වසර 30ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී යුද්ධය යුදමය වශයෙන් පරාජය කර දැනට වසර 16කි. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුනු අතර යුද්ධය පැවති කාලයේදී ශ්‍රී ලංකාවේ උතුරෙත් දකුණෙත් අහිමිවී ගිය ජීවිත ගණන දස දහස් ගණනකි. ආර්ථියට එල්ල වූ හානිය ද ඩොලර් බිලියන ගණනකි. ශ්‍රී ලංකා හමුදාවන් දියත් කළ මානුෂික මෙහෙයුමෙන් එල්.ටී.ටී.නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයන් ඝාතනය වීමත් සමග රට සාමාකාමී මාවතකට යොමුවිය.
එහෙත්, යුද්ධය පැවති සමයේ දී මෙන්ම යුද්ධය නිමාවුණු පසුවද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල චෝදනාවක් හා බලපෑමක් එල්ල වූයේය. ඒ යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදාවන් හා නිලධාරීන් යුද අපරාධ සිදුකර ඇති බවටය. එසේත් නැතිනම් මානව හිමිකම් උල්ලංඝනය කළ බවටය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ මෙම චෝදනාව සෑම වසරකම නැගෙන්නකි. යුද අපරාධ පිළිබඳව හා මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම්වලට සම්බන්ධ පිරිස්වලට නීතිමය පියවර ගතයුතු බවට ජාත්‍යන්තර සංවිධාන හා රටවල් ශ්‍රී ලංකාවෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදුකරමින් පවතී.
මෙම ඉල්ලීම් හා ඔවුන්ගේ බලපෑම වසර 16ක් ගියත් අවසන් නොවී ඇති බැව් පැහැදිලි කරුණකි. මෙම සිදුවීම් ක්‍රියාදාමයේ නවතම සිදුවීම වන්නේ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට සෘජුව දායක වූ සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමේ සිද්ධියයි. හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ අංශ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එම සිවු දෙනාය.
එක්සත් රාජධානිය මෙම සිවුදෙනාට සම්බාධක පැනවීමට අදාළ චෝදනා ලෙස එල්ල කර ඇත්තේ යුද්ධය අතරතුර නීතිවිරෝධී ඝාතන, වද හිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදුකිරීම් ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කළ බවටය. ඒ අනුව මොවුන් සිවුදෙනාට පැනවූ සම්බාධක ලෙස එක්සත් රාජධානියේ සංචාරය කිරීම තහනම් කිරීම හා එරට තුළ ඔවුන් සතුව වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක කිරීමට කටයුතු කරන බව එක්සත් රාජධානියේ විදේශ අමාත්‍ය ඩේවිඩ් ලැමී නිවේදනය කළේය.
සම්බාධක පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, මෙරට පුද්ගලයන් සිව් දෙනෙකුට සම්බාධක පැනවීම එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒක පාර්ශ්වික පියවරක් වන බවත් ඒ අනුව රටවල් විසින් ගනු ලබන එවැනි ඒක පාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහායක් නොදක්වන බවත් එය තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවත්ය.
එමෙන්ම, වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රන ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේ දී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වන බවත් සඳහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ පාර්ශ්ව කීපයක්ම මෙම සම්බාධක පැනවීම අසාධාරණ ක්‍රියාවක් බවට ද ප්‍රකාශ කරයි. යුද්ධය නිමා කිරීමේ දී රටේ රාජ්‍ය නායකයාව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ අදාළ සම්බාධක පැනවීම හෙළා දකිමින් සඳහන් කරනුයේ යුද්ධයට අණ දුන්නේ තමා බවත් නිලධාරීන් කළේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බවත්ය.
එමෙන්ම මේ වන විට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ද අදාළ සම්බාධක පැනවීම ප්‍රතික්ෂේප කර තිබේ.
