මහද්වීප හතෙන් හයක උසම කඳු නැගලා ඉවරයි !


 

යුරෝපයේ උසම කන්ද Elbrus (ඉල්බෲස්) මුදුනතදී..


මහාද්වීප සිසාරා කඳු නගින ප්‍රවීණ රුපලාවණ්‍ය හා කේෂාලංකරණ ශිල්පී 

යොහාන් පීරිස් ගේ කතාව

ඔහු අමුතුම විදිහෙ සංචාරකයෙකි. ඒ වෙනසට මුල පිරුවේ, ළමාවියේදී පවුලෙන් ලද ආභාසය සමගය. ළමා කාලයේදී  පවුලේ උදවිය සමග ලංකාවේ විවිධ තැන්හි සංචාරය කළේය. ඒවා බොහෝ විට බහුතරයක් දෙනා නොයන අන්දමේ සංචාර විය.   ඒ අතර වැඩිපුරම ගියේ කඳු නැගීමේ චාරිකාය. පසු කලෙක ඔහු කඳු නැගීමේ සංචාර, ජීවිතයේ ප්‍රියතම විනෝදාංශය බවට පත්කර ගත්තේය. ඒ විනෝදාංශය කෙතරම් දුර දිග ගියේද යත්, මිහිපිට ඇති උස්ම ස්ථානය වන එවරස්ට් තරණයට පවා පසුකලෙක යොමු වුණි. ඔබට මතක නම්? 2016 වසරේදී ඔහු එවරස්ට් තරණයට එක්වූයේ, තවත් ලාංකීය චරිතයක් වන ජයන්ති කුරුඋතුම්පාල සමගය. එදා එවරස්ට් තරණය කළ මේ දෙදෙනා ගැන ජාත්‍යන්තරය කතා බහ කරන්නට පටන් ගත් අතර, ලංකාවට අභිමානයක් ගෙන දීමට  ඔවුනට හැකිවිණි. එය කෙතරම් නැම්මක් ද? ගැම්මක් ද යැයි කිවහොත්, ලාංකීය තරුණ සමාජයේ බොහෝ දෙනා අතර, “කඳු නැගීම” විනෝදාංශයක් ලෙස ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. එලෙසින් කඳු නැගීමේ නැඹුරුව ලාංකීය සමාජයට හුරු කළ චරිත අතර විශේෂිත සංචාරක චරිතයක් වන ඔහු - යොහාන් පීරිස්ය. එවරස්ට් තරණයෙන් සෑහීමකට පත් නොවූ ඔහු, පසුකලෙක මහාද්වීප හයක ඇති කඳු තරණයට එක් වූ අභිමානවත් ලාංකීය චරිතය වන්නේය. මහාද්වීප හතක කඳු නැගීමේ අභියෝගය සාර්ථක කර ගැනීම වෙනුවෙන් දැන් ඔහුට ඉතිරිව ඇත්තේ තවත් එක් කන්ඳක් තරණය කිරීම පමණෙකි.  කඳු නැගීම ගැන අත්දැකීම් සම්භාරයක් ඇති ඔහු සමග අපට කතා කිරීමට, ඇති දේ බොහෝය. 

 

 

යොහාන් පීරිස් ගැන කෙටියෙන්..... 

යොහාන් පීරිස් යනු කේශාලංකරණ සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මෙරට සිටින ප්‍රවීන සහ ප්‍රකට චරිතයකි. මුලින්ම රමණී ප්‍රනාන්දු ප්‍රවීණ ශිල්පිනිය යටතේ කේශාලංකරණ ක්ෂේත්‍රයට පිවිස, ඉනික්බිති විදේශයන්හිදී ද ඒ ගැන වැඩිදුර හදාරා, පසුව එම අංශයේ ශිල්පියකු ලෙස දෙස් - විදෙස් වශයෙන් තරගවලට ඉදිරිපත් වී ජය – පරාජය දෙකම ලද යොහාන්, මේ වන විට මෙරට සිටින කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය ශිල්පීන් අතර සිටින ප්‍රමුඛතම ශිල්පියෙකි. ඔහුගේ ඒ වෘත්තීය ජීවිතයට 36 වසරක් සපිරේ. කටින් ස්ටේෂන් (Cutting Station) නමින් කොළඹ තිඹිරිගස්යායේ ඇති ඔහුගේකොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ආයතනයට අමතරව, වෝටර්ස් එජ් පරිශ්‍රයේ එක් ශාඛාවක් සහ ඕස්ට්‍රේලියාවේ ශාඛා දෙකක් මේ වනවිට ස්ථාපිත කර තිබේ. ඔහු කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  

