වඳිමු , සුරැකිමු සිරිපා සමනොළ




මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ඇත්තේ තවත් සතියක පමණ කාලයකි. බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍යාගමිකයින්ගේ හා දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ගෞරවාදරයට හා ආකර්ෂණයට පත් ශ්‍රී පාදස්ථානය හා එය  පිහිටා   ඇති   සම​ෙනාළ කන්ද ලොව සුප්‍රසිද්ධ ස්ථානයකි. විශේෂයෙන් සංචාරකයන් අතර සමනළ කන්ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සූර්ය උදාව ඉතා මනස්කාන්ත අයුරින් වැඩි වේලාවක් දිස්වන ලොව පිහිටි අතිශය දර්ශනීය ස්ථානය ලෙස ය.

ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන සම​ෙනාළ කන්ද ශ්‍රීපාද වන්දනා සමය පවතින මාස 06 ක කාලය තුළ දේශීය වන්දනාකරුවන් නිසා එහි ඇති සුන්දරත්වය විනාශයට පත්වන්නේ දැඩි පාරිසරික හානියක් සිදු කරමිනි. හැටන් මාර්ගයෙන් හා රත්නපුර මාර්ගයෙන් සෑම වසරකම වන්දනා සමයේ දී ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් මෙම අතිශය මනරම් කඳු ශිඛරයට පැමිණ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර පිටව යති. වසරක් පාසා එහි ඇති ආදීනව හා පාරිසරික හානිය සම්බන්ධව කෙතරම් දැනුම්වත් කළ ද දේශීය වන්දනාකරුවන් එය ගණනකටවත් නොගෙන කටයුතු කරන්නේ මෙම අතිසංවේදී පරිසර කලාපය ගැන කිසිදු හැඟීමකින් තොරව ය.
 
මෙම ලිපිය ශ්‍රී පාදස්ථානයේ හා  සමනළ කන්දේ සුන්දරත්වය ඉදිරි පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීම පිණිසය.
 
 
ශ්‍රීපාද රක්ෂිතයේ දිය ඇලි
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන ”‍සම​ෙනාළකන්ද”‍   කේතු    හැඩයෙන් යුක්තය. අප රටේ තෙවන උසම කන්ද වන මෙහි උසින් වැඩිම ස්ථානයේ උස මීටර්  2,243 ක් වන අතර, අඩි (7,360) කි.  සිරිපා අඩවියේ භූමිප්‍රමාණය හෙක්ටයාර 22,380 ක් පමණ වේ. ජෛව විවිධත්වය අතින් අනූන වූ ස්වභාවික වනාන්තරයක් වන  සිරිපා අඩවිය 1940  ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රීපාද කන්ද රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මැදිව පිහිටා ඇති අතර,  ශ්‍රීපාද රක්ෂිතය – රත්නපුර, නුවරඑළිය හා කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට අයත් වේ. ශ්‍රී පාදය පිහිටි සමනළ රක්‍ෂිතය කෑගල්ල, රත්නපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවලට අයත් වේ. රත්නපුර, කුරුවිට, දැරණියගල, නුවරඑළිය හා නුවරඑළිය - මස්‌කෙළිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස රක්‍ෂිතය අයත්වන බල ප්‍රදේශයන් වශයෙන් සැලකේ. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට හෙක්‌ටයාර් 4,897 (අක්‌කර 12,243) ක්‌ ද, රත්නපුර දිස්‌ත්‍රික්‌කයට හෙක්‌ටයාර් 17,483 (අක්‌කර 43,707) ක් ද රක්‍ෂිතයෙන් අයත්වන අතර, කෑගල්ල දිස්‌ත්‍රික්‌ මායිම්  (දැරණියගල උඩමාලිබොඩ දික්ඇල්කන්ද ප්‍රදේශය) දක්වා රක්‍ෂිතය පැතිර පවතී.
 
සමනොළ අඩවියේ, වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය මිලීමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි, ජුනි හා ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනොළ අඩවියට ලැබේ. දෙසැම්බර් - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේ දී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින්, සෑම වසරකම  ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පුන් පොහොයෙන් ආරම්භ වී - වෙසක්‌ පුන් පොහොය දිනයෙන් අවසන් වේ. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද - සමනළ අඩවියේ තිබේ. මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනොළ අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තා වේ. මෙහි වාර්ෂික උෂ්ණත්වය සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජූලි කාලය තුළ දී අංශක – 5 -10 දක්‌වා වුවද  පහත බැසිය හැකිය.
 