දශක ගණනාවක් තිස්සේ මෙරට ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමටත් තමන් අප්‍රතිහත කැපවීමෙන් කටයුතු කළ බව කරන්නාගොඩ පවසයි. යුද පිටියේදී මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණුවල දී ද බාහිර මැදිහත්වීමකට එරෙහිව රට ආරක්ෂා කිරීමේදී ද ස්ථීරව සිටිමින් ඊට මුහුණ දුන් තමන්ට එක්සත් රාජධානිය පනවා ඇති අයුක්ති සහගත සම්බාධකවලට මුහුණදීමට සිදුවී ඇති බව ඔහු හඳහන් කරයි.
මෙම සම්බාධක කිසිදු විනිවිඳ පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන අතර ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුකරන ජාත්‍යන්තර බලපෑමක් බවත් වසන්ත කරන්නාගොඩ වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වුණේ යැයි හඬ නගන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද එක්සත් රාජධානියේ සම්බාධක පැනවීම සාධාරණය කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව එම සංවිධානය පවසයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිදු උත්සාහයක් නොගන්නාතාක් කල් විදේශීය රාජ්‍යයන් සම්බාධක පැනවීම අඛණ්ඩව සිදුකළ යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින සාක්ෂි භාවිත කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
තත්ත්වය එසේ තිබියදී එක්සත් රාජධානිය ශ්‍රී ලාංකිකයන් සිව් දෙනාට සම්බාධක පැනවීමට හේතු වූ කරුණු සලකා බැලීමද වැදගත් දෙයකි.
-
ලෝකය පුරා ඊළාම් හිතවාදී ඩයස්පෝරාව එක්සත් රාජධානියේ ජය ලැබීම
කළු ජූලිය හා බෙදුම්වාදී යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් විශාල පිරිසක් ලෝකයේ විවිධ රටවලට ගොස් දේශපාලන රැකවරණය ලබා ගත්හ. මේ වන විට පරම්පරා තුනකට අයත් පිරිසක් ඒ ඒ රටවල සරණාගතභාවය හෝ පුරවැසි භාවය ලබා සිටිති. ප්‍රධාන වශයෙන් කැනඩාව, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු රටවල් කීපයක සිටින දෙමළ පුරවැසියන් ගණන අති විශාලය.
මෙම පිරිස් අතරින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ඊළාම් යුද්ධයට සහාය ලබාදුන්නෝ වෙති. මෙම ඊළාම් හිතවාදී දෙමළ ඩයස්පෝරාව යුද්ධය ආරම්භයත් සමගම දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක විය. යුද්ධය පැවති සමයේ දී ඊළාම් හිතවාදී ඩයස්පෝරාව ප්‍රධාන කාර්යයන් තුනක් ඉටුකරනු ලැබීය. ඉන් පළමු වැන්න ප්‍රචාරාත්මක වැඩපිළිවෙළයි. දෙමළ ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන යන සටනට සෑම අතින්ම ප්‍රචාරය දීමට ඔවුන් කටයුතු කරනු ලැබීය. දෙවැන්න වන්නේ අරමුදල් එකතු කිරීමයි. විදෙස් ගත බැංකු ගිණුම් පවත්වා ගනිමින් ලොව පුරා සිටි දෙමළ ජනයාගෙන් මුදල් රැස්කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත මුදල් ලබාදීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් මුදල් එකතු කිරීමට පරිබාහිරව විවිධ ව්‍යාපාර පවත්වාගෙන යමින් මෙම කටයුත්තෙහි ඔවුහු නියැළීමට කටයුතු කළේය. මෙම කටයුතුවල නායකයා වූයේ කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ය. ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර නායකයා ලෙසත් මූල්‍ය කටයුතු මෙහෙයවන්නා ලෙසත් කටයුතු කළේය. යුද හමුදා විශේෂ බුද්ධි මෙහෙයුමකින් කේ.පී.ව මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට නොගෙනෙන්න ඇතැම් විට යුද්ධය නිමාකිරීමත් පසුවීමට ඉඩ තිබිණි. කේ.පී. සතුව තිබූ නැවක් පවා එවකට යුද හමුදා බුද්ධි මෙහෙයුමකින් ශ්‍රී ලංකාව අත්පත්කර ගත්තේය. තුන්වැනි කාර්යය වන්නේ රැස් කරගන්නා මුදල් වලින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුදමය වශයෙන් අවශ්‍ය කරන යුද්ධෝපකරණ ලබා ගැනීමයි. සයනයිඩ් කරලේ සිට නවීන ගිනි අවි, මල්ටිබැරල්, කාලතුවක්කු, නැව්වලට පහර දුන් ටෝපිඩෝ, ප්‍රහාරක යාත්‍රා, ගුවන්යානා ඇතුළු සියලුම අවි ආයුධ නැව් පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුනට හැකි වූයේ මේ ඩයස්පෝරාවෙන් ලැබුණු අතිවිශාල ධනස්කන්ධය නිසාය.
