මායාවි ටෙලි නිර්මාණයේ සරමට හැඩ ගම්බද පවන් සිරි යනු පුංචි තිරයට අනුව මන්ගේෂ්වරීගේ "පවන් පණ" වේ. කඩවසම් දේහධාරී තරුණයෙක් ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු විටෙක ධරණි ටෙලි නිර්මාණයේ දේවින්ද වූ අතර සිදාදියෙ සමනල්ලු ටෙලි නිර්මාණයේ ඩොක්ටර්ගේ චරිතයටත් විසේකාරි ටෙලි නිර්මාණයේ ශේන්ගේ චරිතයටත් පණ පෙවීය. සැබෑ ජීවිතේ නමින් ඔහු හෂාන් රත්නායකයි. රංගනයට මෙන්ම නිරූපණ ශිල්පයටද එක සේ දස්කම් දක්වන ඔහු සමඟ මෙවර සදැල්ල කළ කතාබහයි මේ.
- ඔබ කලාවට පිවිසෙන්නේ නිරූපණ ක්ෂේත්රයෙන් නේද?
ඔව්, මම කැම්පස් යද්දිම නිරූපණයට අඩිය තියනවා. ස්ටයිලිෂ් මාකටර් (Stylish Marketer )කියලා කැළණි විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අංශයෙන් විශ්වවිද්‍යාල ළමයින්ගෙ තරඟාවලියක් සංවිධානය වෙනවා. ඒකෙන් ලබපු ජයග්‍රහණයත් එක්ක 2018 හිරු අවුරුදු කුමරා තරඟාවලියට සහභාගී වෙලා මම දෙවැනි ස්ථානය ලබා ගන්නවා. ඒ වගේම 2019 සිරස අවුරුදු කුමරා තරඟයට සහභාගී වෙලා ඒකෙනුත් දෙවැනි ස්ථානය දිනා ගන්නවා. ඔය විදිහට නිරූපණ ක්ෂේත්රයේ ඉන්න කොට මගේ ඉලක්කයක් තිබුණා කවදහරි ලංකාව නියෝජනය කරන්න ඕනෙ කියලා. ඒ නිසා 2018 මට අවස්ථාව ලැබෙනවා මිස්ටර් යුනයිටඩ් ඒසියා (Mister United Asia 2018) කියන තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් තරඟ වදින්න තායිලන්තයේදී. ඒකෙන් ටයිටල්ස් හතක් මම ජයග්‍රහණය කරනවා. ඒකත් එක්ක 2019 ඉන්දියාවේ තිබුණ ෆේස් ඔෆ් සවුත් ඒසියා මොඩ්ල් ෆෙස්ටිවල්(Face of South Asia Model Festival ) එකට ලංකාව නියෝජනය කරමින් තේරී පත්වෙනවා. ඒකත් නිරූපණ ක්ෂේත්රයෙ ඉන්න කොට මම ලබපු ජයග්‍රහණයක්. ඔහොම යද්දී තමයි 2019 දි මම රංගන ශිල්පියෙක් වෙන්නෙ. මගෙ පළවෙනි ටෙලි නාට්‍ය දෙරණ නාලිකාවේ විකාශය වුණ ධරණි ටෙලි නාට්‍යය. ඒකෙ දේවින්ද කියන චරිතයෙන් තමයි මම ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නෙ. ශ්‍රියන්ත රත්නායක අධ්‍යක්ෂණය කළ, නිදුක් මධුෂික තිර පිටපත් කළ එහි දේවින්ද කියන චරිතයට ගොඩක් ප්රේක්ෂකයො ආදරේ කළා. ඊට පස්සෙ සිදාදියේ සමනල්ලු ටෙලි නාට්‍යයේ ඩොක්ටර් පණ්ඩුකගෙ චරිතය, ගුග්ලි ටෙලි නිර්මාණයේ රදීෂ්, මේ දවස්වල විකාශය වෙන මායාවි ටෙලි නිර්මාණයෙ පවන්ගෙ චරිතය සහ විසේකාරි ටෙලි නාට්‍යයේ ශේන්ගෙ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.
