රිවස්ටන් සංචාරයේදී අත්විඳිය හැකි සොඳුරු අත්දැකීම්


 






මාතලේ  දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ මීටර් 1,265 උසින් පිහිටා ඇති රිවස්ටන් වඩාත් ජනප්‍රිය ඇත්තේ සුළං කපොල්ල නිසාවෙනි. මිහිපිට පාරාදීසයක් වන් ලංකාවේ සොබාදහමේ සුන්දරත්වය විසිරී තිබෙන “රිවස්ටන්”  විස්මජනක සොබාදහමේ නිර්මාණයක් වන මනස්කාන්ත වූ සංචාරක ස්ථානයකි.  
 
එය එසේ වූවත්, මාතලේ රිවස්ටන් බලා පිටත් වෙන බොහෝ අයට අතරමග පිහිටි නැරඹිය යුතු  සුන්දර ස්ථාන රැසක් මග හැරෙන සෙයක් පෙනෙන අතර, බොහෝ දෙනා දන්නවා යැයි පෙනෙන්නේ රිවස්ටන් වල ප්‍රධාන  ස්ථාන කිහිපයක් ගැන පමණි.
 
  • රිවස්ටන් යනවනම් ඔන්න මේ තැන් අමතක කරන්න එපා
 
රිවස්ටන් ප්‍රදේශය තුළ ඇත්තේ බටහිර රටවල තිබෙන දේශගුණයට සමාන දේශගුණයකි. දුම්බර හෙවත් නකල්ස් වනපෙතේ ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වටිනාකමින් අනූන නකල්ස් කඳු වැටියේ පිහිටා ඇති රිවස්ටන් යනු, ලංකාවේ දුෂ්කරම ප්‍රදේශවලින් එකකි. රිවස්ටන් යන ගමනේදී නෙතට රසඳුනක් ලෙස මුලින්ම හමුවන්නේ, බඹර කිරිඇල්ල යි. ප්‍රධාන මාර්ගයේ සිට වනය තුළට මීටර් තුන්සියයක් පමණ යන විට - එම ඇල්ල හමුවන අතර, එය එතරම් ලොකු දිය ඇල්ලක් නොවුණත්, නතර වී ගිමන් හැරීමට ඉතාම කදිම තැනක් ලෙස හැඳින්විය හැකිය. මෙහි එකවරම වතුර අඩු වැඩි වන ස්වභාවයක් පවතින නිසා මෙම ස්ථානයේ දිය නෑම නම් ඉතා අනතුරුදායකය. එතැන වැල්පාලමක් ස්ථාපනය කොට ඇති අතර, ඒ ඔස්සේ මීටර් පනහක් පමණ ගියවිට තවත් දර්ශනීය ඇල්ලක් හමුවේ. ‘කුඩා බඹැකිරි ඇල්ල’ ලෙස එය හඳුන්වයි.
 
  • රිවස්ටන් කුළුන
 
ඊළඟට හමුවන්නේ,  ‘රිවස්ටන් කුලුන’ නම් වන කුලුනයි. මෙම ස්ථානයට ප්‍රධාන මාවතේ සිට කිලෝ මීටර 1.5 පමණ දුරක් ඇත. මෙම ගමනේදී සුළං පාර ටිකක් ප්‍රචණ්ඩ ලෙස අත්විඳිය හැකිය.  තද සුළං සහ මීදුම දැඩිය. සවස්යාමය ළංවෙද්දි මීදුම තරමක් වැඩි වියහැකි නිසා, රෑ බෝවෙන තෙක් කුලුන ප්‍රදේශයේ සිටීම අනතුරු දායක විය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය.   කුලුනට ළඟාවන විට අතිශය මනරම් පරිසරයක් දැකගත හැකි අතර,  රිවස්ටන් කුලුනෙන් පසුව අපට හමුවන්නේ - මාතලේ සුන්දරම ස්ථානය වන කා  අතරත් ජනප්‍රිය ස්ථානයක් වූ  වූ පිටපතන  නැතිනම් පුංචි ලෝකාන්තය යි.
 
  • පිටවල පතන
පිටවල පතන යනු ඉතා ලස්සන දර්ශනයක් සහිත භූමියකි. හෙක්ටයාර 25ක පමණ විශාලත්වයකින් යුතු නකල්ස් ආශ්‍රිතව තැනිතලා භූමියක් ලෙස පිහිටා ඇති මෙම තෘණ භූමියේ නිරතුරුවම දේශගුණික තත්ත්වයන් වෙනස් වනු ඇත. ඒ නිසා පිටවල පතනේ රැදීසිටීමේදී සහ පිටවල පතන කෙළවරේ පිහිටා ඇති පුංචි ලෝකාන්තය නම්වූ මෙම දළබෑවුම නැරඹීමේදී දැඩි අවධානයෙන් පසුවිය යුතුය. මෙතන ඇති විශේෂත්වය වන්නේ, අංශක 90ක එම බෑවුමේ අතිශය ලස්සන දර්ශන දැකගත හැකිවීමයි. මේ ස්ථානයට යාමට හොඳම වේලාව වන්නේ උදේවරුව සහ හවස්වරුවයි. මෙම භූමිය ජෛවවිවිධත්වය අතින්ද ඉහළ තැනක් ගන්නා අතර, මෙම ස්ථානයට ආවේණික ශාකයන් රැසක් තිබෙන අතර,  නයිට්‍රජන්  ඌනතාව ඇතිවිට හටගන්නා කඳුළැස්ස, මැරැස්ස, නිල්මොනරැස්ස වැනි ශාකද පිටවල පතනේ බහුලව ඇත.  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නකල්ස් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් පිටවල පතන පාලනය වන අතර, මෙහි සංචාරය කිරීමට සුදුසුම කාල සීමාව වන්නේ මැයි - අගෝස්තු වේ.
 