ඒ වාගේම, මෙසේ සාමූහිකව ඩයස්පෝරාවක් සේ එක්වී එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදව් කරන ගමන්ම ඔවුන් තවත් තීරණාත්මක දෙයක් ඒ ඒ රටවල් තුළ ක්‍රියාත්මක කළේය. ඒ එම රටවල් තුළ විවිධ ආකාරයට කණ්ඩායමක් ලෙස දේශපාලනිකව ද ශක්තිමත් වීමය. පරම්පරා කීපයක් නියෝජනය වන නිසා ඒ ඒ රටවල දේශපාලනමය වශයෙන් හා රාජ්‍ය ආයතන වශයෙන් විවිධ තනතුරු ලබමින් ප්‍රාන්තයකට නැතිනම් සමස්ත රටටම බලපාන අයුරින් බලපෑමක් වීමට ඔවුහු ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වීමට කටයුතු කළහ.
වර්තමානය වන විට එහි එක් කූට ප්‍රාප්තියක් වන්නේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට හා නීතිපති ධුරයට ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද ගැරී ආනන්ද සංගරී පත්වීමය. මේ වන විට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය වැනි රටවල්වල ඒ ඒ රටවල ක්‍රියාත්මක පක්ෂ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට තරම් දෙමළ ඩයස්පෝරාව ශක්තිමත්වී සිටියි. වර්තමානය වන විට ආයුද නොගත්ත ද ප්‍රචාරාත්මකව හා මූල්‍ය ස්ථාවරත්වයෙන් ඔවුහුු තවමත් ශක්තිමත්ව සිටිති.
ශ්‍රී ලංකාව යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළත් දිගු කලක් තිසේසේ හැදී වැඩුණු ඊළාම් හිතවාදී ඩයස්පෝරාවට දේශපාලනික වශයෙන් මුහුණ දීමට පැවති රජයන්ට නිසි වැඩපිළිවෙළක් නොතිබීම ද ඊළාම් හිතවාදී ඩයස්පෝරාව ශක්තිමත් වීමට සහායක් ද විය. විශේෂයෙන් ඒ ඒ රටවලට පත්කර යැවුණු දූත මණ්ඩලවල දුර්වලතා නිලධාරීන්ගේ නොහැකියාවන් ද ඊට හේතු වූවේය. වර්තමානය වන විටත් එම තත්ත්වයේ සාධනීය වෙනසක් නොමැත.
