මැද මාලයේ බුදු මැඳුරේ සැතපෙන බුදුපිළිමය සහ සෙසු පිළිම
බුදුමැදුරට ඇතුළුවන දොරටුවට උඩින් බ්‍රිතාන්‍ය කිරුළ සහ මහ රැජිනගේ රුව සිත්තම්කර ඇති අයුරු
බ්‍රිතාන්‍ය කිරුළට, වික්ටෝරියා මහරැජිනගේ රුවට සහ ජෝර්ජ් රජතුමාගේ රුවට හිසනමා ඇතුළුවිය යුතු විස්මිත බුදුමැඳුරක් .....? ඔව් මේ, අපේ විහාරස්ථානයක විහාර මන්දිරයකි.
මේ විහාර මන්දිරය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව කතළුව ප්‍රදේශයේය. (අතීතයේ දී කතළුව හඳුන්වා ඇත්තේ කතළුගොඩ නමිනි).
පූර්වාරාම රජමහා විහාරය නමින් හැඳින්වෙන මෙම විහාරස්ථානයේ තිබෙන අසාමාන්‍ය විහාර මන්දිරයේ විශේෂත්වයන් රැසකි.
කතළුවේ විජිතසිරි හිමිපාණෝ |
මේ විහාර මන්දිරය නම් අපේ රටේ ඇති සියලු විහාර මන්දිර වලට වඩා වෙනස් සුවිශේෂී එකකි.
ඇතුළත මාලය සහ පිටත මාලය යනුවෙන් පරිශ්‍ර දෙකකි. විහාර මන්දිරයට ඇතුළු වෙන ප්‍රධාන දොරටුවේ උළුවස්සට උඩින් දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ඔටුන්නයි. ඊට යටින් ජෝර්ජ් රජතුමා සිත්තම් කර තිබේ. එම දොරටුවෙන් විහාර ගෙට ඇතුළුවෙන විට මුලින්ම හමුවෙන පිටමාලයේ හැම බිත්තියකම, හැම සිවිලිමකම සිතුවම්ය. ජනෙල් පට්ටමේ පවා සිත්තම් කර ඇත්තේය. බිතු සිතුවම් අතර - බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේ සිදුවීම්, ජාතක කතා, දිව්‍ය ලෝකය වගේම අපාය ද දැකිය හැකිය.
බිත්ති පුරා වෙස්සන්තර ජාතකය, දාන පාරමිතාව, කුට්ටහාර ජාතකය, චුල්ල ධම්මපාල ජාතකය, මහා සුතසෝම ජාතකය, කණ්ඩහාල ජාතකය සහ නිමි ජාතකය සිතුවම් කර තිබේ. එමෙන්ම නන්නදිය උපාසක කතාව, සෝරයියා සිටුතුමා, පටාචාරා කතාව, මසුරු සිටාණන්ගේ ගේ කතාව මෙන්ම, මහධන සිටුතුමා ගේ කතාව මනරම් අයුරින් සිතුවම් කර තිබේ.
මෙම බිතු සිතුවම් අතර - මහනුවර යුගයේ පහතරට ශිල්පි මුල් අවස්ථාවේ, මහනුවර යුගයේ උඩරට ශෛලියේ සහ 19 වැනි සියවසට අයත් යැයි අනුමාන කළ හැකි තුන්වැනි කාල ශෛලියේ සිතුවම් ඇති බවට පුරාවිද්‍යා අධ්‍යයනයන්හි නියුතු වූවෝ පවසති. පිටරට ආභාෂයේ ඇඳුම් පැලඳුම් හා භාණ්ඩ ද, මෙම ඇතැම් බිතු සිතුවම් වල තිබීම විශේෂත්වයකි. තවද, විශ්මය උපදවන අසාමාන්‍ය දොරටුපාල සිතුවම් ද මෙහිදී දැකිය හැකිය.
බුදුගෙයි දොරටුපාලයන් බහිරවයන් ළඟින්ම සිත්තම් කර ඇත්තේ ඉංග්‍රීසි සොල්දාදුවන්ය. තුවක්කු අතැතිව මේ සොල්දාදුවන් සිත්තම් කර ඇති අතර, තුවක්කුවල අංක පවා දැකිය හැකිය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම බිතු සිතුවම් සිත්තම් කර ඇති බවට එයද කදිම සාක්කියකි. පිට මාලයේ සිට බුදුමැදුරට ඇතුල්වෙන ප්‍රධාන දොරටුව විස්මය දනවන්නකි. උළුවස්සට උඩින් බ්‍රිතාන්‍ය කිරීටයය. ඊට යටින් වික්ටෝරියා මහරැජින සිතුවම් කර ඇත්තේය.
දොර උළුවස්ස එතරම් උස නැති හෙයින්, කොයි කවුරු වුවත් - බුදුගෙට ඇතුළුවෙන විට මෙම ස්ථානයේ දී හිස නමා ඇතුල්විය යුතුය. එවිට නිතැතින්ම මහරැජිනටත් හිස නැමෙන්නේය. බුදුගෙය තුළ - 18 රියන් බුදුපිළිම වහන්සේ නමක්, සමාධි පිළිමයක්, හිටි පිළිමයක් සහ සමන් පිළිම දෙකක් දැකිය හැකිය. මේවායෙහි දඹුලු විහාරේ බුදුපිළිමවල ලක්ෂණ දක්නට ලැබේ. සැතපෙන පිළිම වහන්සේගේ සිරස තබන කොට්ටය අසලින් හාරා - නිධන් හොරු අතීතයේ අවස්ථා දෙකක දී නිධන් සොයා තිබූ බව විහාරාධිපති හිමියෝ පැවසූහ.
