මට ගැළපෙන හරිම කෙනා ලැබුණා - සචිනි රණවක



ගායන තරුවක් වෙන්නට - කලා අහසට පය තැබූ ඇය, දැන් වැඩිදෙනා හඳුනන්නේ, රංගන ශිල්පිනියක් ලෙසිනි. නමුත් ඇය වෘත්තියෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි. ඇය මෑත දිනෙක ජීවිතයේ අලුත් ගමනක් ආරම්භ කළාය.

මේ හැඳින්වීම, “සංගීතේ’’ ටෙලි නාට්‍යයේ “අමායා’’ ට පණ පොවන සචිනි රණවක ගැනයි. මෙවර සැඳැල්ලෙන් අප ඇය සමග කළ සොඳුරු කතාබහයි මේ.

  • සචිනි පසුගිය දිනක ජීවිතේ සුවිශේෂී සොඳුරු කඩඉමකට පා තැබුවා. ඒ කියන්නෙ විවාහ දිවියට එළැඹුනා. ඉතින් එතැනින් කතාව පටන් ගමු.

“ඔව් මම විවාහ වුණා. විවාහ වෙන්න ගත්ත තීරණය ගැන, ඇත්තටම මම සතුටින් ඉන්නේ. මම හිතනවා මගේ වැඩකටයුතුවලට සපෝට් කරන, මට ගැළපෙන, හරිම කෙනා මගේ ජීවිතේට හමුවුණා කියලා’’.

  •  සචිනිගෙ විවාහය ආදර විවාහයක් ද යෝජිත විවාහයක් ද?

ඒක ආදර සම්බන්ධයක්. කැම්පස් එකේ මගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් තමයි එයාව හමුවුණේ. ආදර කතාව  ටිකක් දිග කතාවක්.  ආදර සම්බන්ධය පටන්ගන්න ටික කාලෙකට කලින් ඉඳන්ම මම එයාව දන්නවා. ඒ කාලෙ එයාගේ යාළුවො සෙට් එකත් එක්ක අපි ගොඩක් සැරයක් හමුවෙලත් තියෙනවා. හැබැයි අපි දෙන්නට දෙන්නා කතාබහ කරලා නැහැ. නමුත් අපි ටික ටික කතාබහ කරන්න පටන් අරගෙන, ටික කාලයක් යද්දි මට තේරුණා, එයා මට ගැළපෙන කෙනා කියලා. ඇත්තටම එයා කෙයාරින් සහ හරිම අන්ඩස්ටෑන්ඩින්. රංගනය කියන කාර්යය - එහෙම දෙදෙනා අතර අවබෝධයක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතනදි  ඒකට එයාගෙන් අවබෝධාත්මක සහයෝගයක් ලැබෙනව කියල මට තේරුණා. එයාගේ අවබෝධයත් එක්ක මගේ වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් කියලා දැනුනා.   ඒ විදිහට මම හොයන සාධක එයා ළඟ තිබුණ නිසා තමයි, අපි දෙන්නා ළං වෙන්න පටන් ගත්තේ.  අපි එහෙම ආශ්‍රය කරලා තමයි, අපේ ආදර සම්බන්ධතාව පටන් ගත්තේ. දැන් ඒක විවාහයක් දක්වා දුර ගමනක් ඇවිත් තියෙනවා.

  • ආදරණීය සැමියා ගැනත් කියමු.

ඔහු පසන් අශින්ක කරුණාරත්න. අපි දෙන්නම ජීවත්වෙන්නෙ බොරලැස්ගමුවෙ. එයා වෘත්තියෙන් ග්‍රැෆික් ඩිසයින‍ර් කෙනෙක්.

  • විවාහය වෙනුවෙන් ගීත එළි දක්වන එක විලාසිතාවක් වෙලා. සචිනිට ඇයි විවාහය වෙනුවෙන් ගීතයක් කරන්න හිතුණෙ ?

ඇත්තටම මම වෙඩින් එක වෙනුවෙන්ම නෙමෙයි මේ ගීතය කළේ. නමුත් හස්බන් වෙනුවෙන් තමයි ගීතය ලියවුණේ. මේකේ පද රචනය කළේ හෂිකා සුරේනි.  මම ඇයට මගේ කතාව - ගීතයෙන් අදහස් වෙන්න ඕන දේ සහ මට එන්න ඕන වචන ටික කීවා. ඒ විදිහට තමයි ගීතය රචනා වෙන්නේ. ඒවගේම මේ ගීතයේ මියුසික් ඇරේන්ජ්මන්ට්, මෙලඩි කළේ සන්තුර්. මම ඔහුටත් කිව්වෙ, හැපි වයිබ් එකෙන් තමයි සංගීතය එන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ දෙන්නගෙම නිර්මාණශීලීත්වයන් එකතු වෙලා තමයි, මේ වගේ ලස්සන ගීතයක් නිර්මාණය වුණේ. වෙඩින් එක ෆෝකස් කරලා ගීතය නිර්මාණය කළේ නැති වුනත්, වෙඩින් එකත් ළං වුන නිසා මම හිතුවා, විවාහ උත්සවේ දවසෙම සින්දුවත් රිලීස් කරනවා කියලා. ඒ විදිහට wedding එක දවසේ මම එයාට ඒ සින්දුව කියල, ඊට පස්සේ දවස තමයි - ගීතය එළිදැක්වුවේ. ඒ වෙනකම්ම මම එයාට ඒක අහන්න දුන්නෙත් නැහැ. 

