සුජිත් හේවාජුලිගේ
රටේ ජනගහනයෙන් එක් කෝටි හතළිස් හත් ලක්ෂ පනස් පන්දහසකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය යුනිසෙෆ් සංවිධානය සමග ඒකාබද්ධව කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
එය ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 66.1 ක් බව ද ඔහු සඳහන් කළේය. ඉහත ආයතන මෙම අධ්‍යයනය කර ඇත්තේ රට පුරා නිවාස ඒකක 3,210ක් යොදාගෙනය. එම අධ්‍යයනය අනුව නාගරික ජනගහනයෙන් සියයට 31.4ක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත්වන බව පෙනී ගොස් ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවේය.
නාගරික ජනගහනය ලක්ෂ 37ක් බවත්, ඉන් ලක්ෂ දොළහක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බවත් ඔහු කීවේය. එසේම ග්‍රාමීය ජනගහනයෙන් සියයට 71.8ක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බව පැවසූ වසන්ත අතුකෝරළ මහතා මේ අනුව එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයක් වන ග්‍රාමීය ජනගහනයෙන් එක්කෝටි විසිපන් ලක්ෂයක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බවද ප්‍රකාශ කළේය.
වතු ආශ්රිත ජනතාවගෙන් සියයට 96.8ක් අනාරක්ෂිත පානීය ජල පහසුකම් සහිතව ජීවත් වන බව මහාචාර්යවරයා පැවසීය. වතු ආශ්‍රිතව ජීවත් වන ජනගහනය දස ලක්ෂ හතළිස් දහසක් බවත් ඉන් ලක්ෂ දහයකට පමණ ආරක්ෂිත පානීය ජල පහසුකම් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 45 කට ( සියයට 20.3 කට) මූලික ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා රටේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ළිංවලින් ජලය ගන්නා සංඛ්‍යාව ලක්ෂ තිස්පහක් බවද ප්‍රකාශ කළේය.