මම හැමදාම ගහින් විපක්ෂ නායකගේ ආසනේ වාඩි වෙයි කියලා හිතුවද?


රාමනාදන් අර්ජුනා යාපනය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම අංක 17 යටතේ තරග කොට මනාප ඡන්ද 20487ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. පාර්ලිමේන්තුවේ  පළමු දවසේම විපක්ෂ නායකවරයාගේ අසුනේ වාඩි වී රට, සමාජ මාධ්‍ය කැලඹීමට පත් කළේය.

ගතානුගතික බය පක්ෂපාත කොඳු කැඩුණු ගති ඉවත් වෙමින් තිබෙන බවට අර්ජුනා එක් සංකේතයක් යැයි ඇතැම්හු කියති.
“මේ වගේ හැසිරෙන්න හොඳ නෑ”‍ තවත්  අය කියති.

අර්ජුනා චාවකච්චේරි රෝහලේ වෛද්‍යවරයෙකි. බොහෝ දේ ගැන පුළුල් ඇසකින් දකින මිනිසෙකි. එසේම තමන්ගේ රාජකාරිය නිවැරදිව කරන්නෙකු ලෙස ද ඔහු ප්‍රකටය. අනෙක් අතින් සමාජ මාධ්‍යයේ දී ඔහු නිතර යොදන යෙදුමක් තිබේ. “මගේ දමිළ නෑදෑයනි, යහළුවනි, මගේ සිංහල නෑදෑයනි” යන ආමන්ත්‍රණය ඔහු කරයි. ඒ අනුව ඔහු පුළුල් දැක්මක් තිබෙන ජනප්‍රසාදය දිනාගත් නියෝජිතයෙකු බව පැහැදිලිය. මේ ඔහු සමග කළ කතාබහකි.

Q:එදා පාර්ලිමේන්තුවේ දී මොකද වුණේ?

ඕක මහ ලොකු දේකුත් නෙමෙයි. දසවැනි පාර්ලිමේන්තුව පටන් ගන්න උත්සවයට එන්න කියලා අපට එවලා තිබුණු දැනුම් දීමේ ලියුමේ සභා ගැබේ ඕන තැනක වාඩිවෙන්න පුළුවන් කියලා පැහැදිලිව සඳහන් වෙලා තිබුණා. ඉතිං මමත් හා හා පුරා කියලනේ පාර්ලිමේන්තුව ආවේ. මම ඇවිත් මට හිතිච්ච තැන වාඩි වුණා. ටික වෙලාවකින් ආණ්ඩු පක්ෂෙ මන්ත්‍රී කෙනෙක් ඇවිත් මේ පැත්ත ආණ්ඩුවට වෙන් වෙලා තියෙනවා කියලා කිව්වා. මම ආවේ ස්වාධීනව තරග කරලනේ. ඉතින් මම ඒ මන්ත්‍රීතුමා කියපු කතාවට ගරු කරලා අනිත් පැත්තට ගිහින් වාඩි වුණා.

Q: ඊට පස්සේ මොකද වුණේ. මේ ෆෙස්බුක් එකේ යන වීඩියෝව මොකක්ද එතකොට...
ඉන්නකො කියනකං. ඉතිං මම අනිත් පැත්තට ගිහින් වාඩි වුණානේ. මෙන්න ටික වෙලාවකින් මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් මහත්තයා ඇවිත් ඔය පුටුවේ වාඩිවෙන්නේ අපේ විපක්ෂ නායකතුමා කියලා කිව්වා. ඒත් එක්කම පාර්ලිමේන්තුවේ සේවක මහත්තයෙක් ඇවිත් මට ඒ පුටුවෙනුත් නැගිටින්න කියනවා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. එතුමත් රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීතුමා කියපු කතාවම කිව්වා.මම කිව්වා එහෙම දෙයක් මේ පුටුවේ ගහලා නෑනේ. මම නැගිටින්නේ නෑ කියලා.

Q:  ඔබ පාර්ලිමේන්තුවට අලු‍ත්. මෙහෙම වාද විවාද ඇතිකර ගන්න කුකුසක් ඇති වුණේ නැද්ද?

එහෙම කුකුසක් ඇතිවෙන්න මම වරදක් කරලා නැහැනේ. ඕන තැනක වාඩිවෙන්න පුළුවන් කියපු නිවේදනයට අනුවයි මම ක්‍රියා කළේ. අනික අපි ඇවිත් තියෙන්නේ සම්ප්‍රදාය වෙනස් කරන්න.