යුරෝපයේ ඉල්බෲස් මුදුනතදී...


Q: වයස අවුරුදු 5 දී පටන් ගත්ත සංචාරක ගමන....

‘‘අපේ තාත්තා  ඉංජිනේරුවරයකු ලෙසයි රැකියාව කළේ . ඒ නිසා බොහෝ තැන්වල සංචාරය කරන්න ලැබුණා. නිවාඩුවක් ලැබුණු විගස තාත්තා අපිව එක්කගෙන ලංකාවේ විවිධ තැන් නරඹන්නට ගියා. එතකොට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. මම තාත්තා එක්ක මාළු අල්ලන්න ගිය හැටි, වන සතුන් බලන්න ගිය හැටි, කඳු නගින්න ගිය හැටි, අද වගේ  මතකයි. හරිම සුන්දර ළමා අවදියක්. ලංකාව කියන්නෙ බොහෝ සුන්දර තැන් සොයා ගෙන ගිහින් නරඹන්න තියෙන අපූරු ආකර්ෂණීය රටක්. 

Q:  කඳු නැගීමේ සංචාර පටන් ගත්තෙ කොහොම ද? කවදා සිට ද?

පෙර කීවා වගේ තාත්තා එක්ක තමයි කඳු නගින්න ගියේ. පසුව පාසලේ මිතුරන් කීප දෙනෙකු එක්ක “නකල්ස් කඳු වැටිය” නගින්න ගියා. “නකල්ස් තෝරා ගත්තෙ, පැති කීපයක් ඔස්සේ එය නගින්න පුළුවන් නිසයි. 

එදා අද වගේ ඒ ගමන ලෙහෙසි වුණේ නැහැ. නිශ්චිත මාර්ග තිබුණෙත් නැහැ. ඒ නිසා අපි මාර්ග සොයා ගෙන කඳු මුදුනට ගියේ. ඒ කාලේ අද තියෙන ජාතියේ “ටෙන්ට්” තිබුණෙත් නැහැ. අපිම හදාගෙන ගිය ටෙන්ට් වලයි රාත්‍රිය ගත කළේ.  රාත්‍රියට හරි සීතලයි.

නකල්ස් කඳු වැටියේ උසම කන්ද “ගොම්බානියා”. අන්තිමට අපි නැග්ගෙ ඒ කන්ද. මාර්ගයක් නොතිබුණු නිසා, ගමේ කෙනෙක් එකතු කරගෙන, අමාරුවෙන් පාර සොයා ගෙන, පාර එළිපෙහෙළි කරගෙන ගියේ. දවස් තුනක්  කඳවුරු තනාගෙන රැඳී සිටිමින්, අපි ගොම්බානියා කන්ද තරණය  කළා. එතකොට මගේ වයස අවුරුදු 15 ක් විතර ඇති. ඉන් ලද ආභාසය එක්ක,  විටින්විට ලංකාවේ මගේ යාළුවෝ එකතු කරගෙන  කඳු නැගීම දිගටම සිදුකළා. වියලි කලාපයේ කඳු පවා නගින්න ගියා.  “රිටිගල කන්ද” නගින්න ගිහින් ලොකු දුෂ්කරතාවකට මුහුණ දෙන්න සිදු වුනා.

දඹුල්ලෙ තියෙන “කොත් කන්ද” කවුරුත් නොයන තැනක්. එතරම් දුෂ්කර නිසයි නොයන්නෙ. ඒත් අපි ඒ කන්ද තරණය කළේ ලණු සහ රැහැන් භාවිත කරගෙන. නුවරඑළිය ග්‍රේට් වෙස්ටර්න් කන්ද, කිරිගල්පොත්ත කන්ද, පිදුරුතලාගල ඇතුළු කඳු සියල්ලම වගේ තරණය කළා. එතකොට මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබුණු නිසා, අවශ්‍ය දේ සපයා ගන්න පුළුවන්කම ලැබී තිබුණා. යාළුවෝ වගේම කණ්ඩායම් හදාගෙන වසර කීපයක් ලංකාව ඇතුළෙ කඳු නැගීම සිදු කළා.

ලෝකයේ  පියස්ස අසලදී..

Q:  ඔබ කිව්වා, රිටිගල කන්ද නගින්න ගිහින් ලොකු දුෂ්කරතාවකට මුහුණ දුන් වග? ඒ ගැන දැන ගන්න කැමතියි....

‘‘රිටිගල’’ නගින්න පුළුවන්. ඒත් සීමාවකට විතරයි. කඳු මුදුනටම නගිනවා නම් විශේෂ අවසරයක් ගත යුතුයි. අපි ගියේ අවසර අරගෙන. වන ඝනත්වය නිසාත්, විෂඝෝර සර්පයින් සිටින නිසාත්, රිටිගල නැගීම අවබෝධයෙන් කළ යුතු දෙයක්. නොදැන ගියොත් ජීවිතයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දේ ගැන වටහාගෙන යා යුතු ගමනක්. එදා අපි ජීවිතය ගැන අවදානමක් අරගෙන ගිය ගමනක් විදිහට ඒ ගමන හඳුන්වන්න පුළුවන්. 

Q: එතෙක් ලංකාවේ ඇති කඳු තරණය කළ ඔබ විදේශයන්හි කඳු නැගීම පටන් ගත්තෙ කොතැනින් ද? 


තායිලන්තය සහ බුරුමය අතර ඇති කඳු වැටිය තරණයට එක්වීම මගේ ප්‍රථම විදෙස් කඳු තරණයේ අත්දැකීමයි. සංචාරකයින් සඳහා කඳු නැගීමේ සංචාර තිබෙනවා. මම එහි ගියේ ඒ විදිහටයි. ගම්මාන මැදින්, කඳු මැදින්, තැනිතලා ඔස්සේ ගිය ඒ ගමන හරි සුන්දරයි. මග පෙන්වීමට එහි ගම්වැසියකු සංචාරක ආයතනය විසින් සපයා දෙනවා. මේ ගමනට මගේ යාළුවෝ හතර දෙනෙක්, මාත් එක්ක සහභාගී වුණා. තායිලන්තය තෝරා ගත්තෙ අපේ ලංකාවේ දේශගුණයට සමාන නිසයි. ඉන්පසුව අපි ගියේ බුරුමයේ ඇති කන්දක් තරණය කරන්න. එ අවට ගෝත්‍රයක් වෙසෙනවා. ඔවුන් හඳුන්වන්නෙ Karen (කැරෙන්) කියන නමින්. එයාලා හරි මිත්‍රශීලියි. ඔවුන්ගේ දරැවන් වෙනුවෙන්  පොත් පත් එහෙම අපි අරගෙන ගියේ. ඒවා එයාලට බෙදලා දුන්නා. 

 

දැන් මට තියෙන්නෙ ඇන්ටාක්ටිකාවේ

උසම කන්දVinson Massif තරණය කරන්න විතරයි.

 

ඩෙනාලි කන්ඳ තරණය කරමින්...


අප්‍රිකාවේ කිලිමන්ජාරෝහිදී...

Q: මුල් වතාවේ “එවරස්ට්” ගිය ගමනේ අත් දැකීම් මොන වගේ ද?

මුල් වතාවේ එවරස්ට් ගිය ගමන මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. 12 දෙනෙක් පමණ වූ කණ්ඩායමක් ඊට ඇතුළත් වුණා. එවරස්ට් බේස් කෑම්ප් හෙවත් මූලික කඳවුරට, එනම් එවරස්ට් කඳු පාමුලට ඇති දුර, අඩි 17,500 ක්. මීටර වලින් නම් 5760 ක්. එදා එවරස්ට් කඳු පාමුලට ගිහින් මුදුනත දිහා බැලවාම ‘‘ඇත්තටම මිනිස්සුන්ට පිස්සුද කියලයි මට හිතුණෙ. එච්චරටම ඒ ගමන දුෂ්කරයි. හැබැයි එහෙම හිතපු මම ඒ අභියෝගය භාර ගෙන ඊට වසර 6 කට පසුව ජයන්ති එක්ක එවරස්ට් තරණයට එක්වීම එකඅතකට පුදුමයක්. 

ඒ අත්දැකීමෙන් පසුව 2012 දී ඊළඟට ගියේ නේපාලයේ අයිලන්ඩ් පීක් කන්ද නගින්න.නේපාලයේ අයිලන්ඩ් පීක් (Imja Tes)

එවරස්ට් කඳු වැටියට අයත් මෙම අයිලන්ඩ් පීක් කන්ද තියෙන්නෙ එවරස්ට් කන්දට කිලෝමීටර 40ක් මෙහායින්. මීටර 6100 ක් හෙවත් අඩි 21300 ක් උසයි. තනිකරම අයිස් කන්දක්. එදා මට ගොඩාක් අමාරු වුණා. නහයෙන් - කටින් ලේ එන්න පටන් ගත්තා. මම හිතුවෙ ජීවිතේ ඉවරයි කියලා. කඳු නගින්න නම් ශාරීරික ශක්තිය විතරක් තිබිලා මදි. මානසික ශක්තිය ඊටත් වඩා තිබිය යුතුයි. අපි හැමෝම අදහන දෙවියන් හෝ විශ්වාසයක් තියෙනවනෙ. එදා මාව බේරුවෙ මම අදහන – විශ්වාස කරන විශ්වයේ දෙවියන් බව මට පැහැදිලියි.

Q: මරණය පෙනි පෙනී සිටි ඔබට එතැනින් පසුව වත්, කඳු නැගීම එපා වුණේ නැද්ද? 

මම කිව්වනෙ, ඒක මගේ විනෝදාංශය වගේම ජීවිතයේ මම භාර ගත්ත අභියෝගය කියලා. ඊළඟට මම නැග්ගේ ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද. “කිලිමන්ජාරෝ” තියෙන්නෙ අප්‍රිකානු රටක වුණත්, එය තරණය කිරීම ඉතා දුෂ්කරයි. ඊට හේතුව අධික සුළඟ සහ සීතල. මේ කන්ද නගින්න අපි ඔක්කොම පස් දෙනෙක් හිටියා. සම්පූර්ණ ගමනට දින 12 ක් ගත වුණා.

Q:  කිලිමන්ජාරෝ කන්ඳෙන් පසුව ඇලස්කාවේ ඩෙනාලි කන්ද දක්වා ගිය ගමන?

කිලිමන්ජාරෝ කඳු තරණයෙන් පසුව ඊළඟට නැවතත් බුරුමයේ ඇති තවත් කන්දක් නැග්ගා. ඉන්පසුව ඉන්දියාවේ කඳු දෙකක් සහ යුරෝපයේ ඇති උසම කන්ද වන රුසියාවේ Mount Elbrus (මවුන්ට් ඉල්බෲස්) තරණය කළා. එහි උස අඩි 18,510 ක්. යුරෝපයේ සීතල ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. මේ සුදෝ - සුදු හිමකන්ද නැඟීම ජීවිතයට එක් කළේ අපූරු අරුතක්. 

ආසියාවෙන්, අප්‍රිකාවටත්, ඊළඟට ඔස්ට්‍රේලියාවේ, Mount Kosciuszko (මවුන්ට් කාසියස්කෝ) කන්ද තරණය කළා. එහි උස අඩි 7310 යි. ඉන්දියාවේ සහ රුසියාවේ කඳු නැග්ගෙ ඉන්පසුවයි. ඉනික්බිතිව දකුණු ඇමරිකාවේ ආජන්ටිනාවේ ඇති Aconcagua (ආකේන්කාගුවා) කන්ද සහ උතුරු ඇමරිකාවට අයත් ඇලස්කාවේ ඇති ඩෙනාලි කන්ද තරණය කළා. එහි උස අඩි 20,310 ක් වෙනවා. 

එවරස්ට් තරණය කළ අසිරිමත් දිනය...

ඕස්ට්‍රේලියාවේ කාසියස්කෝ කඳු මුඳුනත සිට...

2016 මැයි 21 අලුයම 5.03 යනු ශ්‍රී ලාංකීය ධජය මිහිපිට ඇති උසම ස්ථානය වන ’’‘‘එවරස්ට්’’ මුදුනත ලෙළදුන් අසිරිමත් මොහොත විය. ඒ සාඩම්බරය ලංකාවට ගෙන දුන්නේ, ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස්ය. ඔහු ඒ මතකය ගෙන හැර පෑවේ මෙලෙසිනි. 

‘‘එය සැබැවින්ම අසිරිමත් දවසක්. වසර ගණනාවක අප්‍රතිහත ධෛර්ය මල්ඵල ගැන්වූ දිනයක්. අපි දෙදෙනෙක් හැටියට මේ ගමනට එක්ව සිටියෙ. අතිශය දුෂ්කර එවරස්ට් තරණය කරා සමීප වෙද්දි මම හිටියෙ මීටර 40ක් මෙහායින්. එවරස්ට් සම්පූර්ණ උස මීටර 8849 යි. ‘‘ජයන්ති ඒ වන විට තරණය කරලා සිංහ ධජය එහි ඔසවා තිබුණෙ. ඒත් මම මීටර 40ක්, එනම් අත පෙනෙන මානයේ සිටින වග ඇය දැන සිටියෙ නැහැ. අවාසනාවකට මගේ ඔක්සිජන් ටැංකියේ ඔක්සිජන් ඉවරවෙලා. ඒක සංවිධායකයින්ගෙ අතපසුවීමක්. ඒත් මම ඉතිරි මීටර 40ත් යන්න තීරණය කළා. නමුත්, ෂර්පාවරු වැඳලා වගේ මාව නතර කරන්න උත්සාහ කළා. මම ඔවුන් කියන දේ ඇහුවෙ නැහැ. බේස් කෑම්ප් එකෙන් පණිවුඩ – පිට පණිවුඩ ආවා. ඒ ගමන එතැනින් නතර කරන්න මම එවර තීරණය කළා. කොහොමටත් දෙදෙනෙක් ලෙස ගිය අපි එවරස්ට් තරණය කර හමාරයි. ඒ සතුට වචනවලට හැරවිය නොහැකියි. ඔක්සිජන් නැතිව එදා මගේ ‘‘ජීවිතය බේරීමත් එකතකට වාසනාවක්.’’

ඉන්පසුව හැමෝම මගෙන් ඇහුවෙ ආයෙත් ‘‘එවරස්ට් නගිනවද කියලයි. වසර දෙකක පුහුණුවකින් පසුව නැවතත් 2018 දී මම ‘‘එවරස්ට් තරණය කරලා ඒ ගමන ජයගත්තා. 

Q:  මේ විදිහට එවරස්ට් ජයගත්ත ඔබ කඳු නගින්නට පෙර සූදානම් වන විදිය මොන වගේ ද? මොන වගේ දේ අනුගමනය කළ යුතු ද? 

ආහාර පාන ගැනීමේ සිට අනුගමනය කළ යුතු බොහෝ දේ තිබෙනවා. නිවැරදි පෝෂණය සඳහා ආහාර ගත යුතුයි. පෝෂණවේදියකුගේ උපදෙස් පරිදි එය කිරීම වැදගත්. ඒ එක්කම බොහෝ ව්‍යායාම් කළ යුතු වෙනවා. එය කළ යුත්තෙත්, ව්‍යායාම් පුහුණු උපදේශක අනුදැනුම ඇතිවයි. එවරස්ට් තරණයට පෙර අපි වසර 5ක් එක දිගට ව්‍යායාම් පුහුණුවීම්වල යෙදුණා. අදටත් මම උදේ 4.30ට පමණ අවදිවෙනවා. උදේ 5ට විතර ව්‍යායාම් පටන් ගන්නවා.  නිතිපතා ඒ ව්‍යායාම්  කළ යුතුමයි. මේ සෑම දෙයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් මට උපදෙස් ලබා දෙනවා. උදව් කරනවා.

Q:  කඳු නැගීමේ සංචාර වෙනුවෙන් තිබිය යුතු උපකරණ – ආම්පන්න මොනවද?
ඒ සෑම දෙයක්ම හරිම වෙනස්. ආම්පන්න උපකරණ රැසක් අවශ්‍යයි. සමහර ඒවා ලංකාවෙන් ගන්න බැහැ. ගන්න නැහැ. වාසනාවකට මම නිතර සංචාරය කරන නිසා, බොහෝ වෙලාවට ඒවා පිටරටවලින් මිළදී ගන්න අවස්ථාව  ලැබෙනවා. එවරස්ට් යාමට පෙර, බොහෝ උපකරණ – ආම්පන්න ගන්න, විශේෂ ඇඳුම පවා ගන්න, අපි සතියක කාලයකට නිව්යෝර්ක් (ඇමෙරිකාවට) ගියා. 

Q: ඒ සියලු දේ මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය කළාද?

රුපියල් මිලියන තුන – හතරක් විතර. 

Q: මූලිකව අවශ්‍ය කරන දේට අමතරව තව වෙන මොනවද විශේෂිතව අවශ්‍ය කරන්නෙ?
හිම මත භාවිත කරන සපත්තු සහ ආධාරක ඇතුළු සියලු දේ තිබිය යුතුයි. වියලි ආහාර, චොක්ලට් වැනි ශක්තිජනක ආහාර, පාන මෙන්ම විටමින් වර්ග ලබා ගැනීමත් සිදුවෙනවා.

Q: කඳු නගිද්දි බියක් ඇතිවන්නේ නැද්ද?
නිරන්තරයෙන් බිය කියන දේ ඇතිවෙනවා. කොයි වෙලාවෙ අයිස් කන්දක් කඩා වැටේවි ද? මාර්ගයේ හිඩැස් ඇතිවේවිද යන බිය නිරතුරුවම ඇතිවෙන්නක්. අයිස් කඳු කඩා වැටෙද්දි, ඒ ශබ්දය ඇහෙද්දි ඇතිවන බිය, වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. 

Q: මුහුණ දුන්, අද්භූත සිදුවීම් එහෙමත් ඇති?

මුල් වතාවේ හිමාලය නගිද්දි තැන – තැන මළ සිරුරු තිබෙන අයුරු දුටුවා. එහෙම වෙන බව දැනසිටියත්, සියැසින් දකිද්දි- ඒ දේ දරා ගන්න අමාරුයි. වතාවක නෙදර්ලන්ත ජාතික කඳු නගින්නකු හිමාලය තරණය කරමින් සිටියදී, මගෙන් උදවු ඉල්ලුවා. ඒත් අපේ සන්නිවේදන යන්ත්‍ර ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ නැහැ. එයාට උදව් කරන්න නොහැකිවීම ගැන අදටත් මම දුක් වෙනවා. එයා මියයාම නිසා ඇතිවූ දුක වාවන්න බැරි තරම්. 

Q: මෙවැනි අතිශය බැරෑරුම් කඳු නැගීමේ සංචාර සඳහා එක්වෙද්දි, විශේෂයෙන්ම මිනිසකු සතුවිය යුතු දේ හැටියට ඔබ දකින්නෙ?

ශාරීරික ශක්තියට වඩා මානසික ශක්තිය ඉතා වැදගත්. ඒ මානසික ශක්තිය වැඩිදියුණු කර ගන්න මම ‘‘භාවනා වැනි දේ කරනවා. ඒ වගේම තමුන් අදහන විශ්වාස කරන විශ්වයේ ශක්තිය වගේම, ආගමට අනුව අදහන දේ ඉතා වැදගත්. 

Q:  එවැනි දේ හා බැඳුණු, ඔබ ජීවිතේ මුහුණදුන් විශේෂ අවස්ථා අප සමග බෙදා හදා ගන්න කැමති ද?
කීප දෙනෙකු සමග කඳු නැගීමට පිටත් වුණත්, තරණය කරද්දි අපි තනිවෙනවා. එවිට, ඇතිවෙන්නෙ ලොකු පාළුවක්, තනිකමක්. ඒ වගේ අවස්ථාවලදී මම තනි නැහැ - මම අදහන දෙවි කෙනෙක් මා සමගයි. විශ්වයේ ශක්තිය මා සමගයි කියා මා මටම සපථ කර ගන්නවා. වතාවක් මාර්ගය ඇපැහැදිලි වූ අවස්ථාවක, මට මේ මාර්ගය සොයා යන්න සංඥාවක්, එළියක්, දෙන්න දෙවියනි! කියා මා විශ්වයෙන් ඉල්ලා සිටියා. ටික දුරක් යද්දි, මා යන මග ඉදිරියේ සුදු කුරුලු පිහාටුවක් වැටුණා. පුදුමය නම් ඒ පරිසරයෙ කුරුල්ලන් පියාසර නොකිරීමයි. එවරස්ට් යද්දි ඒ සිදුවීම් වුණේ. මට මාර්ගය සොයා යෑමට සුදු කුරුලු පිහාටුව තමයි පාර පෙන්නුවෙ. එසේ නොවන්නට එදා මට නිවැරදි මග සොයා ගන්න බැරි වෙනවා.

ලංකාවෙදීත් ඒ වගේ අත්දැකීමක් මට තියෙනවා. 'Pekoetrail' (ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර 300 ක් පමණ දුර ඇවිද යන මාර්ගය). ලංකාවේ අද ජනප්‍රියව තිබෙන මේ “පෙකෝ ට්‍රේල්” ගමන ලාංකිකයකු ලෙස මුලින්ම ගියේ මම. මම යනකොට සංචාරකයින් සඳහා ඒ මග විවර කර තිබුණෙ නැහැ. අදියර 22 ක් ඔස්සේ ඒ ගමන යා යුතුයි. එක දිගට මම  ගමනාන්තය දක්වා ගියා. මම ගියේ මාර්ග සිතියමක් අතැතිව පාර හොයා ගෙන. ඒ ගමන ගියේ තනියම. රාත්‍රිය ගත කළේ, නගරයක. ‘පෙකෝ ට්‍රේල් එකේ සැලැස්ම හදලා තියෙන්නෙ ඒ විදිහටයි. හන්තානයේ සිට පටන් ගෙන ඉවර වෙන්නෙ නුවරඑළියෙන්. මේ සංචාරයේදී එක් දිනක් මට යන්න තිබුණෙ කැලයක් මැදින්. එදා උදෑසන භාවනා කරද්දී මේ ගමන මම යන්නෙ කැලය මැදින් තනියම නිසා, මට මගේ පාළුවට යමක් ලබා දෙන්න කියා විශ්වයෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. සාමාන්‍යයෙන් බල්ලන්ට මම හරිම කරුණාවන්තයි. එදා කැලය මැදින් යද්දි, එක පාරටම බල්ලෙක් මා ඉදිරියට ආවා. ඒ කැලයේ කොටි පවා ඉන්නවා. එහෙම තැනක කොහෙත්ම බල්ලෙක් ඉන්න විදිහක් නැහැ. ඒ නිසා පුදුමයෙන් මම ඒ සතාට කිට්ටු වුණා. ඊට පෙර මා දැන සිටියාක් මෙන්, බල්ලා නගුට වනමින්, බිම දිගා වෙමින්, මාව පිළිගත්තා. හරිම හීලෑකමක් පෙන්නුවෙ. ඉන්පස්සෙ එයා ඉස්සරහින් යද්දී, ඒ පිටුපසින් මම ගියා. කිලෝමීටර් ගණනාවක් ඒ විදියට මා එක්ක ඇවිත්, ඉදල්ගස්හින්න ටවුන් එකේ මම නතර වුණාම, එයා මා ළඟම හිටියා. ටවුන් එකේ අයගෙන් මේ බල්ලාව දන්නවද කියලා මම ඇසුවා? අදම තමයි දැක්කෙ කියලා එයාලා කිව්වා. ඉන්පස්සෙ සුපුරුදු පරිදි මගේ ගමන ආරම්භ කළේ තවත් කිලෝමීටර 20ක් විතර යා යුතුව තිබුණ නිසයි. ඒත් බල්ලා ගියේ නැහැ. හපුතලේ කන්ද නැගලා එඩිෂන් බංගලාව ලඟින් එළියට යද්දී බොහෝ සෙනඟක් හිටියා. මම කැලය මැදින් බල්ලෙක් එක්ක එන හැටි දැකලා එයාලා බලාගෙන හිටියෙ විස්‌මයෙන් වගෙයි. දැන් ඉතින් ඔයා මගේ තනියට ආවා ඇති කියලා පිටුපස හැරිලා මාත් එක්ක ආ බල්ලා දිහා බලද්දී, එයා පේන්න හිටියෙ නැහැ. හතර වටේ බැලුවත් මට එයාව හොයා ගන්න බැරිවුණා. මෙච්චර මා එක්ක දුරක් ආව එයා දාලා යන්නත් හිතක් තිබුණෙ නැහැ. එතැන හිටපු අයගෙන් මාත් එක්ක බල්ලා දැක්කද ඇහුවා. අනේ අපි නම් ඔයාව විතරයි දැක්කෙ, බල්ලෙක් දැක්කෙ නැහැ කියලා එයාලා කිව්වා. එතකොට එච්චර වෙලාවක් මම ඇවිත් තිබුණෙ කා එක්කද? අදටත් මට ඒක පුදුමයක්! ඒ විදියෙ අත්දැකීම් සහ මම මුහුණදුන් ආශ්චර්යවත් සිදුවීම් බොහෝමයි. 

 

ඇලස්කාවේ ඩෙනාලි තරණය කළ අවස්ථාව

Q:  එවැනි සිදුවීම් සහ අත්දැකීම් ලබමින් මේ දක්වා කඳු නගිමින්, පල්ලම් බැහැගෙන ආ ගමන දැන් හති වැටිලා නැද්ද?

හොඳටම හති වැටිලා. හෙම්බත් වෙලා. ඒත් සාමාන්‍යයෙන් මම ජීවිතයෙ ලෙහෙසියෙන් අභියෝග අත්හරින්නෙ නැහැ. ජීවිතයෙ අපි හැමෝටම හීන තියෙනවා. ඒත් බොහෝ දෙනෙක් ඒවා මවාගන්නව විතරයි. ඉටුකර ගන්න උත්සාහ ගන්නෙ නැහැ. මට ලැබුණු ලොකුම වාසනාව ඒ සිහින ඉටුකර ගන්න ලැබීමයි. 

Q:  ඔබගෙ ඊළඟ සිහිනය?
මහාද්වීප හතක ඇති කඳු තරණය කිරීම. මේ වන විට මහාද්වීප හයක කඳු නැග අවසන්. සෑම අර්ධද්වීපයකම ඇති උසම කඳු නැගීමෙන් පසුව, මගේ ප්‍රයත්නය සම්පූර්ණ වේවි. ආසියාවේ - එවරස්ට්, අප්‍රිකාවේ - කිලිමන්ජාරෝ, ඔස්ට්‍රේලියාවේ - මවුන්ට් කාසියස්කෝ, රුසියාවේ - මවුන්ට් ඉල්බෲස්, දකුණු ඇමරිකාවේ ආජන්ටිනාවේ - ආකේන්කාගුවා සහ උතුරු ඇමරිකාවේ ඇලස්කාවට අයත් ඩෙනාලි කන්ද මේ වනවිට තරණය කර අවසන්. දැන් මට ඉතිරිව තිබෙන්නේ ඇන්ටාක්ටිකාවේ - වින්සන් මාසිෆ් (Vinson massif) තරණය කරන්න විතරයි. 


සඳුන් ගමගේ