මතකද ලක්මිණි අද ඇය දියණියන් දෙදෙනකුගේ මවක් ...



එදා ඇය සංගීත ක්ෂේත්‍රයට පැමිණියේ වයස අවුරුදු 6දී පමණය. ආනන්ද වීරසිරි ගුරුතුමා ඇයගේ සංගීත ගුරුවරයා විය. ළමා පිටියෙන් සහ රූපවාහිනියේ ළමා ශිල්පිනියක  ලෙස පටන් ගෙන ආ ගමනේ දී 12 වැනි වසර දක්වා නොකඩවා සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගත් ඇය පසුව ගායන කරළියේදී ‘වැසි වසිනා’ ගීතය ඉදිරිපත් කිරීම නිසා බොහෝ දෙනා අතර කතා බහට ලක්විණි. ඉන්කිබිතිව උසස් අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ  ඇය, සිරස සුපර් ස්ටාර් හරහා  ලැබූ ජනප්‍රියත්වය ද ඉහළය. බුද්ධිමත් රූමත්, නිහතමානී ඇය අද දරු දෙදෙනකුගේ ආදරණීය මවකි. ලක්මිණි උඩවත්ත ඒ සොඳුරු මිහිරි ශිල්පිණියයි. ‘අම්මයි-දුවයි’ විශේෂාංගය ඇය අරුත්බර කරන්නේ කෙසේද යැයි අද අපි බලමු. 

  • ‘ලක්මිණි’ ලංකාවේ ඔබ වඩා, ඔබට ආදරය කරන පිරිසක් සිටිය දී ඇයි ෆැමිලි එක එක්ක ජීවත්වීමට ‘ඩුබායි’ නගරයට ගියේ?

ලංකාවෙන් ඈත්වෙලා ඉන්න මට කොහෙත්ම ඕනෑ වුණේ නැහැ. මගේ සැමියා ‘රංග’ මට හමුවුණේ අපේ පාසල් සමයේදීමයි. ඒ දැන හැඳිනීම මත තමයි අපේ විවාහය වුණේ. රංග එදා ඉඳලාම මගේ සංගීත කටයුතු වෙනුවෙන් ලබා දෙන්නෙ ලොකු සහයෝගයක්. අපේ ලොකු දුව ලැබුණට පස්සේ රංග එයාගෙ රැකියා කටයුතු එක්ක විදෙස්  ගත වුණාම, මට අපේ අම්මා කිව්වා දෙන්නා දෙපොළක සිටීමට වඩා එක තැන සිටින එක තමයි වඩා හොඳ කියලා. අද අපේ අම්මා ජීවතුන් අතර නැහැ. ඒත් එදා අම්මා කිව්ව දේ හරියටම හරි කියලා හිතෙන්න මමත් -විදෙස් ගත වෙන්න ගත්තු තීරණය නිසයි. සුපර් ස්ටාර් තරගාවලිය ඉවරවෙලා ඉතා ඉහළ ප්‍රතිචාර සහ ගායන කටයුතුවල හොඳම කාලයේදී වගේ මම ඒ තීරණය අරගෙන ‘ඩුබායි’ වෙත ආවා. ජීවිතේ අපි කවුරු හරි පවුල වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුම වෙනවා. ඒ හැරත් අම්මා කියු උපදෙස් මම ඉහළින්ම පිළිපැද්දා. ඉතින් එහෙම හිතලා තමයි එදා සැමියා සිටින ඩුබායි වෙත යන්න තීරණය කළේ. ඒ වනවිට අපට හිටියෙ දිනුගි චනුල්‍යා හේරත් ලොකුදුව විතරයි. පොඩි දුව ලැබුණෙ මෙහේ ආ පසුවයි. එයා අක්කාට වඩා වසර 6ක් බාලයි. නිම්සා ඉව්‍යා හේරත්. ඒ දෙන්නට අපි බලපෑම් කළේ නැහැ. ඒත් එයාලා සංගීත කටයුතුවල නිරත වෙනවා.

  • ඒ දියණියන් දෙදෙනා ගැන තවත් විස්තර කියමු?

ලොකු දුව උසස් පෙළ අවසන් වසරේ සිසුවියක්. පොඩි දුව හත වසරේ සිසුවියක්. මෙහේ තියෙන්නේ ජාත්‍යන්තර පාසල්. දෙදෙනාම අධ්‍යාපනය ලබන්නේ ඒ විදිහටයි.

  • ‘දූලා’ දෙන්නෙක්ගෙ  මවක් වීම ‘ලක්මිණිට’ දනවන්නෙ මොන වගේ හැඟීමක්ද?  අභිමානයක්ද? ආඩම්බරයක්ද?

