වසර 2023 වෙනවිට ලංකාවේ සමස්ත විදුලිය නිෂ්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. ඒ වෙනුවෙන් රජයත් පෞද්ගලික අංශයත් මැදිහත් වෙමින් පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනයට දායක වෙයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතර හිරු එළියට වැඩි වටිනාකමක් හිමි වෙන්නේ ලංකාව හොඳින් හිරු එළිය ලබන රටක් හෙයිනි. හිරු එළියෙන් (සූර්ය පැනලවලින්) විදුලිය උත්පාදනය කිරීමට දායක වෙන පෞද්ගලික ආයතන අතර ප්‍රමුඛ සන්නාමයක් වෙන්නේ හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා (Hayleys Solar) යි. හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වෙන හේලීස් සෝලා සූර්ය විදුලි බල උත්පාදනය සම්බන්ධයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. එනම් මෙගා වොට් 150 ක සූර්ය පැනල බලාගාරයක් ඉදිකිරීම සඳහා සුදුසුකම් ලැබීමය. ඒ ගැනත් ආයතනයේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ගැනත් මේ සාකච්ඡාව හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක සමගයි.
හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ ගමන් මග ගැන කෙටි හැඳින්වීමක් කළොත් ?
ෆෙන්ටන්ස් ආයතනය පටන් ගත්තේ 1919 හර්බට් ෆෙන්ටන්ස් කියන වරලත් ඉංජිනේරුවා විසින්. 2016 දී හේලීස් ආයතනය විසින් ෆෙන්ටන්ස් ආයතනය මිලදී ගත්තා. හේලීස් කියන්නෙ දැනට ලංකාවෙ තියෙන දැවැන්තම ආයතනය. හේලීස් ආයතනයේ අංශ 16 ක් තියෙනවා. එයින් අපි නියෝජනය කරන්නෙ ඉංජිනේරු හා ව්‍යාපෘති අංශය. හේලීස් ෆෙන්ටන්ස් නමින් හඳුන්වන්නෙ මේ අංශය. හේලීස් ආයතනයෙ සභාපතිතුමාගෙ දැක්ම තමයි අපේ ආයතනය යම් ව්‍යාපාරික ක්ෂේත්‍රයක ඉන්නවා නම් අපි ඒ අංශයෙ ප්‍රමුඛයා විය යුතුයි කියන එක. හේලීස් ආයතනය එල්.එම්.ඩී. (L.M.D.) සඟරාවේ ප්‍රමුඛතම සම්මාන දිනාගෙන තියෙනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීම්වල සමාගම් අතරින් පළමු ස්ථානය දිනා ගන්නත් හේලීස් ආයතනයට හැකි වුණා. ලංකාවෙ තියෙන ඉංජිනේරු සමාගම් අතරින් පෙරමුණේ ඉන්නෙත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය. අපේ ආයතනයේ පිරිවැටුම රුපියල් බිලියන 30 ක මට්ටමට ඇවිත් තියෙනවා
අපේ ආදායම්වලින් සියයට 50 ක් එන්නෙ පුනර්ජනනීය බලශක්ති අංශයෙන්. වහළ මත සවි කරන සෝලා ගත්තත් පොළොව මත සවි කරන සෝලා ගත්තත් බැටරි පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන සෝලා මේ කවර එකක් ගත්තත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනය ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ සමස්ත සෝලා ධාරිතාවෙන් සියයට 25 ක්ම අපේ ආයතනයෙන් ලබා දෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය මගින් දැනට සුළං හා සෝලා විදුලිය මෙගා වොට් 400 ක් පමණ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එයින් මෙගාවොට් 200 ක් ම අපේ ආයතනයට ලැබිලා තියෙනවා. ඒ ටෙන්ඩර් අපේ ආයතනයට ලැබුණෙ අපි ඉදිරිපත් කරපු තරගකාරී මිල ගණන් නිසා. මේ ළඟදී මෙගාවොට් 50 ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය ලැබුණෙත් අපේ ආයතනයට.
ඒ බලාගාරයේ ඉදිකිරීම් කොයි කාලෙ ද පටන් ගන්නෙ?
මේ අවුරුද්දෙ මැද වෙද්දි ඒ කටයුතු පටන් ගන්න වෙනවා.
ලෝකයේ වෙන රටවල් එක්ක බලද්දී සෝලා පද්ධති සවිකිරීම සඳහා ලංකාවේ වැඩි මුදලක් වැය වෙන බවට සාකච්ඡාවක් තියෙනවා. ඒක ඇත්තද?
