වසර දහස් ගණනට පෙර ඉන්දියාව සහ ලංකාව


පිංවත් කරන්දෙණිය ප්‍රඥාදීප යතිවරයාණන් වහන්සේ වනාහි නූතනයේ පහළ වී වදාළ අභිඤ්ඤාවෙන් දකින ලද සුවිශේෂි ස්ථානයක් පිළිබඳව අපි මෙලෙස සටහන් තබන්නෙමු. පිංවත් කරන්දෙණියේ ප්‍රඥාදීප ස්වාමීන් වහන්සේ විසින් අදින් වසර ලක්ෂ දෙකකට පෙර, අදින් වසර පනස් දහසකට පෙර, අදින් 27,000 කට පෙර සහ අදින් වසර 15,000 කට පෙර ඉන්දියාවේ හා ලංකාවේ ස්වභාවය පිළිබඳ බැලීමට සිදුවී ඇත්තේ ගිහි පිංවතෙකුගේ ඉල්ලීමක් මතය. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගෞතම බුදුපියාණන් වහන්සේ උත්පත්තිය ලැබූ ජම්බුද්වීපයේ දඹදිව් තලයේ පිළිබඳ නොයෙක් මතිමතාන්තර වර්තමානයේ පවතින නිසාවෙනි. අසත්‍යයේ ඝන අන්ධකාර නම් වූ තිමිර පටල ප්‍රඥාව නම් වූ ආලෝකයෙන් සිඳ දමනු වස් නිවැරදි දඹදිව තලය පසක්වීම පිණිස කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් විසින් අදින් වසර දෙලක්ෂයකට පෙර ඉන්දියාවේ හා ලංකාවේ ස්වභාවය මෙලෙස පෙන්වා දෙන ලදී. 
 
ඉහත රූප සටහනේ දක්වා ඇති පරිදි අදින් වසර දෙලක්ෂයකට පෙර ඉන්දියාවේ හැඩය බිත්තරයක හැඩයට සමාන විය. (ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත විය) එම අවධිය වන විටදී ඉලිප්සාකාර හැඩයෙන් යුත් ඉන්දියාවට සම්බන්ධවම ඒ අසලින් විශාල කලපුවක් ආකාරයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබුණි. එම අවධිය වන විට විශාල කලපුවක් වූ ශ්‍රී ලංකාව එනමින් නොහැඳින් වූ අතර, එය ඉන්දියාවට සම්බන්ධ ඉන්දියාවේම කොටසක් විය. එකල ඉන්දියාවත් ලංකාවත් වටා මුහුදු සීමාව තුළ විශාල වශයෙන් දූපත් සහ වගුරු බිම් ද පැවතුණි. වසර දෙලක්ෂයකට පෙර ඉහත රූප සටහනේ පරිදි අභිඤ්ඤාවෙන් දකින ලද දූපත්, වගුරු බිම් ආදිය සමස්ත භූමි වපසරිය වර්තමානයේ ආසියා මහාද්වීපය ලෙස හඳුන්වනු ලබයි. මෙම අවධිය වන විට ඉන්දියාව නම් වූ භූමි කොටස තුළ මූලික වශයෙන් ජන වර්ග දෙකක් ජීවත්ඤා සිට ඇත. එනම්, යක්ෂ ගෝත්‍රිකයන් පලකයන් වශයෙනි.
 
