මැතිසබෙන් රස කතා



චරාස්... යන  හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය  පුරා එකවරම  එල්ල වූයේ කිසිවෙකුත්  බලාපොරොත්තු නොවූ  මොහොතකය. ඒ සමගම  කථානායකවරයාගේ පුටුව පෙරළී ගියේය. වතුර බෝතල්,  ෆයිල් කවර,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් පොත් පත්  කථානායකවරයා දෙසට එකවරම  ඉගිල්ලී ගියේ  යුද පිටියක සිරි මවමිනි.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ මෙවැනි ආකාරයේ සිද්ධියක් වුණු පළමු වතාව මෙයයි.

එසේම පාර්ලිමේන්තුවේ සිදුවූ බරපතළම සිද්ධිය ද මෙය වන්නේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමෙන් පසු එය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසු  විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන්  රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් 2018 වසරේ නොවැම්බර් මස 16  ඇතිවූ  මේ සිද්ධිය කාටත් අමතක නැත. පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මේ සිද්ධිය වනවිට මාත් මා මිත්‍ර ආරියරත්න රණබාහු මාධ්‍ය සගයාත්  සිටියේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය ගැලරියේය.

ඒ මැතිසබේ කටයුතු වාර්තා කරමිනි. එවැනි ඉතිහාසයට ගිය සිද්ධියක්  ඇස් දෙකින් දැකගැනීමට අපට එදින භාග්‍යය ලැබුණද එය  කිසිසේත්ම භාග්‍යවත් සිද්ධියක් නොවන බව නම් මෙහි සඳහන් කළ යුතුමය.

මේ ගාලගෝට්ටි මැද්දේ කථානායකවරයාට එදින  මැති සබයට පැමිණියේ පොලිස් භට පිරිසකගේ දැඩි රැකවල් මධ්‍යයේය.

මේ සිද්ධියෙන් පසු ප්‍රකාශයක්  කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ තමාගේ ඇස්වල තවමත් මිරිස් කුඩු රැඳී ඇති බවයි.

සිද්ධියෙන් පසු ඒ ගැන කරුණු සොයාබැලීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කෙරිණ.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා ගම්පහ වැලිවේරියේ රතුපස්වල  කම්හලකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් පානීය ජලය විස වී ඇති බව පවසමින් එයට එරෙහිව පිරිසිදු ජලය ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ හමුදා වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මියගියහ. තවත් පස් දෙනෙක් තුවාල ලැබූහ. මේ සිද්ධිය ද එවකට  රටේ මහත් කැලඹීමක් ඇති  කළ එකක් විය. සිද්ධිය ගැන මැතිසබේ කතා කළේ එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමය. මාන්නප්පෙරුමද  පාර්ලිමේන්තුවට ආපු අලු‍තය. ඔහු කතාව ඇරඹුවේ එම වෙඩි තැබීමට යොදා ගත් උණ්ඩයක කොපුවක් යැයි හඳුන්වා දුන්  යමක්  ප්‍රදර්ශනය කරමිනි.

“ගරු කථානායකතුමනි, වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු ගම්පහ අහිංසක මිනිස්සුන්ට මේ හමුදාවේ කට්ටිය කරපු විනාශය බලන්න.  සිද්ධිය ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනැ. මේ බලන්න   මෙන්න මේ උණ්ඩයකින් තමයි වෙඩි තියලා තියෙන්නේ.”‍

මාන්නප්පෙරුම උණ්ඩ  කොපුව ඉහළට ඔසවා සභාවට ප්‍රදර්ශනය කළේය.

සභාව කඩි ගුලක් මෙන් ඇවිස්සුණේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න වැලකි.

“මේ උත්තරීතර සභාවට උණ්ඩයක් ගෙනල්ලා. මෙහෙම දේවල් මෙතනට ගේන්න බැහැ. අපේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්. මේ ගැන වහාම සොයා බලන්න ඕන. මේක මෙතනට ගෙනාවේ කොහොමද? ආරක්ෂක නිලධාරීන් නිදාගත්තද”‍

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේ ඒ ආකාරයටය.

මේ අවස්ථාවේදී මාන්නප්පෙරුම  පසෙකට කැඳවාගෙන ගිය වේත්‍රධාරී නිලධාරිහු  මේ ගැන ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූහ.

