ෂැඩෝ ආයෙත් ටෙලි රංගනයට - SHESHADRIE Priyasad



ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම, ඇයගේ යහළු-යෙහෙළියන් ඇය අමතන්නේ ‘ෂැඩෝ’ යන ආදරණීය නාමයෙනි. ඇයගේ රසික පිරිස වගේම ඇයට ආදරය කරන බොහෝ දෙනා ඇයගේ පෙනුම සම කරන්නේ බොලිවුඩ් තරුවක් වන ‘කරීනා කපුර්’ වගේ යැයි කියාය.  ඒ විදිහට හැමෝම ආදරය කරන ෂැඩෝ හෙවත්, ‘ශේෂාද්‍රි’ මේ දිනවල යළිත් ටෙලි නාට්‍ය රංගනයට එක්ව සිටින්නීය. ඒ විස්තර ගැන කෙටියෙන් අපි ඇය එක්ක කතා කරමු.!

  •  තවමත් ගෙදර අය සහ ඔබට සමීප අය කතා කරන්නෙ ෂැඩෝ කියලද? 

වයස අවුරුදු 6 ඉඳලා ඒ නම තමයි මට ඉතින් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. මාව ළඟින්ම ආශ්‍රය කරන අය තාමත් මට එහෙම කියනවට මම ආසයි. මාව දන්නා නැති අය මට ෂැඩෝ කියලා කතා කරද්දී මට ඒක ටිකක් නුහුරුයි වගේ දැනෙන්නෙ.

  •  ‘ෂැඩෝ’ කියලා හුරතල් නාමය දැම්මෙ කවුද?

ඉස්සර මම නිතරම තාත්තගෙ ඇඟේ දැවටෙමින් හිටියෙ. කොහේ ගියත් තාත්තගෙ අතේ එල්ලිලා හිටියෙ. තාත්තාගෙ ‘ෂැඩෝ’ එක කියලා ගෙදර අය කියන්න පටන් ගත්තා. තාත්තා කතා කරන්න ගත්තෙ ෂැඩෝ කියලයි. ඒ විදිහට මම එදා ඉඳලා ෂැඩෝ වුණා. ගෙදර අය එහෙම කතා කරන්න පටන් ගත්තාම මම ගිහින් ඉස්කෝලේ මගේ යාළුවන්ට කිව්වෙ මගේ පෙට් නේම් එක දැන් ෂැඩෝ, ඉතින් ඔයාලත් අද ඉඳලා මට එහෙම කතා කරන්න කියලයි. අදටත් ඉස්කෝලේ යාළුවෝ කියන්නෙ. ‘ෂැඩෝ’ කියලයි.

  •  ‘ෂැඩෝ’  අද එක්දරු මවක් වුණාට එදාටත් වඩා ලස්සන වෙලා නේද?

දුව හම්බවෙලා දැන් අවුරුදු දෙකක්නෙ. දැන් මට මගේ සිරුර ගැන, ආහාර පාලනය ගැන හිතන්න කාලය හරි.  හොඳට වතුර බොනවා. සමබල ආහාර වේලක් ගන්න උත්සාහ ගන්නවා. ඒ ඔක්කොටමත් වඩා මම මගේ පාඩුවෙ, කාගේවත් දේ ගැන හොයන්නෙ නැතුව  ඉන්න කෙනෙක්. මානසිකව එතකොට ලොකු නිදහසක් දැනෙන්නෙ. ඒ වගේම ගෙවී ගිය කාලයේදි මට අත්හැරුණු - මග හැරුණු කටයුතු තියෙනවා. ඒත් ඒවා ගැන කලකිරීමක් නැතුව ලැබෙන සහ ලැබුණු දේ ගැන තෘප්තිමත්ව ජීවිතේ ගෙවන කෙනෙක්. ඒ වගේම ‘බබා’ එක්ක ගත කරද්දී ජීවිතයට දැනෙන සැහැල්ලුව අපමණයි. ඒ වගේ දේ එක්ක ඇතුළාන්තය ලස්සන වෙන විට බාහිරව  ඒ ලස්සන පෙනෙනවා ඇති.

  • අපට ඔබ ශේෂාද්‍රි තමයි, ඒත් සමහර අය ශේෂාද්‍රි - කරීනා කපූර් වගේ කිව්වාම, දැනෙන හැඟීම මොන වගේ ද?

බොහෝ දෙනෙක් එහෙම කියලා තියෙනව නම් තමයි. කරීනා කියන්නෙ කලාවේ ඉහළ තැනක සිටින, දක්ෂ සුන්දර චරිතයක්. එයාගෙ  මම අාසා කරන චරිත රංගනයන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ සියලු දේ දිහා බලද්දී එහෙම කියද්දි මට සතුටක් දැනෙන්නෙ. රංගන ශිල්පිනියක් ලෙස මට ලැබෙන චරිතවලදි ඒවා හොඳින් කිරීමට මාත් උත්සාහ ගන්න කෙනෙක්.