මෙකී ජන කොටස් දෙකෙන් ‘‘යක්ෂ ගෝත්‍රිකයන්’’ ඉන්දියාවේ සුළු ප්‍රදේශ කිහිපයක ජීවත් වූ අතර ‘‘පලකයෝ’’ නම් කොට්ඨාසය සත්ව වර්ගයකට අයත් පිරිසකි. මෙම ‘‘පලකයෝ’’ නමැති සත්ව කොට්ඨාසය ඉතා දරුණු පිරිසක් වූ අතර ඔවුන්ගේ ශරීර ස්වභාවය ප්‍රඥාදීප හිමියන් මෙලෙස පෙන්වා දෙනු ලැබීය. පලකයන්ගේ ශරීරය තුළ කිසිදු රෝම කූපයක් දක්නට නොලැබේ. එමෙන්ම වස්ත්‍ර නොඇදීමක් ද ඔවුන් සිදු කරයි. අදින් වසර දෙලක්ෂයකට පෙර ඉන්දියාවේ සිටි පලකයන්ගේ ප්‍රමාණය 335ක් වන බව හිමියන් තවදුරටත් පෙන්වා දෙනු ලැබීය. පලකයන්ගේ ශරීරය අඩි 08ක් පමණ උසකින් යුක්ත වන අතර අඩි 20 – 25 ත් අතර උසක් උඩ පැනීමේ හැකියාවක් ද ඔවුන් සතුවී තිබේ. මෙම පලකයන් හට කාල වර්ණයට හුරු ශරීරයක් වූ අතර එම ශරීරය ග්‍රීස් තැවරුණු ශරීරයක් ලෙස දිලිසීමක් පවතී. මෙම පලකයන් තුළ සෙමින් ගමනක් නොමැති අතර බඹ 20ක් පමණ දුරකට පැනීමේ හැකියාව ද විය. පලකයන් සතු තවත් පුදුම සහගත ක්‍රියාවක් වන්නේ මොවුන් ජලාශ තුළට බැස ගත් විට ශරීරයෙන් මීටර් 8ක් හෝ මීටර් 9ක් දුරක් දක්වා කිරණක් ලෙස උෂ්ණත්වයක් පිටවීමයි. 
 
එලෙස පලකයන්ගේ ශරීරයෙන් පිටවෙන උෂ්ණත්වය නිසාවෙන් ජලාශයේ සිටිනා මසුන් මියගොස් උඩ පාවීමක් සිදුවේ. එවිට එම පලකයන් මියගිය මසුන් අනුභව කිරීමක් සිදු කරයි. පලකයන් මියගිය මසුන් පමණක් නොව ඇතැම් අවස්ථාවලදී යක්ෂ ගෝත්‍රිකයන්ද මරා මස් අනුභව කිරීමක් සිදු කරයි. මෙලෙස ඉන්දියාවේ විශාල භූමි භාගයක සිටි පලකයන් නිරන්තරයෙන් යක්ෂ ගෝත්‍රිකයන්ට හිරිහැර කළ අතර එම නිසා යක්ෂ ගෝත්‍රිකයන් පලකයන්ගෙන් මිදීම සඳහා ඉන්දියාවේ අවට අනෙකුත් දූපත්වලට පලායෑමක් සිදු විය. මෙම අවධිය වන විට එනම් වසර දෙලක්ෂයකට පෙර ඉන්දියාව අසලම වූ ලංකාව තුළ කිසිදු ජීවි කොට්ඨාසයක් ජීවත් වී නැත. 
 
අදින් වසර දෙලක්ෂයකට පෙර ඉන්දියාව හා ලංකාවේ භූමි ස්වභාවයෙන් පසු කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් සිය අභිඤ්ඤාවෙන් බලා ඇත්තේ අදින් වසර 50,000කට පෙර ඉන්දියාව හා ලංකාවේ ස්වභාවයයි. ඒකී වසර 50,000 කට පෙර ස්වභාවය මෙතැන් සිට අපි සාකච්ඡා කරන්නෙමු. 
 
