වලාකුළුවලටත් උඩින් නාරංගල කන්දේ රාත්‍රියක්





මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි කඳුපන්ති අතර - ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, මනරම් හා විස්මජනක, නිතර වලාකුළු හා මීදුමෙන් වැසී තිබෙන,  කඳු අතරින් උසින් සයවෙනි තැන ගන්නා නාරංගලකන්ද, කදිම ඉසව්වකි.

උසින් මීටර් 1500 වන නාරංගල කන්ද ඉතා පහසුවෙන් තරණය කළ හැකි කඳු පන්තියක් වන අතර, ඉතා පුළුල් දර්ශනීය බවකින් යුතු නිසා සහ හිරු උදාව දැකගැනීමට ප්‍රියකරන සංචාරකයින් මේ ස්ථානයේ කඳවුරු බැඳීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. මෙම කඳු පන්තියේ ඉහළ සිට පහළ කොටස දක්වා එකයායට පවතින්නේ හරිත පැහැගන්නා තෘණ පිට්ටනියක් ලෙසය.

වෙනත් කඳු පන්තිවලට වඩා වෙනස් හැඩයකින් යුත් නාරංගල මෙතරම් ප්‍රසිද්ධ වී ඇත්තේ, කඳුමුදුනේ ඇති විශාල වූ දර්ශනයත්, පුළුල් වූ ඉඩකඩත් හසුවෙන් තරණය කළ හැකි වීමත් නිසාය.   

නාරංගල කඳුමුදුනට අලුගල්කන්ද, පිදුරුතලාගල හා නමුණුකුළ ඇතුළු කඳු හා නිම්න බොහොමයක් දැකගැනීමේ හැකියාවද ලැබෙනු ඇත. ඌව පළාතේ කඳු පන්ති අතර නාරංගලකන්ද දෙවැනි වන්නේ නමුණුකුළ කඳුවැටියට පමණි.


නරාංගල හා බැඳුණු ජනප්‍රවාදයන්


නාරං ගෙඩියක හැඩය ගත් කඳුමුදුනේ හැඩය නිසාවෙන් මෙම කඳු පන්තියට නාරංගල ලෙස පුරාණයේ සිට හඳුන්වා ඇත.  වසර 2600 පෙර පවා නාරංගල කඳුපන්තිය ආසන්න ප්‍රදේශයේ කෘෂිකර්මය පාදක කොටගත් ජීවන රටාවක්‌, ආර්ථිකයක්‌ හා මනාලෙස ස්‌ථාපිත වූ ජනාවාස පිහිටා තිබූ බවට සාක්ෂි පවතින අතර, ඓතිහාසික වශයෙන් ගත්කල නාරංගල කඳුපන්තිය ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසයේ බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය දක්‌වා ඈතට දිව යයි. 

බුදුරජාණන් වහන්සේ පළමු වතාවට මහියංගණයට වැඩම කරන ලද්දේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ යෙදුණු පූර්ණචන්ද්‍ර හෙවත් දුරුතු පොහෝ දිනයේදී බව සඳහන්ය. ඌවේ වැසියන් අතර ප්‍රකට එක්‌ ඓතිහාසික පුරාවෘතාන්තයක්‌ අනුව මහියංගණයට පැමිණි බුදුන් වහන්සේ නාරංගල කඳු මුදුනේ සිරිපා සටහනක්‌ තැබීමේ බලාපොරොත්තුවෙන් එහි පැමිණියත් දුරුතු පොහෝ දින නාරංගල කඳු ප්‍රදේශය අසල ගමක ගොවීන් පිරිසක්‌ සී සාමින් සිටි නිසා බුදුන් වහන්සේ සිරිපා සටහනක්‌ තැබීමේ අදහස අතහැර පිටත්ව ගියබව සඳහන් වේ. 

නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ඊළඟට වැදගත්ම සාක්ෂිය අනාවරණය වන්නේ වළගම්බා රජතුමා පරසතුරු ආක්‍රමණයන් හේතුවෙන් කඳුකරය පුරා ගතකළ කාල පරාසයයි. එය ක්‍රිස්‌තු පූර්ව 105 සිට 89 දක්‌වා දිව යන්නකි. එම වකවානුවේ නාරංගල කඳුවැටියේ දකුණු පස පිහිටි බෝගොඩ විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ රැකවරණය පතා පැමිණි වළගම්බා රජතුමා ඇතුළු පිරිස එහි බොහෝ කාලයක්‌ ගතකළ බවත්, එම වකවානුවේදී බෝගොඩ විහාරයේ සිට දෝව රජමහා විහාරය දක්‌වා එක්‌ උමගයක්‌ ගොඩනැඟූ බවත්, එයින් එක මාර්ගයක්‌ නාරංගල කන්ද මුදුන දක්‌වා දිවයන බවත්, ජනප්‍රවාදයේ සඳහන්ය. 

නාරංගල කඳුවැටිය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වන්නේ - 1817 ඔක්‌තෝබර් සිට 1818 නොවැම්බර් දක්‌වා වසරකට අධික කාලයක්‌ ඇවිළුණු කන්දඋඩරට පළමු නිදහස් අරගල වකවානුවේ දී ය.