  • රිවස්ටන් ගියොත්  අමතක නොකර සේර ඇල්ල බලන්න යන්න
 
රත්තොට හරහා රිවස්ටන් වලට පැමිණ පිටවලපතන පසුකොට  කිලෝමීටර් විස්සක් පමණ ඉදිරියට ගමන් කිරිමේදී මෙම සේරඇල්ලට ළඟා විය හැකි අතර, එම පරිසරයම කොළ පැහැති වර්ණයෙන් පිරැණු පරිසරයකි. මේ දියඇල්ලේ ඇති සුවිශේෂීතාවක් වන්නේ, ඇල්ලට පිටුපසින් ඇති ගුහාවට ගමන් කළහැකි වීමයි. එම ගුහාවේ සිට දියඇල්ල පෙනෙන දර්ශනය අතිශය මනරම් වන අතර, එම අත්දැකීම වෙනත් දියඇලිවලින් ලබාගත නොහැකි අත්දැකීමකි.  සේරඇල්ල නැරඹීමට හොඳම කාලය වන්නේ වැසි කාලයයි. එමෙන්ම සේරඇල්ල යනු ලංකාවේ දියඇලි වලින් පළල්ම දියඇලි වලින් එකකි.  දුම්බර මිටියාවතෙන් පටන් ගන්නා ජලදහරාව කිතුල්ඇල්ල, කුණුමඩල ඔයෙන් පෝෂණය වී ගලාවිත්  මානිගලකන්ද කෙළවරින් කඩාවැටී සේරඇල්ල උපදියි. අවුරුද්දෙහි වැඩිම කාලයක් ඒකාකාරී ජලදහරාවක් කඩාහැලෙන මෙම දියඇල්ල කඳුකරයට මහවැසි ඇදහැලෙන කාලයට ප්‍රචණ්ඩය.  බොහෝ දේනා මේ ස්ථානයේ දියනෑමට කැමැත්තක් දක්වන නමුත්, එකවරම වතුර වැඩිවීමේ අවදානම් සහිත ස්ථානයක් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

 

  • රිවස්ටන් ගමනේදී කඳු නගින්න ආස අයට
 
රිවස්ටන් ගමනේදී මුණගැහෙන කඳුපන්තිය වන්නේ මානිගල කන්දය. මෙම කඳුපන්තිය ලංකාවේ බොහෝ සංචාරකයන් අතර ජනප්‍රිය වූ සංචාරක ස්ථානයකි. රිවර්ස්ටන් හා පිටවලපතන යන ස්ථාන නැරඹීමට යන ගමනේදී මේ කඳුවැටිය දර්ශනය වනු ඇත.  උසින් මීටර 1,104 ක් පමණ වන මෙම කඳුමුදුන නකල්ස් කඳුවැටියේ එන කඳුමුදුන් 33 අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් හිමිකර ගනී. 
 
ඔබ මානිගල කඳුතරණයට ප්‍රියකරන්නේ නම්, මාතලේ නගරයට මුලින්ම පැමිණ -  එතැන් සිට රත්තොට, රිවර්ස්ටන් හා පිටවල පතන පසුකර දකුණට ඇති මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ ගමන්කර මහලකොටුව, තෙල්ගමු ඔය, රන්තින්ද හා ඇටන්වල ගම්මාන පසුකර ගියවිට මේ කඳුවැටියට පිවිසෙන මාර්ගය ඇත. මාර්ගය පිළිබඳ ඔබට සැකයක් ඇතිනම් - ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ සහාය ලබාගත හැකිය. ඇටන්වල ගමේ සිට කිලෝමිටර 3ක පමණ දුරක් කන්ද වෙත ඇති අතර, එය අතිශය දුෂ්කර හා පැය 2 - 3ක් පමණ ගතවන ගමනකි.
 
ඇටන්වල යනු මානිගල ගමනේ හමුවන අවසන් මිනිස් වාසය වන අතර, එයින් පසුව කඳුමුදුන දක්වා දිගටම ඇත්තේ ගන වනාන්තරයි.  මේ ප්‍රදේශය වියළි කාලයට අලින් විසින් ආක්‍රමණය කරන නිසාම ගම්මුන් බොහෝ ගම් අතහැරගොස් ඇතිබව කියැවේ.
 
කන්ද මුදුනේ සිට බලනවිට ගොම්බානිය, කිරිගල්පොත්ත කඳූ මුදුන්, දඹුලු හා සීගිරි ප්‍රදේශ, ලකේගල, තුන්හිස්ගල හා පහළ ගම්මානවල අසිරියද මනරම්ව දැකිය හැකිය. එසේම රාත්‍රී කඳවුරු බැඳීමටද මෙය කදිම තෝතැන්නකි.   
 
මෙම කන්ද අවට එකල වාසය කර ඇත්තේ  දෙමළ කම්කරුවන් නිසා ඔවුන් කන්දේ සෙවණැල්ල අනුව කාලය නිර්ණය කර ඇත. ’‘මනි’ යන දෙමළ වචනය පාදක කොටගෙන මෙය මානිගල නමින් හැඳින්වූවා යැයි මූලාශ්‍ර සදහන් සඳහන් කරයි.  කෙසේවූවද අද වනවිට මෙම සුන්දර කඳුවැටිය හා අනෙකුත් නක්ල්ස් කඳුමුදුනුත් සංචාරකයන්ගේ නොහොබිනා හැසිරීම් නිසා විනාශයට පත්වන ලකුණු පහළ කර ඇත.
 

නයනා උදයංගනී