එක්දහස් නවසිය අසූ තුන වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් සමස්ත දිවයිනම අඳුරු යුගයක් කරා යොමුකළ වසරක් විය. උතුරේ ත්‍රස්තවාදීන් යුද හමුදා සාමාජිකයන් දහතුන් දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු කැලඹුණු ජනයා කොළඹ නගරයේ නොසන්සුන්ව හැසිරීමත් සමග ක්‍රියාකාරී වූ යම් බලවේගයක් දෙමළ ජනතාවට පහරදී ගිනි තබා ඇති කළ භීෂණය කළු ජූලිය නම් වේ. මෙම භීෂණයෙන් දෙමළ ජාතිකයෝ හාර දහසක් මරුට බිලිවූහ. එම කැරලිකාරී තත්ත්වය ඇති කළ බවට චෝදනා කර, රජය විසින් ජවිපෙ ඇතුළු පක්ෂ තුනක් තහනම් කළ අතර, ජවිපෙ ඒ හේතුවෙන් කැලෑ වැදී තහනම් දේශපාලනයක නිරත විය. 1987 මහා භීෂණයට පාර කැපුණේ ඒ හේතුවෙනි. එහෙත් එජාප ආණ්ඩුව ජවිපෙ තහනම් කළ සැබෑ හේතුව මෙම කළු ජූලිය නොවේ.
1982 දෙසැම්බර් 22 වැනිදා පැවැති ජනමත විචාරණය එතෙක් පවත්වා තිබූ මැතිවරණවලින් අන්ත දූෂිතම මැතිවරණය විය. ශ්‍රීලනිප හා ජවිපෙ ඡන්ද පොළ නියෝජිතයන්ට ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමට පවා අවසර නොලැබිණි. හොර ඡන්ද දැමීමත්, හොර ඡන්ද ගණන් කිරීමත් අතින්, එය වාර්තා පිහිටුවීය. එයට පෙර වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දයත් ඔහු ඡන්ද පොළට යනවිට වෙනත් අයෙකු විසින් දමනු ලැබ තිබිණි. ඇතැම් මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේම පිස්තෝල දිගුකර ඡන්ද නිලධාරීන්ට තර්ජනය කළ බවටද වාර්තා වී තිබිණි.
විපක්ෂයට ගත හැකිව තිබූ පියවර වූයේ ඡන්ද දූෂණයට එරෙහිව අධිකරණයට යාමය. එහෙත් කෑලි ගණනාවකට කැඩී භේද භින්නව සිටි ශ්‍රීලනිපයට උසාවි යාමේ අදහසක් තිබුණේ නැත. ඒ කටයුත්ත සිදු කළේ ජවිපෙය. ජවිපෙ සභාපති රෝහණ විජේවීර තමා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව ප්‍රසිද්ධ කළේය. එහෙත් ඒ වෙනවිටත් රජය ජනමත විචාරණයේ ප්‍රතිඵලය ජනපති ලවා අත්සන් කර රටේ නීතියක් බවට පත් කර තිබිණි. එසේ කළේ එම ඡන්ද ප්‍රතිඵලයට අභියෝග කිරීම වැළැක්වීමටය. ජයවර්ධන රජයේ ප්‍රබල තත්ත්වය හමුවේ මෙම ඡන්ද පෙත්සම වෙනුවෙන් පෙනීසිටීම සඳහා නීතිඥ සහාය පවා ලබාගැනීම ජවිපෙ නායකයන්ට අපහසු විය. අවසානයේ මෙම නඩුව වෙනුවෙන් පෙනීසිටීමට අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර සහ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ මුදල් ඇමැති වූ අධිනීතිඥ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ සහාය ජවිපෙට හිමිවිය.
අනතුරුව රෝහණ විජේවීර උසාවි ගියේය. විජේවීර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමින් පැමිණිලි කර සිටියේ, තමා ජනමත විචාරණයේ වංචා දූෂණවලට අභියෝග කරමින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරන අතර ඡන්දය සම්බන්ධ ඡන්ද පත්‍රිකා හා අදාළ සියලු ලියකියවිලි විනාශ නොකර තබාගන්නා මෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසය. මැතිවරණ කොමසාරිස්වරයා එයට එකඟ විය. කොළඹ දිසා අධිකරණයේදී මැතිවරණ කොමසාරිස්ට එරෙහිව ජනමත විචාරණය සම්බන්ධ දූෂණ ගැන අංක 2275 දරන විශේෂ නඩුව රෝහණ විජේවීර විසින් ගොනු කරන ලද්දේ ඉන් අනතුරුවය.
ජවිපෙ තහනමට හේතු වූයේ මෙම නඩුවය. නඩුව විනිශ්චයට ලක් කළේ නම් ජනමත විචාරණයේදී බරපතළ ඡන්ද දූෂණ සිදුවූ බව ඔප්පු වනු ඇත. එමගින් රජයේ පැවැත්ම පිළිබඳ තීන්දුවක් ලැබීමට ඉඩ තිබිණි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජවිපෙ තහනම් කළේ 1983 ජූලි 30 වැනිදාය. විජේවීර පැවරූ නඩුව විභාග කිරීම සඳහා දින ලබාදී තිබුණේද මෙම දිනවලටය. මේ නිසා පැමිණිලිකරූ නොමැතිව නඩුව ඉවතට
විසි වූයේය.
මෙම ජනමත විචාරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාව නිකුත් වූයේ ඉන් මාස ගණනාවකට පසුවය. ඒ 1984 වසරේදීය. ඡන්ද දූෂණ අක්‍රමිකතා බරපතළ ලෙස සිදුවූ බව මැතිවරණ කොමසාරිස්වරයා එම වාර්තාව මගින් පිළිගත්තේය. එහෙත් එම වාර්තාව පළවූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වූ අතර, සිංහල පරිවර්තනයක් පළවූයේ නැත. එමගින් සිංහල ඡන්ද දායකයා අතට මෙම වාර්තාව පත් වූයේද නැත.
ලංකා භූමිය ලෙයින් කඳුළින් නැහැවූ මහා භීෂණයකට පාර කැපුණේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ නිසාය. ජවිපෙ ඒ වනතුරු ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සෑහෙන දුරක් ගමන් කරමින් සිටි අතර මැතිවරණවලට තරග වදිමින් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් සිටියේය. බලය බෙදාහැරීමේ කුඩා ඒකකයක් වූ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට තරගවැදී ආසන 12ක්ද හිමිකරගෙන සිටියේය. එක්වරම පක්ෂය තහනම් කිරීම හේතුවෙන් යන එන මං නැතිවී ජවිපෙ කැලෑ වැදුණේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක
රැඳී සිටියදීය.
තහනම නිසා ජවිපෙ නායකයන්ගේ පාර්ලිමේන්තු වරම අහිමි වූ අතර පක්ෂය බිම් මට්ටමට සමතලා කරන ලදී. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජවිපෙ තහනම් කරන ලද්දේ එය විපක්ෂයේ වඩාත්ම ජනතා ආකර්ෂණයට ලක්වෙමින් පවතින පක්ෂය බවට ඔත්තු සේවා මගින් වාර්තා වූ පසුවය.
ජවිපෙ තහනමට තවත් හේතුවක් වූයේ 1983 මැයි 1 වැනිදා ජවිපෙ පැවැත්වූ පෙළපාළියයි. ‘‘රතු භටයන්’’ සිහිගන්වන රතු ඇඳුමින් සැරසුණු ජවිපෙ සාමාජිකයන් රතු කොඩි ඔසවාගත් පෙළපාළිය එදා කොළඹ නගරයේ ආකර්ෂණීයම පෙළපාළිය විය. මෙය සමාජවාදී රටවල මැයි දින පෙළපාළි ගුරුකොට ගත්තේය. එයින් ජනාධිපතිවරයා තැතිගැනීමට ලක් වූයේය. ඒ වෙද්දී නියෝජ්‍ය පොලිස්පති අර්නස්ට් පෙරේරා විසින් ජනාධිපතිවරයා වෙත රහසිගත වාර්තාවක්ද යොමු කර තිබුණේය. ජවිපෙ ගම්බද ස්ථාන ගණනාවකදී තම කේඩරයන් සඳහා පන්ති පවත්වන බවත්, එහිදී රජය ආයුධ බලයෙන් පෙරළා දැමිය යුතු බවට ප්‍රකාශ කර ඇති බවත්, පොලිස් වාර්තාවේ සඳහන් වූයේ, ගම්බද තරුණයන් හා රුකියා විරහිත පොදු ජනයා වේගයෙන් ජවිපෙ වෙතට ආකර්ෂණය වෙමින් සිටින බව ද සඳහන් කරමිනි. වසර අවසාන වෙනවිට ජවිපෙ සාමාජික සංඛ්‍යාව දෙගුණ වනු ඇතැයිද පොලිස් වාර්තාවේ සඳහන් විය. ජයවර්ධන ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ජවිපෙ තහනම් කිරීමට තීන්දු කළේය. එහෙත් රටට ප්‍රකාශ කළේ
වෙනත් හේතුවකි.
ජවිපෙ සහ සෙසු වාමාංශික පක්ෂ එක්ව ජාතීන් අතර භේදයක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයිද, එමගින් හමුදා අංශ අතරත් භේද ඇතිකර රජය අත්පත් කර ගැනීමට සැලසුමක් ඇති බවද, රජය තම ජනමාධ්‍ය මගින් ජනතාව අතර පතළ කර හැරියේය. එහෙත් මෙම මතය වැරැදිය. මෙම තීන්දුව ගන්නා ලද්දේ ජවිපෙ වේගයෙන් ජනතා ආකර්ෂණය දිනා ගැනීම රජයට අහිතකර නිසාය. ජවිපෙ පැත්තෙන් ගත්විට සන්නද්ධ දේශපාලනයක නිරතවීමට ඔවුන් තීන්දු කරන ලද්දේ එම පක්ෂය තහනම් කර පක්ෂ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කළ පසුය. එහෙත් මෙම සන්නද්ධ දේශපාලනය තෝරා ගැනීමෙන් ජවිපෙ සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එක්සත් ජාතික පක්ෂය ඒ මොහොතේ ජයගත් බව පෙනුණද දිගුකාලීන වශයෙන් ගත් විට ඉතිරි වූයේ සුන්බුන් ගොඩකි. දෙපාර්ශ්වයේම ලක්ෂයකට ආසන්න ජීවිත මෙම සන්නද්ධ ගැටුම නිසා දරු පවුල්වලට අහිමි විය.
ජවිපෙ රතු හමුදා භට සේනාවක් ලෙස සැරසී මැයි දින පෙළපාළියේ යෙදීම අමුතු දෙයක් නොවේ. එය සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂ ලොව පුරාම ක්‍රියාත්මක කරන පෙළපාළි ක්‍රමයයි. ජේආර් ජවිපෙ වේගයෙන් නැගී එන බලවේගයක් බවට තක්සේරු කළ අයුරින්ම එයට අවුරුදු කීපයකට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියද ලංකා සමසමාජ පක්ෂය කෙරෙහි මෙවැනිම පෙළපාළියක්
නිසා තැතිගත්තාය.
