මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක



අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන් ගායන ලෝකයෙන් රංගන ලෝකයට පය තබා සිටියි. ඉතින් මේ පූර්විකාව හිමි නැති ආදරයක් සොයන රවීන් තාරුක ගැනයි.

  • කවුද මේ රවීන් තාරුක?

එළියෙන් ඔයාල දකින රවීන් තාරුකම තමයි ඇත්ත ජීවිතය ඇතුළෙ ඉන්නෙත්. ඉතින් කිසිම වෙනසක් නැහැ.

  • ඔබේ කලා ජීවිතයේ ආරම්භයත් මතක්  කරමු?

මගේ කලා ජීවිතේ කියන්නෙ මියුසික් තමයි. ඒ ගමන ආරම්භ වෙන්නෙ මට වයස අවුරුදු 11 දි විතර. එතැනදි විශේෂම දේ තමයි මගේ කලා ජීවිතේ ආරම්භය අහම්බයෙන් සිදුවුණ දෙයක් කියන එක. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ මට ගීත ගායනා කරන්න පුළුවන් කියන දේ. නමුත් එක දවසක් අහම්බෙන් වගේ පාසලේ උදෑසන රැස්වීමේ ගීතයක් ගායනා කරන්න මට අවස්ථාව ලැබෙනවා. එතැනින් තමයි මම මගෙ හැකියාව ගැන අදහසක් ගන්නේ. ඊට පස්සේ මම සම්පූර්ණයෙන්ම මියුසික්වලට තමයි මුල් තැන දුන්නේ. පාසලේදිත් music විෂයක් විදිහට හදාරල තියෙනවා. එතැන් පටන් මේ දක්වාම තාමත් මියුසික් එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ.   

  • ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය රියැලිටි තරගය ද?

ඔව් ඒකත් මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා මම හිතනවා. හැබැයි මම දකින විදිහට මේ දක්වා මගේ ජීවිතයේ නියම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නෙ මම මීට මාසයකට විතර කලින් කරපු ගීතය.

  • ගායන හැකියාව පවුලෙන් ලැබුණු දායාදයක් ද?

ඔව් අපේ අම්මට ගීත ගායනා කරන්න පුළුවන්, ඒ වගේම රඟපාන්නත් පුළුවන්. මං හිතනවා ඒ දෙකම මට ලැබිලා තියෙන්නේ අම්මාගෙන් කියලා

  • ඔබ දැන් රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

රංගන ජීවිතයට ප්‍රවිශ්ට වෙන අවස්ථාව ලැබුණෙත් අහම්බයකින්. මට මේ වෙනුවෙන් ආරාධනා කළේ හසුන් සමීර අයියා. ඇත්තටම මටත් රඟපාන්න ආසාවක් තිබුණා. ඉතින් මට හිතුණා මේ වෙලාවේ ඒ වගේ දේකට සම්බන්ධ වෙන එක හොදයි කියල. ඒ නිසා ඒ ආරාධනාව පිළිගෙන සම්බන්ධ වුණා.  හැබැයි මම දන්නවා මම තාම ඉන්නේ හරිම පහළ මට්ටමක කියලා. මොකද නළුවා හෝ රංගන ශිල්පියා කියන පිරිස මේ ක්ෂේත්‍රයේදී ගොඩක් කැපවෙනවා සහ කලාව වෙනුවෙන් මුළු කාලයම වෙහෙසලා මහන්සිවෙනවා. ඒ අය ඒ දේවල් ඉගෙනගෙන, ඒ විෂය හදාරල තමයි ඒවා කරන්නෙ. මම තාම පටන් ගත්ත විතරයි. යම්කිසි සපෝට් එකක් තිබ්බත්, රංගනය ගැන පොඩි හැදෑරීමක් තිබුනත් ඒක ප්‍රමාණවත් නැහැ මෙතනට. දැන් මම ඉගෙන ගන්නවා, මගේ උපරිම ශක්තිය දෙනවා ඒ වැඩේ වෙනුවෙන්. මම දන්න දෙයක් තමයි කිසිම කලාවක් පාට් ටයිම් කරන්න හොඳ නැහැ කියන දේ. ඉතින් මම උපරිම උත්සාහ කරනවා මගේ සංගීත වැඩකටයුතුත් එක්ක රංගන වැඩකටයුතුත් සමබරව කරගෙන යන්න. දැනට යම්තාක් දුරට රංගනය තුළ දෙයක් කරනවනම් ඒ මට උපතින් ආපු යම්කිසි හැකියාවක් වෙන්න ඇති. ඇත්තටම මම නළුවා හෝ රංගන ශිල්පියා කියන තැනට තාම ළඟා වෙලා නැහැ. ඒ නිසා මම පෞද්ගලිකව කැමති නැහැ මම නළුවෙක් කියල කියනවට මම කැමතියි රවීන් ගායකයෙක් කියනවට.