මෙවැනි පසුබිමක ලොව පුරා සිටින ඊලාම් හිතවාදී දෙමළ ඩයස්පොරාවට වර්තමානයේ දී ද අවශ්‍ය වන්නේ යුදමය වශයෙන් ලබාගත නොහැකි වූ ඊළාම් රාජ්‍යයේ සිහිනය දේශපාලනිකව හෝ ලබා ගැනීමටය. දේශ සීමා ඉක්ම වූ දෙමළ රාජ්‍ය හෙවත් රටින් එපිට ඊළාම් රාජ්‍යයක සංකල්පය ඇමෙරිකාවේ සිටින විශ්වනාදන් රුද්‍රකුමරන් විසින් වර්තමානය වන විටත් ක්‍රියාත්මක කරමින් සිටියි. නාමික පාර්ලිමේන්තුවක් පවා ඊළාම් හිතවාදී ඩයස්පෝරාව තුළ සංවිධානය කර ඔහු එහි අගමැති ධුරයට පවා පත්වීය. මේ නිසා ලොවපුරා සිටින ඊළාම් හිතවාදී ඩයස්පෝරාව තවමත් ඔවුන්ගේ ඊළාම් සිහිනය අත්නොහැර ඇති බව පැහැදිලිය.
එක්සත් රාජධානිය මේ කළේ කුමක්ද?
යුද්ධය නිමවා වසර 16කට පසුව හිටිහැටියේම එක්සත් රාජධානිය එල්.ටී.ටී.ය පරාජය කිරීමට පුරෝගාමීව කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකුට සම්බාධක පැනවීමට ක්‍රියා කිරීම තුළ ඊළාම් හිතවාදී ඩයස්පෝරාවේ බලපෑම පවතින බැව් ඉතා පැහැදිලි කරුණකි. වර්තමානයේ එක්සත් රාජධානියේ දේශපාලනයේ දිශානතිය තීන්දු කිරීමට යම් බලපෑමක් කිරීමට එක්සත් රාජධානියේ සිටින දෙමළ ඩයස්පෝරාවට හැකිවී තිබේ.
ඇමෙරිකානු පාලනය වෙනස් වීමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ආර්ථිකය නඟා සිටුවීමට මූලිකත්වය දෙමින් පසුගිය කාලයේ ගනු ලැබූ විශේෂ තීන්දු තීරණ ලොව පුරා ඊලාම් හිතවාදී දෙමළ ඩයස් පෝරාවට හිතකර වන්නක් නොවුණි.
මූලික වශයෙන් (USAID) ?? (ඇමෙරිකානු ආධාර) වැඩසටහන ඉවත්කර ගැනීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෙවත් UNCHR වෙතින් ඉවත්වීම, විවිධ ආකාරයේ ලොව පුරා ක්‍රියාත්මක වූ වැඩසටහන්වලින් ඉවත්වීම ද ඊළාම් හිතවාදී දෙමළ ඩයස්පෝරාව යම් ප්‍රමාණයෙන් දුර්වල කිරීමට සමත් වූවක් විය. එවැනි පසුබිමක ඊළාම් හිතවාදීන්ගේ ගොදුර බවට ඔවුන් සූක්ෂමව යොදා ගත්තේ එක්සත් රාජධානියේ වත්මන් රජයයි. ඇමෙරිකාව නැතත් ඔබ සමග අපි ඉන්නවා යන්න පෙන්නුම් කිරීමට එක්සත් රාජධානියේ වත්මන් රජය මෙම සම්බාධක දැමීමට ක්‍රියාකළ බැව් පැහැදිලිය.
-
සම්බාධක සිවු දෙනෙකුට පමණක් දැම්මේ ඇයි ?
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සිවු දෙනෙකුට පමණක් සම්බාධක දැමීම පිටුපස ද පවතින්නේ ඊළාම් හිතවාදී දේශපාලනමය වශයෙන් පුද්ගලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක් බැව් පැහැදිලි කරුණකි. යුද්ධය නිමා කළ ත්‍රිවිධ හමුදාපතිවරු සිටිය දී නාවික හමුදාපතිව පමණක් ලැයිස්තුවට එක්කර තිබේ. එමෙන්ම එවකට යුද්ධය නිමා කරන විට යුද හමුදාවේ මේජර් ජෙනරාල් හා බ්‍රිගේඩියර් තනතුරු දැරූ බොහෝ පිරිසක් සිටිය දී දෙදෙනෙකු පමණක් ලැයිස්තුවට එක්කර සිටී. ඒ අනුව මොවුන් තෝරා ගැනීම අහම්බයක් නොවන්නකි.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව සම්බාධක ලැයිස්තුවට එක් කිරීමට ප්‍රධානම හේතුව වන්නේ ඊළාම් හිතවාදීන්ගේ වර්තමානයේ සිටින පරම හතුරා ඔහු වන නිසාය. යුද්ධය පැවති සමයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට ප්‍රභාකරන්ට ප්‍රධානතම ශක්තිය වී සිටියේ නැගෙනහිර පළාත් සන්නද්ධ අංශයේ නායකයාව සිටි කරුණා අම්මාන්ය.
