ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය



ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය - රටේ දේශපාලන විකාශනය, සමාජ ගතිකත්වය සහ ඓතිහාසික සන්දර්භය නිරූපණය කෙරෙන විචිත්‍ර පිළිබිඹුවකි. 

1931ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂ දේශපාලන වරමක් ලැබිණි. එයනම් සර්වජන ඡන්ද බලයයි.  සර්වජන ඡන්ද බලය ලැබීම තුළින් රාජ්‍ය පාලනය  සඳහා තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමට රටවැසියන්ට හැකියාව ලැබුණි.

1947 දී ක්‍රියාත්මක වූ සෝල්බරි ආණුඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් හිමිවිය. ඒ සඳහා සභිකයන් පත් කර ගැනීම වෙනුවෙන් පැවැත් වූ මැතිවරණය ශ්‍රී ලංකාවේ පැවැත් වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණය විය. 

1947 සිට අද දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16 ක් පවත්වා ඇත. එනම් 1947, 1952, 1956, 1960,  (මැතිවරණ 02) 1965, 1970, 1977, 1989, 1994, 2000, 2001, 2004, 2010, 2015, 2020 යන වර්ෂයන්හිදීය.

17 වන පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වන දා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී. මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමද - මේ වනවිට අවසන් වී තිබේ. වසර 77 ක් පුරාවට පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයන්හි ඉතිහාසය මෙසේය. 

ශ්‍රී ලංකාවේ පැවති පළමු ජාතික මැතිවරණය වන්නේ - ක්‍රි.ව. 1947 අගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දින දක්වා, සෘජුවම බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයයි.  සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවැත් වූ පළමු මැතිවරණය ද මෙයයි. නිදහස් අරගලය සඳහා නායකත්වය දුන් නායකයින් කීපදෙනෙක්ම - ඩී.එස්. සේනානායකගේ  නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළහ. විරුද්ධ පක්ෂයන් වූයේ - ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය , බොල්ෂෙවික් ලෙනින් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායමකි.

සේනානායකගේ  එක්සත් ජාතික පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට  නොහැකි වුව ද, උතුරැ නැගෙනහිර ප්‍රදේශවල  ආසන වලින් වැඩිම සංඛ්‍යාවක් දිනාගත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග සන්ධානගත වී ආණ්ඩුවක් පිහිටුවීම ට ඔහු සමත් විය. නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වීමේ ගෞරවය මහාමාන්‍ය ඩී.එස්. සේනානායකට  හිමිවූයේ ඒ අයුරිනි.

මෙරට පැවැත් වූ දෙවන පාර්ලිමේන්තු මැතිවරණය - 1952 මැයි 24 සිට 30 දින දක්වා, පැවැත්වුණි. අගමැති ඩී.එස්. සේනානායක 1952 මාර්තු මාසයේදී මිය ගිය අතර,  පුරප්පාඩු වූ අගමැති ධූරයට ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක පත් කෙරුණි. 1952 මැතිවරණයේදී - එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ පිරිසක් විසින් පිහිටුවා ගැනුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් වෙන්වූ පිරිසක් විසින් පිහිටුවා ගැනුණු  ඉලංකෙයි දෙමළ අරසු කච්චි පක්ෂය විසින් පළමු වරට තරග කරන ලදී.  

කෙසේ වෙතත් මේ මැතිවරණයෙන් අගමැති ධුරයට පත්වන ඩඩ්ලි  සේනානායක  පෞද්ගලික හේතු මත 1953 සැප්තැම්බර් 12 වන දින අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. එහිදී සභානායක ධුරයේ කටයුතු කළ ඇමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල  1953 සැප්තැම්බර් 12 දින අගමැති ධුරයට පත්විය. ඔහු පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආයු කාලය පස් වසරක් ගෙවීමට 1957 දක්වා අවුරුද්දක් තිබියදී, වසරකට කලින් 1956 තුන්වන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීමට 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැර තෙවන මැතිවරණයට 1956 මාර්තු 08 දින නාමයෝජනා කැඳවීය. ඡන්දය විමසීම අප්‍රේල් 5, 7, 10 යන තෙදින පුරා පැවැත්වීමට තීරණය වේ. 