  • ඔබව බොහෝ දෙනෙක් 'සුදු මහත්තයා' කියන නමින් හදුන්වනවා. පාරාදීසේ ටෙලි නාට්‍යයේත් ඔබ ඒ නමින් හදුන්වනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒක හරිම ආදරණීය වචනයක්.  ආසාවෙන් අහන් ඉන්න පුළුවන් වචනයක්. ඒ වගේම ඒ ඩ්‍රාමා එකේ මට ලැබිල තියෙන සිහින කියන නමටත් ගොඩක් ආසයි.  ඒ නම්වලින් මට කතා කරනවා. මම පෞද්ගලිකව හරිම ආසයි ඒ නම් දෙකටම. මොකද මිනිස්සු හරි ආදරෙන් මට ඒක කියන්නෙ. ඒ ආදරයට මම ආදරෙයි.

  • වැඩිපුරම ආදරේ ලැබෙන්නේ ගායකයාට ද නළුවාට ද?

රංගනය සහ ගායනය කියන දෙකටම සමබරව හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කෙනෙක් මාත් එක්ක කතා කරත් කියන්නෙ වොයිස් එක ලස්සනයි. රඟපානවත් ලස්සනයි කියලා. ඉතින් ඇත්තටම මටත් තාම ඒ දෙක බෙදලා වෙනස හිතාගන්න බැහැ. මම හිතන්නේ ඒ දෙකටම මිනිස්සු එක වගේ කැමතියි සහ ආදරෙයි කියලා.

  • ඔබේ නිර්මාණ අතරින් පෞද්ගලිකව ඔබ කැමතිම නිර්මාණය කුමක්ද ?

මම හොඳ නිර්මාණ කිහිපයක්ම කරල තියෙනවා. ඒ අතරින් 'හිමි නැති ආදරේක' කියන ගීතය තමයි මගේ හොඳම නිර්මාණය සහ මම කැමතිම නිර්මාණය.

  • ඒකට හේතුවත් කියමු?

සාමාන්‍යයෙන් ගායකයෙක් සින්දුවක් එළිදැක් වුවාම ඒක මිනිස්සු කොහොමද වැලඳ ගන්නේ කියන එක අනුවත් කැමැත්ත තීරණය වෙනවා. මොකද මගේ මේ ගීතයටත් ඒ වගේ ලොකු සංඛ්‍යාවක් ආදරය කරල තියෙනව කියන දේ ඒකට තියෙන ප්‍රතිචාරත් එක්ක හැගෙනවා. එතනදි මාස එකහමාරක් වගේ පොඩි කාලයක් ඇතුළත මිලියන හයක් පමණ පහු කරන්න මේ ගීතයට පුළුවන් වුණා.  එතනින්ම පේනවා ඇයි මම ඒකට ආස කියන එක. මිනිස්සු ඒ මෙලඩියට, ඒ වචනවලට ආදරය කරනවා. ඉතින් මාත් ඒකට ඇත්තටම ආදරෙයි. මං හිතනවා ඒක තමයි මගේ හොඳම නිර්මාණය කියලා.

  • රවීන්ට ගොඩක් තරුණියන්ගේ ආදරේ ලැබෙනවා. ඒ අතරින් විශේෂ ආදරයක් එහෙම තියනව ද?

එහෙම විශේෂ කෙනෙක් නැහැ. මගේ වයසෙ කොල්ලෙක්ට ගැහැනු ළමයෙක්ගේ ආකර්ෂණය කියන එක හරිම සාමාන්‍ය දෙයක් කියල තමයි මම හිතන්නේ.

  • අලුත් නිර්මාණ එහෙම එන්න තියනවා ද?

නිර්මාණ කිහිපයක්ම එළි දක්වන්න තියෙනවා. ඒ අතරින් මේ අවුරුද්දෙ අවසානේ දි චිත්‍රපටයක ගීත කිහිපයක් එළි දකීවි. ඒ වගේම ලබන වසරේ මගේම චැනල් එකෙන් officially ගීත කිහිපයක් එළි දක්වන්නත් බලාපොරොත්තුවක් තියනවා.
ඔබේ පවුලෙ විස්තරත් කියමු

මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි අයියල දෙන්නයි ඉන්නවා. අයියලා දෙන්නම විවාහ වෙලා ඉන්නේ. ඒ වගේම ළඟදි අපේ පවුලට අලුත් සාමාජිකයකුත් එකතුවුණා. ඒ ඩියන්. මගේ දෙවැනි අයියාගේ බබා. 

  • ගෙදර අයගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොම ද?

ඇත්තටම මම අද මේ ඉන්න තැනට එන්න ප්‍රධාන හේතුව මගේ පවුල. මොකද එයාලා මම ගැන විශ්වාසය තියල මට මගේ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නා. මම හිතනවා පවුලකින් වෙන්න ඕන හොඳම දේ සහ උපරිමයත් ඒක කියල. 

  • කලාවෙන්ම ඉදිරියට යන්න ද බලාපොරොත්තුව?

අනිවාර් යෙන්ම කවදා හරි මැරෙනකම්ම කලාව තුළම ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

  • තමන් දවසක ඉන්න ඕන තැන ගැන රවීන්ට තියන ඉලක්කය මොන වගේ ද?

හැමෝටම වගේ මටත් ඉලක්කයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම වැඩ කරනවා. එතැනට ගියපු දවසක මම කියන්නම් මම එතැනට ආවා කියල සහ මේක තමයි මගේ ඉලක්කය වුණේ කියලා. ඉතින් එතකන් අපි බලාගෙන ඉමු. 


දුලක්ෂි ලියනගේ