මගේ පවුල ගත්තොත් මමයි අක්කයි විතරයි. මමත් දූලා දෙන්නෙකුගේ පවුලකින් ආ කෙනෙක්. අද මම දූලා දෙන්නෙක්ගේ මවක්. මුලින්ම මට දැනෙන්නෙ ලොකු වගකීමක්. ඒ වගේම අභිමානයක්. දැනෙන විදියට ජීවත්වීම දරුවනට ඉගැන්විය යුතුය කියලයි මම හිතන්නෙ. අපට අනාගතය ගැන කියන්න බැහැ. එයාල තවම පොඩියි. ඉතින් මම හිතන විදිහට එයාලා අභිමානවත්ව ජීවත් වේවි. 

  • ‘ලක්මිණි’ සැර අම්මා කෙනෙක්ද? නැත්නම් මොන විදිහෙ මවක්ද?

අවංකවම කිව්වොත් මම ටිකක් සැරයි. හැබැයි නිතරම දරුවන්ට බැණගෙන ඉන්න මවක් නොවෙයි. නිතරම විවෘතව දරුවො එක්ක  කතා කරන කෙනෙක්. මගේ අම්මත් එහෙමයි. අපි විවෘත වන තරමට දරවෝ අපට සමීප වෙනවා. එදා මගේ අම්මා ගුරුවරියක ලෙස අපි එක්ක බොහොම විවෘතව සිටියේ. කවදාහරි අපේ විවාහය කෙරෙන විදිහ ගැන පවා අපි විවෘතව කතා කළා. ඒ විදිහටම මාත් මගේ දුලා එකක් හරි එකතුයි. හැබැයි සැර විය යුතු වෙලාවට සැරයි. එයාලත් කිසි දෙයක් සඟවන්නෙ නැහැ. සමහර වෙලාවට නොගැළපෙන  දෙයක් ගැන කතා කළොත් එහි හොඳ නරක ගැන මම කියලා දෙනවා. ඒ ඒ තැනට කතා කළ යුතු සහ හැසිරිය යුතු විදිහ ගැන.

  • ‘දූවරු’ ආරක්ෂා කිරීමේදි ලාංකේය සමාජයේ හා එක්සත් අරාබි එබීර් රාජ්‍යය ගත්තොත් ඔබ හිතන විදිහට දූවරුන්ට වඩා ආරක්ෂාව - තියෙන්නෙ කොතැනද?

ලංකාව කියන්නේ මගේ ආදරණීය-මව්බිම. ඒත් ගුවන් සේවයක රැකියාව කළ නිසා මම බොහෝ රටවල සංචාරය කළ කෙනෙක්. ඒ අනුව බලද්දී මම මේ දක්වා සංචාරය කර ඇති රටවල් හා සසදද්දී පරිස්සම් සහ වඩාත් ආරක්ෂාකාරී රට UAE (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) මේ දක්වා අපේ දූලා  දෙන්නාගේ චර්යා ස්වභාවය ගත්තොත් හරිම කීකරු ළමයි දෙන්නෙක්. ‘ඩුබායි’ වඩාත් ආරක්ෂාකාරී රටක් තමයි ඉතින් ඒ අනුව බලද්දී දූලා වෙනත් රටකට ගිහින් කොහොම ජීවත් වේවිද කියන බය තමයි මට තියෙන්නෙ. එයාලා මෙහි තිබෙන පරිසරය විදිහ ආරක්ෂාව අපේක්ෂා කරාවිද දන්නෙ නැහැනෙ. ඉතින් මෙහිදී දූවරු හදන්න ආරක්ෂා කරන්න වදවෙන්න ඕනෑ නැහැ.

  • ‘ලක්මිණි’ ෆැමිලි එක- එක්ක ඩුබායි ගත කරන ජීවිතය මොන වගේද?

බොහොම සතුටින් ගත කරන බව කියන්න පුළුවනි. කාර්ය බහුලයි. ඒත් කාර්ය බහුලතාවට මා හරි කැමතියි. මගේ වැඩ, කලා කටයුතු, ළමයින්ගෙ වැඩ ගෙදර වැඩ සහ ගුරුවරියක ලෙස වැඩ කරනවා සහ මගේ ඇකඩමි එකේ කටයුතු කරනවා. සැමියාගේ වැඩත් කරනවා. ඉතින් ඒ ඔක්කොම මම කරන්නෙ හරිම සතුටින්. එයාලත් මට උදව් කරනවා. ඉතින් ජීවිතේ දැනට සෑම දෙයක්ම හොඳින් සිදුවෙනවා.

  • දූලා  දිහා පිරිමි ළමුන්ගෙ ඇලුම්-බැලුම් ලැබෙන අවස්ථාවල දී වගේම දූලා කරන කියන දේ හමුවේ උපදෙස් දෙන්නෙ මොන විදිහට ද?