මෙහිදී  එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පිලිප් ගුණවර්ධන ගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයත්,  ගාල්ලේ විජයානන්ද දහනායක ගේ සිංහල භාෂා පෙරමුණ එක්ව ’මහජන එක්සත් පෙරමුණ’ පිහිටුවාගෙන 1956 මැතිවරණයට මුහුණ දීමට සූදානම් විය. 1956 මහ මැතිවරණයට අපේක්ෂකයන් 249 දෙනෙක් ඉදිරිපත් විය. රටේ ජනගහණයෙන් 45% ඡන්දය දැමීමට සුදුසුකම් ලබා තිබූ අතර, එය 34,64,000 කි. මහ මැතිවරණය පැවැත්වූ ප්‍රථම දිනය වූ 1956 අප්‍රේල් 05 වැනිදා ආසන 36 පැවැති මැතිවරණයෙන් මන්ත්‍රීවරු 41 ක් තේරී පත්විය. ඡන්දය ගණන් කිරීම එදිනම සිදුවූ අතර, මහජන එක්සත් පෙරමුණ ආසන 27 ක් දිනා තිබූ අතර, එක්සත් ජාතික පක්ෂය ආසන 8 ක් දිනාගන්නා ලදී. මැතිවරණයේ සියලු‍ ඡන්ද කොට්ඨාසවල මැතිවරණය පවත්වා අවසන් වන විට මහජන එක්සත් පෙරමුණ ඡන්ද 10,46,362 ක් ලබා ආසන 51 ක් දිනා ගත්තේය. වැඩිම ආසන ගණන වූ 51 ක් ලැබූ මහජන එක්සත් පෙරමුණේ නායකයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජයක් පිහිටුවන ලෙස අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක රාධනා කරන ලදී. 1956 අප්‍රේල් 12 දින ලංකාවේ සිව්වන අගමැති ලෙස දිවුරුම් දුන් බණ්ඩාරනායක විසින් අප්‍රේල් 14 දින 13 දෙනෙකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත්කර ගන්නා ලදී. 1956 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පත්වන්නේ සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරායි. කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් තල්දූවේ සෝමාරාම නම් භික්ෂුව ලවා 1959 සැප්තැම්බර් 25 දින අගමැති බණ්ඩාරනායක මහතාට ඔහුගේ කොළඹ රොස්මිඩ් පෙදෙස නිවසේදී වෙඩි තබන ලදී. 1959 සැප්තැම්බර් 26 දින ඇමැති විජයානන්ද දහනායක ලංකාවේ පස්වන අගමැතිවරයා ලෙස අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දුණි. ඔහු නව ඇමැති මණ්ඩලයක් පත්කර ගන්නා ලදී. සර් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරවරයා අගමැති දහනායකගේ ඉල්ලීම පරිදි 1959 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින අතර, ඊළඟ මැතිවරණයට නාමයෝජනා කැඳවීම නියම වූ අතර මැතිවරණය පැවැත්වීම 1960 මාර්තු 19 දිනට නියම විය. 

1960 වසරේ මාර්තු 19 වෙනි දා පැවති මහා මැතිවරණයෙන් බහුතර බලය ලබා ගැනීමට එවකට පැවති ප්‍රධාන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නොලැබුණි. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක විසින් විපක්ෂයේ හා අනෙකුත් කුඩා කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීමේ දී ආණ්ඩුකාරවරයා විසින් පවත්වන රාජාසන කතාවේ දී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දෙනු ඇතැයි යන බලාපොරොත්තුව මත ආණ්ඩුවක් පිහිටුවීය. නමුත් ආණ්ඩුවට පක්ෂව හිමිවෙන ඡන්ද ප්‍රමාණයට වඩා විපක්ෂ ඡන්ද ප්‍රමාණය වැඩි වූ බැවින් පාර්ලිමේන්තුව විසුරවා නැවතත්, මහා මැතිවරණයකට යාමට ඩඩ්ලි සේනානායකට සිදුවිය. වෙනදා දින ගණනාවක් පැවැත්වෙන මහා මැතිවරණය මෙවර එක් දිනකට රැගෙන ඒම, මෙම මහා මැතිවරණයේ දකින්න ලැබුණු ප්‍රධාන ලක්ෂණය විය. සෑම දේශපාලන පක්ෂයකට ම පිළිගත් ඡන්ද ලකුණක් ලබා දීම ද මෙහි දී සිදුවිය. මහා මැතිවරණය සඳහා පක්ෂ 23ක් පමණ සහභාගී විය. මීට අමතර ව, රජයේ සේවකයන් සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිමිවිය. 1960 වසරේ මාර්තු මාසයේ 19 වන දා පැවති මහ මැතිවරණයෙන් පසු ව එක්සත් ජාතික පක්ෂයට 29.89%ක ඡන්ද ප්‍රමාණයක් හිමි වන අතර, පාර්ලිමේන්තු ආසන 50ක් දිනා ගැනීමට සමත් විය. මැතිවරණයෙන් බහුතර ආසන ගණනාවක් දිනා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාව නොලැබුණු අතර, තනි පක්ෂයක් ලෙස වැඩි ම ආසන ප්‍රමාණයක් ජයගත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන ඩඩ්ලි සේනානායක ලංකාණ්ඩුවේ අගමැතිවරයා ලෙස දෙවන වරටත් 1960 වසරේ මාර්තු 21 වන දා ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබීය. ඩඩ්ලි විසින් ලංකාවේ හයවන කැබිනට් අමාත්‍ය මණ්ඩලය පත්කරන අතර, ඒ සඳහා අමාත්‍යවරුන් 8 දෙනෙක් නම් කරනු ලැබීය.  මාර්තු 19 වන දා පැවති ඡන්දයෙන් පසු ව ප්‍රථම පාර්ලිමේන්තුව අප්‍රේල් 6 වන දා රැස් විය. ආණ්ඩු පක්ෂයෙන් කථානායක තනතුරට ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජයට පත්වෙන අතර, ලංකා ඉතිහාසයේ පළමුවරට විපක්ෂය නියෝජනය කරමින් කථානායකවරයෙක් පත්විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි. බි. සුබසිංහ යි. මේ වන විට ලංකාව පූර්ණ නිදහස ලබා නොසිටි අතර, දිනා සිටියේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් පමණ යි. ඒ අනුව ලංකාව තවදුරටත් බ්‍රිතානයේ කිරීටයේ යම් යම් කොන්දේසිවලට යටත්ව කටයුතු කළ යුතු විය. එංගලන්ත පාර්ලිමේන්තුවෙන් පැවතගෙන එන රාජාසන කතාව ඒ ආකාරයෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ද සිදුකළ යුතුවිය. පාර්ලිමේන්තුව රැස් වූ පළමු දවසේ ම ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඇතුළත් රාජාසන කතාව එවකට ආණ්ඩුකාරවරයා වූ ඔලිවර් ගුණතිලක විසින් ඉදිරිපත් කරන ලදි. 

අප්‍රේල් මාසයේ 19 වන දින ආණ්ඩු පක්ෂයේ රාජාසන කතාව පිළිබඳව විවාදය ආරම්භ වූ අතර, ඒ සඳහා ආණ්‌ඩු පක්‍ෂයට පැය 12ක් ද, විරුද්ධ පක්‍ෂයට පැය 17කට මඳක් වැඩි කාලයක් ද ලබාදුණි. විවාදය අවසන් වී රාජාසන කතාව පිළිබඳ ව ඡන්ද විමසීම ආරම්භ වෙන්නේ අප්‍රේල් 22 වන දා යි. මෙහිදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට ඩඩ්ලි විසින් බලාපොරොත්තු තබාගෙන සිටියත්, එය සාර්ථක නොවීය. ඩඩ්ලිගේ ආණ්ඩුවට සහාය ලැබෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ගෙන් පමණි.  තව ද, මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීන් කිහිපදෙනෙකු ද විපක්ෂය සඳහා සහාය ලබා දීම හේතුවෙන් තත්ත්වය තවත් උග්‍රවිය. ඡන්ද විමසීම අවසානයේ විපක්ෂයට පක්ෂව ඡන්ද 86ක් ද, ආණ්ඩුවට පක්ෂව ඡන්ද 61ක් ද ලැබුණි. ඒ අනුව විපක්ෂය විසින් ගෙන ආ යෝජනාව සම්මත වී රාජාසන කතාව පරාජයට පත්විය. ඒ අනුව 1960 වසරේ මාර්තු 19 වන දා පැවති ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුව 1960 අප්‍රේල් 22 වන දා විසුරුවා හැරීමට සිදුවෙන අතර, රාජාසන කතාවක් පරාජය කර ගෙදර යැවූ එකම අගමැතිවරයා හා ඔහුගේ පක්ෂය ලෙස ඩඩ්ලි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ලංකා ඉතිහාසය තුළ ලියැවුණි.

