විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදන ශිල්පියකු ලෙස පටන් ගෙන ඉනික්බිතිව, පියවරෙන් පියවර අත්දැකීම් සමග ඉදිරියට යමින් තනතුරු දරමින් හර-බර සන්නිවේදකයකු ලෙස දුර ගමනක් ආ හරීන්ද්‍ර ජයලාල් යනු අධිෂ්ඨානය සහ දැක්ම නිසා ස්ථාවරත්වයක් ගොඩනගා ගත් චරිතයකි. අද වනවිට ඔහුටම අනන්‍ය වූ ගමනක් යමින් සිටින ඔහු වෘත්තීය ක්ෂේත්‍රයේදී මෙන්ම විවාහ දිවියේදීද සාර්ථක වූ චරිතයක් වග පෙනී යයි. සොඳුරු සන්නිවේදයකු වූ හරීන්ද්‍ර හොඳ සැමියකු මෙන්ම හොඳ පියෙකු යැයි බොහෝ දෙනා පවසන්නකි. ඒ ‘හර-බර’ හරින්ද්‍ර තාත්තයි-පුතයි විශේෂාංගයට පවසන අදහස්වලින් අපට ඒ වග පසක් කර ගත හැකි වේවි.!
- හරීන්ද්‍ර ඔබ දෙපළගෙ පුතාගෙ නම කියමු.
ගිත්ම ඉඳුසිත් කලටුවාව.
- මොහොතකට අතීතයට යමු. එදා ඔබ තාත්තෙක් වෙන්න යන්නෙ කියන දේ දැනගත්තම මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?
විවාහය නමැති ජීවිතයේ දි නිතරම මම සිහින මැව්වෙ බිරිඳක්, දරුවෙක් සහ යහපත් පවුල් ජීවිතයත් ගත කිරීමටයි. ඉතින් ඒ ජීවන ගමනේදි මධු සමයේ දී උපන් දරුවා ලෙස තමයි අපි ගිත්ම පුතා දකින්නෙ. අපි විවාහ වුණේ 2008 අගෝස්තු 14 වැනිදා. පුතා උපන්නෙ 2009 මැයි 17 වැනිදා. මධු සමයේදීම ඵල දැරු දරුවා තමයි අපේ පුතා. එයා ඉපදෙන්න සිටි කාලයේදී මම අතිශය කාර්ය බහුල ජීවිතයක් ගත කළේ. ඒ නිසා මගේ ආදරණීය බිරිඳ තනිවම සියල්ල දරාගෙන කටයුතු කළා. බිරිඳ කන්න කැමති කෑමක්වත් ගෙනැල්ලා දෙන්න බැරි තරමට මම කාර්ය බහුල වූ නිසා ඇයට මාකට් එකට ගිහින් ඇය කැමති දේ රැගෙන විත් ඇයම හදා ගත්තා. එක දවසක් ඩොක්ටර් ළඟට ඇයව එක්කගෙන යාමට තිබුණු නිසා මාත් එක්ක යන්න බලාගෙන ස්වර්ණවාහිනියට ආවා. අපි වුවමනාවෙන්ම අන්තිම අංකය අරගෙන තිබුණෙ. මගේ වැඩ ඉවර වෙද්දි බොහෝම රෑ වෙලා.
රාත්‍රී 9ට ඩොක්ටර් ළඟට යන්න තිබුණේ. ඒ දිනවල තදට යුද්දෙ පැවැති කාලය. කොළඹ යුද හමුදා මූලස්ථානයට බෝම්බ ගහලා කියලා නිව්ස් එක ආවා. ඒ නිසා බ්‍රේකින් නිව්ස් ඔක්කෝම ඉවර කරලා තමයි මට එළියට බහින්න සිදුවුණේ. අන්තිමට බබා ලැබෙන්න සිටි බිරිඳ අරගෙන ඩොක්ටර් ළඟට යන්නත් විදිහක් නැහැ. එදා ගෙදර එද්දි පාන්දර එක පහුවෙලා. මේ විදිහට තමයි එදා මට දිගින්- දිගටම කටයුතු කරන්න ලැබුණෙ. රටේ යුද්ධය අවසන් වුණේ මැයි 19 වැනිදා. ඒ වනවිට මම කටයුතු කළේ ස්වර්ණවාහිනියේ නිව්ස් අංශයේ ප්‍රධානියා ලෙස. එදා හැමෝගෙම නිවාඩු අවලංගු කරලා තිබුණෙ. රටේ විශේෂ කාලවකවනුවක් නිසා ප්‍රධානියා ලෙස මාත් ඒ නීතිය අකුරටම කළා. පුතා ලැබුණෙ යුද්ධයට අවසාන දිනට පෙරදි. ඒ වෙලාවෙත් යා යුතු නිව්ස් ගැන මට විනාඩියෙන්-විනාඩියට කෝල්ස් ආවා. පුතාව බලන්න හොස්පිටල් යන්නත් ඕනෑ. ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රීය වශයෙන් ඓතිහාසික දිනෙක ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානි ලෙස ස්වර්ණවාහිනියෙ ඉන්නත් ඕනෑ. ඔන්න ඔය වගේ වාතාවරණයක දී තමයි මම පියෙකුගේ සතුට එදා අත්වින්දෙ.