- රංගනය හදාරනවද ?
මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තෙ කළමනාකරණ අධ්‍යයන පීඨයේ. රංගනයට කිසිම පසුබිමක් ඒ හරහා නිර්මාණය වුණේ නැහැ. පාසල් කාලෙදිවත් රංගනය කියන එක විශේෂයෙන් හදාරලා තිබුණෙ නැහැ. මගෙ ඇග ඇතුළෙ කලාකාරයෙක් ඉන්නවා කියලා හඳුනගෙන තමයි මම ක්ෂේත්රයට ආවෙ. හැබැයි මම දැන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මට ක්ෂේත්රයේ ප්‍රවීණයන් වගේම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීනුත් විශාල පිරිසක් හමුවෙනවා. විශේෂයෙන්ම මායාවි ටෙලි නාට්‍යයෙන්. ඒ හැමෝම මට ගොඩක් උදව් කරනවා සහ රංගනයට අවශ්‍ය කරන හැම දැනුමක්ම ඒ පිරිස මට ලබා දෙමින් හොඳ මඟපෙන්වීමක් සිදු කරනවා. ඒ හරහා මම ලොකු දෙයක් ඉගෙන ගන්නවා.ඒ වගේම ඉස්සරහට රංගනය හදාරලා ක්ෂේත්රයේ වැඩකටයුතු ඉදිරියට කරන්නත් බලාපොරොත්තු වෙනවා.
- ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මතක් කරමු
මම රංගන ක්ෂේත්රයට ආවට පස්සෙ වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය මට ලැබෙන්නෙ මේ දවස්වල, විශේෂයෙන්ම මායාවි ටෙලි නිර්මාණයේ පවන් කියන චරිතයට. ප්රේක්ෂකයො විවිධ නම්වලින් හඳුන්වනවා. පවන් කියනවා, පවන, පණ වගේ තැනට එනකල් ගොඩාක් දෙනෙක් ආදරේ කරන නමක් , චරිතයක් බවට අද පවන් කියන චරිතෙ පත් වෙලා තියෙනවා. ඒකට විශේෂම හේතුව තමයි මට හම්බවෙලා තියෙන රංගන ශිල්පීන්ගෙ චරිත , ශ්‍රියාමාලා නැන්දා, බර්ටි මාමා, මන්ගේෂ්වරී, ජමුනා කියලා කියන හිතෛෂි, මේ හැමෝගෙම චරිතවලින් තමයි පවන් කියන චරිතය එළියට ඇවිත් තියෙන්නේ. ඉතින් ගොඩක් අයගෙ ආදරේ ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.
- ඔබ රිදී තිරයටත් අඩිය තිබ්බා නේද?
පළවෙනි අඩිය තියලා තියෙන්නෙ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට. ඒකෙ ඝණ දෙවියන්ගේ චරිතය තමයි මම රඟ දැක්වුවෙ. ඒක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක්. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයගෙ අධ්‍යක්ෂණයක්. ඉන්දියාවේ සමර් තමයි කතරගම දෙවියන්ගේ චරිතයට තෝර ගත්තෙ. ඉතින් එයාගෙ සහෝදරයා වුණ ඝණ දෙවියන්ට ගන්න සමාන චරිතයක් හොයන කොට තමයි විමල් දේශප්‍රිය මහත්මයා මම පාරෙ යනකොට දැකලා මට අඬගහලා ඒ චරිතය දෙන්නෙ. ඉතින් සිනමාවට තිබ්බ පළමුවෙනි අඩියම ගොඩාක් දෙනෙක් ආදරේ කරන දෙවිකෙනෙක්ගේ චරිතයෙන් අඩිය තියන්න ලැබීම සහ විශේෂයෙන් සුනිල් ආරියරත්න මහතාගේ සිනමාපටයකට යොමු වෙන්න ලැබීමත් මගෙ වාසනාවක්. මේ වෙද්දිත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. සීයට සීයක් මගෙ දායකත්වය දෙන්න පුළුවන් චරිතයක් නම් ඉතින් ඉදිරියේ දී ඒවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
- වැඩිපුර කැමති නිරූපණ ක්ෂේත්රයටද? රංගන ක්ෂේත්රයටද කියලා ඇහුවොත් ?
ඇත්තටම මම රංගනයට යොමු වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. මම හිතන් හිටියෙ නිරූපණ ශිල්පියෙක් විදිහට හරි පසුකාලීනව බැංකු නිලධාරියෙක් විදිහට හරි ඉස්සරහට යන්න. එහෙම හිතන් තමයි මම කළමනාකරණ අධ්‍යයන පීඨය තෝර ගත්තෙ. ඒත් මගෙ ඇග ඇතුළෙ තියෙන්නෙ රංගන ශිල්පියෙක් කියලා හඳුන ගන්න මට උදව් කරන්නෙ මගේ පවුලේ අය සහ මගෙ යාළුවො. ඒ අය නිසා තමයි මට ඒක හඳුනගන්න පුළුවන් වුණේ. මම දැන් කැමති ගොඩක්ම රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්රයේ ඉදිරියට යන්න. මොකද ප්‍රේක්ෂක ආදරය ලබනවා කියන්නෙත් අපි ලබන භාග්‍යයක්.
- පවුලෙන් රංගනයට මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නෙ ?
මගෙ පවුලේ මමයි, මල්ලිලා දෙන්නයි අම්මයි ඉන්නෙ. මම හැදුනෙ මගෙ අම්මගෙ අක්කත් එක්ක. මගෙ පොඩි අම්මා කියලා මම එයාට කියන්නේ. මම රංගන ශිල්පියෙක් වෙනවට ගොඩක්ම හීන දැක්කෙ එයා. හැබැයි ගෙදර අය කිසිම වෙලාවක මට බලපෑම් කරලා නැහැ. ගෙදර අයත් කැමතියි මම රංගන ශිල්පියෙක් විදිහට ඉස්සරහට යනවා බලන්න. ඒ ලැබෙන ශක්තියෙන් තමයි මම ඉදිරියට යන්නෙ.
- අද වෙනකොට ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
එදා සහ අද ගත්තම මටම හිතාගන්න බැරි තැන් තියෙනවා. මම හරිම හෙමින් ආපු කෙනෙක් සහ මට ලැබුණු පොඩිම අවස්ථාව වුණත් ප්‍රයෝජනයට ගත්තු කෙනෙක් මම. ස්ක්‍රීන් ටෙස්ට්වල පෝලිම්වල ඉඳලා, ඒවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා, සමහර වෙලාවට ඔයා තෝර ගත්තා කියලා බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු කඩවුණ අවස්ථා තියෙනවා. ස්ක්‍රීන් ටෙස්ට් දෙසීයකට විතර ගිහින් තියෙනවා, සම්මුඛ පරීක්ෂණවලට ගිහින් තියෙනවා. සමහර ඒවට තේරිලා රූගත කිරීම්වලට ගිහින් අද ඔයාව රූගත කිරීම්වලට ගන් නැහැ කියලා අහලා ගෙදර ඇවිත් තියෙනවා. ඒ වගේ කටුක දුක්ඛිත දේවල්වලට මුහුණ දීලා තියෙනවා. හැබැයි ඒ දේවල් තමයි මාව ශක්තිමත් කළේ. මම හිතන්නෙ ඕනෑම මනුස්සයෙක්ට කටුක දේවල් තියෙන්න ඕනෙ, එකපාර අත්දෙකට ගෙනත් දෙනවට වැඩිය. ඒ දේවල් මගේ ගමනට යන්න බාධාවක් කරගත්තෙ නැහැ. ඉතින් අද වෙද්දි මම ඉන්න තැන ගැන නිහතමානීව ගොඩක් සතුටු වෙනවා.
කෞශල්‍යා ලක්ෂානි