සෘජුවම ජලාශයකට ඇඳ හැලෙන ලංකාවේ එකම දියඇලි ද්විත්වය
මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම කාලයකම විහිදී ගිය සීත සෞම්‍ය දේශගුණයකින් හෙබි මධ්‍යම කඳුකරයේ සාම නගරය වන හැටන් නගරයයි. මග දෙපස ඇති ෆයිනස් ශාක, කඳුපන්තිවල පැහැය, මාඋස්සා කැලේ ජලාශය ගෙන දෙන්නේ මනස්කාන්ත දර්ශනයකි. මාඋස්සාව මුළුමනින්ම පෝෂණය වන්නේ සමනල රක්ෂිතයේ ජලපෝෂකවලිනි. මාඋස්සාවට ජලය ලැබෙන ප්‍රධාන දියවර 4ක් සහ අවශේෂ දියවර 2ක් ඇත. එනම් සමස්තයක් ලෙස දිශා හයකින් මාඋස්සා ජලාශයට ජලය එක්වේ. මින් අවශේෂ දියවර දෙක පටන් ගන්නේ සමනොල කන්දෙනි. අනෙක් මූලාශ්‍ර හතර ආරම්භ වන්නේ ගවරවිල තැන්නෙනි. ගවරවිල තැන්නෙන් උපදින සිය ගණනක උල්පත් ජලය එකතු වී ශ්‍රී පාද ඇල්ල නැතිනම් ගාඩ්මොර් දියඇල්ල හරහා මාඋස්සාවට එකතු වේ.
මෙම මාඋස්සා ජලාශයේ තැන තැන පිහිටා ඇති දූපත් වැනි කඳුපන්තිත් - සමන් දෙවියන්ගේ අඩවිය ජලයෙන් පෝෂණය කරන ගාඩ්මොර් ඇල්ල, මරේ ඇල්ල, ලක්ෂපාන ඇල්ල, මෝහිනී ඇල්ල වැනි දියඇලි හා බත්උළුඔය ආදී සියල්ල මේ සොබාව සෞන්දර්යට එකතු කරන්නේ හරි අපූර්ව වූ චමත්කාරයකි.
ගාඩ්මොර් දිය ඇල්ල
මරේ දිය ඇල්ල
සෘජුවම ජලාශයකට ඇදහැලෙන ශ්‍රී ලංකාවේ එකම දියඇලි ද්විත්වය
මස්කෙළියට ජීවය ගෙනෙන සුන්දර දියඇලි අතුරින් ගාඩ්මොර් දියඇල්ල යනු ලංකාවේ ඇති දිය ඇලි අතුරින් දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් සුන්දරම දිය කොමළියකි. ගාඩ්මොර් ඇල්ල හෙවත් ශ්‍රී පාද ඇල්ල සුවිශේෂී වන්නේ මේ දිය ඇල්ලේ ජලය කෙළින්ම මාඋස්සාකැලේ ජලාශයකට ඇදහැලෙන ලංකාවේ ඇති එකම දිය ඇල්ල ලෙසිනි. ගාඩ්මොර් දිය ඇල්ල සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආදම්ගේ මුදුනට සමීප නිසා ඇඩම්ස් කඳු මුදුන හෝ ශ්‍රී පාද දිය ඇල්ල ලෙසයි. එහෙත් මෙම ශ්‍රීපාද දිය ඇල්ල මේ වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙන්නේ ගාඩ්මොර් දිය ඇල්ල යන නාමයෙනි. ශ්‍රීපාද දිය ඇල්ල ගාඩ්මොර් දිය ඇල්ල ලෙස හඳුන්වන්න විශේෂ හේතුව වන්නේ ද මේ ඇල්ල සුන්දර ගාඩ්මොර් වතුයායේ පිහිටා තිබීමයි.
මොකා වතු යායේ තේ සුවඳ මැදින් ගාඩ්මොර් දිය ඇල්ලට යන මාර්ගය වගේම දිය ඇල්ල අවට ඇත්තේ කියා නිම කළ නොහැකි පාරිසරික සුන්දරත්වයකි. ඉඳහිට මීදුමෙන් වසා ගන්නා මේ පරිසරයම විටෙක දිව්‍ය ලෝකයක් දැයි හැඟේ . ගාඩ්මොර් දිය ඇල්ල මුදුනේ තියෙන ස්වාභාවික නාන තටාකය සුවිශේෂි තැනක් ගන්නේ එය ලංකාවේ උසම තැනක පිහිටා තිබෙන ස්වාභාවික නාන තටාකය ලෙසනි. එම තටාකයේ වතුර අයිස් කැට මෙන් සීතල වුවද ගාඩ්මොර් දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් එහි දිය නෑමට අමතක කරන්නේ නැත.
දොතලු කඳු පන්තියෙන් ආරම්භ වී ගවරවිලතැන්න හරහා ගලා බසිමින් මාඋස්සාකැලේ ජලාශය පෝෂණය කරන මේ ගාඩ්මොර් ඇල්ල සහ මරේ වතු යාය මැදින් ගලා බසින මරේ දිය කොමළිය පායන කලට අහිංසක වූවක් වර්ෂාවට නම් ළං විය නොහැකි තරමට ප්රචණ්ඩය.
ගාඩ්මොර් දිය ඇල්ල පෝෂණය වන්නේ මොකා වතු යාය මැදින් ගලා යන අතුරු දොළ මාර්ග දෙකකිනි.මෙම සෑම දියපහරක්ම එක්වී කඩාහැලෙන ගාඩ්මොර් දිය ඇල්ලට එපිටින් සිනාසෙන හරි අපූරු මිතුරෙක්ද ඇත. ඒ මරේ දිය ඇල්ලයි.
සමනල කඳු වැටියෙන් ආරම්භ වන ජලධාරාවක් මඟින් නිර්මාණය වෙමින් කොටස් තුනකට බෙදී චමත්කාරජනක දසුන් මවමින් මරේ වතු යාය හරහා ගලාගෙන විත් මාඋස්සාකැලේට ඇදහැලෙන මරේ දිය ඇල්ල මස්කෙළිය ජලාශය පෝෂණය කරන තවත් සුවිශේෂ වූ දිය ඇල්ලකි. මරේ වතු යායේ එක් කොනකට වන්නට ඇදහැලෙන මරේ ඇල්ලත්, ගාඩ්මොර් ඇල්ලත් හමුවන තැන මිතුරන් දෙදෙනාම කඩා හැලෙන තරම් ප්රචණ්ඩ නැත, හරිම සංසුන්ය. මරේ වතුයාය අසලින් වැටී ඇති අඩිපාර ඔස්සේ දිය ඇල්ල ළඟටම යා හැකි නමුත් ඒ ගමන අතිශය දුෂ්කර මාවතක් නිසාවෙන් කල්පනාකාරී විය යුතුය.
ගමන දුෂ්කරය. සීතල අධිකය, විටෙක කටුකය. එහෙත් ඒ දුෂ්කර මාවතට සුවදායී සැනසීමක් ගෙන දෙන්නේ මරේ සහ ගාඩ්මොර් මිතුරන් දෙපළ මාඋස්සා කැලේ ජලාශයට කඩා හැලෙමින් මවන පුදුමාකාර සුන්දර දර්ශනයන්ගෙනි. වර්ෂාව නොඅඩුව ලැබෙන කාලයන්වලදී මේ පරිසරයේ මවාපාන්නේ වෙනමම ලෝකයකි. එ් දිව්‍ය ලෝකට දකින්නට තරම් පිං නොකරපු අපට දැක ගන්නට හැකි වූයේ දිය සිඳීගිය වේදනාබර පරිසරයකි. මෙම දිය ඇළි ද්විත්වය ම උස මීටර75 කට ආසන්න උසකින් කඩාහැලෙන අතර වර්ෂාව නොඅඩුව ලැබෙන සමයට අතිසුන්දර දසුන් මවමින් කඩාහැලෙන මෙම දිය ලලනාවන් විවිධ කෝණ ඔස්සේ රසවිඳීමේ හැකියාව පවතී. එහෙත් එකම කෝණයකින් දියඇළි යුගලයේ සුන්දරත්වය විඳීමට නම් බෝට්ටුවක් ආධාරයෙන් ජලාශය මැදට යා යුතුමය.
මරේ ඇල්ලේ පහස විඳින්නට මහා පර්වතයක් බඩ ගෑ අයුරු තරමක් අභියෝගාත්මක වුවත් එය සිතන විට හැඟෙන්නේ අමුතුම මිහිරියාවකි. විශේෂයෙන්ම මෙම පරිසරයේ ලස්සන විඳින්නට නම් එහි යා යුතු හොඳම වෙලාව වන්නේ උදෑසන කාලයයි.
ගාඩ්මොර් රාත්‍රී කඳවුරු බැඳීම වෙනමම අත්දැකීමක්
විශේෂයෙන් දේශීය බොහෝ සංචාරකයන් ගාඩ්මොර් දිය ඇල්ල තෝරා ගන්නේ රාත්‍රී කඳවුරු බැඳීමට ය. එය වෙනස්ම අත්දැකීමකි. එසේම විදෙස් සංචාරකයන් ද මේ අද්විතීය ස්වභාව සෞන්දර්යයට ප්‍රිය කරත්. ඔවුන්ට එම ස්ථානවල සුන්දරත්වය විඳීමට සුදුසු වැඩපිළිවෙළක් හදන්නේ නම් මේ දිය ඇළි ඩොලර් උල්පත් යැයි විටෙක සිතුනි. විදේශිකයන්ට එහි මිහිර විඳින්නට තවමත් නිසි වැඩපිළිවෙළක් නැත.
කොළඹ සිට කිලෝමීටර් 140 කට ආසන්න දුරකින් පිහිටා ඇති මෙම දිය ඇළි වෙත ළඟාවීමට පහසුම මාර්ගය වන්නේ කොළඹ සිට මස්කෙළිය නෝර්වුඩ් මාර්ගය ඔස්සේය. මෙම ඇල්ල නැරඹීමට මස්කෙළියේ සිට ගාඩ්මොර් වතු යාය හරහා ගමන් කළ යුතු වන අතර මස්කෙළියේ සිට ගාඩ්මොර් වතුයායට පොදු ප්‍රවාහන පහසුකම්ද ඇත. පෞද්ගලික ප්‍රවාහන භාවිත කරන්නේ නම් තේ වතු මැදින් වැටී ඇති මාර්ගය තරමක් ලිස්සනසුලුවීම සහ පසෙකින් ප්රපාතය පිහිටා තිබීම නිසා ගමන් කරන විට ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. තේ වත්ත මැදින් වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ දුරක් ගෙවූ පසු ගාඩ්මොර් දිය ඇල්ලට ළඟාවිය හැකිය.
එමෙන්ම කඳු පන්ති තුළ සතුන් වර්ග රැසක්ද ජීවත් වන අතර කළු දිවියා ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර රාත්‍රී කඳවුරු බැඳීමේ දී ඒ පිළිබඳ දැඩි අවධානයකින් සිටිය යුතුය.
මාඋස්සා ජලාශය හැඩකරන මෝහිනිය
නම කියූ පමණින් ටිකක් බය හිතුණත් නල්ලතන්නි සිට කි.මී 5 ක් පමණ දුරින් පිහිටා තිබෙන මෝහිනි ඇල්ල සමනොල අඩවියට යන මාර්ගයේ අද්දරම පිහිටා ඇති සුන්දරම දිය ඇල්ලකි. මෝහිනී ඇල්ල නැරඹීමට නම් සිරිපා අවාරයේ අගෝස්තු, සැප්තැම්බර් මාසවල සංචාරය කළ යුතු ය. වියළි කාලයේ දී නම් මෝහිනී ඇල්ල තමන්ගේ සුන්දරත්වය පෙන්වන්නේ නැති තරම්ය.
ආසන්න වශයෙන් උස මීටර 30 ක් පමණ උසකින් සමන්විත වන මෝහිනී ඇල්ල කුඩා ජලපහරකින් මාඋස්සාකැලේට එකතු වේ. වර්ෂා කාලයේදී නම් මෝහිනීගේ අලංකාරය සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්ය. හරිත වර්ණ තුරුලතා අතුරින් වටවුණු පරිසරයක සුදෝ සුදු සේලයක් සේ ඇදහැලෙන මෝහිනියට නම වැටුණ ආකාරය පිළිබඳ මරේ වත්තෙදී මුණගැසුණ මුත්තු කිව්වේ මෙවන් කතාවකි.
“අතීතය කාලේ ඉඳලාම ඒ ප්‍රදේශය හරිම ගොම්මන්, කළුවර ප්‍රදේශයක්. නිතරම අඳුරුයි. හරියට වැහිබරයි වගේ. ගස්කොළන්වලින් වටවෙච්ච කඳු වැටියක් මැදින් මේ ඇල්ල කඩා හැලෙන්නේ සියුම්ව පාවෙලා යන වතුර පොදක් වගේ හරියට සුදු සාරියකින් හැඩවුණ දිගු වරලසක් ඇති කාන්තාවක් වගේ. රාත්‍රියට මහා අන්ධකාරයට ගිහින් බලන්නකෝ සුදෝ සුදු ජල පහර කඩා හැලෙන්නේ හරියට මෝහිනියක් වගේ. “ඇත්තටම ඒ දිය ඇල්ල පසු කරමින් අපේ නවාතැන්පොළට යන අතරමඟ රාත්‍රියේ මා දුටු මෝහිනී ඇල්ල මුත්තුගේ කතාවට බොහෝ දුරට සමාන යැයි කියා සිතුණි.
එහෙත් දුකින් වුණත් කියන්න දෙයක් ඇත. මෝහිනී දිය පහර කෙතරම් සුන්දර වුවත් ආකර්ෂණීය වුවත් මේ වන විට ජලය අපවිත්‍ර වී ඇති නිසා භාවිතයට ගැනීම නුසුදුසු බව දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය තිබෙන අයුරු දැකගන්න ලැබුණි. හේතුව වතුකරයේ මළද්‍රව්‍ය වගේම සිරිපා වාරයේදී මේ ඇල්ලට ඉහළින් විශාල ලෙස කුණු බැහැර කිරීමයි.
එලෙස දිනපතා ජලාශයට ගලා එන දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් ගණන් මාවුස්සාකැලේ ජලාශය දරාගෙන සිනාසෙන්නේ අඬන්න බැරිකමටය. එසේ නම් තමන් ජීවත්වන පරිසරයේ වටිනාකම නොදත් නූගතකු නොවන්න. සංචාරය කරන්න. එහෙත් රටේ ලස්සන සුන්දරත්වය හැමවිටම රකින්න. අනාගත පරපුරටත් ඒ සුන්දරත්වය විඳින්නට හැකි අයුරින් පා සටහන පමණක් ඉතිරි කර එන්නට සිහි තබා ගන්න.
නදීශා අතුකෝරළ