ලෝකය සමග සන්සන්දනය කළොත් සෝලා සවි කිරීම සඳහා වැය වෙන මුදල ලංකාවේ අඩු අගයක තියෙන්නෙ. ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඇමෙරිකාව යන මේ රටවල ගෙදරකට කිලෝ වොට් 5 ක සෝලා පද්ධතියක් ඩොලර් 3,000 ක මුදලකට සවි කරන්න බෑ. ඒ රටවල ඒ සඳහා ඩොලර් 5,000 ත් 10,000 ත් අතර මුදලක් වැය වෙනවා. ඒත් ලංකාවෙ කිලෝ වොට් 5 ක සෝලා කට්ටලයක් ඩොලර් 3,000 කට සවි කරන්න පුළුවන්. ඩොලර් 3,000 ක් කියන්නෙ රුපියල් ලක්ෂ 9 යි. නමුත් ආණ්ඩුවට ගන්න සෝලා පද්ධති ලෝකයෙ අනිත් රටවලට වඩා මිලෙන් වැඩියි. හේතුව අපේ පරිමාණය අඩුයි. ඒ නිසා ලංකාවේ දැනට සෝලා විදුලිය ඒකකයක් අලෙවි කරන්නෙ ඩොලර් ශත 6 ත් 8 ත් අතර මිලකට. ඉන්දියාවේ සූර්ය බල විදුලි ව්‍යාපෘති මෙගා වොට් 4,000 වැනි විශාල පරිමාණයේ ඒවා. එතකොට ඒකක මිල අඩුවෙන් දෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ සෝලා විදුලිය ඒකකයක් විකිණෙන්නෙ ඩොලර් ශත 2 ක් 3 ක් වැනි මිලකට.
ලංකාව පුරා තවදුරටත් සෝලා විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමට හේලීස් සෝලා ආයතනයට හැකියාව තියෙනවා ද?
ඒ සඳහා ලංකාවටත් අවශ්‍යතාව තියෙනවා. ලංකාවේ සමාගම් වලටත් හැකියාව තියෙනවා. ඒ සමාගම් අතර දැවැන්තම සමාගම වෙන හේලීස් ආයතනයට සෝලා විදුලිය සඳහා ආයෝජන කිරීමේ හැකියාව තියෙනවා.
තමන්ගේ නිවෙසේ වහළය මත සූර්ය පැනල කට්ටලයක් සවි කර ගන්නා පාරිභෝගිකයාට අත් වෙන වාසි මොනවා ද?
අපි නිධාන ගැන දන්නවානෙ. සාමාන්‍යයෙන් නිධාන තියෙන්නෙ පොළොව යටනෙ. ඒත් දැන් හැමෝගෙම වහළ මත නිධානයක් තියෙනවා. ඒ තමයි සෝලා පද්ධතිය. සූර්ය බලය අපිට නොමිලේ ලැබෙනවා. වහළ උඩ සෝලා පද්ධතියක් සවි කළහම ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ විදුලිය එක්කො අපිට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් විදුලි බල මණ්ඩලයට විකුණන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයට විකුණන හැම සෝලා විදුලිය ඒකකයක් සඳහාම රුපියල් 27 ක් ලැබෙනවා. මේ වගේ අවස්ථාවක් නැවත ලේසියෙන් හම්බ වෙන්නෙ නෑ. මේ කාලය තමයි සූර්ය බල විදුලියට යන්න තියෙන හොඳම කාලය.
පාරිභෝගිකයන් ඒ සඳහා හේලීස් සෝලා ආයතනය තෝරා ගත යුත්තෙ ඇයි?
අපි වාහනයක් ගනිද්දි ඒක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද බ්‍රෑන්ඩ් එක මේ හැම දෙයක්ම බලනවා. සෝලා විදුලිය අවුරුදු 20 ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අවුරුදු විස්සක කාලයක් සඳහා සේවාවක් දෙන්න පුළුවන් ආයතනයක් වෙන්නත් ඕන. හේලීස් ආයතනය අවුරුදු 147 ක් පැරණියි. හේලීස් ෆෙන්ටන්ස් ආයතනය අවුරුදු 106 ක් පරණයි. ඒ නිසා හේලීස් සෝලා ආයතනයෙන් මිලදී ගන්නා සෝලා පද්ධතිවලට අවුරුදු විස්සක වගකීමක් අනිවාර්යයෙන් ලබා දෙනවා. මේ වගේ විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්න කොට කෙනෙක්ට බය වෙන්න දෙයක් නෑ.