වනදුර්ග, හෙල් හා ගිරි දුර්ග වලින් ආවරණය වූ මධ්‍යය කඳුකර කලාපයේ ඌව පළාතේ පිහිටි නමුණුකුළ, ලුනුගල, කොකාගල, හපුතලේ මඩොල්සිම හා නාරංගල කඳු පංතීන් රටේ නිදහස් අරගලයට සෙවණ දුන් භූමි අතර පෙරමුණේ ඇති නාමයන්ය. මේ අතරින් නාරංගල කඳු පංතිය ඓතිහාසික වශයෙන් පමණක් නොව, සංස්කෘතිකමය වශයෙන් ද අද්විතීය කලාපයක් බව ඓතිහාසික සාධකවලින් ඔප්පු කර ඇත.





නාරංගල කඳු මුදුනට ගමන් මාර්ගය 


නාරංගල කන්ද කන්ද පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දේගෙදර හා කීනකැලේ යන තේ වතු වගාවලින් සපිරුණු ගම්මාන  දෙකක් අතරය. කොළඹ සිට එන්නේ නම් බණ්ඩාරවෙල පසුකොට හාලිඇලට පැමිණ, එතැනින් කන්දේගෙදර ගමට හෝ එය පසුකොට අවසාන නැවතුම වන කීනකැලේ ගමට ගොස්, එහිවූ තේවතු මැදින් ඉහලට ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුය. කන්දේගෙදර ගම හරහා නාරංගලට ප්‍රවේශ මාර්ගයන් තිබුණද, කීනකැලේ මාර්ගය ඔස්සේ ගමන් කොට ඉතා කෙටි වේලාවකින් නාරංගලට ළඟාවීමේ හැකියාව ලැබෙනු ඇත.

නාරංගලකන්දේ එක් කෙළවරක පිහිටි බෑවුම ඉහළ සුන්දර ක්‍රීඩාපිටියක් ලෙස ඉතාමත් දිගින් සහ පුළුල්ව කඳුවැටිය දක්නට ලැබෙනු ඇත.  

කඳුමුදුන මුළුමනින්ම විවෘත වූ නිසාවෙන් දැඩි හිරුරශ්මිය පවතිනවිට මෙම කන්ද තරණය තරමක් වෙහෙසකර විය හැකිය. 

පයින් යෑමේ ගමන තරමක් දුෂ්කරය. නමුත් ක්‍රමවත් අඩිපාරක් ඇති නිසා මග සොයාගැනීම අපහසු නොවේ. එම මගදිගේ ඉදිරියටම යනවිට නාරංගල කඳුවැටිය දිස්වන අතර, තේ දලු සමග හැපෙන ජීවිත බොහෝමයක් දැකගත හැකිය.  මෙම ගමන යාමේදී ප්‍රමාණවත් ජලය රැගෙන යාමට අමතක නොකළ යුතුය.   වැසි සමයේදී නම් මෙම ප්‍රදේශය දැඩි තෙත් බවකින් හා මීදුමකින් ගහනව පවතින නිසා, මෙම මාර්ග සියල්ලේම කූඩැල්ලන් බහුලය.

එමෙන්ම  මෙම ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ බෑවුම නිසාවෙන් බොහෝ විට වියළි කාලගුණයක් උසුලන අතර, එම නිසාම වසරකට වතාවක් මෙම කඳු ස්වභාවික ලෙස ගිනිගැනීම හෙවත් ළැව්ගිනි ඇතිවීම සිදුවේ. විශේෂයෙන්ම හාවාගල, පරවියන්ගල, වංගෙඩිගල කඳුපන්තිය, බෙරගල, උඩදියලුම, ඇල්ල කන්ද, ලුනුබිස්ස, නාරංගල, උඩවේරිය සහ අවශේෂ කුඩා කඳුවල පවතින අධික මානපඳුරු නිසාවෙන් බොහෝ කාලයක් මුළුල්ලේ පායනවිටදී තද අව් රශ්මියට ස්වභාවිකවම ගිනි ගැනීමක් ඇති වේ. 


කඳුවුරු රාත්‍රිය


 කූඩාරම් ගසනවිට මානපඳුරු නොමැති කුඩා ඉඩක කූඩාරම සකස්කිරිමට වගබලා ගතයුතුය. ගිනිමැලවලට දර සොයාගැනීම තරමක් දුෂ්කර නිසා, රෑ බෝවීමට කලින් ඒ සියල්ල සකසා ගත යුතුය. කූඩාරම් ගසා සඳ ඇති රැයක නාරංගල මුදුනේ විඳිය හැකි සුන්දරත්වය වචනයෙන් කිව නොහැකිය.   

හෙමිහිට ඇද හැලෙන පොද වැස්සේ සීතලත් මීදුමත් හමාඑන සුළඟත් වැහිවලාකුළින් වෙළාගත් අහසත් ටිකෙන් ටික මීදුමෙන් වැසී ගෙනඑන නාරංගල කඳු පන්තිය මවන චිත්‍රය ගුප්ත වුවත් - අතිශය මනරම් ය. අව් රශ්මියත් සමග දහවල තිබූ විඩාබර මනසට හීනියට වැටෙන පොද වැස්ස ඒ සන්ධ්‍යාවට මිහිරකි. එය සැබෑවටම දෑසමානයේ ඇඳුණ චිත්‍රයකි. 


නදීශා අතුකෝරළ