  •  ‘ශේෂාද්‍රි’ එදා වගේම නිහතමානියි කියලා හැමෝම වගේ කියද්දි, ඒ ගැන හැඟෙන විදිහ මොන වගේ ද?

මම හිතන්නෙ මිනිස්සු විදිහට අපට තිබිය යුතු ඉහළම ගුණාංගයක් නිහතමානිකම. මගේ පවුලෙන් ගත්තොත් මට ඒ නිහතමානී බව ලැබිලා තියෙන්නෙ මව්පියන්ගෙන්.  එයාලා බොහොම සරල - සාමාන්‍ය මිනිස්සු. ඒ ගුණාංගය එයාලගෙ දියණියන් වන අපි තුන්දෙනාටත් පිහිටලා තියෙනවා. මිනිස්සු අපට ආදරය කරන්නෙ අපි කලා ක්ෂේත්‍රයේ  කරලා තියෙන වැඩවලට. ඉතින් අපිත් මිනිස්සුන්ට ගෞරව කළ  යුතුමයි. ඕනෑම කෙනෙකු නිහතමානි විය යුතුයි වගේම තමන්ගෙ දරුවන්ටත් කියා දිය යුතු දෙයක්.

  •  ශේෂාද්‍රි ටෙලිනාට්‍යයක රංගනයට නැවතත් එක්වෙලා. මේ කොච්චර කාලයකට පසුව ද?

අන්තිමට රඟපෑවෙ 2021 දී ‘චමිල්’ පතිරණගෙ වන්ස් අපෝන ටයිම් (Once Upon a Time) නිර්මාණයේ. ඉන්පසුව තමයි ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන මේ ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. මේ නිර්මාණයෙ නම ‘කවියකි නුඹ’. මම රඟපාන තුන්වැනි ටෙලි නිර්මාණය.

  •  මොන විදිහෙ චරිතයක් ද රඟපාන්නෙ?

විවාහය එක්ක, සැමියාට තියෙන ආදරය ගෞරවය එක්ක හොඳ  විවාහයක් ගත කරන කාන්තාවකගෙ චරිතයක්. ඒත් ඇයට හමුවෙලා තියෙන්නෙ ‘කපටි සැමියෙක්’. ටික කාලයක් යද්දී ඇය අසනීප වෙනවා. ඉතින් එහෙම ඉන්න කොට ජීවිතය එපා වී තිබියදී ඇයට ආදරයක් හමුවෙනවා. ඒ ආදරය එක්ක ආයෙත් ඇයට ලස්සන ජීවිතයක් ලැබෙනවා. ‘රෝද පුටුවේ’ සිට වැඩිපුර කාලයක් රංගනයේ යෙදෙන්න වුණා. ඒකත් මට ලොකු චැලේන්ජ් එකක් වුණා. මෙය විකාශය වෙද්දි ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මම බලාගෙන ඉන්නෙ.

  • පසුගිය දිනවල ශේෂාද්‍රි රඟපෑ ෆිල්ම්  කීපයක්ම තිරගත වුණා. ඉදිරියේ තිරගත වෙන්න තියෙන ෆිල්ම් මොනව ද?

‘විර්යා’ සහ ‘සිහිනයකි ආදරේ’ තිරගත වුණා. තව ෆිල්ම් දෙකක් තිරගතවෙන්න තියෙනවා. ඒ විදිහට රඟපෑ චිත්‍රපට තිරගතවීම ප්‍රමාදවීම රඟපාන අයට ලොකු පාඩුවක්. බොහෝ විට අපි රඟපාන්නෙ ඒ වයසට, ඒ ඒ කාලවලට ගැළපෙන විදිහටනෙ. ඉතින් සෑහෙන කාලයක් ගිහින් ඒවා  තිරගත වුණාම, රංගන ශිල්පිනියක ලෙස පුද්ගලිකව ගත්තොත් ලොකු පාඩුවක්. වයස 18 දී විතර රූගත කිරීම් කළ ෆිල්ම් එකක් තවම රිලීස් වෙලා නැහැ.  දැන් මගේ වයස 33ක්. ඉතින් දැන් ඒ වගේ ෆිල්ම් එකක රඟපානවා නම් ඒවායේ චරිතයක් මට කරන්න බැහැ. මේ වගේ දේ නිසා අපට – අපේ රංගන පරාසය ගැන දියුණුව ගැන දැනගන්න නොලැබෙන අවස්ථා තියෙනවා.


සඳුන් ගම​ෙග්