  • විවාහයත් එක්ක සචිනි කලා කටයුතුවලින් ඉවත් වෙනව ද?

නැහැ. ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් වත්, එහෙම කරන්න හේතුවක් වත්, නැහැ. එයා හරිම අවබෝධයෙන් ජීවත්වෙන කෙනෙක්. එයා හැමවෙලේම කියන්නෙ හැමදේම බැලන්ස් කරගෙන, සීමාවන් හරියට අඳුරගෙන, මේ හැමදේම කලින් කළා වගේම - ඊටත් වැඩිය හොඳට කරගෙන යන්න කියලා. එයා මට මියුසික් පැත්තෙන් ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් එයාගෙ තේරුම් ගැනීම හොඳ නිසා කලා කටයුතු නවත්වන්නෙ නැහැ.

  • එතකොට, එහෙනම් මේ දවස්වල කලා කටයුතු?

මම මුලින්ම කලාවට ප්‍රවිෂ්ට වෙන්නේ, දෙරණ නාළිකාවේ Dream Star තරගය හරහා. ඒකෙන් පස්සෙ අහම්බෙන් තමයි‌, මට රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ සංගීතේ ටෙලි නාට්‍යයට. දැන් ඒකෙ දෙවන කොටස ආරම්භ වෙලා තියෙනවා. ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. මගේම කියල ගීත කිහිපයකුත් එළිදක්වලා තියනවා.  තව අලුත් ගීත නිර්මාණ කිහිපයක් එළි දක්වන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා.

  • සචිනි කලාව ගැන විෂයානුබද්ධ හැදෑරීමක් කරලා තියෙනව ද?

සංගීතය ගැන නම් හදාරලා තිෙයනවා. මගේ උපාධිය තියෙන්නෙත් - වෙස්ටර්න් මියුසික් වලට. ඒ වගේම 2012 වර්ෂයේ දී, විශාරද විභාගය අවසන් කළා - ගායන අංශයෙන්. ඊට අමතරව තබ්ලා, ඩ්‍රම්ස්, පියානෝ කියන වාද්‍ය භාණ්ඩ ගැන ඉගෙන ගෙන තියෙනවා. මම ඒ ලෙවල් වලට ඩ්‍රාමා කළා. ඒ හැර රංගනය නම් හදාරලා නැහැ.

  • ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඒ ආදරය ගැන මතක් කළොත්....

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරය සහ ප්‍රතිචාර ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මම හරිම ආසයි - ඒ අය ළඟට ඇවිත් කතා කරනකොට. ඉතින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කාලේ ඉඳන්ම, හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරයක් ලැබුණා. සංගීතේ ටෙලි නාට්‍යයත් එක්ක, ඒ ආදරේ තවත් වැඩිවුණා. ඉතින් ඒ ආදරේට මමත් හරිම ආදරෙයි.   

  • සචිනි නිදහස් වෙලාවට මොකද කරන්නේ?

එහෙම විශේෂයක් නැහැ. හැබැයි සින්දු අහන එකනම් වැඩිපුරම කරනවා. මම හිතන්නෙ අපි ඒ ෆිල්ඩ් එකත් එක්කම ඉන්න නිසා වෙන්න ඇති, ඒක නිතරම කරන්නේ. අලුත් සිංදු එහෙම තියෙනව නම් නිදහස් වෙලාවට ඒවා රසවිඳිනවා.

  • සචිනිගෙ පවුලේ විස්තර මොනව ද?

මගේ පවුලේ , අම්මයි - තාත්තයි, අයියයි- මමයි ඉන්නේ. පසන්ගෙ පවුලේ ඉන්නේ, එයයි - අම්මයි, තාත්තයි නංගීයි. 

  • පවුලේ අයගෙන් රංගන කටයුතුවලට ලැබුණු හා දැනටත් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ පවුලෙන් වගේම පසන්ගෙ පවුලෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන- පසන්ගෙ අම්මා. මම සාමාන්‍යයෙන් රංගන කටයුතුවලට යන්නේ මගේ අම්මා එක්ක. නමුත් අපේ අම්මට බැරිවෙන දවසට පසන්ගෙ අම්මා තමයි මාත් එක්ක යන්නේ. ඉතින් ඒ විදිහේ හොඳ සපෝට් එකක් හම්බවෙනවා. නංගිවත් ආදරයෙන් මතක් කරනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි, ඒවගේ හොඳ ෆැමිලි එකක් සහ මට තවත් අම්මා කෙනෙක් හමුවුණ එක ගැන.

  • සචිනිගෙ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ උසස් අධ්‍යාපන කටයුතු ගැන තමයි, මගේ දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ අනුව මගේ මාස්ටර් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවගේම අනෙක් මගේ වැඩ කටයුතුත් ඒ විදිහටම ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දුලක්ෂි ලියනගේ