අද දක්නට ලැබෙන බිතු සිතුවම් කඩොල්ගල්ල සිත්තර පරම්පරාවේ කඩොල්ගල්ල මහ සිත්තරා සහ පොඩි සිත්තරා විසින් සිදුකළ බවට මතයක් තිබේ. මෙම විහාරස්ථානයේ ඉතිහාසය දේවානම්පියතිස්ස සහ කාවන්තිස්ස රජ දවස දක්වා දිවයන බවට සාක්කි ඇතැයි අවධාරණය කරමින් විහාරාධිපති කතළුවේ විජිතසිරි හිමිපාණෝ - රජ දවස අඳින ලද ඇතැම් සිතුවම්වලට උඩින්, යටත් විජිත සමයේ බොහෝ සිතුවම් නිර්මාණය කර ඇති බවට සාක්කි ඇතැයි ද ප්‍රකාශ කළහ.
වසර 5 කට පමණ පෙර මේ සිතුවම් සංරක්ෂණය කිරීමට පැමිණි පිරිසක් කළ පිරිමැදීමක දී - ඉපැරැණි සිතුවම් මතු වූ බවත්, ඒවා වසා දැමීමට ඔවුන් ද උත්සාහ කළත්, තමාගේ දැඩි විරෝධතාව නිසා එම කටයුතු නතර කර ඔවුන් ආපසු ගිය බවද උන් වහන්සේ තවදුරටත් පැවසූහ.
අපි විහාරාධිපති හිමියන්ට සවන් දෙමු.
“මෙම විහාරස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලයට අයත් එකක්. බොහෝ හාස්කම් තිබෙන බවට විශ්වාසයක් තිබෙනවා. චෛත්‍යය කාවන්තිස්ස රජ දවස අමාත්‍යවරයෙක් විසින් කරවූ බව ජනප්‍රවාද වල සඳහන් වෙනවා. මැද මාලයේ සැතපෙන බුදු පිළිමය, සමාධි පිළිමය සහ සක්මන් පිළිම දෙක දඹුල්ල විහාරයේ පිළිම වලට සමානයි. රැජිනගේ කාලයේ මෙහි පිටත මාලයේ ප්‍රතිසංස්කරණයක් සිදුකර – රැජිනගේ, ජොර්ජ් රජුගේ චිත්‍ර ඇඳල තියෙන බව හිතන්න පුළුවන්. ඒ වර්ෂය 1886 කියල සටහන් කර තිබුණත්, සුතසෝම ජාතකය ඇඳපු චිත්‍රයේ පෙනෙන පුස්තාලයක දර්ශනයේ පොතක 1881 කියල සටහන් වෙලා තියෙනවා. ඒ නිසා 1881 මේ කටයුතු ආරම්භ කළා කියලත් හිතන්න පුළුවන්. ඉපැරැණි මැද විහාර පරිශ්‍රයේ හෙල්ල අතින් ගත් ස්වදේශික ස්වරූපයේ රැකවලුන් නිර්මාණය කර ඇතත්, පිට මාලයේ දක්නට ලැබෙන්නේ - තුවක්කු අතින් ගත් බ්‍රිතාන්‍ය ස්වරූපයේ රැකවලුන් ලෙස ඇති නිර්මාණයි.”
“මේ සියල්ල විමර්ශනාක්ෂියෙන් බලනකොට - යටත් විජිත සමයේ මේ උත්සාහ කරල තියෙන්නේ, අපේ ඉතිහාස චිත්‍ර උඩින් චිත්‍ර ඇඳල, අපේ ඉතිහාසය යටපත් කරල, යටත් විජිත සමය ඉස්මතු කිරීමට බව පැහැදිළියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙනත් වග කිවයුතු අංශයක් ඉදිරිපත් වෙලා - මේ ඉතිහාසය නිරවුල්ව සොයාබැලීම ජාතියේ අවශ්‍යතාවක් වුණත්, ඒගොල්ල එහෙම උත්සාහයක් කරන්නේ නැහැ.
අඩුම ගණනේ මේ විහාරස්ථානයට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස හඳුන්වාදෙන පුවරුවක් වත් සවි කරල නැහැ. ඒක කනගාටුවට කරුණක්.
කිසිවෙක් සොයා නොබැලීම නිසා විහාරස්ථානය ද දිනෙන් දින අභාවයට යන අතර, ඉතිහාසය ද වහංවී යනවා”
විජිතසිරි හිමිපාණෝ අවධාරණය කරමින් කියා සිටියහ.
දුලබ පිළිම
ඉපැරණි චෛත්‍යය
ඉපැරණි සිතුවම් මතුවන හැටි
ඉපැරණි නිර්මාණ
විදේශීය ඌරුවේ සිතුවම්
සංචාරක සටහන සහ ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