මැතිවරණ නියාමන වියදම් ගැසට්ටුව ළඟදීම


උපුල් වික්‍රමසිංහ
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව සඳහන් මැතිවරණ වියදම් නියාමන තොරතුරු ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගිය 16 වැනිදා මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී මැතිවරණ වියදම් නියාමනය පිළිබඳ පක්ෂවල අදහස් ලබා ගත් බව ද හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ප්‍රකාශ කළ සභාපතිවරයා ඉක්මනින් ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන බව ද කීවේය.