අප රටේ ජලය ලබාගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය වන්නේ වර්ෂාවය. මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම, නිරිත දිග මෝසම් සුළං මගින් රැගෙන එන සංතෘප්ත ජලවාෂ්ප පිරි වලාකුළුවලට බාධකයක් ලෙස ක්‍රියා කරයි. උසින් අඩි   7360 ක් වන  සම​ෙනාළ  කන්ද අඩවියේ ඇති උස් කඳු මුදුන් සහිත මෙම කඳුකර වලාකුළු වනාන්තර පෙදෙස නොතිබෙන්නට එම වළකුළු ලංකාවට ඉහළින් පාවී ගොස් - රටට වර්ෂාව නොලැබීමේ දැඩි අවදානමක් ඇතිවිය හැකිව තිබුණි. ශ්‍රීපාද වන අඩවිය ශ්‍රීලංකාවේ ජල චක්‍රයේ හදවත, එසේත් නැතිනම් ජලය රැස් කිරීමේ මධ්‍යස්ථානය වන්නේද එම නිසාය. ශ්‍රීපාද අඩවියේ ඇති වනාන්තර වැස්ම මගින් ලැබෙන වර්ෂාව භූමියට හා පසට හානියක් නොවන අයුරින් භූගත ජල මූලාශ්‍රවලට සහ ගංගා පෝෂක ප්‍රදේශවලට ක්‍රමානුකූලව බෙදාහරිනු ලබයි. ලංකාවේ ප්‍රධානතම ගංගාවන් 04 වන මහවැලි, කැලණි, වලවේ හා කළු යන ගංගා ශ්‍රීපාද අඩවියෙන් ආරම්භ වන්නේ ඒ නිසාය. ශ්‍රීපාද කන්ද ජලධාරා රැසක තිඹිරිගෙය ලෙසද සැලකේ.
 
ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක්වී‍මෙන් ආරක්ෂා විය.  මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද - නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌ මේ වන විට ශ්‍රීපාද වන්දනා සමයේදී  ශ්‍රීපාද පුදබිම  වාණිජකරණයේ ප්‍රධාන ගොදුරක් වී ඇති අයුරු දැක ගත හැකිය.
 

 ශ්‍රීපාද අඩවියට සමනොළ අඩවිය යන නම ද ලැබීමට මෙම සමනල ඝනත්වය හේතුවී තිබේ. සමනොළ අඩවියෙන් වාර්තාවන සුවිශේෂීම සත්ත්ව කොට්‌ඨාසය කුරුල්ලන්ය. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක්‌ මෙහි පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවට ඒකදේශීය  කුරුල්ලන් හා  නේවාසික කුරුල්ලන්  ඒ අතර වේ. පර්‌යේෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් අතරින් - අරංගයා හැර අන් සියලු‍ම විශේෂ සමනොළ අඩවියෙන් වාර්තා වේ. පීතකන් කොණ්‌ඩයා, සිතැසියා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුලභව දැකගත හැකි කුරුල්ලන් වේ.

 


 

සබරගමු කඳු පංතියට අයත් කඳු පන්තීන් රැසක්‌ම සමනළ අඩවියට අයත්ව     පවතී.  බෑන  සම​ෙනාළ, කුණුදිය පර්වතය, ගොන්මොල්ලිය, දෙතනගල, දෝතළුගල, සප්තකන්‍යා එම ප්‍රධාන කඳුවැටි වේ. මේ ඔස්‌සේ උපත ලබන හා ගලාහැලෙන දිය කඳුරු රැසකි. එමෙන්ම තීව්‍ර බෑවුම් ඔස්‌සේ ඉතා මනස්කාන්ත අයුරින් දියඇලි රැසක්‌ ද කඩාහැලේ. කළු, කැලණි, වළවේ ගංගා සෘජුවම හටගන්නේ සිරිපා අඩවියේ සමනොළ ගිරෙනි. 
 