1960 මාර්තු මැතිවරණයෙන් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් බහුතරයක් ඉතිරි නොවූ බැවින් තවත් මැතිවරණයක් පැවැත්විය යුතු විය.  ඉන්පසුව නැවත පාර්ලිමේන්තු මැතිවරණය එම වසරේ ජූලි මාසයේ දී පැවැත්විණි. එහි දී ජයග්‍රහණය හිමිවෙන්නේ පාර්ලිමේන්තු ආසන 75ක් හිමි කරගත් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි. ඒ යටතේ ඇය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්විය. ලේක්හවුස් පුවත්පත් ජනසතු කිරීම සම්බන්ධයෙන් සමහර මන්ත්‍රීවරුන් පක්ෂය අතහැර ගිය අතර, සිරිමාවෝ බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට 1964 දෙසැම්බර් මාසයේදී බහුතරය අහිමි විය.  

ලංකා‍වෙහි හත්වන පාර්ලිමේන්තු මැතිවරණය, 1970 මැයි 27 දින දිවයින පුරා පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සිරිමාවෝ බණ්ඩාරනායකගේ නිගමනය වූයේ තම පක්ෂයේ බලය පිළිබඳ හොඳම බලාපොරොත්තුව ලංකාවේ මාක්ස්වාදී පක්ෂ සමඟ සමගි පෙරමුණක් ඇති කිරීම යන්නයි.

අවසානයේ 49% ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් සමගි පෙරමුණ ආසන බහුතරයක් දිනා ගත්තේය.  දෙමළ බහුතර මැතිවරණ දිස්ත්‍රික්ක ප්‍රධාන වශයෙන් දෙමළ පක්ෂ දෙක සඳහා ඡන්දය දුන් අතර, ඉන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පසුව  ජයග්‍රාහකයින් සමග එක්විය. 1970 මැතිවරණය සෝල්බරි ව්‍යවස්ථාව යටතේ අවසන් වරට පැවැත්විණි. යටත් විජිතවාදයේ අවසාන සබඳතා බිඳ දමමින් සිරිමාවෝ ආණ්ඩුව 1972 දී නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීය. 

1977 මහ මැතිවරණය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ මැතිවරණයක් බවට පත්වුණේ, එක්සත් ජාතික පක්ෂය ආසන 168න් 140ක්ම ජයග්‍රහණය කරමින් 5/6ක බලයක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීම හේතුවෙනි. එදා එක්සත් ජාතික පක්ෂය ලද එම ජයග්‍රහණයත් සමගින් එවකට බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම වාමාංශික පක්ෂ වුණු ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ලැබුවේ කිසිවෙකුත් නොසිතූ ආකාරයේ අන්ත පරාජයකි. එලෙස වාමාංශික පක්ෂ එදා ලැබූ පරාජයත් සමගම එතෙක් ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළ වමේ පක්ෂ දේශපාලන බිමෙන් අතුගෑවී ගියේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගත් අතර, ඡන්දයෙන් අඩක් සහ ආසන 168 න් 140 ක්, ව්‍යවස්ථාදායකයේ හයෙන්  පහක් ලබා ගත්තේය. 