“මම පෙන්නුවේ ඇත්තම උණ්ඩයක් නෙවෙයි. රවී කරුණානායක මන්ත්‍රීතුමාගේ  පෑනෙ කොපුව   පෙන්නුවේ.  ඒක තහනම් භාණ්ඩයක් නොවෙයිනේ.”‍

මාන්නප්පෙරුම එහිදී  ඒ නිලධාරීන්ගෙන් එසේ ප්‍රශ්න කරමින් චෝදනාවෙන්  ගැලවුණේ සූක්ෂම ලෙසය.

මාන්නප්පෙරුම  උණ්ඩයක් යැයි පවසමින් පෑන් කොපුවක් ප්‍රදර්ශනය කළේ ඒ අවස්ථාවේදී  මැතිසබේ සිටි මාධ්‍යවේදීන් පිරිසකගේ  ඉල්ලීමක් අනුව බව පසුව අපට දැනගන්නට ලැබිණ.

කෙසේ වෙතත් මේ සිද්ධිය  පත්තරවල මුල් පිටුවල ලොකු සිරස්තල මැවූ එකක් විය. මාන්නප්පෙරුම  මැතිසබේට ආපු අලු‍ත හෙයින් ඔහුට ඉන් ලැබුණේ ලොකු ප්‍රසිද්ධියකි. අදටත් ඔහු එය සිහිපත් කරන්නේ සිනාසෙමිනි.

දිනක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ පැමිණියේ ඉතාම කුඩා මිටි මන්ත්‍රීවරයෙකි.

මේ මන්ත්‍රීවරයා ඉදිරියට පැමිණියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමකි. 

නිතර විහිළුවෙන් තහළු‍වෙන් සිටින අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා එකවරම පැන ඒ මිටි කුඩා මන්ත්‍රීවරයා  “අනේ මගේ චූටි පුතා”‍ යනුවෙන් පවසමින් ඔසවා ගත්තේ කුඩා දරුවකු  පපුවට තුරුලු‍ කරගන්නා පියකු සෙයියාවෙනි.

පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු දෙනෝ දාහක් බලා සිටියදී සිදුවූ මේ සිද්ධියෙන් මිටි කුඩා මන්ත්‍රීවරයා මහත් සේ ලජ්ජාවට පත්වී ඇඹරෙන්නට විය.

ඔහුට කර කියාගන්නට  අන් කිසිවක්  නොවීය. ඔහුගෙන් ගැලවෙන්නට බැරිම තැන “ඒයි මාව බිම තියපන්. උඹට මම හොඳ දෙයක් කරනවා.”‍ යනුවෙන් පවසමින්  මහ හඬින් කෑ ගැසුවේ කෝපාවිෂ්ටවය.

මෙය එම සිද්ධිය බලා සිටි පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු බොහෝ පිරිසකට නම් රසවත්  අත්දැකීමක් විය.

අලු‍ත්ගමගේ  මිටි මන්ත්‍රීතුමා එකවරම බිම තැබුවේය.

එසේ බිම තැබීමෙන් පසු මිටි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ආලින්දයේ  පසෙකට දිව ගියේ අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයාට ලු‍ණු ඇඹුල් නැතිව බැණ වදිමිනි.

එම සිද්ධියෙන් පසුව මිටි මන්ත්‍රීතුමා අලු‍ත්ගමගේ ඉදිරියට පැමිණෙන  සෑම අවස්ථාවකම  අසල කාමරවලට පැන සැඟවුණු බව තතු දත් සේවකයෝ පැවසූහ.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් පිරිසකට ලිංගික හිරිහැර කරන ලදැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමෙන් පසු අප ඒ ගැන රටට තොරතුරු අනාවරණය කළේ  ඒ සේවිකාවන්ට සාධාරණයක් ඉටුකරදීමේ අරමුණිනි.

“මැතිසබේ අනංගයෝ : රූමත් සේවිකාවන්ට හිරිහැර”‍ යනුවෙන් ඒ ප්‍රවෘත්තිය පළවූයේ  රටේ කාගේත් ඇස් ඒ දෙසට යොමු කරමිනි.

සිද්ධිය ගැන හෙළිදරව්වෙන් පාර්ලිමේන්තු බලධාරීහු කලබලයට පත්වූහ.

වහා පරීක්ෂණයක් ඇරඹිණ.

බොහෝ පිරිස්  ඉදිරිපත් වූයේ අනංගයන් ආරක්ෂා කිරීමටය. 

පරීක්ෂණය හරියාකාරව සිදුවුණේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙ මගපෙන්වීම යටතේය.

සිද්ධිය ඇත්ත බවට සනාථ විය. එම අංශයේ නිලධාරියකු ඇතුළු දෙදෙනෙකු වැඩ තහනමට ලක් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

අදටත් ඒ පරීක්ෂණය ක්‍රියාත්මක වෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති වාර්තා කිරීම බෙල්ල ගහලා යන වැඩකි. එය සීරු මාරුවෙන් කළ යුතුය. ඒ මක්නිසාදයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ඇති හෙයිනි.

මේ කොරෝනා පැවති සමයයි. බොහෝ ආහාර ද්‍රව්‍යවල හිඟයක් රට පුරා පැවතියේය. මැතිසබයට ද කිරි හිඟයක් තිබිණ.
දිනක් පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් පැමිණ අපට කීවේ මෙහෙම කතාවකි.

“මන්ත්‍රීවරු දෙන්නෙක් කැන්ටිමේ කිරි නැහැ කියලා ලොකු ගෝරියක් දැම්මා. සේවකයන්ටත් කැත විදියට බැණ වදිමින් පිස්සු නටනවා”‍

ඔවුහු එසේ පැවසූහ.

අප මෙම සිද්ධිය   “මන්ත්‍රීවරු කිරි ඉල්ලා යකා නටති”‍ යන සිරස්තලය යටතේ  පුවත්පතේ පළ කළේ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් නොකරමිනි.

මේ සිද්ධිය පළ වී දිනකට පසුව මන්ත්‍රීවරුන්  දෙදෙනකු වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේ  සිද්ධිය ලියූ මෙම ලියුම්කරු සහ අංජුල මහික වීරරත්නට දඬුවම් කළ යුතු බව පවසමිනි.

අප දෙදෙනාම එවකට අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවුණේ ඒ අනුවය.

මේ සිද්ධියට ඇති සාක්ෂි මොනවාදැයි කමිටුව එහිදී අපෙන් ප්‍රශ්න කළේය.

මම සහ අංජුල සිද්ධිය ගැන දන්නා තොරතුරු සියල්ල කමිටුවට පැවසීමු. කෙසේ වෙතත් අවසානයේදී සුළු අවවාදයකින් පසු පරීක්ෂණය එතනින් නිමාවට පත්විය.

දිනක් මා සහ විමලවීර දිසානායක හිටපු මන්ත්‍රීවරයා  එවකට කථානායක  කරු ජයසූරිය හමුවට ගියේ කිසියම් වූ අවශ්‍යතාවක් සඳහාය.

අප දෙදෙනා සුහදව පිළිගත් කථානායකවරයා ලොකු කතාවකට වැටුණේ  ආ ගිය මුල ගිය තැන් අවුස්සමිනි.

එකවරම විමලවීර දෙස හැරුණු ජයසූරිය මහතා මාව ඇඟිල්ලෙන් පෙන්වමින් “මේ ඔබතුමාගේ ඥාතියෙක්ද”‍ යනුවෙන් විමසුවේ මඳ සිනහවක්ද  පාමිනි.

පැමිණි කාරණය කර ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් තැනට සුදුසු නුවණ පාවිච්චි කළ විමලවීර දිසානායක  “ඔව්”‍ යනුවෙන් පිළිතුරු දුන්නේ කිසිදු පැකිළීමකින් තොරවය.

කථානායක කරු ජයසූරිය මෙහිදී විමලවීරගෙන් තවත් ඉල්ලීමක් කළේ මේ විදියටය.

“මන්ත්‍රීතුමා, ඔබතුමාගේ මේසේත් ලැප්ටොප්  ඒකක්  හයිකළා. නිකම්ම තියන්න එපා. ඒක දැන් පාවිච්චි කරන්න”‍ යනුවෙන් කරු ඒ ඉල්ලීම කළේ  විමලවීරගෙන් සුබවාදී පිළිතුරක් අපේක්ෂාවෙනි.

ගමේ අහිංසක මන්ත්‍රීවරයකු වූ විමලවීර දිසානායක කථානායකවරයා දෙස බලා”‍ අනේ අපිට ඕවා මොකටද කථානායකතුමා”‍ යනුවෙන් පවසා සිනාසුණේ  නිහතමානීවය.