මෙම ගංගාවන්ට සම්බන්ධව දියපහර 295 ක්‌ පවතින බව අනාවරණය වී ඇති අතර, එම හේතුව නිසා ජලපෝෂිත අගය අතින් ශ්‍රී ලංකාවේ පවතින ඉහළම වනාන්තර 246 න් ප්‍රමුඛස්ථානය  සමනොළගිරට හිමිවන බව පර්‌යේෂකයන්ගේ මතයයි. එසේම ජලගැලීම් පාලනය, පස ආරක්‍ෂා කිරීම හා මිහිදුම් ඇදගැනීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර 269 න් මුල්තැන ද මෙම වනාන්තරයට හිමිවන බව එම පර්‌යේෂණ  වාර්තා සඳහන් කරයි.  ‍
 
සමනල අඩවිය පටියක්‌ මෙන් බටහිර නැගෙනහිර දිශානුගතව විහිද යයි. දිගින් කිලෝමීටර් 45 ක්‌ වන මෙම බිම්තීරුවේ සාමාන්‍ය පළල කිලෝමීටර් 18 කි. පළල අඩුම ස්‌ථානය කිලෝමීටර් 106 ක්‌ වන පටු බිම්කඩ මාරතැන්නයි. සමනළ අඩවිය මීටර් 457 සිට මීටර් 2,243 දක්‌වා උස පරාසයක විහිදේ. උච්චතම ස්‌ථානය ශ්‍රී ලංකාවේ උසින් සිව්වැනි ස්‌ථානය ගන්නා ශ්‍රීපාද මළුවයි. 
 
රක්ෂිතයේ ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභය ජීවීන්, උරගයින්, පක්ෂීන් හා  ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි. ඝන ශාකවැස්ම හේතුවෙන් යාල වැනි වියළි කලාපීය වනෝද්‍යාන මෙන් වනසතුන් මෙහිදී පහසුවෙන් දැක ගතහැකි නොවේ. සමනළ අඩවියෙන් වාර්තා වන විශාලතම ක්ෂීරපායි විශේෂය අලියාය. බහුලවම දැකිය හැකි විශාලම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළුවඳුරා යි.
 
මෙහි වෙසෙන පක්ෂීන් ‌‍බොහෝවිට ආහාර ‍‍සොයායාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝවිට මහකවුඩා සහ රතුදෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. 
 
මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහකවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද, රතුදෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රී පාද සමය උදාවීමත් සමගම විවිධාකාරයේ සමනලු‍න් දැකගත හැකි අතර, ඒ සම්බන්ධව බොහෝ පිරිස් පවසනුයේ සමනලු‍න් ශ්‍රීපාද වන්දනා කරන බවයි. පාරිසරික විනාශයන් හේතුවෙන් මේ වන විට සමනල ගහනය ද ඉතා අල්පවී ඇත. සමනළ අඩවිය ඉහළ කඳුකර හා උපකඳුකර වනාන්තර ආකාරවලින් යුක්‌ත වේ. මීට අමතරව ජලජ පරිසර පද්ධති. තෘණපිටි,  පතන, ගල්පර ආශ්‍රිත ශාක ප්‍රජාද වේ. තෙත් වර්ෂා වනාන්තර සහිත කලාපයට ගැනෙන මෙහි වනාන්තර තුළ ප්‍රධාන ශාක ප්‍රජා තුනක්‌ දක්‌නට ලැබේ. ඒ ගණ වනගහනය, යටිරෝපණය හා අපිශාක වශයෙනි.
 
සමනොළ අඩවියේ සාර්ථක ශාක හා සත්ත්ව තොරතුරු ගවේශනයක්‌ මේ තාක්‌ සිදුවී නොමැත. මෙහි වන වියනේ දඹ, කීන, මඩොල්, වෙරළු, දවුල් කුරුඳු, දොරණ, රත්දුන්, රත්මිහිරි, කිතුල් වැනි ශාක ප්‍රජාවක්‌ දක්‌නට ලැබෙන අතර, යටිරෝපණයේ නෙලු‍, බෝවිටියා, මහරත්මල්, කොක්‌මොට, ගිනිහොට, බේරු, ලියන්, කටුකිතුල්, රණබට, රන්දෝතළු වැනි මීටර් 15 ක්‌ තරමේ උසට වැඩෙන ශාක ප්‍රජාවකින් සමන්විතය. තෙත් වර්ෂා වනාන්තර, වලාකුළු වනාන්තර කලාපයට අයත් ශ්‍රීපාද අඩවියේ ශාක නියෝජනයේ ප්‍රජා 03 කි. ඒවා නම්, ගණ වනගහනය, යටිරෝපණය හා අපිශාක යි. එමෙන්ම වනාන්තරයේ ව්‍යාප්තව ඇති පරිසර පද්ධතිය ආශ්‍රිතව ශාක විවිධත්වය, ජලජ පරිසරය, තෘණ පරිසරය, සවානා, ගල්පර හා පතන්බිම් වේ.
 