පෙර සඳහන් කළ පරිදි පලකයන් විසින් යක්ෂ ගෝත්‍රිකයන් වෙත හිරිහැර කරදර සිදුවූයේ අදින් වසර දෙලක්ෂයකට පෙරය. කාලයාගේ ඇවෑමෙන් පසු ස්වභාවධර්මයා මත ඉන්දියාවේ ද ලංකාවේ ද ස්වභාවය වෙනස් විය. ඉහත රූප සටහනේ පෙන්නා දෙන පරිදි ඉන්දියාව අවට පැවති කලපු දූපත් ආදිය විවිධ විපර්යාස හමුවේ එම වගුරු බිම් හා දූපත් මුහුදට ගිලා බැසි බව කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් පෙන්වා දෙනු ලබයි. මීට වසර දෙලක්ෂයකට පෙර කලපුවක් ලෙස පැවති ලංකාවේ වගුරු බිම් ආදිය විනාශවීමෙන් ලංකාව නමැති භූමිය මතුවී තිබේ. මෙලෙස ලංකාව බිහි වූ අවධියේ දී ඉන්දියාව තුළ මිනිසුන් ජීවත් වූ බව දක්නට ලැබෙන බව කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් පෙන්වා දෙනු ලබයි. පෙර අවධිවල සිටි පලකයන් වසර 50,000කට පෙර ඉන්දියාව තුළ දක්නට නොවීය. 
 
අදින් වසර 50,000 කට පෙර අවධිය වන විට ලංකාව තුළ ජන වර්ග 02ක් ජීවත් වී තිබේ. ඉහත සඳහන් කළ පලකයන් හමුවේ ඉන්දියාවේ අවට දූපත්වලට පලාගිය යක්ෂ ගෝත්‍රිකයන් එම දූපත්වල සිදු වූ විපර්යාස නිසාවෙන් ඒවා අතහැර ලංකාවේ එක් කොටසක ජීවත් වී ඇත. ලංකාවේ අනෙක් කොටස තුළ ඉන්දියාවෙන් ලංකාවට පැමිණි මිනිස් කොට්ඨාසයක් ජීවත් වී ඇත. එම ලංකාවට පැමිණි මිනිසුන් කොට්ඨාස ඉන්දියාවේ සිට ලංකාවට පැමිණිම සඳහා ලී දඬු සහිත ඒදඬු පාලමක් භාවිත කර ඇති බවද තවදුරටත් කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් පෙන්වා දෙන ලදී. 
 
වසර 50,000න් පසුව කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් අභිඤ්ඤාවෙන් බලා ඇත්තේ වසර 27,000 කට පෙර ශ්‍රී ලංකාවේ ස්වභාවයයි. 
 
මෙම අවධිය වන විට එනම් අදින් වසර 27,000 පෙර ලංකාව තුළ වූ වගුරු බිම් ක්‍රමක්‍රමයෙන් ගොඩබිම් බවට පරිවර්තනය වී ඇති බව උන්වහන්සේ පෙන්වා දෙන ලදී. ජලයෙන් පිරී තිබූ බිත්තරයක හැඩයගත් ප්‍රදේශය ජලයෙන්ම පිරී තිබූ අතර පො​ෙළාව යටින් වේගයෙන් ගලා බසින ජල පහරවල් සමඟ වැලි හා තිරුවානා කැට, මැටි කැබලි ද ජල පහර සමඟ එකතුවී ගලා බැසීමේදී මෙම ජලාශයන් ක්‍රමක්‍රමයෙන් ගොඩවී ගොඩබිම් බවට පත්වී ඇත. මෙලෙස බිත්තරයක හැඩයට සමාන වූ ලංකාව තුළ වීදුරු කැට මෙන් දිලිසෙන තිරුවානා කැට හා ගෝරෝසු වැලි කැට දක්නට ලැබුණි. එම ප්‍රදේශවලට දහවල් කාලයේදී අධික රස්නයක් ඇති වී තිබූ අතර එම නිසාවෙන් රාත්‍රී කාලයේදී එම ගල් කැට වලින් හා වැලිකැටවලින් විශාල ආලෝකයක් දිස්විය. දහවල් කාලයේදී එම ප්‍රදේශවලින් ගින්දරට සමාන අධික උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් ලංකාවේ කොටසක ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවෙන් වෙනත් දූපත්වලට සංක්‍රමණය වී ඇත. 
 
ලංකාවේ භූමියේ පැවති ගල් සහ වැලිවලින් පිරී ඇති ප්‍රදේශයෙන් රාත්‍රී කාලයට නිකුත් වන ආලෝකය ක්‍රමක්‍රමයෙන් මුළු රාත්‍රිය පුරාවටම විශ්වයට මුදා හරින්නට විය. ඒ දවස යමෙක් මෙය අහසේ සිට නිරීක්ෂණය කරන්නේ නම් ලංකාවෙන් මෙලෙස ආලෝකය පිටවන භූමිය දිස්වනුයේ පසළොස්වක පොහොයදාට පෑයූ පුන්සඳ මෙන් දිස්වන බව කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් පෙන්වා දෙනු ලබයි. 
 
පිංවත් කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් පෙන්වාදෙන පරිදි අදින් වසර 15,000 කට පෙර ලංකාවට පිටසක්වළ ජීවින් සම්බන්ධ සිදුවීම් රාශියක් සිදු වී ඇත. මෙම පිටසක්වල ජීවින් පැමිණෙන වාහනයක් ගොලුබෙලි කටුවක හැඩයට සමාන වේ. ඇතැම් වාහන ‘බොල් හඩුවෙකුගේ’ ස්වරූපය ගනු ලබයි. කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් පෙන්වා දෙනු ලැබුවේ මෙම පිටසක්වල යානාවලට ආකාශයේ ගමන් කිරීමට මේ නම වතුරේ කිමිදී ගමන් කිරීමට ද හැකියාවක් ඇති බවයි. ඇහිපිල්ලමක් ගසන වේගයෙන් නොපෙනී යාමට මෙම යානාවලට හැකි අතර කිසියම් හෝ ශබ්දයක් මෙම යානාවලින් පිට නොවේ. මෙම පිටසක්වළ ජීවින් සියුම් ශරීර ඇති සත්ව කොට්ඨාසයකි. මෙම ජීවින්ගේ මුහුණේ ස්වභාවය සුනඛයෙකුගේ මුහුණේ ස්වභාවය ගනු ලබයි. යම් අයෙකු දියුණු කරන ලද මනසින් මෙම පිටසක්වල ජීවින්ගේ ලෝකය දෙස බලනුයේ නම් ‘‘විදුලි ආලෝකයට ආකර්ශණය වී ඇති මෙරු පිරිසක් ලෙස දිස්වෙන බව’’ කරන්දෙණිය ප්‍රඥාදීප හිමියෝ පෙන්වා දෙති. 
 
මෙම පිටසක්වල ජීවින් ලංකාවට පැමිණ පෙර සඳහන් කරන ලද දිලිසෙන ස්වභාවයෙන් යුත් ගෝරෝසු වැලි හා වීදුරු කැට රැගෙන යාමක් සිදුකරන ලදී. මෙලෙස මෙම පිටසක්වල ජීවින් ඉහත කී ද්‍රව්‍යය රැගෙන යාම වසර 5200ක් පමණ කාලයක් පුරාවටම සිදුකොට ඇත. කාලාන්තරයක් පුරාවට මෙම ද්‍රව්‍යය රැගෙන යාම නිසා ලංකා භූමිය තුළ කාන්තාර සහිත වළවල් සහිත භූමියක් නිර්මාණය විය. එලෙස පසුබිමක් නිර්මාණය වීමෙන් පසුව ලංකා භූමිය තුළ විශාල ගංවතුර, සුනාමි, සුළි සුළං, ධාරානිපාත වර්ෂා ආදිය ඇදහැලෙන්නට විය. ලංකා භූමිය වටේට තිබූ විශාල දූපත්වලින් වැඩි ප්‍රමාණයක් මෙම විපර්යාස හේතුවෙන් විනාශයට පත්විය. එම විනාශ වීම කල්ප විනාශයක කොටසක් මෙන් දිස් වුවද එය කල්ප විනාශයක් නොවේ. 
 
ඉන්පසු කාලයක් ගතවීමෙන් පසු මේ භූමිය තුළ වැලි ස්වභාවය ඉවත් වී සාරවත් භූමියක් බවට පත් විය. ඉන්දියාව හා ලංකාව අතර මෙම අවධිය වන විට ද ඇළ පාරක් නිර්මාණය වී තිබුණි. මෙකල ඉන්දියාවේ ජීවත් වූ මිනිසුන් විශාල ගස් කපා, ඇළ හරහා ගමන් කිරීමට පාලමක් තනවන ලදී. එම පාලම හරහා ඉන්දියාවේ සිටි මිනිස්සු නිරන්තරයෙන් ලංකාවට පැමිණියෝය. ඒ අනුව මෙම අවධියේ දී ලංකාවේ එක් කොටසක් ඉන්දියාවෙන් පැමිණි ජන කොටස්ද අනෙක් කොටසෙහි  යක්ෂ ගෝත්‍රිකයෝද පදිංචිව සිටියහ.
 
මීට වසර 75,000 පෙර හා 135,000 කට පෙරත් මෙම ආකාරයටම ස්වභාවික විපර්යාස සිදු වී ලංකා භූමිය විශාල වළවල් සහිත වගුරු බිමක් බවට පත් වූ ප්‍රදේශයක් විය. ඒ අවස්ථා දෙකෙහිම වගුරු බිමේ තිබූ විශාල දූපත් හා ඒවායේ සිටින මිනිසුන් සමග ගිලා බැස ඒ ප්‍රදේශය විශාල ජලාශයක් විය. ලංකාවට පැමිණි යක්ෂ ගෝත්‍රිකයෝ මෙම ලංකා භූමියේ එක් කොටසක ජීවත් වුහ. ඔවුන්ගේ පෙනුම මේ ආකාරයට විස්තර කළ හැකිය. මොවුන් ඉතා තරබාරු පෙනුමක් ඇති එක සමාන උසකින් යුතු මිනිසුන් කොටසකි. සාමාන්‍ය ජීරණ පද්ධතියක් ඇති මොවුන් කාන්තාවන් හා පිරිමින් වශයෙන් දෙඅංශයකි. මොවුන් දෙපිරිසෙහිම මුහුණ රවුම් ආකාරයට සමාන අතර මුහුණ ලා රෝස පැහැයකට හුරුය. ශරීරය පුරා අඟල් 03 ක පමණ දිගු ලෝම ඇත. එය උපමාවකින් කිවහොත් කුකුලාගේ බෙල්ලේ ඇති සිහින් දිගු පිහාටු මෙනි. මේ කාලය වන විට ලංකාවට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ මිනිස්සු යක්ෂ ගෝත්‍රිකයෝ හා තවත් ජීවිහූ කොටස් ජීවත් වූහ.
 
මෙම පිරිස් ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජීවත් වුණි. මොවුන් සයුර ආශ්‍රිතව ජීවත්වීමට හුරු වූ ජීවින් විශේෂයක් විය. උස අඩි 3ත් 4ත් අතර උසකින් යුක්ත වන අතර මුහුණ සිංහයෙකුට සමානය. හිස කොටස උදරයෙන් ඉහළට, ඉදිරියට එක ලෙස  නෙරා ඇත. මොවුන් ලා දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර සුදු පැහැති පුල්ලි පිහිටා ඇත.
 