“එහෙම කියන්න එපා. දැන් අපිට ඔය තාක්ෂණය එක්ක තමයි යන්න වෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඉගෙනගන්න”‍

කරු ජයසූරිය  එසේ පිළිතුරු දෙමින් වෙනත් කතාබහකට පිවිසුණේ විමලවීරගේ ලැප්ටොප්  අකමැත්ත  හොඳින් තේරුම් ගනිමිනි.

ඒ කතා බහෙන් පසු අපි දෙදෙනා කථානායක කාමරයෙන් එළියට ආවෙමු.

එළියට ආ විගස විමලවීර මා දෙසට හැරී “එහෙනම් අපි දෙන්නා දැන් ඥාතීන් නේද”‍ යනුවෙන් විමසුවේ  කොක්හඬලා සිනාසෙමිනි.

දිනක් මාධ්‍යවේදියකු  ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ හිටපු සංවිධායකවරයා හමුවීමට ගියේ ඔහුගේ කාමරයටය. මාධ්‍යවේදියාට තිබූ ප්‍රශ්නය දරුවා කිසියම් පාසලකට ඇතුළත් කර ගැනීමටය.

මාධ්‍යවේදියා ප්‍රශ්නය කිරිඇල්ලට ඉදිරිපත් කළේය.

“ඕක ටිකක් අමාරු වැඩක්. අපි බලමුකෝ”‍ යනුවෙන් පැවසූ කිරිඇල්ල දරුවා ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන පාසලේ විදුහල්පතිවරියට දුරකතන ඇමතුමක් ගත්තේ සැණෙකිනි.

විදුහල්පතිවරියගෙන් කිරිඇල්ලට ලැබුණේ සුභවාදී පිළිතුරක් නම් නොවෙයි.

“අධ්‍යාපන ලේකම්තුමාගෙ ලිපියක් නැතුව අපිට මොකුත් කරන්න බෑ සර්. ලිපියක් ගෙනාවොත් මම කරන්නම්”‍

විදුහල්පතිවරිය එසේ පිළිතුරු දුන්නාය.

“හැබැයි අපේ පැත්තෙ ඉස්කෝලවල නම් අපි කිව්වම ළමයි ගන්නවා”‍  යනුවෙන් කිරිඇල්ල එහිදී විදුහල්පතිවරියට පැවසුවේ සුහදව සිනාසෙමිනි.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ  වි.ජ.මු. ලොකු බණ්ඩාර පාර්ලිමේන්තු කොරිඩෝවේ ගමන් කරමින් සිටියදී  එකවරම ඔහු වෙත දිව ආ  පරණ පාර්ලිමේන්තු සේවකයෙකු ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ මේ ආකාරයටය.

“සර් මගේ දරුවා  ගමේ පාසලට දාගන්න බැරි වුණා. විදුහල්පතිතුමා එක එක කතා කියනවා. තාම දරුවට පාසලක් නෑ. පුළුවන් නම් මට උදව්වක් කරන්න”‍ සේවකයා සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ දෙනෙත් පුරා කඳුළු පුරවාගෙනය.

පාර්ලිමේන්තු සේවකයා දෙසට කරුණාවන්ත බැල්මක් හෙලූ ලොකු බණ්ඩාර “මට බෑ අයිසේ ඔය ඉස්කෝලෙට දාන්න. තමුසෙගේ ළමයා මීට පස්සෙ යන්න ඕන ඔය  ඉස්කෝලෙට  නොවෙයි, කොළඹ රෝයල් එකට”‍ යනුවෙන් පැවසුවේ  සේවකයා පුදුමයට පත්කරවමිනි.

සේවකයාගේ අත තිබූ ලියවිල්ල අතට  ගත් විජමූ ලොකුබණ්ඩාර  “මේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට බඳවාගන්න”‍ යනුවෙන්  එහි සටහනක් තබා අස්සන තැබුවේය.

සේවකයා එකවරම දණ නවා ලොකු බණ්ඩාරට වැඳ නමස්කාර කළේය.

“මට වඳින්න අවශ්‍ය නෑ. දැන් ගිහිල්ලා වැඩේ කරගන්නකෝ”‍ යනුවෙන් පැවසූ වි.ජ.මු. ඒ ස්ථානයෙන් පිටව ගියේ සේවකයාගේ පිටට බොහොම ළෙන්ගතුකමින් තට්ටුවක් ද දමමිනි.


සුජිත් හේවාජුලිගේ