බිරිඳ ඒ වෙලාවෙ සිටියෙ නවලෝක රෝහලේ. ඇය පුතා තුරුල් කරගෙන සිටින අයුරු දකිද්දි මට හොඳටෝම ඇඬුණා. පවුල් ජීවිතය කියන දේට මම හරි ලෝබයි. ඉතින් එදා ඒ සතුට අත්විඳිද්දි ලැබූ සතුට අපමණයි. ඒ සතුටට හැඬීම හැර වෙන කරන්න දෙයක් මට තිබුණේ නැහැ. ජිවිතය බරක් විදිහට දැනුණෙත් නැහැ. දැන් තමයි මට ජීවිතය ලැබුණෙ කියන සතුට උපරිමයෙන් දැනුණු අවස්ථාවක්. විවාහ වූ දිනටත් වඩා වැඩියෙන්ම සතුටු වූ දවස තමයි එදා.
- අද ඔබට පියෙකු ලෙස දැනෙන්නෙ මොන විදිහෙ හැඟීමක්ද? ඔබ මොන විදිහෙ පියෙක් කියලද හිතෙන්නෙ.?
සාම්ප්‍රදායික පියෙකුවීමට මට කිසි විටෙකත් අවශ්‍ය වුණේ නැහැ. දරුවන් තාත්තට බිය විය යුතුයි, යටහත් පහත් විය යුතුය කියන සාම්ප්‍රදායික මතයෙ මම නැහැ. මට මගේ තාත්තා නැති වුණේ වයස අවුරුදු 7දී. ඉතින් තාත්තෙක් අහිමි වුණාම දැනෙන දුක වචනවලින් කියන්නට බැහැ. මම මගේ පුතාට බොහෝම ආදරේ කරන්න ඒකත් එක් හේතුවක් වුණා. තාත්තාගෙ ආදරය, රැකවරණය නැතුව එදා මගේ ළමා වියේදි මුහුණ දුන් හැඟීම ගැන මගේ හිත දන්නවා. ඒ නිසා මට නොලැබුණු තාත්තාගෙ ආදරය සෙනෙහස උපරිමයෙන් මට මගේ පුතාට දෙන්න ඕනෑ වුණා. මගේ ජිවිතේ අංක එක පුතා. අංක දෙක බිරිඳ. හැබැයි බිරිඳගෙ ජීවිතේ අංක එක මම. අංක දෙක පුතා. අපේ පවුලේ සමබරතාව සෙනෙහස ගලායන්නෙ ඒ විදිහටයි. මට මගේ තාත්තා අහිමි වීම වේදනාවක් වගේම මගේ සෙනෙහස -ආදරය පුතාට ලෝකයක් තරමට ලැබීම නිසා පුතාට එය ආශීර්වාදයක් වෙලා කියලයි බිරිඳ කියන්නෙ. පුතාගේ හොඳම යාළුවා වෙලා කිසිම විදිහකින් දුකක් නොදෙන්න මම උත්සාහ ගන්නවා.
- ඒ ලෙසින් ලෝකයක් තරමට ඔබ ආදරය කරන පුතා නිසා හරින්ද්‍ර මේ දක්වා වැඩියෙන් සතුටට පත්වූ අවස්ථාවක් සිහිපත් කළොත්?