ඉන්දියාවෙන් ලංකාවට පැමිණි මිනිසුන් හා යක්ෂ ගෝත්‍රිකයන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම ආරම්භ විය. මේ කාලය වන විටදී මේ භූමිය තුළ තවත් සත්වයින් සිටි අතර ඔවුන් සමඟ ලංකාවේ තුන් වර්ගයකට අයත් ජීවින් ජීවත් විය. එනම් ඉන්දියාවෙන් පැමිණි මිනිසුන්, යක්ෂ ගෝත්‍රිකයන් හා පෙර කී පරිදි සිංහයෙකුගේ මුහුණට සමාන සත්ව කොට්ඨාසයයි. සිංහ මුහුණු වලට සමාන ජීවින් හට මිනිසුන්ට සමාන අත් දෙකක් පාද දෙකක් දක්නට විය. ඔවුන්ද මිනිසුන් මෙන් පයින් ගමන් කළ පිරිසකි. මුහුදේ වතුර යටින්ද ඉතා වේගයෙන් පිහිනා යෑමට ද මොවුන්ට හැකියාව විය. මෙම අවධිය වන විට යක්ෂ ගෝත්‍රිකයන් නිසා ලංකාවේ සිටි මිනිසුන් හට හිරිහැර කරදර නිරන්තරයෙන් සිදුවිය. එම හිරිහැර කරදර යුද්ධයක ස්වරූපයන් ගනු ලබයි. මේ කාලය වන විට ගෞතම බුදුපියාණන් වහන්සේ දඹදිව තුළ පහළ වී වැඩ සිටි සමය විය. මෙම යුද්ධය නතර කරලීම සඳහා ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රාතිහාර පෑමේ ශක්තියෙන් අනුබුදුරුවක් ලංකාවට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන්ට හා මිනිසුන් හට ද ධර්මය දේශනා කොට ගැටලු සමථයකට පත්කොට සමාදානය කරන ලදී. මෙලෙස මෙම පිරිස් හට බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරනා විට ඔවුන් හට දිස්වනුයේ එක් බුදුපියාණන් වහන්සේ නමක් නොව බුදුපියාණන් වහන්සේලා සතර නමක් ලංකාව තුළ ස්ථාපිත කරන ලදී. මෙලෙස ලංකාව තුළ බුද්ධ ශාසනයේ ස්ථාපිත කිරීම ඉන්දියාවෙන් ලංකාවට පැමිණි පිරිස් මගින් සිදුවූවා මිස අන් අයුරකින් සිදුවූ කාර්යයක් නොවෙති. අන්‍යාගාමික ජෛන බලපෑම් හමුවේ සෘෂිවරුන්, බමුණන් වැනි පුද්ගලයින් ද ලංකාවට පැමිණ ඇත. මෙම සෘෂිවරුන්, බමුණන් ආදී පිරිස් බෞද්ධයන් නොවුණ ද බුදුදහමේ ඇතැම් ඉගැන්වීම් ඔවුන් ද පුරුදු පුහුණු කරනු ලැබ ඇත. නිදසුනක් ලෙස භාවනා ක්‍රමවේදයන් පෙන්වා දිය හැකිය. මෙකී සමය තුළ ඉන්දියාවේ සිටි බෞද්ධ ස්වාමීන් වහන්සේලා පණපිටින් ගිනි තබා ඝාතනය කරනා ආකාරය ද දක්නට ලැබේ. එකී හිංසාකාරී ක්‍රියා නිසා රහතන් වහන්සේලා සිල්වත් බෞද්ධ පිරිස් ලංකාවට පැමිණ බුදුපියාණන් වහන්සේගේ ශාසනය ද, ධර්මය ද ලංකාව තුළ සුරක්ෂිත කිරීමට කටයුතු කළෝය.
 