 
සමනොළ කුණුකන්ද
මෙම වනාන්තරය තුළ උඩවැඩියා විශේෂ රැසකි. බේඳුරු මහාරාවණා රැවුල, ලයිකන, මාකැන්ටියා, කුඩාහැඩයා, මහහැඩයා වැනි ශාක අපිශාක ලෙස හමුවේ. දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළොව මත හරිත ඇල්ගී, නීලහරිත ඇල්ගී, පොගනේටම්, මාකැන්ටියා වැනි විල්ලුද ශාක, දිලීර (හතු) බහුල ලෙස දැකගත හැකිය. මහගිරිදඹ ප්‍රදේශයේදී හොඳින් අව්රශ්මිය ලැබෙන ස්‌ථානවල මහසුදනා, කුඩා සුදනා, නගාමැරූ අල, වැනි වටිනා දුලබ ඖෂධ ශාක දක්නට හැකිය. මහබෝටියා, පූබෝටියා, මහනුග, කලානුග, ඉරුරාජ, සඳරාජ වැනි දුර්ලභ ඖෂධ ශාක රැසක්‌ රක්‍ෂිතය තුළින් වාර්තා වන අතර - වනාන්තරයට අලංකාරයක්‌ එක්‌කරන මහරත්මල් හෙවත් අසෝකමල් ශ්‍රී ලංකාවේ දී ප්‍රථමයෙන්ම වාර්තාකර ඇත්තේ ද ශ්‍රීපාද මාර්ගය අසබඩදීය. ඒ ලෝක ප්‍රකට දේශ ගවේෂකයකු වූ ග්‍රීක ජාතික ඉබන් බතුතා විසින් 1343 දීය.  ශ්‍රී ලංකාවෙන් වඳව ගිය බවට විශ්වාස කළ මැන්ඩෝර ශාක විශේෂය  1981 දී සමනළ අඩවියෙන් යළිත් හමුවීම ද විශේෂ සිද්ධියකි. 
 

වන්දනාකරුවන් ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර ඇති ප්ලාස්ටික් බෝතල්


 

සමනොළ අඩවියෙන් වාර්තා වන විශාලතම ක්‍ෂීරපායින් විශේෂය අලියා ය. තෙත් කලාපයේ දිවිගෙවන අවසන් අලි ගහණයට අයත් එක්‌ කොටසක්‌ සිංහරාජ වනාන්තරය අවට දිවිගෙවන අතර, ඉතිරි කොටස දැකගත හැක්‌කේ සමනොළ අඩවියෙනි. රත්නපුර, කුරුවිට හා මාලිබොඩ මාර්ගවලට සම්බන්ධවන සුදුවැල්ල, හැරමිටිපාන,  මැදඉන්න, බේරුමණ්‌ඩිය ප්‍රදේශවල මොවුන් දිවිගෙවන බවට වන ජීවී නිලධාරීන් හඳුනාගෙන ඇත. දැනට වසර 03 කට පමණ ඉහතදී ශ්‍රීපාද අඩවියේ, නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායට අයත් “හැමිල්ටන්” කොටසේදී ශ්‍රීපාද අඩවියේ සැරිසැරූ අලියෙක් ආහාර සොයා පැමිණි අවස්ථාවක ගලකින් ලිස්සා වැටී මියගොස් සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයාගන්නා ලදී. 
 
මෙම අලියා  උස අඩි 8 කින් යුක්ත වූ  බවත්, උගේ වයස අවුරුදු 50 ඉක්මවා තිබූ බවත් වනජීවි නිලධාරීහු පැවසූහ.
 
කොටියා, හඳුන් දිවියා, වල් බළලා, කොළ දිවියා, ඌරා, වැලිමුවා, මුගටියා, හම්බාවා, රිළවා, වලස්‌ වඳුරා, ගෝනා, දඬුලේනා වැනි ක්‍ෂීරපායි සත්ව විශේෂ විශේෂ ශ්‍රීපාද රක්‍ෂිතයේ දිවි ගෙවති. උභය ජීවීන් හා උරගයින් පිළිබඳ පැහැදිලි වාර්තා නැතත් - තෙත් කඳුකර කලාපීය සුවිශේෂ වූ උභයජීවී හා උරග විවිධත්වයක්‌ සමනොළ අඩවියේදී නිරීක්‍ෂණය කළ හැකිය. උභයජීවී විශේෂ 21 ක්‌ හා උරග විශේෂ 38 පමණ මෙහි වාර්තාවේ. මල්කරවලා, ලේමැඩිල්ලා, දලවමැඩිල්ලා, රළුඅංකටුස්‌සා, කඟමුව අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරාකටුස්‌සා, කරමල් බෝදිලිමා, ගැරඬි සිකනලා උරගුන් අතර ප්‍රමුඛය. සමනල විශේෂ රැසක්‌ මෙහිදී වාර්තා වේ. 
 