එක්දහස් නවසිය හැත්තෑ හතර පමණ වෙනවිට සිරිමාවෝ බණ්ඩාරනායක රජයට එරෙහිව විපක්ෂ නායක වූ ජේආර් දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියේ හර්තාල් සත්‍යග්‍රහ ආදිය සංවිධානය කරමිනි. රජයේ හවුල්කාර පක්ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂය බණ්ඩාරනායක මැතිනියට පෙන්වා දුන්නේ ජේආර්ගේ එජාපය මර්දනය කිරීම සඳහා ජේආර්ගේ ක්‍රමයටම පෙළපාළි හා මහජන රැස්වීම් සංවිධානය කළ යුතු බවය. පළමු රැස්වීම පැවැත්වුණේ මහනුවරය. එයට පෙර ජේආර් කොළඹදී විශාල ජනකායක් රැස්කර රුස්වීමක් පවත්වා තිබූ අතර, ශ්‍රීලනිපයද මහනුවර රුස්වීමට තම පාක්ෂිකයන් විශාල පිරිසක් කැඳවා ගත්තේය. පක්ෂ නායකයන් වේදිකාවේ සිටියදී පක්ෂ සාමාජිකයන් පෙළපාළි ගියේ පාබළ සේනාංකයන් සිහිගන්වමින් බව ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මේ අයුරිනි. ‘‘නිල් ඇඳුමින්ද නිල් තොප්පිවලින්ද සැරසුණු ශ්‍රීලනිප තරුණ සමිති සාමාජිකයෝ පාබළ සේනාංකයක ශක්තිය ප්‍රදර්ශනය කරමින් ගමන් ගත්හ. 1975 දී නොව, 1977 දීවත් ඡන්දයක් නොපැවැත්වෙන බව ඔවුන්ගේ සටන් පාඨවලින් කියැවිණි.’’
මෙම රුස්වීම් සඳහා සෙනඟ ගෙන ඒමේ ශක්තිය වූයේ ලංකා සමසමාජ පක්ෂයයි. අනුරාධපුරයේ පැවැති රැලියේදී ලංකා සමසමාජ පක්ෂයේ භට හමුදාව මොළවාගත් මිටින් යුතුව නියම මාක්ස්වාදී ආචාර ක්‍රමය අනුගමනය කරමින් ගමන් ගත්තේය. මැතිනිය වේදිකාවේ සිට දෑත එකතු කර ආචාර කරමින් පෙළපාළිය නැරඹුවාය. සමහරු කස්ත්‍රෝ වගේ කෙළින් ඉන්නයි කෑගැසූහ. සමහරු ඇන්.ඇම්. වගේ කෙළින් ඉන්නැයි කෑ ගසමින් පෙළපාළියේ ගියහ. මැතිනිය එම සටන් පාඨවලින් තැතිගත්තාය.
ජේආර් ද තැතිගත්තේ, එවැනිම වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ පෙළපාළිය දැකීමෙනි. එහෙත්, එම පෙළපාළි ක්‍රමය වාමාංශික පක්ෂවල සාමාන්‍ය පෙළපාළි ක්‍රමය බව ජේආර්ට ඒ වෙද්දී අමතකව තිබිණි.
විජේවීර ජේආර්ගේ නිවෙසේ
ජේආර් දේශපාලනික වශයෙන් මෙම තීන්දුව ගත්තද හැත්තෑ හතේදී ඔහු සිරභාරයෙන් නිදහස් වූ පසුව වෝඩ් පෙදෙසේ ජේආර්ගේ නිවසේදී විජේවීර සමග පෞද්ගලික හමුවක්ද පවත්වා තිබුණේය. අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර ප්‍රේමදාසගෙන් කළ ඉල්ලීමක් මත සිව් දෙනාම ජේආර්ගේ නිවෙසේදී මුණගැසුණේ, විජේවීරට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. දිගු කලක් සිර භාරයේ සිටි නිසා විදේශගතව විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය විය. ජේආර් නොපැකිළව එම අවස්ථාව ලබා දුන්නේය. විජේවීර ප්‍රේමදාස සහ ජේආර් දිගු වේලාවක් සුහද කතාබහකද නිරතව සිටියහ. මේ හමුව සිදුවූයේ හැත්තෑ හතේ වසරේ මුල් භාගයේය. මැතිවරණය පැවැති අලුතම නිසා එකල රටේ අගමැති වූයේ ජේආර්ය.
ඉන් පසුව රටේ දේශපාලනය වෙනත් දිශාවකට කැරකෙන්නට පටන් ගත්තේය. ජේආර්ගේ ආණ්ඩුවට හුස්ම ගන්නවත් බැරි වන විදිහට විපක්ෂයෙන් හා විපක්ෂයට හිතැති ජනමාධ්‍යයෙන් දැඩි විවේචන එල්ල වන්නට පටන් ගත්තේය. විවේචන එසේ එල්ල වුවත් විපක්ෂය වූ ශ්‍රීලනිපයට තිබුණේ ආසන අටක සොච්චම් බලයක් පමණි. ප්‍රධාන විපක්ෂය වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. අසූවේ දශකය එළඹෙද්දී උතුරේ සන්නද්ධ සංවිධාන දිගු මිනීමැරුම් වැලක නිරතව සිටියේය. එකපිට එක ආ ප්‍රශ්න මත ජේආර්ගේ රජය නියමිත පාරෙන් පිට පැන්නේය. විපක්ෂයද නියමිත පාරෙන් පිට පැන්නේය. නිමක් නොපෙනෙන අඳුරු ආගාධයක් කරා රට ගමන් කරන්නට පටන් ගත්තේ, අසූවේ දශකය ආරම්භයේ පැවති මෙකී ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි.
ජවිපෙත් සමගම තහනම් කරන ලද අනෙක් පක්ෂ වූයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව ලංකා සමසමාජ පක්ෂයයි. කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් දැඩි මුරකාවල් මැද මාසයක කාලයක් රඳවා තැබිණි. කොමියුනිස්ට් පක්ෂයේ එකල භාණ්ඩාගාරික වූ ඩිව් ගුණසේකරද කාලයක් සිරගත කෙරිණි. එදා සිර කූඩුවේ ගත කළ ජීවිතය ගැන අද කියන්නේ
මෙවැනි කතාවකි.
‘‘පක්ෂයේ ප්‍රධාන ලේකම් කේ.පී. සිල්වා, මම ඇත්ත පත්තරේ කර්තෘ රත්නවීර සහ වෘත්තිය සමිති නායක ඇල්.ඩබ්ලිව්. පණ්ඩිත කියන අපි හතර දෙනා අත්අඩංගුවට අරගෙන රඳවල හිටියා. අපි දේශපාලන සිරකාරයො වුණත් අපිට කන්නවත් දුන්නෙ නෑ. ගෙදරින් කෑම ගෙන්වා ගන්න දුන්නෙ නෑ. මාසයක් යනකම් එළියට බහින්න දුන්නෙ නෑ. මාව රැඳෙව්වේ මීගමුව බන්ධනාගාරයේ. වැසිකිළිය ළඟ මදුරුවො මකුණන් සමග බිම අපිට ඉන්න වුණේ. පිටස්තර කිසිම කෙනෙකුට අපි බලන්න දුන්නෙ නෑ. එක දවසක් විජය කුමාරතුංගයි චන්ද්‍රිකායි ආවා. පාන්දර හයයි වෙලාව. බන්ධනාගාර ප්‍රධානියා මා ළඟට ඇවිත් කීවා අන්න විජය ඇවිත් ඉන්නවා. එන්න මා සමග කියා මාව ගේට්ටුවෙන් එළියට එක්ක ගියා. ඔහු එහෙම කළේ පිටස්තරයන් බන්ධනාගාරය ඇතුළට ගෙන්වා ගත් බව නොපෙනෙන්න. බන්ධනාගාර නිලධාරීන් විජය කුමාරතුංගට පුදුමාකාර ලෙස සැලකුවා. ඔහුට පණ දෙන්න වුණත් සූදානම්. එහෙමයි විජය සමග කතා කරන්න අපට අවස්ථාව පාදා දුන්නේ. අපව නිදහස් කළ පසු ජේආර් අප හතර දෙනාට එයාගෙ වෝඩ් පෙදෙසේ නිවසට එන්න කීවා. ඒත් මම ගියේ නෑ. කේපී සහෝදරයාව හෙම පිළි අරගෙන තිබුණෙ ජේආර්ම ගේට්ටුව ගාවට ඇවිත් කාරෙකේ දොර ඇරලා. අපිව බොරු චෝදනාවකට සිරගත කළ එකට සමාව ගන්නයි එහෙම කළේ.....’’ ඩිව් ගුණසේකර සඳහන් කළේය.
අද බොහෝ දෙනා ජනාධිපතිවරණය පවත්වන තුරු බලාපොරොත්තුවෙන් සිටියත්, ඡන්දය පවත්වන ඉඩකඩට වඩා නොපවත්වන ඉඩකඩ වැඩිය. ගාලු මුවදොර අරගලයේ සිට මේ දක්වාම විපක්ෂ බලවේග සිටින්නේ බලාපොරොත්තු කඩවූ තත්ත්වයකය. අප ජවිපෙ තහනම ගැන සඳහන් කළේ 1983 ජූලි මාසය වෙද්දී රටේ තිබූ තත්ත්වයම මේ මොහොතේත් පවතින බව පෙන්වා දෙන්නටය. එදා පාලක පක්ෂය බලයේ රුඳෙන්නට ගත් නින්දිත උත්සාහයම වත්මන් පාලක පක්ෂය ද දරමින් සිටී.
ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව පවත්නා කිසිම ආණ්ඩුවක් විපක්ෂයට ලෙහෙසියෙන් මැතිවරණ දිනාගැනීමේ මාර්ගයක් විවර කර දෙන්නේ නැත. වර්තමාන රජයද විපක්ෂයට බන්දේසියක තබා ආණ්ඩු බලය පිළිගන්වනු ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා ජවිපෙට එරෙහිව අන් සියලුම පක්ෂවල එක්ව පෙරමුණු තැනීමක් බලාපොරොත්තු විය හැකිය. එජාපය, සජබය හා පොහොට්ටුව යන පක්ෂවල සිටින්නන් බහුතරයක් එකම මූලයකින් ගමන අරඹා වරින් වර පක්ෂ මාරු කළ අය හෙයින් එම පක්ෂ තුනේ ඇත්තේ එකම ප්‍රතිපත්තිය වෙන්නේ බලය රැකගැනීම සඳහා දුෂ්කරම මොහොතකදී එකට එකතුවීමය. එනිසා දැනට ආසන තුනක්ව පවතින ජවිපෙ මන්ත්‍රීවරු ගණන වැඩි කර ගැනීම සඳහා අවස්ථාවක් ජවිපෙ බලාපොරොත්තු වුවත්, ඒ සඳහා අවස්ථාවක් අප මුලින් කී ප්‍රධාන පක්ෂ තුනෙන් ලැබෙනු ඇතැයි සිතීම මුළාවකි. ඒ නිසා බෙදී ඇති ඡන්ද එකට එකතු කරන විසල් වෑයමක් දරමින් පවතින බවද සඳහන් කළ යුතුය.
පාලක පක්ෂයට ජවිපෙ අභියෝගයක් වන්නේ මෙම ජනාධිපතිවරණයේදී නොව මහා මැතිවරණයේදී බව අපේ වැටහීමය. ජනපතිවරණයේදී ජවිපෙට එරෙහිව ආණ්ඩු විපක්ෂ එකමුතු ගොඩනඟා ගත හැකිය. ප්‍රශ්නය වන්නේ මහා මැතිවරණයය. ජනපතිවරණයේදී පරාජිතයාගේ ඡන්දවලට වටිනාකමක් නොලැබෙන අතර, මහා මැතිවරණයකදී වැටෙන සෑම ඡන්දයක්ම මන්ත්‍රී ආසනයක එක් අංශුවකි. එනිසා මන්ත්‍රී ආසන බවට පත්වන්නේ මහා මැතිවරණයකදී වැටෙන ඡන්ද ප්‍රමාණයය. පාලක පක්ෂයට ජවිපෙ අභියෝගයක් වන්නේ එහිදීය. ජයවර්ධන රජය ජනපතිවරණය ජයගෙන ජනමත විචාරණයකින් පැවැති පාර්ලිමේන්තුවේ ආයු කාලය දිගු කර ගත්තේද ඒ නිසාය. එනිසා ජවිපෙට අභියෝගයක් වන්නේ එළැඹීමට නියමිත මහා මැතිවරණයයි. එළැඹෙන ජනපතිවරණය ජයගන්නා ජනාධිපතිවරයෙකුට ජේආර් 1982 දී ගමන් කළ මාවතේම පියමනින්නට සිතුනොත් පුදුම වන්නට දෙයක් නැත.