බුදුවරයෙකු පහළ වූ භූමියක කිසියම් ශක්තියක් පවතී. යම් සිල්වත් පුද්ගලයෙකු බුද්ධගයාවේ (දඹදිව) එම භූමියේ වාඩි වී බුදුපියාණන් වහන්සේ කෙරෙහි සිතෙහි අධික ශ්‍රද්ධාවෙන් ‘ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ....’ යනුවෙන් බුදුගුණ සිහිකරන්නේ නම් ඔහුගේ සිත වහා සමාධිගත වේ. එයට හේතුව බුදුපියාණන් වහන්සේ නමක් පරිහරණය කළ භූමි තුළ විශාල ශක්තියක් පවතින නිසාවෙනි. එම ශක්තිය භාවනා කරන සිල්වත් පුද්ගලයන්ගේ මනසට ඇතුළුවීමෙන් සිත වහා සමාධිගත වේ. ප්‍රබල කුසල කිරීම කළ අයෙක් නම් බුදුරුව මනසට පෙනීමට තරම්, දේශනා කරන ධර්මය එලෙසටම ඇසීමට තරම් වාසනාවන්ත විය හැකිය. එමගින් ද බුදුපියාණන් වහන්සේ පහළ වූ භූමිය කවරක්ද යන්න නිවැරදිව දැකගත හැකි වේ.
 
සතර දිශාවට ධර්මය දේශනා කරනා ආකාරයයි. මෙම ධර්මය දේශනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනා අවස්ථාවේදී මෙම දෙපිරිසෙහිම සිටි පින් ඇති පුද්ගලයෝ සෝවාන් ඵලයට පත්වූහ. අනෙක් පිරිස් දහම් ඇසීමෙන් යුද්ධය නතර කරලීමට කටයුතු කළහ. ධර්ම දේශනය අවසානයේ මෙම දෙපිරිසෙහි සිටි යක්ෂ ගෝත්‍රිකයන් තුළ වූ බියකරු පෙනුම වියැකී සාමාන්‍ය මිනිසුන් බවට පත් විය. දේශනය අවසානයේ ලංකාවේ සිටි සිංහ මුහුණු ඇති පිරිස් වෙනත් දූපත්වලට ඇදී ගියේය. මෙම අවධිය වන විට ලංකාවත් ඉන්දියාවත් අතර අඩි 07 ක පමණ දිය පහරක් ගලා බැසි අතර ඒ හරහා පාලමක්ද ඉදි වී තිබුණි. එම පාලම හරහා නිරන්තරයෙන් ඉන්දීය පිරිස් ලංකාව තුළට පැමිණියේය.
 
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඉන්දියාවේ පැවැති බුදු දහමට හා බෞද්ධ පිරිස් වෙත ඉතා දුෂ්කර කාලයක් උදා විය. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වසර 17 කට පසු ඉන්දියාව පුරා අන්‍යාගමිකයන් ඔවුන්ගේ කෝවිල් දේවාල ඉදිකරන්නට විය. බෞද්ධ ජනයාට ඔවුන්ගෙන් සිදුවූ අනේකවිධ හිරිහැර නිසාවෙන් ඉන්දියාව අත හැර ලංකාවට පැමිණියහ. එනම් නිකෙලෙස්භාවයට පත් වූ රහතන් වහන්සේලා, බුදුන් සරණ ගිය මාර්ගඵලාභී උතුමන් සහ සිල්වත් ස්වාමීන් වහන්සේලා, සිල්වත් බෞද්ධ පිරිස්ය. ඉන්දියාවේ සිටි අන්‍යාගමික පිරිස් බෞද්ධයන්ට හිරිහැර කිරීම හා වෙහෙර විහාර විනාශ කිරීම නිසා මෙලෙස ඉන්දියාවෙන් පැමිණි රහතන් වහන්සේලා, මාර්ගඵලලාභී පිරිස් සිල්වත් ස්වාමීන් වහන්සේලා සහ පිරිස් විසින් ලංකාව තුළ වෙහෙර විහාර, දාගැබ් ඉදිකොට බුද්ධසාසනය අනාගතය සඳහා සුරක්ෂා කිරීමට කැපවූහ.
 
ශාස්ත්‍රවේදී 
ලහිරු සඳකැලුම්