ශ්‍රීපාද අඩවියට සමනොළ අඩවිය යන නම ද ලැබීමට මෙම සමනල ඝනත්වය හේතුවී තිබේ. සමනොළ අඩවියෙන් වාර්තාවන සුවිශේෂීම සත්ත්ව කොට්‌ඨාසය කුරුල්ලන්ය. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක්‌ මෙහි පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවට ඒකදේශීය  කුරුල්ලන් හා  නේවාසික කුරුල්ලන්  ඒ අතර වේ. පර්‌යේෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් අතරින් - අරංගයා හැර අන් සියලු‍ම විශේෂ සමනොළ අඩවියෙන් වාර්තා වේ. පීතකන් කොණ්‌ඩයා, සිතැසියා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුලභව දැකගත හැකි කුරුල්ලන් වේ. 
 
සමනොළ අඩවියෙන් පක්‍ෂින් විශේෂ 160 ක්‌  හා මත්ස්‍ය විශේෂ 17 ක් පමණ වාර්තා වේ. ඒ අතරින් ඒකදේශිකයින් වන ලේ තිත්තයා, බුලත්හපයා, හල්මල් දණ්‌ඩියා, මල්පුළුට්‌ටා, 
 
දෙපුල්ලියා යන තර්ජනයට ලක්‌වූ  මත්ස්‍ය විශේෂ ද වේ.
 
වසරක් පාසා ශ්‍රීපාද වන්දනාවට නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් හා රත්නපුර මාර්ගවලින්  නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් විසින් රැගෙනවිත් ශ්‍රීපාද රක්ෂිතයට මුදාහරින දිරා නොයන ඝන අපද්‍රව්‍ය හේතුවෙන්  මෙම පාරිසරික පද්ධතිය විනාශවීමට ලක්ව ඇති බව දැකගත හැකිය. 
 
වන්දනා වාරයේ දී හා අවාර සමයේ දී මස්කෙළිය ප්‍රාදේශීය සභාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,  යුද, ගුවන් සහ නාවික හමුදා, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, දිවයිනේ විවිධ පාරිසරික සංවිධාන සහ ස්වේච්ඡා සංවිධානවල මැදිහත්වීමෙන් සිදුකරනු ලබන ශ්‍රමදාන වැඩසටහන්වලදී - එකතුවන ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝන අපද්‍රව්‍ය ‍ටොන් ගණන දැකීමෙන් අපට ඇතිවන්නේ ඉමහත් සංවේගයකි. 
 
ශ්‍රීපාද පුදබිමට හා රක්ෂිතයට දිරානොයන ඝන අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙස - රටේ  විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින්   නිරන්තරයෙන් දැනුම්වත් කළද, වසරක් පාසා සිදුවන එම බරපතළ වැරැද්ද අඛණ්ඩව සිදුවෙන සෙයක් දැකිය හැකිය. එම අවාසනාවන්ත තත්ත්වය නැවැත්වීමට අප රටේ පවතින පරිසර නීතිරීති පොත්වලට සීමා නොකර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට වගකිවයුත්තන් ක්‍රියාමාර්ග නොගන්නේ කුමන හේතුවක් නිසා ද යන්න උභතෝකෝටියකි.
 
ජාතික උරුමයක් ලෙස නම්කර ඇති ශ්‍රීපාද පුදබිම ඇතුළු හරිත වනාන්තරයක් වන ශ්‍රීපාද රක්ෂිතය ආරක්ෂා කරගැනීම වස් අප රටේ ජනතාව පරිසර හිතකාමී ආකල්පමය වෙනසක් ඇති කරගත යුතුය. එසේ නොවුණහොත් අපට උරුම අපේ ජාතික උරුමයන් මතුපරම්පරාවට අහිමි වී ලෝකෙන් උතුම් රට යැයි විරුදාවලී ලැබූ ශ්‍රීලංකාව ලොව හොඳම කාන්තාරය බවට පත්වීම වැඩි ඈතක් නොවන බව අවසන් වශයෙන් සඳහන් කර සිටිමු.
 

මස්කෙළිය  
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක