙම ඇලවීම යැයි විද්‍යාඥයන්ගේ අදහසය. පෘථිවියේ ඇලවීමේ ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ අපට බිහිසුණු කාලගුණික පෙරළිවලට මුහුණ දීමට සිදුවනු ඇත.
අප සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණීය ග්‍රහයන් සිවුදෙනෙකි. බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු යනු ඒවාය. මේ පාෂාණීය ග්‍රහයන් සියල්ල අතරින් අප පෘථිවිය මුළුමනින්ම වෙනස් එකකි. භූගත ජලයට අමතරව පෘථිවිය මත සාගර පවතී. ආරම්භයේ දී සඳහන් කළ පරිදි පෘථිවියේ ජීවය බිහිවූයේ සාගරයෙනි. පෘථිවියට මුලින්ම ජලය ලැබුණේ කෙසේද? පෘථිවියට ජලය ආවේ කෙසේද? මෙය ද වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වී තිබුණි.
විද්‍යාඥයන් මේ වනතුරු සිතා සිටියේ පෘථිවි වායුගෝලය පසාරු කරමින් පැමිණි, දැඩි තාපය නිසා උණුවුණු උල්කාෂ්මවලින් පෘථිවියේ ජලය නිර්මාණය වෙන්නට ඇතැයි කියාය. ඒත් එය උල්කාෂ්මයක් නොව පෘථිවියට වැටුණු වල්ගාතරුවක් බව විද්‍යාඥයෝ දැන් පැහැදිලි කරති. අභ්‍යවකාශයේ රඳවා ඇති ’ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත හා තොරතුරු ආධාරයෙන්, පෘථිවියට ජලය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සමත් ව සිටිති. නාසා විද්‍යාඥයන් මෙම අලුත් අදහස ඉදිරිපත් කර ඇත්තේ ’ජේම්ස් වෙබ්’ අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, වල්ගා තරුවක් අධ්‍යයනය කරමිනි. මේ වල්ගා තරුව, අඟහරු සහ බ්‍රහස්පති කක්ෂයන් අතරේ ඇති ප්‍රධාන ග්‍රහක වළල්ලට අයත් එකකි.
විද්‍යාඥයන් අධ්‍යයනය කළේ 238පී/රීඩ් නමැති වල්ගා තරුවය. මෙම වල්ගා තරුව වටා වලාකුළක් මෙන් ජල වාෂ්ප දකින්න ලැබේ. වල්ගා තරුවක් වටා මේ අයුරින් ජලවාෂ්ප ඇති බව සොයාගත් පළමු අවස්ථාව මෙයයි. විද්‍යාඥයන් වල්ගා තරුවේ ඇති මෙම ජල වාෂ්ප වලාකුළ නම් කර ඇත්තේ ’කෝමා’ යනුවෙනි. ජල වාෂ්ප මෙසේ වලාකුළක් ලෙස දකින්න ලැබෙන්නේ, වල්ගාතරුව එහි කක්ෂය හරහා හිරු ආසන්නයෙන් යද්දී එහි ඇති අයිස් දියවීම හේතුවෙනි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි