රසික ආදරය ජනප්‍රියත්වය මෙන්ම ගෞරවය දිනාගත් කලාකරුවන් කලාකාරියන් බොහෝමයක් වරින්වර දියවන්නා ඡන්ද සටනට එක්වූ අතර, ඉන් බහුතරයකට පාර්ලිමේන්තු අසුන් හිමිවිය. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ද වෘත්තීය කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වුණු අවස්ථාවන් දක්නට ලැබේ. ඒ අතරින් බොහෝ චරිත ඉතා ක්‍රියාශීලී දේශපාලන ජීවිතයක් ගතකරමින් දේශපාලනයේ ඉහළ පුටු කරා ළඟාවන්නට කලාකරුවන් ලෙසින් අත්පත් කරගත් ගෞරවය හේතු වී තිබේ.
ඒ අතරේ ප්‍රධාන චරිතයක් ලෙසින් 1991 වසරේ සිට කිහිප අවස්ථාවකදී ම ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමති ධුරය ඉසුලූ ජයලලිතා ජයරාම් හැඳින්විය හැක. දමිළ සිනමාවේ රංගන ශිල්පිනියක වූ ජයලලිතා සිනමාවේ දී සිනමා ලෝලීන්ගේ ආදරය ජනප්‍රියත්වය ඉහළින්ම දිනාගත් කලාකාරියක් වූ අතර, පසුකලෙක දේශපාලන ජීවිතයේ දී ඡන්දදායකයින් ගේ ගෞරවය දිනාගනිමින් තමිල්නාඩුවේ මහඇමැතිනිය ලෙස කටයුතු කළාය. ජයලලිතා ජයරාම් ගෙන් නොනැවතුණ දේශපාලන පුටු පෙරළිය හමුවේ ඉන්දියානු සිනමාවේ ඉතා ජනප්‍රිය චරිත ද ඇයව අනුගමනය කරමින් පසුකාලයේ දී දේශපාලනයට අවතීර්ණ වූහ. රැජිණි කාන්ත්, අම්තාබ් භච්චන්, සංජය දත්, සුරේෂ් ඔබරෝයි, විනෝද් ඛන්නා ඉන් කිහිප දෙනෙකි. ඔවුහු ඉන්දියානු සිනමාවේ මෙන්ම දේශපාලන වේදිකාවේදීත් ජනප්‍රිය තරු වූහ.
ඉන්දියාවේ පමණක් නොව බොහෝ රටවල්වල ද සිනමාවේ තරු දේශපාලනය ට අවතීර්ණ වූ අවස්ථා වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට වීරයකු වන ආර්නෝල්ඩ් ශ්වසනේගර් රඟපෑ කමාන්ඩෝල රනින් මෑන් චිත්‍රපට ඔස්සේ ක්‍රියාදාම වීරයකු ලෙසින් නම් දිනා සිටියේය. ඔහු පසුව දේශපාලනයට පිවිස කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය ද ඉසිලීය. විදෙස් රටවල කලාවෙන් නමක් දිනූ චරිත මෙලෙස දේශපාලනයට අවතීර්ණ වෙද්දී ශ්‍රී ලංකාවේ ද සිනමා වේදිකාවේ චරිත නිරූපණ කළ චරිත පසුකාලයේ දී දේශපාලන වේදිකාවට ගොඩවැදුණහ. එයින් ප්‍රධාන චරිත දෙකක් වූයේ සිනමාවේ සක්විති වූ ගාමිණී ෆොන්සේකා හා සිනමාවේ පෙම්වතා හා සිහින කුමාරයා වූ විජය කුමාරණතුංගයන් ය. සිනමාවේ මෙන්ම දේශපාලනයේදී ද මොවුන්ට බොහෝ දෙනකුගේ නිබඳ ආදරය ගෞරවය හිමිවුණි.
ඊට අමතරව සිනමා හා පුංචි තිරය තුළින් කරලියට පැමිණි ජීවන් කුමාරණතුංග, මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, උපේක්ෂා ස්වර්ණමාලි, රන්ජන් රාමනායක, උද්දික ප්‍රේමරත්න වැනි කලාකරුවන් කලාකාරිනියන් දේශපාලනයට එක්වූහ.
වාමාංශික නායකයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා දේශපාලන වේදිකාවේ ප්‍රබල චරිතයක් වූ අතර, සිංහල සිනමාවේ ද ආරම්භක නළු භූමිකාව රැඟුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ වී. ටී. ජී. කරුණාරත්න ද සිනමාවේ රංග ශිල්පියෙකු විය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ප්‍රතිභාපූර්ණ නිළි මාලනී ෆොන්සේකා මෙන්ම ප්‍රතිභාපූර්ණ නළු රවින්ද්‍ර රන්දෙනිය ද මන්ත්‍රී පදවි ඉසිලීය. තැපැල් අමාත්‍ය ධුරය ඇතුළු වගකිවයුතු ඇමැති පදවි රැසක් දැරීමට ප්‍රතිභාපූර්ණ නළු ජීවන් කුමාරතුංග සමත් විය.
පුංචි තිරයෙන් එක් චරිතයකින්ම ජනප්‍රියත්වයට පත්වී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ජනප්‍රියම චරිතය වන්නේ උපේක්ෂා ස්වර්ණමාලී ය. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වුණු “පබා” ටෙලිනාට්‍යයෙන් ඉතා ජනප්‍රිය වුණු උපේක්ෂා “පබා” නමින් ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් ඇයගේ ප්‍රචාරණ කටයුතු දියත් කෙරිණ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාප සංඛ්‍යාවකින් තේරී පත්විය. සිනමාවේ “රන් සමනලයා” වුණු රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට තේරීපත් විය.
ශ්‍රී ලාංකේය කලාවේ සහ දේශපාලන ගමන් මගෙහි නොමැකෙන නාමයක් සනිටුහන් කළ විජය කුමාරතුංගයන් සම්බන්ධයෙන් සටහනක් නොතබන්නේ නම් එය අඩුවකි. සිංහල සිනමාවේ සිහින කුමාරයා වූ විජය කුමාරණතුංගයන් දේශපාලන වේදිකාවේ ද ක්‍රියාකාරී දේශපාලකයෙකු විය. විජය කුමාරතුංග හෙවත් කෝවිලගේ විජය ඇන්ටනි කුමාරතුංගයන් ගේ ජන්මලාභය සිදුව ඇත්තේ 1945 ඔක්තෝබර් මස 09 වැනිදා ය. පාසල් වියෙන් පසුව සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වී උප පොලිස් පරීක්‍ෂකයකු ලෙසට පොලිසියට තේරුණ ද, එය අතහැර නළුකම තම ජීවිකාව ලෙසට ඔහු තෝරා ගත්තේ ය. විජයගේ කලා දිවිය ඇරඹුණේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ “සිතිජය” ගීත නාටකයට තම රංගන දායකත්වය ලබා දෙමිනි. 1969 දී සුගතපාල සෙනරත්යාපා ගේ “හන්තානේ කතාව”තුළින් සිය ප්‍රථම සිනමා රංගනයට එක්විය. වසර ගණනාවක්ම අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවාට හිමි “සරසවිය” සම්මානයෙන් පිදුම් ලද ඔහු ගැඹුරු කටහඬින් රසික ශ්‍රාවකයන් පිනවූ දක්‍ෂ සරල ගායකයකු ද විය.
සීදූව ප්‍රදේශයේ ලංකා සමසමාජ පක්‍ෂ සාමාජිකයකු ලෙසට දේශපාලනයට අත්පොත් තැබූ විජය කුමාරතුංගයන් 1974 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳුන අතර, 1977 ජූලි මස කටාන අසුනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයකු ලෙසට තරග කර ඡන්ද 19,738 ක් ලබා ගත්ත ද ජයගත නොහැකි විය.
සිනමාව තුළින් නම් දැරූ පිරිස් එලෙස දේශපාලනය හා සම්බන්ධව ක්‍රියාකරද්දී කවියෙහි හිතැත්තන් වූ කේයස් හෙවත් සාගර පළන්සූරිය, ටී. බී. තෙන්නකෝන්, සෝමවීර චන්ද්‍රසිරි, පතිරාජ තෙන්නකෝන් සහ වී. ටී. ජී. කරුණාරත්න වැනි මන්ත්‍රීවරු දේශපාලන මතවාද සමාජගත කිරීමට කවිය අවියක් කර ගැනිණ.
පාර්ලිමේන්තු වාද විවාදවලදී අදහස් උදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස සිංහල කවිය ඉතිහාසයට එක්වූයේ මහජන මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි කවියාගෙනි. එනම් 1947 දෙසැම්බර් මස 19 වැනිදා ය. නමුත් ගායන ස්වරූපයෙන් මෙම කවිය නොගයන ලෙස කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ නියෝග කළ බැවින්, චන්ද්‍රසිරි කවියා එම කවිය ගැයුවේ කතා ස්වරූපයෙනි.
කැස්බෑවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස බොහෝ කලක් කටයුතු කළ සෝමවීර චන්ද්‍රසිරි 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ සංස්කෘතික උප ඇමැති ධුරය දැරුවේ ය. ඔහු සිය දේශපාලනය ඇරැඹුවේ 1947 මහ මැතිවරණයෙන් ලංකා සමසමාජ විපක්ෂයෙන් මොරටුව ආසනය දිනාගෙන ය. සෝමවීර චන්ද්‍රසිරි මන්ත්‍රීවරයා ද මහජනතාව සමග කාලය ගෙවූ සමාජශීලී පුද්ගලයෙකු වශයෙන් කා අතරත් ප්‍රසිද්ධ ය.
හිටපු සමාජ සේවා ඇමැතිවරයෙකු වූ ටී. බී. තෙන්නකෝන් කවියෙකි. මහා කවි ආනන්ද රාජකරුණාගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය පණගැන්වෙන අවදියේ ටී. බී. තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් මහනුවර තරුණ කවි සමාජය බිහි විය. බණ්ඩාර නායක මැතිඳුන්ගේ නායකත්වයෙන් ඇරඹි සිංහල මහා සභාවේ මහනුවර ශාඛාවේ ලේකම් බවට පත් වූ ටී. බී. තෙන්නකෝන්ට ජාතික දේශපාලනයට අවතීරණ වීමට අවස්ථාව හිමි වූයේ ද එතුළිනි. ඔහු දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1956 මහ මැතිවරණයේ දී දඹුල්ල ආසනයට තරග කර ජය ලැබීමෙනි. 1970 බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුවේ ඔහු කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළේය.
කලක් පුවත්පත් වාර්තාකරුවකු ලෙස කටයුතු කරද්දී මහනුවර නගර සභාවේ ඇති වූ සිද්ධියක් ගැන පළ කළ වාර්තාව වැරදි යැයි කී මන්ත්‍රීවරයකු හා ඇති වූ ගැටුම අවසන් වූයේ ටී. බී. තෙන්නකෝන්ට කේන්ති යාමෙනි. මං කවදා හරි නාගරික මන්ත්‍රීවරයෙක් වෙලා මෙහාටම ඇවිත් උත්තර දෙනවා යැයි පවසමින් ශාලාවෙන් පිටව ගිය ඔහු 1946 දෙයියන්නෙවෙල නාගරික අසුන ජයගෙන නගර සභාවට පත්විය. පසුව පාර්ලිමේන්තුවට තේරෙනතුරුම ඔහු මව් බසින් නගර සභාවේ විස්කම් පෑවේය.