එවකට යුද්ධයට වැඩියෙන්ම බඳවා ගැනීම් සිදු කළේ නැගෙනහිර පළාතෙනි. එමෙන්ම යුද්ධයට ක්‍රියාකාරී සටන්කරුවන් සිටියේ ද කරුණා අම්මාන් සතුවය. එසේම යුද්ධයේ දී බහුතරයක් මරණයට පත්වූවන් වූයේ ද නැගෙනහිර පළාතේ කරුණා අම්මාන් සමග සිටි අයයි. එවන් තත්ත්වයක දී යුද හමුදා බුද්ධි අංශය සිදුකළ දීර්ඝ කාලීන බුද්ධි මෙහෙයුමකින් කරුණා අම්මාන්ව හමුදාවට පක්ෂපාතී කරගැනීමටත් යුද්ධය ජයග්‍රහණය කිරීමට ඔහුගේ බුද්ධි හැකියාව, ඔහුගේ සබඳතා යොදා ගැනීම කෙරෙහි ඊළාම් හිතවාදීන් සිටින්නේ කරුණා අම්මාන් සමග ජන්මාන්තරගත වෛරයකිනි.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාව මෙම ලැයිස්තුවට එක් කිරීමට මූලික හේතුවක් වනුයේ යුද සමයේ දී නාවික හමුදාව යුද්ධය ජයග්‍රහනය කිරීමට සිදුකළ විශාල දායකත්වයයි. ඒ සඳහා නායකත්වය ලබා දීමයි. ඊළාම් හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින් මිලදී ගනු ලබන ආයුද නැව් ගණනාවක්ම කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා යටතේ විනාශ කිරීම ඊළාම් හිතවාදී ඩයස්පෝරාවට වැදුණු මරු පහරවල් විය.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය දෙදෙනාව මෙම ලැයිස්තුවට එක්වීමට තිබෙන ආසන්නම හේතුව වන්නේ යුද්ධය නිමාකරන සමයේ දී ජගත් ජයසූරිය වන්නි ආඥාපති ලෙසත් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසත් යුද පෙරමුණේ සක්‍රියවම කටයුතු කළ රණවිරුවන් දෙදෙනෙක් වීමය. ඔවුන් දෙදෙනා යුද්ධය ජය ගැනීමට සක්‍රියවම දායක වූවන් දෙදෙනෙක් වීමය.
මෙයින් පෙනී යන්නේ එක්සත් රාජධානියේ වත්මන් රජය ඊළාම් හිතවාදීන්ගේ කීම මත ඔවුන්ගේ සහාය තවදුරටත් ලබාගැනීමේ අදහසින්ම ඉහත ශ්‍රී ලංකිකයන් සිවුදෙනාට සම්බාධක පැනවීමට කටයුතු කළ බවයි.
-
එක්සත් රාජධානියට ඇඩෙල් බාලසිංහම් මතක් නොවුණේ ඇයි ?
ඇඩෙල් ඈන් විල්බි හෙවත් ඇඩෙල් බාලසිංහම් යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම්ගේ දෙවැනි බිරිඳය. ඇන්ටන් බාලසිංහම්ගේ පළමු බිරිඳ පර්ල් රාජරත්නම්ය. ඇයට වැලඳුණු රෝගයක් නිසා ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත්වූවාය. එම රෝහලේම හෙදියක ලෙස කටයුතු කළ ඇඩෙල් ඈන් විල්බි සමග ඇන්ටන් බාලසිංහම් හිතවත්ව සිටියේය. ඇඩෙල් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලද අයෙක් වන අතර කලක් ඕස්ට්‍රේලියාවේ හෙදියක ලෙස කටයුතු කර එංගලන්තයට පැමිණි අයෙකි. බාලසිංහම්ගේ පළමු බිරිඳ මියගිය පසු හිතවතියකව සිටි ඇඩෙල්ව ඇන්ටන් බාලසිංහම් විවාහ කර ගත්තේය.
ඇන්ටන් බාලසිංහම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කිරීම නිසා ඇඩෙල් බාලසිංහම්ද පූර්ණ කාලීනව එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැඩි ලෙස සහාය දැක්වීමට කටයුතු කළාය. අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණි බාලසිංහම් යුවළ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් කිරීමටත් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමටත් කටයුතු කළහ.
විශේෂයෙන්ම හෙදියකවීම නිසාම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සයනයිඩ් කැප්සුලය හඳුන්වාදීම සිදුකරනු ලැබුවේ ද ඇඩෙලා බාලසිංහම් විසින්ය. ඇය ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට, ඔවුන්ට මතවාදී වශයෙන් ඊලාම් රාජ්‍යයක් දිනා ගැනීමට ඉගැන්වීම, කාන්තා අංශයක් බිහි කිරීමට පුරෝගාමී වී කලක් එහි නායකත්වය දැරීම, ජාත්‍යන්තර අවි ජාවාරමට සම්බන්ධවී අවි ආයුධ මිලදී ගැනීම ආදී ත්‍රස්තවාදී ක්‍රියා රැසකට සෘජුවම සම්බන්ධව සිටි අයෙකි. WOMEN FIGHTERS OF LIBERATION TIGERS සහ THE WILL TO FIGHT යනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කරමින් පොත් දෙකක්ද ඇය රචනා කර තිබේ. ත්‍රස්තවාදී සංවිධානයකට එවැනි බැරෑරුම් ලෙස උපකාර කළ ඇඩෙලා වර්තමානයේ එංගලන්තයේ පුරවැසිභාවය ද ලබාගෙන යහතින් සිටියි. එහෙත් ඇයගේ ත්‍රස්ත ක්‍රියා එක්සත් රාජධානියේ වත්මන් රජයට අමතක වූවා සේය. නැතහොත් හිතා මතාම අමතක කළා සේය.
-
රටක් ලෙස ඉදිරියට කුමක් කළ යුතුද?
එක්සත් රාජධානි රාජ්‍ය ඒකපාර්ශ්වීය ලෙස ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සිව් දෙනෙකුට සම්බාධක පැනවීම රජයකට කිසිසේත් සුළු කොට සැලකිය නොහැකි දෙයකි. මූලික වශයෙන් නව රජයක් බලයට පැමිණි අවස්ථාවේ දී, ආණ්ඩුවේ සිටින බහුතරය ආණ්ඩුකරණයට ආධුනිකයන් වුවත් මෙම සිදුවීම තවත් සිදුවීම් ජාලයක ආරම්භයක් වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.
ඇමෙරිකාව එක් පසකින් අඩියක් පසුපසට තබද්දී එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ප්‍රධාන රට වීමට පවතින ඉඩකඩ වැඩිය. විශේෂයෙන් එක්සත් රජධානිය හරහා එරටට හිතවත් බටහිර රටවල් ඊළාම් හිතවාදීන්ගේ පාර්ශ්වයට එක්කර ගැනීමේ අවදානමක් ද පවතී. මේ නිසා දුර දැක්මක් සහිතව ශ්‍රී ලංකාවේ විදෙස් සබඳතා මනා ලෙස කළමනාකරණය කිරීමේ අභියෝගය වත්මන් රජයට ජාතික ආරක්ෂාව වෙනුවෙන් පවතින්නකි.
දුමින්ද සංජීව බාලසූරිය