1977 මැතිවරණය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙතෙක් පැවති එකම මැතිවරණයයි. වසරකට පසුව, එක්සත් ජාතික පක්ෂයේ ආධිපත්‍යය සහිත ව්‍යවස්ථාදායකය විසින් පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට ජනාධිපති ක්‍රමයක්  ආදේශ කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලදී. නව ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අගමැති ජයවර්ධන 1978 පෙබරවාරි 4 වන දින විධායක ජනාධිපති විය. 

ක්‍රි.ව. 1977න් පසුව 1989 දක්වා අවුරුදු 12ක් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්විණි. 1983 වන විට පැවැත්විය යුතුව තිබුණු මැතිවරණ අවලංගු කරනු ලැබුවේ 1982 ජනමත විචාරණය මගිනි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් පෙබරවාරි 15 දින මැතිවරණය පැවැත්විය යුතු බවට නියම කෙරිණි. 1947-1977 කාල සමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර ඡන්ද ක්‍රමය යටතේ යි. නමුත්, 1977 මහා මැතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 5/6ක ජන වරමක් ලබාගැනීමෙන් පසුව මැතිවරණ ක්‍රමය වෙනස් කරනු ලැබුවේය. එම නිසා 1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. ඊට පෙර පැවති සරල බහුතර ක්‍රමයේ දී යම් අපේක්ෂකයෙකු තරග කළේ යම් ඡන්ද කොට්ඨාසයක් වෙනුවෙන් පමණයි. නමුත්, මෙම ක්‍රමයේ දී සෑම අපේක්ෂකයෙකුටම දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට සිදුවිය. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන අපේක්ෂකයන් තීරණය වුණේ ඔවුන් ලබාගත් මනාප ප්‍රමාණය මත යි.

ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුව යනු 1994 අගෝස්තු 16 දින පැවැති 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුණු සාමාජීකත්වය මත කැඳවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. එය පළමු වරට රැස්වූයේ 1994 අගෝස්තු 25 දිනදී වන අතර එය 2000 අගෝස්තු 18 දිනදී විසුරුවා හැරිණි. විපක්ෂ දේශපාලන පක්ෂවල සන්ධානයක් වූ පොදු පෙරමුණ, පාර්ලිමේන්තුව තුළ ආසන 225 අතුරින් 105 ක් දිනාගෙන විශාලතම කණ්ඩායම බවට පත්විය. බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය දිනාගත්තේ ආසන 94 පමණි. රජයේ සහයෝගය ලැබූ දෙමළ අතුරු හමුදා කණ්ඩායමක් වූ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ආසන 9ක් දිනා ගත් අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ආසන 7 ක් දිනාගැනුණි. කුඩා පක්ෂ විසින් ඉතිරි ආසන 10 දිනාගැනුණි.  එම අවදියේ ඉහළම ජනතා ප්‍රසාදයක් උරුම කරගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදී මනාප 464,588ක් ලබාගැනීමට සමත් විය. එලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබාගත් මනාප ප්‍රමාණය 2015 මහා මැතිවරණය වන තුරුම යම් අපේක්ෂකයෙකු මහා මැතිවරණයක දී ලබාගත් ඉහළම මනාප ප්‍රමාණය ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකාවේ 11 වන පාර්ලිමේන්තුව යනු 2000 ඔක්තෝබර් 10 දින පැවැති 2000 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුණු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2000 ඔක්තෝබර් 18 දිනදී වන අතර එය 2001 ඔක්තෝබර් 10 දිනදී විසුරුවා හැරිණි. 

බලයේ සිටි පොදු පෙරමුණ ආසන 225 කින් ආසන 107 ක් දිනාගෙන පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් විය. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය  ආසන 89 ක් දිනාගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ ආසන10 ක්ද අනෙකුත් කුඩා පක්ෂ ඉතිරි ආසන 19 ද දිනා ගත්හ. 2000 ඔක්තෝ+ම්බර් 10 වනදා පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළත් වැඩි කාලයක් බලය රඳවා ගැනීමට නොහැකි වූයේ, ආණ්ඩුපක්‍ෂය තුළ ඇතිවූ අර්බුද නිසාය. ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවාහැර 2001 දෙසැම්බර් 05 දිනට මහ මැතිවරණයක් කැඳවූයේ සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යෑම අපහසු නිසාය.

මැතිවරණය 12වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 දින පැවැත්විණි. අලුතින් තැනුණු විපක්ෂ සන්ධානයක් වන එක්සත් ජාතික පෙරමුණ ආසන 225 අතුරින් ආසන 109 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි විශාලතම කණ්ඩායම බවට පත් විය. බලයේ සිටි පොදු පෙරමුණ ආසන 77 ක් දිනා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධූර 16 ක් ලබාගත්තේය. එක්සත් ජාතික පෙරමුණ වෙනත් සුළුතර පක්‍ෂවල සහයෝගයෙන් 25 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයන් සමඟ රනිල් වික්‍රමසිංහ අගමැතිවශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ඉදිරියේ 2001 දෙසැම්බර් 10 දින දිවුරුම් දී වැඩ භාර ගත්තේය. කැබිනට් නොවන ඇමතිවරු 27ක් ද නියෝජ්‍ය ඇමතිවරු  ද ඊට අයත් වුහ. මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ දිස්ත්‍රික්ක 17 කින් වැඩි ඡන්ද ලබා ගැනීමට සමත් වූ අතර පොදුජන එක්සත් පෙරමුණ ජයගනු ලැබුවේ මොනරාගල දිස්ත්‍රික්කය පමණි. යාපනය, වන්නි, මඩකලපුව දිස්ත්‍රික්ක තුන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ජයගත් අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කය මුස්ලිම් කොංග්‍රසය ජය ගත්තේය.

13 වන පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2 දින පැවැත්විණි. අළුතින් පිහිටුවා ගැනුණු විපක්ෂ සන්ධානයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ආසන 225 අතුරින් 105 දිනාගනිමින් පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් විය . එවකට බලයෙහි සිටි එක්සත් ජාතික පෙරමුණ  ආසන 82 දිනා ගත්තේය. සුළුතර දෙමළ පක්ෂයක් වූ දෙමළ ජාතික සන්ධානය විසින් ආසන 22 දිනා ගත්තේය. කුඩා පක්ෂ විසින් ඉතිරි ආසන 16 දිනා ගන්නා ලදි.  නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් 22 දිනදීය. පාර්ලිමේන්තුව තුල අන්දෝලනාත්මක ඡන්ද වට තුනකින් අනතුරුව, විපක්ෂයේ අපේක්ෂක, වි. ජ. මු. ලොකුබණ්ඩාර, කථානායක ලෙසින් තේරී පත්විය. 2004 මැයි 18 දින යළි රැස්වූ පාර්ලිමේන්තුව ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය කථානායක ලෙස සහ එම් සචිත්තානන්දන් නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින් නිතරගයෙන් තෝරා පත් කර ගත්තේය. 2004 අප්‍රේල් 6 දින, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව අග්‍රාමාත්‍ය ලෙසින් එජනිස නායක මහින්ද රාජපක්ෂ පත් කෙරිණි. අමාත්‍යවරුන් 30 දෙනෙකුගෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් 31 දෙනෙකුගෙන්ද සමන්විත වූ රජයේ ඉතිරි සාමාජිකයින් දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් 10 දිනදීය. 

ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව  2010 අප්‍රේල් 8 දින හා 2010 අප්‍රේල් 20 දින වල පැවැත්වුනු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය. පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අප්‍රේල් 22 දිනදීය.  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය 2009 මැයි මසදී පරාජය කිරීම තුලින් 26 වසරක් පුරා පැවති ශ්‍රී ලංකා‍වේ සිවිල් යුද්ධය නිමා කිරීම ඉස්මතු කරගත් බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් අත් කර ගත්හ. එක්සත් ජනතා නිදහස් සංධානය විසින් පාර්ලිමේන්තුවේ ආසන 144ක් දිනා ගනිමින් මහත් බහුතරයක් දිනා ගත් අතර, මෙය 13වන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආසන 39 ක වැඩිවීමකි. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පෙරමුණ  ආසන 60 දිනාගත් අතර, එය ආසන 22 ක පරිහානියක් විය. සුළුතර දෙමළ පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානය ආසන 14 දිනාගනිමින් ආසන 8 ක පරිහානියක් දැක්වූ අතර, පළමු වතාවට තරග කල ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ආසන 7 දිනා ගත්තේය.  නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 22 දිනදීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සොහොයුරු චමල් රාජපක්ෂ, කථානායක ලෙසින්ද, ප්‍රියංකර ජයරත්න නියෝජ්‍ය කථානායක ලෙසින්ද සහ මුරුගේසු චන්ද්‍රකුමාර් කාරක සභා නියෝජ්‍ය සභාපති ලෙසින්ද තෝරා පත් කර ගැනුණි. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ලෙසින් පිළිගැනිණි. 2010 අප්‍රේල් 21 දිනදී ජනාධිපති රාජපක්ෂ විසින් දි. මු. ජයරත්න නව අග්‍රාමාත්‍යවරයා ලෙසින් පත් කෙරිණි. අමාත්‍යවරුන් 36 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2010 අප්‍රේල් 23 දිනදී දිවුරුම් දුන්නේය.  

2015 දී, සැලකිය යුතු දේශපාලන විපර්යාසයක් සිදුවූයේ, විරුද්ධ පක්ෂවල හවුලක සහාය ඇතිව, මෛත්‍රීපාල සිරිසේන, එම වසරේ අගභාගයේදී පාර්ලිමේන්තු මැතිවරණයකට නායකත්වය දෙමින්, ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ය. මෙම මැතිවරණය පාලනය සහ දූෂණය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සැලකේ. 2015 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය නියමිත කාලයට මාස දහයකට පෙර 2015 අගෝස්තු මස 17 වන දින ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනා තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබිණි. බහුතරයක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ ගෞරවය උසුලමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ව්‍යවස්ථාදායකයේ ආසන 144 ක් අත්කර ගන්නා ලදී. 

ශ්‍රී ලංකාවෙහි 16වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබීම සඳහා ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 5 දිනදී පැවැත්විණි. මෙහිදි ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහනුවර දිස්ත්‍රික්කය හා නුවරඑළිය දිස්ත්‍රික්කයට ජලකරාමය යටතේ තරග කළ අමිත් වීරසිංහයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ පරදවා තුන්වන ස්ථානයට පත් වීම ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායමක් ලැබු වාර්තාවකි. එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ ඡන්ද ප්‍රතිශතය තුළින්ද සැලකිය යුතු මට්ටමක් ලබා ගත් මැතිවරණයකි. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු ආසනයට ඡන්ද 416 ක   ඡන්ද ප්‍රමාණයක් මදි වීම නිසා අමිත් වීරසිංහයන් හට පාර්ලිමේන්තු අසුන අහිමි විය. මැතිවරණය සඳහා තරග වැදුණු ප්‍රධාන පක්ෂ සහ සන්ධාන අතර ශ්‍රී ලාංකික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලක ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ප්‍රධාන විපක්ෂය වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සහ අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය  විය. 2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය තුළදී සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට නියම කලේ අග්‍රාමාත්‍ය තනතුර සඳහා ඔහුගේ නාමික මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ නාමිකත්වය අනුමත කිරීමට පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනුමට අපොහොසත් වීම හා සමගය. විවෘත පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196ක් තෝරා ගනු ලැබූහ. සිව්වන වරට ශ්‍රී ලංකාවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙසින් 2020 අගෝස්තු 9 වන දිනදී කොළඹ අසබඩ කැලණිය රාජ මහා විහාරයෙහිදී මහින්ද රාජපක්ෂ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය, යටත් විජිත උරුමයන්, වාර්ගික ආතතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය සඳහා වන අඛණ්ඩ අරගලය විසින් හැඩගස්වා ඇති රටේ සංකීර්ණ දේශපාලන භූ දර්ශනය පිළිබඳ සාක්ෂියකි.


ශෂිකා අබේරත්න