1951 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවන විට එහි කැඳවුම්කරුවෙකු වූයේ ටී. බී. තෙන්නකෝන්ය. 1955 දී සිංහල භාෂා පෙරමුණ පිහිටුවීමේ දී ටී. බී. ට සෝමවීර චන්ද්‍රසිරි එක් විය. 1956 මහා මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණෙන් දඹුල්ලට තරග කළ ටී. බී. තෙන්නකෝන් අපරාජිත දේශපාලන චරිතයක් වූ එච්. බී. තැන්නේ රටේ මහත්මයා වැඩි ඡන්ද 9,155කින් පරාද කෙරිණ. 1956 සිට 1977 දක්වා සිය අසුන රැක ගන්නට ඔහු සමත් විය. 1959 දී සංස්කෘතික හා සමාජ සේවා උප ඇමැති ලෙස පත්වී විවිධ අමාත්‍ය පදවි දැරූ ටී. බී. තෙන්නකෝන් කථානායකවරයාගේ අණ නොතකා අයවැය විවාදවල දී කවි කතා 05ක් පවත්වා ඇත. 1948 ලැබූ නාම මාත්‍රික නිදහසට 1956 පෙරළියත් සමග පණ පෙවුණු අතර කවි ගායනා කිරීමට එරෙහිවීම ජනමතයට පිටුපෑමක් බවට ඔවුහු පෙන්වා දුන්හ.
වසරක් ගෙවිණි රජ වී බස හෙළ දූවේ - එනමුදු අඳුරු තිර බස වට කොට පාවේ
කවියයි මැතිවරුනි බස් රැජිනගෙ ජීවේ - කවුරුද කවිය මෙහි නොකියන්නැයි කීවේ”
1980 ජනවාරි 28 දා ටී. බී. තෙන්නකෝනුන් දැයෙන් සමුගත්ත ද පියාගේ දේශපාලන ගමන් මගේ පියවර තැබූ කවි පුතු වූ යසරත්න තෙන්නකෝන් ඔහුගේ පුත් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් ජනක බණ්ඩාර තෙන්නකෝන් ආදීහු පාර්ලිමේන්තුවේ හෙළ කවිත්වයෙන් හපන්කම් පෑහ.
දේශපාලකයන් කවියෙක් වශයෙන් එලෙස ක්‍රියාකරද්දී සාහිත්‍යකරණයේ නිරත වූ පිරිස් ද දේශපාලනය හා සම්බන්ධ වූහ. ටී. බී. ඉලංගරත්න ඒ අතර ප්‍රධාන භූමිකාවක් උසුලයි. ටී. බී. ඉලංගරත්න යන නම ඇසුණු සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ අඹ යාළුවෝ ළමා නවකතාව යි. සමගි පෙරමුණු ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍ය ධුරය පවා ඉසිලූ ටී. බී. ඉලංගරත්න දක්ෂ ලේඛකයෙකු හා රංගධරයෙකි. ටී. බී. ඉලංගරත්නයන් ලේඛන කලාව ඇරඹුවේ කවියෙකු ලෙසටය. 1913 දී මහනුවර, හතරලියද්ද නමැති ගමෙහි ටී. බී. උපත ලැබීය.
පළමුව ගමේ පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේය. අධ්‍යාපනය හමාර වීමෙන් පසු ඔහු වෘත්තීය ජීවිතය ඇරඹුවේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙනි. ඉන් අනතුරුව ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට තිරනාටක රචකයෙකු, නළුවකු, වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ දෙශපාලනඥයෙකු බවට ද පත්විය.
1956-1977 කාල සමය තුළ බිහිවුණු රජයන් කිහිපයක ප්‍රබල අමාත්‍ය තනතුරු දැරූ මෙම දේශපාලඥයා දශක 3කට අධික කාලයක් මෙරට දේශපාලනය තුළ රැඳී සිටියේ ය. එම දශකයේ මැද භාගයේ දී ටී. බී. ඉලංගරත්න සමස්ත ලංකා ලිපිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා බවට තේරී පත් විය. වෘත්තීය සංගමයේ තනතුර හෙබවූ කාල සීමාවේ ඔහු වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කෙරිණ. එනිසාම ඔහු වටා විශාල පිරිසක් ඒකරාශී විය.
ඉලංගරත්න නම් වෘත්තීය සමිති නායකයා එලෙස මහනුවර ප්‍රදේශය තුළ ජනප්‍රිය වෙමින් පැවති කාල වකවානුවක 1947 මහා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත්වීමත් සමග හිතවතුන් මහමැතිවරණයේ දී මහනුවර ආසනයෙන් තරග කරන ලෙස ඇවිටිලි කළද ඉලංගරත්නයන් මහා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කිරීමට තීරණය කළේය.
1947 මැතිවරණ සටනේ දී ඉලංගරත්නගේ ප්‍රතිවාදියා වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජෝර්ජ් ඊ. ද සිල්වා ය. එදා බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදිම මහනුවර ආසනයේ ජය පැරදුම අතර තිබුණේ ඡන්ද 205ක පරතරයක් පමණකි. එහිදී ජෝර්ජ් ඊ. ද සිල්වා ඡන්ද 7,942ක් ලබාගන්නා විට ටී. බී. ඡන්ද 7,737ක් ලබාගෙන තිබුණි. 1947 මහා මැතිවරණයේ දී මහනුවර ආසනය ජයග්‍රහණය කළ ජෝර්ජ් සිල්වාට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළේ ඉලංගරත්න පාර්ශ්වය යි. එහි දී ඉලංගරත්න පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ චෝදනා ඔප්පු වීම නිසා ජෝර්ජ් සිල්වාට සිය අසුන අහිමි විය.
ඉන් අනතුරුව 1949 වසරේ ජූනි 18 වැනිදා මහනුවර අසුන සඳහා යළි අතුරු මැතිවරණයක් පැවැත්විය. එම අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු ටී. බී. ගේ බිරිඳ තමරා ඉලංගරත්න වැඩි ඡන්ද 2050කින් මහනුවර අසුන ජයග්‍රහණය කළාය. 1956 මහා මැතිවරණය වනවිට ඉලංගරත්නට යළි ප්‍රජා අයිතිය හිමි වී තිබිණ. ඒ වන විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එහි සම ලේකම් තනතුර හෙබවීය.
මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ගලහ ආසනයෙන් තරග කළ ටී. බී. ඡන්ද 16,924ක් ද, එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ටී. බී. පානබොක්කේ ඡන්ද 10,490 ලබා ගැනිණ. 1960 වසරේ මාර්තු මහා මැතිවරණය, 1960 ජූලි මහා මැතිවරණය, 1965 මහා මැතිවරණය, 1970 මහා මැතිවරණයන් සඳහා තරග කෙරිණ. 1970 මහා මැතිවරණයේ දී යළිත් කොළොන්නාව ඡන්ද සටන පැවතුණේ ටී. බී. සහ කුසුමා ගුණවර්ධන අතර යි. එවර මහා මැතිවරණයේ දීත් කුසුමා ගුණවර්ධන අබිබවා ගිය ටී. බී. වැඩි ඡන්ද 8,836කින් කොළොන්නාව අසුන ජයග්‍රහණය කළේය. ඉන්පසුව බලයට පත්වුණු සමගි පෙරමුණු රජයේ දේශීය සහ විදේශීය වෙළඳ අමාත්‍ය තනතුර හිමි වුණේ ටී. බී. ඉලංගරත්නට ය.
1977 වසරෙන් පසුව කෙටි කාලයක් දේශපාලනයේ නිරත වුණු ඉලංගරත්න පසුව මහජන පක්ෂයට සම්බන්ධ වී එහි මුල්ම සභාපතිවරයා බවට ද පත් විය. එම පක්ෂය තුළ වසර කිහිපයක් රැඳී සිටි ඔහු 1986 වසරේ දී සිය දේශපාලන ගමන් මග අවසන් කෙරිණ.
මනීෂා වීරසිංහ