පුතා නිසා මම ගොඩාක්ම සතුටු වූ දවස් බොහොමයි. මෑතකදි ලන්ඩන් O/L ප්‍රතිඵල ඉතාම ඉහළින් ලබාගත්තා. එයා ඉගෙන ගන්නෙ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. එහි හොඳම ප්‍රතිඵල ගන්න සිසුන් කීප දෙනා අතරට එයා ඇතුළත් වුණා. ඉගෙන ගැනීමට අපි එයාට කිසිම විදියකින් පීඩනයක් ඇති කරලා නැහැ. අට වසර දක්වා අඩු තරමින් එයාගේ ටර්ම් ටෙස්ට් එක තියෙන දවසෙ කාලසටහන පෙන්නලා අපි එයාට පීඩනයක් දීලා නැහැ. එයා ගිහින් විභාගය ලියනවා. ඒ විදිහට තමයි මමයි බිරිඳයි එයාගෙ ළමා කාලය ගෙවන්න ඉඩ සැලැසුවේ. එතකොට එයාට එයාගේ ළමා කාලය දැනෙනව වගේම වගකීම් ගන්න වයසට එද්දි ඒ වගකීම් ගැනත් එයාම අවබෝධ කර ගන්නවා. ඒ නිසා අපි එයාට නිරන්තරයෙන් දුන්නෙ ආදරය සහ රැකවරණය විතරයි. ඒ විදිහට හැදී වැඩුණු පුතා වගකීම් ගැන වටහා ගන්න පටන් ගත්තෙ 9-10 පංතියට එද්දියි. අපි එයාට ඒ මග පෙන්වීම් සියල්ල කලේ බලහත්කාරයෙන් නෙවෙයි එයාට නොදැනෙන විදිහටයි. කෙනෙක්ව අබිබවා යන්න පළවෙනියා හෝ දෙවැනියා වෙන්න සහ දිනන්නම ඕනැය කියන තරගයට අපි එයාව යොමු කළේ නැහැ. ළමා කාලයේදී ළමා මනසට ඒවා අනවශ්‍යයි කියලයි අපි හිතුවෙ.
- තරගයට යොමු කළාම ඒක වරදක් ලෙස ද දකින්නෙ?
ළමයකු ඒ විදිහට යොමු කළාම එයා එතකොට හිතන්න පටන් ගන්නෙ ළමයකු විදිහට නොවෙයි. වැඩිහිටියකු විදිහටයි. ඒ නිසා ළමා කාලයේදි ළමයකු විදිහට නිදහසේ ජීවිතය ගත කරන්න ඉඩදීම තමයි වඩා වැදගත්. අපේ පුතා ඒක හොඳින්ම කරලා පෙන්නුවෙ ලන්ඩන් O/L ඉහළම ප්‍රතිඵල ලබාගෙන. එහිදි කාවවත් අබිබවා යන්න එයාට අවශ්‍ය වුණේ නැහැ.
- විවේකයට තාත්තයි-පුතයි මොනවද වැඩිපුර කරන්නෙ?
තාත්තයි, පුතයි විතරක් නොවෙයි අපි තුන්දෙනාම එකම විදිහට හිතන-පතන තුන් දෙනෙක්. බොහෝ වෙලාවට අපි ෆිල්ම් එකක් පවා බලන්නෙ අපි තුන්දෙනාම කැමති තේමාවක ෆිල්ම් එකක්. ඒ වගේම අපි තුන්දෙනා විවේකයක් ලැබුණාම නිදහසේ, කොහේ හරි ගිහින් ගත කරන්න කැමතියි. කොළඹින් පිට ඒ විදිහට ගියාම සමහර වෙලාවට අපි ඉන්නෙ කාමරය ඇතුළෙ. මිනිසුන් පොදි ගැහෙන තැන් අපි තෝරා ගන්නේ නැහැ. අපි තුන්දෙනාගෙ නිදහසට ගැළපෙන තැන් තමයි තෝරා ගන්නෙත්. අපි තුන් දෙනාම පාටි උත්සව, වගේ දේට වැඩිය කැමති නැහැ. ඒ නිසා විවේකයක් ලැබුණාම තුන්දෙනාම එකටම ඒ විවේකය ගතකරන්නට තැනක් සොයා ගිහින් පවුලක් විදිහට ඒ විවේකය ගත කරනවා.
සඳුන් ගමගේ