අලෙවියෙන් පසු ලබා දෙන සේවාව කොහොම ද?
හේලීස් ආයතනය සතුව අලෙවියෙන් පසු සේවාව ලබාදීමට වෙනම අංශයක් තියෙනවා. ඒක මුළු ලංකාව පුරාම විහිදුණු අංශයක්. පාරිභෝගිකයන්ට තව සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි සෝලා කට්ටලය වහළ මත කුමන ආයතනයක් මගින් සවි කළත් අපේ ආයතනයට ඒවායේ නඩත්තු සේවා සපයන්න පුළුවන්. ඒ විදියට අතඇරලා දාපු සෝලා පද්ධතිවල නඩත්තු කටයුතු අපේ ආයතනයට ලබා දීලා තියෙනවා. විශාල සමාගම් පවා නඩත්තු සේවා ලබා ගැනීමට අපේ ආයතනයට ඇවිත් තියෙනවා. අපි පළමුව අවධානය යොමු කරන්නෙ යන වියදමට වඩා ලබා දෙන සේවාවේ ගුණාත්මකභාවය ගැන.
ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමටත් හේලීස් සෝලා ආයතනය කටයුතු කරලා තියෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්ප සුගියදා හදිසියේ සිදු වූ විදුලිය බිඳවැටීමත් එක්ක බොහෝ අයට කල්පනා වෙච්ච දෙයක් තමයි ගෙදර හදිසි ලයිට් (emergency light) එකක් තිබුණා නම් හොඳයි කියලා. ඒත් ඒවා වැඩිකල් පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට අපේ ආයතනය හඳුන්වා දුන් විසඳුම තමයි මේ ජංගම බලශක්ති පද්ධතිය. ඒක අවුරුදු 10 ත් 15 ත් දක්වා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියා ගන්නත් පුළුවන් අවශ්‍ය නම් වාහනයේ අරන් යන්නත් පුළුවන්. ඒකෙන් වායුසමීකරණ යන්ත්‍රයක් වුණත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. විදුලි පංකා, ලැප්ටොප් මේ ආදී ඕනෑම විදුලියෙන් ක්‍රියාත්මක උපාංගයක් ඒකෙන් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. වොට් 300 සිට මෙගා වොට් 2.4 දක්වා විදුලිය ධාරිතාවක් සහිත යන්ත්‍ර දැනට තියෙනවා. ඊට අමතරව ගෙදරකට හයිබ්‍රිඩ් පද්ධතියක් අවශ්‍ය නම් අපිට ඒකත් හයි කරන්න පුළුවන්.
2030 වෙද්දි ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය විදුලියෙන් සපුරා ගැනීමට රජයට ඉලක්කයක් තියෙනවා. සූර්ය බල විදුලිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් ලබාදෙන අනුග්‍රහය ගැන සෑහීමට පත් විය හැකි ද?
සෑහීමට පත් වෙන්න බෑ. නමුත් විදුලි බල මණ්ඩලයේ හා විදුලි බල අමාත්‍යාංශයේ දැක්ම ගැන අපි සතුටු වෙනවා. මොකද විදුලියෙන් සියයට 70 ක් පුනර්ජනනීය විදුලියෙන් ලබා ගත යුතුයි කියන මතයෙ ඉන්නවා. පුනර්ජනනීය බලශක්තිය අපතේ නොයවා බැටරියක ගබඩා කර විදුලිබලය බිඳ වැටුණු දවස්වල පාවිච්චියට ගන්න පුළුවන් කියන මතයෙ තමයි ඉන්නෙ.
කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජීවත් වෙන අයට හේලීස් සෝලා ආයතනයේ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් පහසුකම් සපයා තියෙනවා ද?
දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරු තුඩුව දක්වා අපේ ආයතනේ සීමා සහිත ශාඛා ප්‍රමාණයක් තියෙනවා. ශාඛාවක් තිබුණත් නැතත් 011-2102102 අංකයට ඇමතුමක් දුන් පසු ලංකාවේ ඕනෑම තැනකට සේවාව ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා.
මේ වෙද්දි හඳුනාගෙන තියෙන ව්‍යාපාරික අභියෝග මොනවා ද?
ලංකාවේ ඉන්න දක්ෂ අය පිටරට යන එක තමයි අපිට දැනට තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා ඉංජිනේරු හා අලෙවි අංශවල දක්ෂ අය හොයා ගන්න අමාරුයි. අපි උත්සාහ කරන්නෙ හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙ ඉන්න අයගෙ හැකියාවන් දියුණු කරන්නයි එළියෙ ඉන්න දක්ෂ අය ආයතනයට බඳවා ගන්නයි. පුනර්ජනනීය බලශක්ති අංශයෙන් ලංකාවට යන්න තියෙන දුර බොහෝමයි.
සියයට 70 ක විදුලියක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබාගැනීමේ ඉලක්කයට යෑමේ දී පෞද්ගලික අංශයේ සමාගම්වලට ලබා දිය හැකි දායකත්වය කොහොමද?
ඒ ඉලක්කය සපුරාගැනීමේ දී විදුලි බල මණ්ඩලය විසින් සම්පූර්ණ කර ගත යුතු ඉලක්ක කීපයක් තියෙනවා. එකක් තමයි සම්ප්‍රේෂණ මාර්ගය වැඩි දියුණු කළ යුතුයි. ගිය වසරෙ මෙගා වොට් 500 ක පමණ සූර්ය බලයක් ගෙවල්වලට සහ ආයතනවලට සවි කරලා තියෙනවා. මේ ප්‍රමාණය වැඩි කරන්න රටත් සූදානම්. පාරිභෝගිකයාත් සූදානම්. සෝලා බලශක්තිය සම්බන්ධව කටයුතු කරන සමාගමුත් සූදානම්. මේ වෙද්දී ලෝක වෙළෙඳපොළේ සෝලා පද්ධතියක මිල අඩු මට්ටමට ඇවිත් තියෙනවා. ලංකාවේ ඩොලරයත් ස්ථාවර වෙලා තියෙනවා. දැන් අඩු පොලියට බැංකුවලින් ණය ගන්නත් පුළුවන්. සෝලාවලින් නිපදවන විදුලිය රුපියල් 27 ගානේ විදුලි බල මණ්ඩලයට විකුණනවා නම් එයින් ලැබෙන ආදායම බැංකු ණය පොලී වාරිකයට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ නිසා මේ අවස්ථාව සෝලා විදුලියට යොමු වෙන්න තියෙන හොඳම අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.
පවතින මූල්‍ය අපහසුතා නිසා එකවර මුදල් ගෙවා සෝලා පද්ධති මිලදී ගත නොහැකි අයට වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ඔබ ආයතනයෙන් ලබා දෙනවා ද?
අපි බැංකු සහ මූල්‍ය ආයතන 25 ක් සමග අඩු පොලියට ණය ලබාදීම සඳහා ගිවිසුම් අස්සන් කරලා තියෙනවා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලී අය කිරීමකින් තොරව ලබා දෙනවා. කෙනෙකුට තමන්ගෙ අතින් ශතයක්වත් වියදම් නොකර සූර්ය බල කට්ටල ලබාගත හැකි ක්‍රමයක් අපි හදලා දීලා තියෙනවා.
සූර්ය පැනලයක කල්පැවැත්ම කොහොමද?
අවුරුදු 30 ක් පාවිච්චි කරන්න පුළුවන්. අපේ ආයතනයෙන් මිලදී ගන්නා සූර්ය පැනල සඳහා අවුරුදු 10 ක වගකීමක් ලබා දෙනවා.
සමාගමේ ඉදිරි අරමුණු මොනවාද?
බලශක්ති අංශයේ අපි ලබා ගත්ත ජයග්‍රහණ තවදුරටත් පවත්වා ගනිමින් මේ අංශයේ සමාගම් අතර අංක එකේ ස්ථානය ඉදිරියටත් තහවුරු කර ගැනීම තමයි අපේ අරමුණ. ඉංජිනේරු සේවාව මගින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මකව ඉහළ දැමීම තමයි අපේ ආයතනයේ අරමුණ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. සියලු දෙනාට තමන්ගෙ ආදායමට සරිලන විදියේ සෝලා විසඳුමක් ලබා දීමටත් ආණ්ඩුවට අඩු මුදලකට පුනර්ජනනීය විදුලිය ලබා දීමටත් අපි කටයුතු කරනවා. ආයතනයක් විදියට ලාභ ඉපැයීම අරමුණ වුණත් සාධාරණ ලාභයක් උපයමින් රටටත් රටවැසියාටත් අපේ ආයතනයටත් නිවැරදි දේ කිරීම තමයි අපේ බලාපොරොත්තුව.
සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