දුවලාට උපදෙස් දෙනවා. ඒත් පිරිමි  ළමයි එයාලා දිහා බැලුවාය කියලා මම ප්‍රශ්න කරන්නෙ නැහැ. ගැහැණු ළමයි දිහා පිරිමි ළමයි නොබලනවා නම් තමයි ප්‍රශ්නය. ගැහැණු ළමයිනුත් පිරිමි ළමයි දිහා බලන්න ඕනෑ. අද ලෝකය හරි වෙනස්. තාරුණ්‍ය සබඳතා ඇති කර ගන්නට විවාහ වෙන්න කැමැති නැහැ වගේ ස්වභාවයන් දකින්න ලැබෙනවා. හැබැයි මම දූලාට සියලු දේ ගැන කියා දෙනවා. ජීවිතේ වරද්දා නොගෙන ජීවත් වන හැටි කියා දීම තමයි වැදගත්. හෙට මම නැතත් එයාලා ජීවිතය නිවැරැදි විදිහට ගෙනයාම වැදගත්. ඒ නිසා ස්වාධීනව ජීවත්විය යුතු විදිහ ගැන මම එයාලට කියා දීලා තියෙනවා. ගුරුවරියක ලෙස සහ ගෙදර ජීවිතය ගත්තොත් වැඩිපුර මම ගත කරන්නෙ ළමයින් එක්ක. ලෝකෙම වගේ ළමුන් එක්ක සිටිය දී ඒ සෑම කෙනකුම හැරෙන ඉරියව්වකින් එයාලගෙ අදහස් මට දැනෙනවා. කොහොම වුණත් මෙහි සිටින ළමුන් සියයට 90ක් විතරම හොඳයි. බොහෝ දුරට එහෙම වෙන්න හේතුව මවුපියන්ගෙ ගති පැවතුම් සහ හැසිරීම් හොඳවීම නිසයි.

  • ‘ලක්මිණි’ දූලා සහ සැමියා එක්ක විවේකය ගත කරන්න කොහොමද?

හැමෝම වගේ කාර්යබහුල නිසා විවේකය තමයි අපට නැත්තෙ. මම ගුරුවරියක ලෙස රැකියාව කරන්නෙ හරිම සතුටින්. ළමයින් එක්ක සිටීමට විවේකයක් තමයි. මේ රටේ නරඹන්න තියෙන දේ බොහෝමයි. ඒ තැන්වලට වගේම මේ රටෙන් පිට වෙනත් රටවලටත් දරුවෝ එක්ක සංචාරය කරනවා. හැබැයි කාර්යබහුල නිසාම අපි වැඩිය කැමැති විවේකය ගෙදර ඉන්න.

  • විලාසිතාවලදී දුලා දෙන්නට නීති දානවද? 

ලොකු දුව අදින විදිය නංගිට ගැළපෙන්නෙ නැහැනෙ. ඒ නිසා ඒ ගැන කියා දීම හැර තහංචි දාන්නෙ නම් නැහැ. පොඩි කාලයේ මම හැදුණු විදිහටම, නිදහසේ කටයුතු කරන්න එයාලට ඉඩ සලසා තියෙනවා. එයාලා එයාලට ගැළපෙන පරිදි ලස්සනට අඳිනවා.

  • අද කාලයේ දරුවෝ, මවුපියන්ටත් උපදෙස් දෙනවා. ඔබගෙ දරුවනුත් එහෙමද? ඔබ  ඊට කැමැති ද?

සමහර වෙලාවට සමහර දේ වෙනුවෙන් මගේ ලොකු දුව උපදෙස්  දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පොඩි දුවත් එහෙමයි. ඉතින් මම ජීවිතේ සමහර දේ එයාලගෙනුත් ඉගෙන ගන්නවා. ඒ වෙලාවෙම නැතත් පසුව හරි මම එයාලා කී දේවල් ගැන හිතා බලනවා. අද දරුවෝ හරි බුද්ධිමත්.

  • ‘දූලා’දෙන්නෙක් හැදූ මවක ලෙස අද ‘ලක්මිණිට’ ජීවිතය දැනෙන්නෙ කොහොම හරි කවදා හරි දුලා විවාහ වෙලා යනවා නේද කියලා හිතද්දී?

දූවලා හැදුවාම ඉතින් එයාලගෙ ලෝක කැඳැලි සොයාගෙන යන්න ඕනෑ. දුවලා-පුතාලා කියලා වෙනසක් නැහැ. ඒ සත්‍යය අපි අවබෝධ කර ගත යුතුයි. ළමයි ලොකු වෙද්දි අපට එයාලා ගැන ලෝභකමක් ඇතිවන බව ඇත්ත. ඒත් යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. අපේ පැත්තෙන් ආත්මාර්ථකාමි වෙලා එයාලාව අල්ලාගෙන ඉන්න තරමට එයාලගෙ ජීවිත ගොඩ නගා ගන්නත් එයාලට බැරි වෙනවා. ලෝක සත්‍යය තේරුම් ගෙන ජීවිතයට මුහුණ දෙන්නට  ඕනෑ. මගේ අරමුණ එයාලට හොඳම අධ්‍යාපනයක් ලබාදී ස්වාධීනව කටයුතු කිරීමට තරම් ශක්තියක් ඇති චරිත වනවා දැකීමයි. දරුවත්  සතුටින් නම් අපි ලබන ලොකුම සතුට එයයි.


සඳුන් ගමගේ