Q: ඔබ පාර්ලිමේන්තු සේවකයන් සමඟ එකට එක කියමින් ඔබගේ මතයේම ඉන්න ආකාරයක් තමයි අපි ෆෙස්බුක් වීඩියෝ එකෙන් දැක්කේ.

මගේ මතයක් නෙමෙයි. මම පෙනී හිටියේ නිවැරදි දේ වෙනුවෙන්. සේවක මහත්වරු දිගින් දිගටම මට කිව්වේ මේක විපක්ෂ නායකතුමාගේ පුටුව කියලා. මම කිව්වා එහෙම කොහේ හරි ලියලා තියෙනවා නම් පෙන්නන්න. මම නැගිටින්නම් කියලා. ඕවා මෙහේ කරන්න බෑ සොරි, සොරි. තව පුටු කීයක් තියෙනව ද එයින් එකක වාඩිවෙන්න කියන්නකෝ, කියලත් මම කිව්වා. ඉතිං ඒක වැරදි ද?

අපි සම්ප්‍රදාය වෙනස් කරලා තියෙන්නේ. එතකොට මොකුත් කරන්න බෑ. අනෙක මම තාම ආණ්ඩු පක්ෂයේ ද? විපක්ෂයේ ද? කියලා තීරණය කරලා නෑ මම ස්වාධීනව  ආපු එක්කෙනෙක්.

Q:  ඔබතුමා කවුද? කියලා අඳුරන්නේ නැහැනේ. ඒකයි එහෙම කතා කළේ කියලා පාර්ලිමේන්තු සේවකයෙක් කියන අයුරු  ඔබගේ වීඩියෝ එකේ තියෙනවා. ඔබට ටිකක් නම්‍යශීලී වෙන්න හිතුණේ නැද්ද?

මම හිටියේ නම්‍යශීලීව තමයි. මම ඒ අයත් එක්ක කතා කළේ හිනාවෙමින්. මම ඒ වෙලාවේ හිටියේ  ෆෙස්බුක් ලයිව් එකක. මම එහෙම්මම මේ සිද්ධියත් විකාශය වෙන්න ඉඩ දුන්නා.

Q:  අවධානය ගන්න ද එහෙම දෙයක් කළේ?
මට එහෙම අමුතු අවධානයක් ඕන නෑනේ. මම පාර්ලිමේන්තුවට තේරුණේ මම ගැන මිනිස්සුන්ට අවධානයක් තියෙන නිසානේ. අනෙක මම පාර්ලිමේන්තු ආවේ ස්වාධීන කණ්ඩායමකින් ඉල්ලලා. ඉතින් මට අමුතු අවධානයක් මොකටද? මම මගේ මිනිස්සු එක්ක ඉන්න මිනිහෙක්.

Q:  අපි ඔබතුමා අඳුරන්නේ නැහැනේ. ඒකයි එහෙම කතා කළේ කියලා පාර්ලිමේන්තු සේවකයා ඔබට අන්තිමට කිව්ව නේද?

ඔව්. ඒක මටත් එක සිද්ධියක් විතරයි. මම එතුමාට කිව්වා මේක පාර්ලිමේන්තුවනේ, වැරදි වෙන්න හොඳ නෑ කියලා. ඇත්තටම අපි මෙතෙන්ට ඇවිල්ල තියෙන්නෙ තනතුරු තාන්න මාන්න අරගෙන අපිට බැබලෙන්න නෙමෙයි. අපේ මිනිස්සුන්ගේ ජීවිත උසස් කරන්න. අපි පුළුල් විදියට හිතන්න පුරුදු වෙන්න ඕන.

“තව පුටු කීයක් තියෙනවද එයින් එකක වාඩිවෙන්න කියන්නකෝ”‍ කියලා මම කිව්වේ ඒකයි.

Q:  ඒ කියන්නේ ඔබ සම්ප්‍රදායට ගරු කරන්නෙ නැද්ද?
කවුද එහෙම කිව්වේ. මම මෝඩයෙක් නෙමෙයි. මම දොස්තර කෙනෙක්. පාර්ලිමේන්තුවේ නියමිත ආසන වෙන් කළාම මම ඒකෙ වාඩි වෙනවා. එහෙම නැතුව මම හැමදාම ගිහින් විපක්ෂ නායකගේ ආසනේ වාඩි වෙයි කියලා හිතුවද? අද මම හැසිරුණේ පාර්ලිමේන්තුව නිවේදනය කරපු විදියට අනුකූලව මිසක් මගේ හිතුමතේට නෙමෙයි.


අංජුල මහික වීරරත්න